කුඩා දරුවන්ගේ විකිරණවේදය සම්බන්ධව කටයුතු කිරීම සඳහා රටටම සිටියේ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පමණක් බවත්, ඔහුද මේ වන විට රට හැරගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසයි. Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ 2024 – 2025 වසර සඳහා විශේෂඥ වෛද්‍යවරු හාරදහසක් පමණ රටට අවශ්‍යව ඇති බව ගණන් බලා ඇතත්, දැනට රට තුළ සිටින්නේ ඉන් අඩක් පමණක් බවයි.
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා අඩු කළහොත්, එම විශේෂඥ වෛද්‍යවරුන්ගෙනුත් දෙසිය පනහක් පමණ අඩු වීමට නියමිත බව පවසන වෛද්‍ය අශෝක ගුණරත්න මහතා, එසේ වුවහොත් රට තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 1,750 දක්වා අඩුවනු ඇති බවද පවසයි.
හදිසි අනතුරු ඒකක සඳහා විශේෂඥ වෛද්‍යවරු තිස් දෙනකුට පුහුණුව ලබාදී බඳවාගෙන ඇති බව පවසන වෛද්‍යවරයා, එම තිස් දෙනාගෙන් විසි දෙනෙක්ම මේ වන විටත් රට හැරගොස් ඇති බවද පවසයි.
2024-2025 වසර සඳහා නිර්වින්දන වෛද්‍යවරු 289 දෙනකු රටට අවශ්‍යව ඇති නමුත්, මේ වන විට රට තුළ සිටින්නේ නිර්වින්දන වෛද්‍යවරු 155 දෙනකු පමණක් බවද විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.










