• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

‘දෙමළ ජනතාවගේ ඡන්ද අපතේ යවන්න එපා!’ අන්තිම මොහොතේ උතුරේ නායකයන්ට ඉන්දියාවෙන් ආ විශේෂ පණිවුඩය! I Sri Lanka Latest News

September 8, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 25 mins read
A A
ගෝඨාවයි මහින්දවයි කොටවන්න හදන ප්‍රකට ව්‍යාපාරිකයා! මහින්දත් ‌ගේමට එන්ටර් වෙයි! ජනපතිගේ තටු කපන්න හදිසි මෙහෙයුමක්! සුමන්තිරන් අරලිය ගහ මැදුරට ගෙන්වා ගනී!  සඳුදා තීරණාත්මක කැබිනට් රැස්වීමක්! මෛත්‍රී සජිත්ට අගමැතිකම බාරගන්න කියයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

අනුරගෙයි රනිල්ගෙයි ඩීල් එක එළියට ආවා!

මුසම්මිල්ට ඉහළින්ම ආ තර්ජනය!

අන්තිම මොහොතේ දේශපාලන පෙරළි රැසක්!

මාවයෙිගේ පුත් සජිත්ව බලන්න එයි!

දොවාල්ගේ ලංකා ගමන

පසුගිය සතියේ දේශපාලන කරළියේ ප්‍රබලතම සහ තීරණාත්මකම සිදුවීම වූයේ ඉන්දියාවේ බලවත්ම තනතුරක් වන ‘ජාතික ආරක්ෂක උපදේශක’ තනතුර හොබවන අජිත් දෝවාල් මහතාගේ හදිසි ලංකා ගමනය. සාමාන්‍යයෙන් පිළිගැනෙන කතාවක් වන්නේ ලංකාවේ අතිශය තීරණාත්මක ජාතික මැතිවරණයක් පවතිද්දී ඉන්දියාව සිතන පතන ආකාරය ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක ආකාරයට බලපානු ලබනවා යැයි කියාය. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ඉන්දියාව පක්ෂපාතී අපේක්ෂකයා ලංකාවේ දිනන අපේක්ෂකයා යැයි කියාය. කිසිවෙකුත් මෙම කතාව ප්‍රසිද්ධියේ නොකීවද අතීතයේ සිටම දේශපාලනය හැසිරෙන ආකාරය දන්නා පුද්ගලයන් නම් ඉන්දියාවේ හැසිරීම ලංකාවේ දේශපාලනයට අතිශය තීරණාත්මක බව නොදන්නවා නොවේ.
එමෙන්ම මෙවර ලංකාවේ පැවැත්වෙන්නේ අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයක් බව අමුතුවෙන් නොකිවමනාය. මේ පැවැත්වෙන්නේ රට බංකොලොත් කළ ආර්ථික අර්බුදයකින් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණයය. මේ පැවැත්වෙන්නේ 69 ලක්ෂයක ජනතා ඡන්දයකින් බලයට ආ විධායක ජනාධිපතිවරයකු ජන බලයෙන් පලවා හැරීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජනාධිපතිවරණයය. පසුගිය වසර දෙක තුළ සමහරු පෝලිම් නැති කළ බව කියමින් අද මහ ලොකුවට ලකුණු දමාගන්නට උත්සාහ කළද ඒ පෝලිම් නැතිකිරීමේ ප්‍රධාන හවුල්කරුවා වන්නේ වෙන කවුරුවත් නොව අසල්වැසි ඉන්දියාවය. එදා ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන නැවක් ගැනීමට, ආහාර ආනයනය කිරීමට, ඖෂධ ආනයනය කිරීමට නොහැකිව ජනතාව දින ගණන් ඉන්ධන, ගෑස්, ඖෂධ පෝලිම්වල නිදි වරද්දී ලංකාවේ පිහිටට ආවේ වෙන කවුරුවත් නොව ඉන්දියාවය. එවක ගෝඨා රජයේ සිටි මුදල් අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් එරට බලධාරීන් සමග සාකච්ඡා කොට ඩොලර් බිලියන 4ක ණය මුදලක් අනුමත කරගැනීමට සමත් වීම ඊට හේතුව විය. නමුත් එම මුදල ලංකාවට ලැබී පෝලිම් යුගය හමාර වෙද්දී ගෝඨාත්, ගෝඨාගේ ආණ්ඩුවත් ජනතාව විසින් පලවා හැර තිබිණි. ඒ නිසා අද ඇතැමුන් එය තමන් කළ මැජික් එකක් සේ රටට හුවාදැක්වීමට උත්සාහ කළද, සැබැවින්ම පෝලිම් නැතිවූයේ පුළුවන් යැයි කියන පිරිස් ඉපැයූ මුදල්වලින් හෝ රටට ගෙනා ආයෝජනවලින් නොව ඉන්දියාව ලබාදුන් ඩොලර් බිලියන 4ක ණය මුදලට පිංසිද්ධ වන්නටය. එම නිසා තවදුරටත් ඉන්දියාව සමග හොඳ හිත පවත්වාගෙන යා හැකි සහ ඉන්දියාව සමග හොඳින් ගනුදෙනු කළ හැකි පුද්ගලයකු ලංකාවේ නායකයා වනු දැකීම ඉන්දියාවේ අභිලාෂයය. Sri Lanka Latest News

