ආණ්ඩුව රටට සහ ජනතාවට එරෙහිව ගෙන එනු ලබන අණ පනත්වලදී ඊට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීමට විපක්ෂය තීන්දු කිරීමෙන් අනතුරුව මේ වන විට ජයග්‍රහණ රැසක් ජනතාවට ලබාදීමට හැකියාව ලැබී තිබේ.
එහි පළමු ජයග්‍රහණය වූයේ මහත් ආන්දෝලනයට ලක්වූ ප්‍රතිත්‍රස්ත පනත හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවීමය.
ආණ්ඩුව මෙම ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා දින වකවානු පවා වෙන් කරගෙන තිබුණද, විපක්ෂය ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් ගෙනගිය දැඩි අරගලය හේතුවෙන් එම පනත දින නියමයක් නොමැතිව කල්දැමීමට ආණ්ඩුවට සිදුවිය.
දෙවැනි ජයග්‍රහණය වූයේ මහබැංකුව ස්වාධීන කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පනත් කෙටුම්පතය.
පසුගිය සතියේදී මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම පනත අධීක්ෂණය කිරීමට තවත් කාලසීමාවක් අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට එකඟතාව පළකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.
ඒ අනුව එම පනතද දින නියමයක් නොමැතිව මේ වන විට කල්දැමීමට ආණ්ඩුවට සිදුව ඇත.
තුන්වැනි ජයග්‍රහණය වූයේ එක්ස්ප්‍රස් පර්ල් නැවට සම්බන්ධ විවාදය අත්හිටුවීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට කළ යෝජනාව පරාජයට පත්කොට එම විවාදය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබීමය.
පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේ මේ වන විට නැවට අදාළව නඩු කටයුත්තක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන බැවින් මෙවැනි විවාදයක් කළහොත් එය නඩුවට අහිතකර ලෙස බලපානු ඇතැයි කියාය. නමුත් ඊට එරෙහිව කරුණු දක්වමින් විපක්ෂය ඉදිරිපත් කළ කරුණු පිළිගත් කතානායකවරයා අවසානයේදී එම විවාදය පැවැත්වීමට අවසර ලබාදුන්නේය.
ඒ අනුව විවාදය පැවැති දෙදින තුළ එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් බරපතළ කරුණු ගණනාවක් පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ ආකාරයක් දැකගත හැකිවිය.
මීට අමතරව මහා භාණ්ඩාගාරය මුදල් මුද්‍රණය කිරීම සඳහා දරන උත්සාහය පිළිබඳවද පසුගිය සතියේදී පොදු විපක්ෂය පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණි.