පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයේ දෙමළ ජාතික සන්ධානයේ ශානක්‍යන් රාසමානික්කම් මහතා සහ ජනාධිපතිවරයා අතර සිදුවූ මුහුණට මුහුණ සාකච්ඡාවක තොරතුරු රටට අනාවරණ කළෙමු. එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු නැගෙනහිර ගැටලු විසඳීම ඇතුළු කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා වූ බව අපි සඳහන් කළෙමු. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පක්ෂ මට්ටමින් නොව, පෞද්ගලික මට්ටමින් සිදුවූ එකක් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.Sri Lanka Latest News
කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ සමයේදී අවස්ථා කිහිපයකදීම යාපනයේ සංචාරය කොට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව විසඳීම සම්බන්ධයෙන් පොරොන්දු ගණනාවක් ලබාදී තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් උතුරේ ජනතාව පෝලිමේ ඇවිත් අනුරට ඡන්දය භාවිත කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව උතුරේ ප්‍රධාන දෙමළ පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරයා බලයට පත්ව මාස 3කට පසු, එනම් දෙසැම්බර් මාසයේදී පළමු වරට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා බලයට පත්වූ අලුත නිසා එම සාකච්ඡාවේදී උතුරේ ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් ආකාරයක් දැකගන්නට නොලැබිණි.
මේ අතර තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළේ දේශපාලන අර්බුදයක් හටගනිමින් කණ්ඩායම් දෙකක් වශයෙන් නිර්මාණය වෙමින් පැවැති ආකාරයක් දැකගන්නට තිබිණි. පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වූ ශ්‍රීධරන් එක් කණ්ඩායමක් නියෝජනය කළ අතර, අනෙක් පක්ෂය නියෝජනය කළේ මහලේකම් සුමන්තිරන් සහ රාසමානික්කම් ඇතුළු පිරිසකි. නමුත් ශ්‍රීධරන් කණ්ඩායම් නායකයා වුවද මේ වනවිට ඔහු පක්ෂය ඇතුළේ තනිව ඇති බවක්ද දැකගන්නට පුළුවන. ඒ අනුව පසුගිය කාලයේදී ශ්‍රීධරන් ජනාධිපතිවරයාගෙන් හමුවක් සඳහා කාලවේලාව ඉල්ලා තිබිණි. ඊට හේතු දක්වමින් ශ්‍රීධරන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ උතුරේ ඇතිවූ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කාලවේලාවක් අවශ්‍ය යැයි කියාය. එම ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා තමිල් අරසු කච්චි පක්ෂයට කාලවේලාව ලබාදුන්නද එම සාකච්ඡාව ආරම්භ වන තෙක්ම රාසමානික්කම් ඇතුළු අනෙක් කණ්ඩායම සාකච්ඡාව ලබාදී ඇත්තේ ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට බව දැන සිටියේ නැත. ඔවුන් සූදානමින් ගියේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. නමුත් සාකච්ඡාව ආරම්භයේදීම ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීමට යොමුවීම නිසා ඒ අවස්ථාවේදී රාසමානික්කම් ඇතුළු තමිල් අරසු පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගියේ නැත. ඉන් අනතුරුව වසරක් යනතුරු ජනාධිපතිවරයා සහ තමිල් අරසු කච්චි පක්ෂය අතර කිසිදු නිල සාකච්ඡාවක් පැවැත්වී තිබුණේ නැත. තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරයාගෙන් වේලාවක් හෝ ඉල්ලා නොතිබූ අතර, ජනාධිපතිවරයා හෝ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස තමිල් අරසු කච්චි පක්ෂයට ආරාධනා කොට තිබුණේ නැත.
මෙවැනි පසුබිමක් යටතේ පසුගිය 14 වැනි ඉරිදා තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරකසභාව අම්පාරේදී රැස්විය. එහිදී සාකච්ඡා වූයේ නිල වශයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කොට මේ වනවිට වසරක කාලයක් ගතව ඇති නිසා උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නැවත වතාවක් ජනාධිපතිවරයා නිල වශයෙන් මුණගැසීමටය. ඒ අනුව තමිල් අරසු කච්චි මධ්‍යම කාරකසභාව තීන්දු කළේ නැවත වතාවක් ජනාධිපතිවරයා හමුවීම සඳහා ලිඛිතව වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටය. ඉකුත් වතාවේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ගොස් ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කිරීම නිසා මෙවර තීන්දු වූයේ උතුරු පළාත් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන වී.කේ. සිවඥානම් මහතාගේ නායකත්වයෙන් පක්ෂ මහලේකම් සුමන්තිරන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමම ගොස් ජනාධිපතිවරයා හමුවී උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ඊට අදාළ ලිපිය පසුගිය ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා වෙත යැවීමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබිණ.
රාජ්‍ය රහස්