ජවිපෙ වෙනස

මේ බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් හතර දෙනාම හොඳින් දනී. අතීතයේ සිටම දැඩි ඉන්දීය විරෝධයක පිහිටා කටයුතු කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වැන්නකු පවා සිය පක්ෂයේ නියෝජිතයන් සමග පසුගිය කාලයේ ඉන්දීය සංචාරයක නිරත වූයේත්, අමූල් වැනි ඉන්දීය සමාගම්වල නිරීක්ෂණ චාරිකා කළේත් ඒ හේතුව නිසාය. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරද්දී ඉන්දියාවට එරෙහිව ලංකාවේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේ ජවිපෙය. එදා පළාත් සභා ක්‍රමයට සහ ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධව ඔවුන් රට ඇතුළේ දැඩි විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියේය. 88-89 සමයේ තවදුරටත් මෙම ඉන්දීය විරෝධය කුළුගන්වමින් ඉන්දීය පරිප්පු පවා වර්ජනය කළ යුතු බව ජවිපෙ කියා සිටියහ.
එදා ඒ ආකාරයට දැඩි ඉන්දීය විරෝධයක පිහිටා කටයුතු කළ ජවිපෙ, එම ඉන්දීය විරෝධී හැව පිස හැර ටයිකෝට් ඇඳ වාමවාදී ප්‍රතිපත්ති පැත්තකට දමා අවසානයේදී ඉන්දීය සංචාරයක නිරත වෙමින් ඉන්දියාව ඉදිරියේ දණ නැමුවේ මෙම සත්‍යය හොඳහැටි වටහාගෙනය. නැතහොත් ඉන්දියාව නොමැතිව කිසිවක් කරකියාගත නොහැකි බව හොඳහැටි දැනගෙනය.

රනිලුත් ට්‍රයි කළා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එසේමය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්දවලින් ජනාධිපති වූ අවස්ථාවේ සිටම උත්සාහ කළේ ඉන්දීය සංචාරයක නිරත වීමටය. අවස්ථා ගණනාවක උත්සාහ කළද ඒ කිසිදු උත්සාහයක් සාර්ථක නොවූ තැන අවසානයේ ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදි ජයග්‍රහණය කළ පසු එරට සංචාරයක නිරතව මෝදිට සුබපතා ඔහුට ලංකාවට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා ආරාධනා කළේය. ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබුණේ අගෝස්තු මාසයේ දී පමණ මෝදිව ලංකාවට ගෙන්වාගෙන ඔහු සිටින වේදිකාවේදීම තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට වූ නිල ප්‍රකාශය සිදුකිරීමටය. මේ බව වැටහීදෝ ලංකාවට එන ආරාධනය පිළිගත්තද, ජනාධිපතිවරණය අවසන් වනතෙක් ලංකාවේ සංචාරය නොකිරීමට මෝදි තීන්දු කර තිබිණ. මේ බව අප එවකදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමටද පියවර ගත්තෙමු.

