යාපනයේ පදිංචි දන්ත වෛද්‍යවරියක නෝර්වේ රෝහලක් අසලදී වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා නෝර්වේ පොලිසිය විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරදරාජන් රාඝවි නමැති 30 හැවිරිදි මෙම දන්ත වෛද්‍යවරිය සිය පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයකුගෙන් විවිධ හිරිහැරවලට ලක්වන බවට නෝර්වේ පොලිසිය වෙත මීට පෙර පැමිණිලි කීපයක්ම ඉදිරිපත් කොට ඇති බවයි සඳහන්.
කෙසේ වෙතත් තත්ත්වය මෙසේ තිබියදී නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි තරුණියක හා තරුණයෙකු නෝර්වේ ජාතිකයකු විසින් රෝහල්ගතකොට තිබුණේ පසුගිය 01 වැනිදායි.
තරුණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර, තුවාල ලබා සිටි තරුණයාට පියවි සිහිය ලද පසුව නෝර්වේ පොලිසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයකින් පසුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී පොලිසිය සඳහන් කොට ඇත්තේ මොහු තරුණියට වෙඩි තබා, ඔහුද වෙඩි තබාගෙන ඇති බවයි.
දන්ත වෛද්‍යවරියක වූ තරුණිය මීට පෙර පොලිසියට ලබා දී ඇති පැමිණිලිවලට අනුව මෙම වෛද්‍යවරියගේ මරණය මිනීමැරුමක් බවට නෝර්වේ පොලිසිය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව, අත්අඩංගුවට ගෙන ඇති නෝර්වේ ජාතික තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නෝර්වේ පොලිසිය පියවර ගෙන ඇති බවයි සඳහන්.
මියගිය යාපනයේ පදිංචි වෛද්‍යවරියගේ දේහය නෝර්වේ සිටින ඇගේ ඥාතීන් පිරිසක් විසින් එහිදී මිහිදන් කොට තිබෙනවා.
hirunews