නාමල් චීනය අතහරී

මීට අමතරව අතීතයේ සිටම රාජපක්ෂ පවුල සැලකෙන්නේ ඉන්දියාවට වඩා චීන හිතවාදී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ දේශපාලන පවුලක් ලෙසටය. මහින්ද ජනාධිපති ධුරය හොබවද්දී මේ රටේ ඉන්දීය ආයෝජනවලට ලොකු තැනක් තිබුණේ නැති තරම්ය. එවක සිදුවූ දැවැන්ත ණය ආයෝජනයන් ලෙස සැලකුණු හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රීඩාංගනය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නෙලුම් කුලුන ආදී සියලු ව්‍යාපෘති එදා සිදුකෙරුණේ චීනයෙන් ලැබුණු ණය මුදල්වලින්ය.

මෙවැනි පසුබිමක් රාජපක්ෂ පවුල තුළ පැවැතියද ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට නාමල් තීරණය කිරීමත් සමග ඊට අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා ඉන්දියාව සමග සමීප මිත්‍රත්වයක් පවත්වා ගැනීමට නාමල් පියවර ගත්තේය. ප්‍රසිද්ධියේ ඉන්දීය ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයකු වූ අම්බානිගේ පුත්‍රයාගේ මංගලෝත්සවයට සහභාගි වීම සඳහා ඉන්දියාවට ගියද, නාමල් අප්‍රසිද්ධියේ අවස්ථා ගණනාවකදීම ඉන්දියාවට ගොස් එරට ප්‍රබලයන් මුණගැසී සාකච්ඡා පැවැත්වූ බව දැන සිටියේ අතේ ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයකි. මීට අමතරව අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කිරීමට පෙර සහ පසුවද නාමල් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ සන්තෝෂ් ජා මහතා මුණගැසී දෙපාර්ශ්වය අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීමට පියවර ගෙන තිබිණි. ඒ හරහා නාමල් පෙන්වා දුන්නේ අතීතයේ සිය පවුල චීන හිතවාදී ස්ථාවරයක සිටියද, මේ වනවිට එම ස්ථාවරයෙන් බැහැරව ඉන්දීය හිතවාදී ස්ථාවරයක සිටින බවය.

සජිත් යන්නෙ නැත්තෙ ඇයි?

මේ ආකාරයට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකුම ප්‍රසිද්ධියේ සහ හැංගි හොරා ඉන්දීය වන්දනාවේ යද්දී සජබය ඇතුළේ ලොකු කැළඹිල්ලක් හටගත්තේ සජිත් ඒ ආකාරයෙන් ඉන්දීය වන්දනාවේ නොයෑම හේතුකොටගෙනය. එහිදී සජබ මන්ත්‍රීවරුන් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන්ද සජිත්ට කියා සිටියේ වහාම ඉන්දීය නායකයන් මුණගැසී සාකච්ඡා පවත්වන ලෙසටය. එසේ නොමැති නම් ඉන්දියාවේ සංචාරය කොට සජබයද ඉන්දියාව සමග සමීප සම්බන්ධතාවන් පවත්වන බව රටට පෙන්වන ලෙසටය. විශේෂයෙන් අනුර ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු කෙසේ හෝ ඉන්දියාවේ සංචාරය කරන ලෙස සජිත්ට විවිධ පාර්ශ්වවලින් දැඩි බලපෑමක් එල්ල වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් ඒ කිසිවකට සජිත් කලබල වූයේ නැත. තමාට කතා කළ බොහෝ පාර්ශ්වයන්ට සජිත් කියා සිටියේ කලබල නොවී කටයුතු කරන ලෙසත්, තමන් ඉන්දියාව සමග ඉතා හොඳ දේශපාලන ගනුදෙනුවක සිටින බවත්ය. නමුත් සජිත්ගේ මේ ඉවසිලිවන්තභාවය නොඉවසූ ඇතැමුන් පක්ෂය ඇතුළේ සජිත්ට බැණවැදුණද සජිත් ඒ කිසිවකට පිළිතුරු දීමට නොගියේ කිසිවකු නොදන්නා ඉතා සමීප හිතවත්කමක් ඒ වනවිටත් ඔහු ඉන්දීය බලධාරීන් සමග පවත්වාගෙන ගිය නිසාය. නමුත් ජනාධිපතිවරයා හැම මොහොතකම කියන්නාක් මෙන් තමන්ට ජාත්‍යන්තර සබඳතා තිබෙනවා, තමන්ට ජාත්‍යන්තරයෙන් ආධාර ගෙන ඒමට පුළුවන් වැනි කතා සජිත් නිකමටවත් කියන්නට ගියේ නැත. කෙසේ වෙතත් දෝවාල් පැමිණියේ මෙවැනි පසුබිමක් රට ඇතුළේ පවතිද්දීය.

ඉන්දියාව වැදගත් ඇයි?

ඉන්දීය සාධකය මේ තරමටම ශ්‍රී ලංකාවේ මැතිවරණවලට බලපානු ලබන්නේ වෙන කිසිවක් නිසා නොව, මෙරට දෙමළ මුස්ලිම් ඡන්ද කෙරෙහි ඉන්දියාවේ බලපෑම බෙහෙවින්ම ඉහළ මට්ටමක තිබීම නිසාය. සාමාන්‍යයෙන් ජාතික මැතිවරණයකදී විශේෂයෙන් මෙරට දෙමළ පක්ෂ නායකයන් සිය අවසන් තීන්දුව ගනු ලබන්නේ ඉන්දියාවේ අනුදැනුම මත බව බොහෝ දෙනාගේ අදහසය. සාමාන්‍යයෙන් උතුරේ ඡන්ද ලක්ෂ 10ක් සහ නැගෙනහිර ඡන්ද ලක්ෂ 10ක් පවතින අතර, වතුකරයේ ඡන්ද ලක්ෂ 8ක ප්‍රමාණයක් පවතී. එම නිසා මේ කියන සුළුජාතික ඡන්ද ලක්ෂ 28ක ප්‍රමාණය ජාතික මැතිවරණයකදී ඉතා තීරණාත්මක සාධකයක් වන අතර, බොහෝ දුරට එය හැසිරෙනු ලබන්නේ ඉන්දියාවේ අනුදැනුම මත බවද බොහෝ දෙනා සඳහන් කරන කාරණයකි.

මුලින්ම හමුවුණේ සජිත්ව

ඒ කෙසේ වෙතත් දෝවාල් ලංකාවට පැමිණි සැණින් ඉන්දියාවේ පළමු සංඥාව ලබාදෙමින් මුලින්ම හමුවීමට යොදාගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවය. අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ දෙදෙනා අතර මුහුණට මුහුණ ඉතා තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වී ඇති බවත්, එම සාකච්ඡාව සජිත්ගේ පැත්තෙන් ඉතා සාර්ථක එකක් වී ඇති බවත්ය. එමෙන්ම දෝවාල් සාකච්ඡාව අවසන් කොට ඇත්තේ ජයග්‍රහණය කිරීමෙන් පසු පළමු වරට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ලෙසට සජිත්ට නිල ආරාධනාවක්ද කරමින් බව දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් ඔවුන් නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින බවත් දෝවාල් එහිදී සඳහන් කොට ඇති බවක් ආරංචිය.

ජනපතිගේ හමුව

දෝවාල් සිය දෙවැනි හමුවීම යොදාගත්තේ ජනාධිපතිවරයා සමගය. මෙහිදී ජනාධිපතිවරයා ඉන්දියාව සමග ඇති යම් යම් මතභේද දුරුකර ගැනීම සඳහා විශාල උත්සාහයක් ගෙන තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. විශේෂයෙන්ම අවසන් කරන බවට පොරොන්දු වී තිබියදීත් මෙතෙක් අවසන් කිරීමට නොහැකි වූ ඉන්දීය ව්‍යාපෘති සහ ගිවිසුම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඒවා ඉතා ඉක්මනින් අවසන් කරන බව දෝවාල්ට දැනුම් දී අති බවක්ද ආරංචිය. නමුත් අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡාවේදී ගිවිසුම් අස්සන් කිරීම සඳහා ජනාධිපතිවරයාට තිබූ හදිසිය ඉන්දියාව පැත්තෙන් දකින්නට නොලැබුණු බවය. එම නිසා දෝවාල් එම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රතිචාර දක්වා නොමැති බවක්ද ආරංචිය. එම නිසා ජනාධිපතිවරයා සහ දෝවාල් අතර පැවැති සාකච්ඡාව අවසන් තීරණයකින් තොරවම නිමාවී ඇති බවක්ද දැනගන්නට ඇත.
ඉන් පසුව දෝවාල් නාමල්ව මුණගැසීමටද පියවර ගත්තේය. මෙම සාකච්ඡාවේදී නාමල් ඉදිරි කාලයේදී ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට තමන් සූදානම් බව දෝවාල්ට දැනුම් දී ඇති බවක් දැනගන්නට තිබේ.

අනුරලා මත දෙකක

අනෙක් ප්‍රධාන අපේක්ෂකයා වූ අනුර හමුවීම සඳහා දෝවාල් කාලවේලාව වෙන්කර තිබුණේ ඉන් පසුවය. ඒ අනුව අනුරට සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස ආරාධනා කළද, මුලින්ම එම ආරාධනාවට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට ජවිපෙ කටයුතු කර නොතිබිණි. ඒ, මෙම ආරාධනාව ලැබීමත් සමග අනුරලාගේ පැත්තෙන් ඊට සහභාගි විය යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් මත දෙකක් පක්ෂය ඇතුළේ ඉදිරිපත් වීම නිසාය. මෙහිදී සාකච්ඡාවට සහභාගි නොවිය යුතු බවට තර්කයක් ගෙන ආ පිරිස් පෙන්වා දුන්නේ ඉකුත් වතාවේ අනුර ඉන්දියාවේ කළ සංචාරය හරහා කිසියම් ඍණාත්මක බලපෑමක් සමාජය තුළ ගොඩනැගුණු බවකි. විශේෂයෙන්ම කාලයක් පුරා ඉන්දීය විරෝධී මතයක් නියෝජනය කොට ඉන් පසුව හිටිහැටියේම ඉන් ඉවත්ව ඉන්දියාව සමග සමීප සබඳතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කිරීම හරහා පක්ෂ සාමාජිකයන්ගේ යම් යම් ප්‍රශ්න කිරීම්වලට පක්ෂයට මුහුණදීමට සිදුවූ බවද එම පිරිස පෙන්වා දී තිබිණි. එම නිසා ඉක්මන් තීන්දුවකට නොගොස් අදාළ සාකච්ඡාව පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂය ඇතුළේ සාකච්ඡා කළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි.

මීට අමතරව සාකච්ඡා සඳහා සහභාගි විය යුතු බව ප්‍රකාශ කළ පිරිස් පෙන්වා දී තිබුණේ යම් හෙයකින් අනුර-දෝවාල් අතර සාකච්ඡාව සිදු නොවුණහොත් ඉන්දියාවේ සහාය අනුරට නොමැති බවට වූ මතයක් සමාජය ඇතුළේ පැතිරිය හැකි බවත්, එය අහිතකර අයුරින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයටද බලපෑ හැකි බවත්ය. එම නිසා කුමන තත්ත්වයක් යටතේ වුවද මෙම සාකච්ඡාවට සහභාගි විය යුතු බව ඔවුන්ගේ මතය විය. ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ දෝවාල්ගේ ආරාධනය පිළිගෙන එම සාකච්ඡාවට සහභාගි වීමටය.

ඒ අනුව, දෙපාර්ශ්වය අතර පැවැත්වුණු මෙම සාකච්ඡාව ඉතා සුහද ස්වභාවයක් ගත් අතර දෝවාල් මෙහිදී වැඩි වශයෙන් අදහස් ප්‍රකාශ කොට තිබුණේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු විය යුතු බවට වූ ස්ථාවරයක සිටය. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බව කී දෝවාල්, යම් හෙයකින් ලංකාව ඇතුළේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් සිදුවුවහොත් එය ඉන්දියාවටද අහිතකර ලෙස බලපාන බව කියා සිටියේය. එම නිසා කුමන තත්ත්වයක් යටතේ වුවද ලංකාව දිගටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ රැඳී සිටිය යුතු බව ඔහුගේ ස්ථාවරය වී තිබිණි.

සුලු පක්ෂ නායක හමුව

ප්‍රධාන අපේක්ෂකයන් සමග පැවැති මෙම සාකච්ඡාවලින් පසුව දෝවාල් මෙරට විපක්ෂයේ සියලු සුළු පක්ෂ නායකයන් හමුවීමට පියවර ගත්තේය. ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, වතුකරය නියෝජනය කරන පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් හමුවී දේශපාලන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෝවාල් කටයුතු කළේය. මෙහිදී අපට ඇති තොරතුරුවලට අනුව මෙම සාකච්ඡාවේදී දෝවාල් රිෂාඩ් – හකීම් ඇතුළු නියෝජිතයන්ගෙන් විමසා ඇත්තේ ජනාධිපතිවරණයේ තරගය ඇත්තේ කුමන අපේක්ෂකයන් අතරදැයි කියාය. එහිදී රිෂාඩ් මෙන්ම හකීම්ද දෝවාල්ට දැනුම් දී අත්තේ උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම දකුණේ ජීවත් වන අතිබහුතරයක් වූ මුස්ලිම් ජනතාව සජිත්ට ඡන්දය භාවිත කිරීමට තීරණය කොට ඇති බවත්, සමාජ මාධ්‍ය විශාල වශයෙන් අනුරට සහාය දක්වන තැනක සිටින බවත්ය. ඒ කෙසේ වෙතත් සජිත්ට නිසැක වශයෙන්ම මෙම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව හකීම් සහ රිෂාඩ් එහිදී දෝවාල්ට පෙන්වා දී තිබිණි. දිගම්බරම් සමග පැවැති සාකච්ඡාවේදී වතුකරයේ තත්ත්වය පිළිබඳ විමසද්දී දිගම්බරම් පැහැදිලිවම දෝවාල්ට දැනුම් දී සිටියේ වතුකරයේ 90%ක පමණ ජනතාවක් සජිත්ට සහාය පළකිරීමට දැනටමත් තීන්දු කොට අවසන් යැයි කියාය.

තීරණාත්මකම සුමන්තිරන්

දෝවාල්ගේ සංචාරයේ ඊළඟ තීරණාත්මක සාකච්ඡාව පැවැත්වුණේ ඉන් අනතුරුවය. ඒ, ජනාධිපතිවරණයේ මෙතෙක් සහාය ලබාදිය යුතු අපේක්ෂකයා තෝරාගැනීමට නොහැකිව වැට උඩ සිටි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමුවීමය. මෙම සාකච්ඡාවට උතුරේ දෙමළ සන්ධාන නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණු අතර ඊට එම්.ඒ. සුමන්තිරන්, ශ්‍රීධරන්, අඩෙක්කලනාදන්, සිද්ධාර්තන් ඇතුළු කණ්ඩායමක් සහභාගී වි සිටි ආකාරයක් දැකගත හැකිවිය. නමුත් මාවෙයි සේනාධිරාජා සහ එස්. කජේන්ද්‍රන් එම සාකච්ඡාවට එක්ව සිටියේ නැත.

මෙහිදී මුලින්ම දෝවාල් දෙමළ මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේ උතුරේ ඡන්දය කෙසේ භාවිත කරන්නේදැයි කියාය. එමෙන්ම දකුණේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකුට සහාය නොදී උතුරේ දෙමළ පොදු අපේක්ෂකයකු නම් කළේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී දෝවාල් දෙමළ සන්ධාන නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. මෙහිදී සුමන්තිරන් පැහැදිලිවම කියා සිටියේ උතුරෙන් පොදු අපේක්ෂකයකු නම්කිරීම සම්බන්ධයෙන් තම පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ බවත්, එක් කණ්ඩායමකගේ වුවමනාවකට අනුව එසේ උතුරෙන් පොදු අපේක්ෂකයකු නම්කිරීමට කටයුතු කොට ඇති බවත්ය.

ඉන් අනතුරුව උතුරේ ඡන්ද ප්‍රතිශතය සම්බන්ධයෙන්ද දෝවාල් දෙමළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. මෙහිදී දෙමළ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබුණේ සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 8%ක පමණ ප්‍රමාණයක් උතුරේ ඇති බවත්, මෙවර මැතිවරණයේදී එය ඉතා තීරණාත්මක සාධකයක් වනු ඇති බවත්ය.

8%කින් දිනන්න පුලුවනද?

මන්ත්‍රීවරුන්ගේ එම ප්‍රකාශයත් සමග දෝවාල් කියා සිටියේ උතුරේ 8%ක ඡන්ද ප්‍රතිශතය මෙවර ජානාධිපතිවරණයේදී තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් නම්, එම 8%න් දෙමළ ජනාධිපතිවරයකු බිහිකර ගන්නේ කෙසේදැයි කියාය. ඒ අනුව දෝවාල් කියා සිටියේ එය දෙමළ ජනතාවගේ ඡන්ද මේ අවස්ථාවේදී අපතේ යවන වැඩක් යැයි කියාය.
මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි ශ්‍රීධරන් උතුරේ පොදු අපේක්ෂකයාට සහාය දක්වන බවට ඒ වන විටත් ප්‍රකාශයට පත්කොට තිබිණි. කෙසේ වෙතත් සාකච්ඡාවට තරමක් ප්‍රමාද වී පැමිණි ශ්‍රීධරන් තමන්ට ලන්ඩනය බලා යෑමට සිදුව ඇති බව කියමින් රැස්වීමෙන් කල් තියාම පිටව යාමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් සිද්ධාර්ථන් කියා සිටියේ පසුගිය කාලයේ බලයට පත්වූ කිසිදු ජනාධිපතිවරයකු උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පියවර නොගත් බවකි. එම නිසා උතුරේ කණ්ඩායමක් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බව සිද්ධාර්ථන් කියා සිටියේය. එහිදී දිගින් දිගටම අදහස් දැක්වූ එස්. කජේන්ද්‍රන් මන්ත්‍රිවරයා පෙන්වා දී තිබුණේ 13 වැනි සංශෝධනය ලබාදීමට ඉන්දියාව පියවර ගත්තද එය ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව සහාය දැක්වූයේ නැතැයි කියාය. එම නිසා 13 වැනි සංශෝධනය අසාර්ථක බවත්, එය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව මැදිහත් විය යුතු බවත් ගජේන්ද්‍රන් ප්‍රකාශ කළේය. එපමණක් නොව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නම් ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දුන් ගජේන්ද්‍රන් ඒකීය රාජ්‍යයක් මත පිහිටා මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවද දෝවාල්ට පෙන්වා දුන්නේය.

ප්‍රශ්නය මගහරී

ඉන් අනතුරුව නැවතත් දෝවාල් උතුරේ පොදු අපේක්ෂකයාගේ ප්‍රශ්නය විමසද්දී සිද්ධාර්තන් සහ අඩෛක්කලනාදන් එම ප්‍රශ්නය මඟහැරීම සඳහා උතුරේ ධීවර ප්‍රශ්නය පිළිබඳ දිගින් දිගටම අදහස් දැක්වීමට පියවර ගත්තේය. සිද්ධාර්තන්ගේ සහ අඩෛක්කලනාදන්ගේ එම අදහස් දැක්වීමෙන් පසු කතාකිරීම ආරම්භ කළේ සුමන්තිරන්ය. මෙහිදී සුමන්තිරන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වටිනාකම සහ ප්‍රධාන අපේක්ෂකයකුට සහාය දැක්වීමේ වටිනාකම පිළිබඳ කරුණෙන් කරුණ දොවාල්ට ගෙනහැර දක්වමින් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. තමන් නියෝජනය කරන තමිල් අරසු කච්චි පක්ෂය ගනු ලබන තීන්දුව සම්බන්ධයෙන් වන සාකච්ඡාවල අවසන් අදියරේ සිටින බව එහිදී දෝවාල්ට පෙන්වා දුන් සුමන්තිරන්, පක්ෂ මතයට පිටින් යමින් පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ අරියනේත්‍රන් හට විනය පියවර ගැනීමට පක්ෂය තීරණය කොට ඇති බවද කියා සිටියේය.

ඉන්දියාවේ තීරණය

ඒ අනුව, මේ සියලු දෙනාගේම අදහස් සාවධානව අසා සිටි දෝවාල් අවසානයේදී උතුරේ මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමට පියවර ගත්තේය.
‘මට තේරෙන විදියට නම් මේ උතුරේ දෙමළ නායකයන් ඔක්කොම එක මතයකට ඇවිත් දකුණේ එක් අපේක්ෂකයෙක් දිනවන මෙහෙයුමේ ප්‍රධාන බලවේගයක් වෙන්න ඕනේ. එතකොට තමයි දෙමළ ජනතාවට ඒකෙන් වාසියක් වෙන විදියට වැඩක් කරගන්න පුළුවන්. ඒ හින්දා මේ දෙමළ ජනතාවගේ ඡන්දයට වටිනාකමක් ලැබෙන විදියට වැඩ කරන්න. දෙමළ ජනතාවගේ ඡන්ද අපතේ යවන්න එපා..’ යන්න එහිදී දෝවාල් දෙමළ මන්ත්‍රීවරුන්ට දුන් පණිවුඩය විය.

විශේෂ අමුත්තෙක්

මේ සියලු හමුවීම්වලට අමතරව තවත් එක්තරා විශේෂ පුද්ගලයකු හමුවීමටද දෝවාල් පියවර ගත්තේය. ඒ වෙන කවුරුවත් නොව, පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂය. වෙනත් කිසිදු පුද්ගලයකු නොමැතිව දෙදෙනා අතර පමණක් පැවැති මෙම සුවිශේෂ සාකච්ඡාවේදී අතිශය තීරණාත්මක දේශපාලන කරුණු රැසක්ම සාච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ජනපති කඳවුර හෙල්ලෙයි

මේ ආකාරයට සිය දින දෙකේ සංචාරය අවසන් කොට දෝවාල් ඉන්දියාව බලා පිටත්ව ගියද, දෝවාල්ගේ ලංකා ගමනේ ප්‍රතිඵල පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් ප්‍රකාශයට පත්වන බවක් දැකගන්නට ලැබිණි. ඒ, දෙමළ සන්ධානය උතුරේ රැස්වී මෙවර සිය පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කළ බව ප්‍රකාශයට පත්කිරීමත් සමගය. පසුගිය සෙනසුරාදා දිනයේදී පැය 5ක් පුරා පැවැති ඉතා තීරණාත්මක සාකච්ඡාවකින් පසු අවසානයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සුමන්තිරන් කියා සිටියේ තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහාය ලබාදීමට ඒකමතිකව තීන්දු කළේ යැයි කියාය. සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශයත් සමග හිටි හැටියේම මුළු දේශපාලනයම උඩුයටිකුරු වී ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේය. ඊට හේතු වූයේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පාර්ශ්වය තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය තමන්ට ලැබෙනු ඇති බවට 100%ක් විශ්වාස කොට තිබීම නිසාය. අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා එජාප නියෝජිතයන්ටත්, පොහොට්ටුවෙන් ආණ්ඩුවට පැමිණි මැති ඇමැතිවරුන්ටත් අවධාරණය කොට තිබුණේ සුමන්තිරන්ලාගේ සහාය තමන්ට හිමිවනවා යැයි කියාය. නමුත් සුමන්තිරන් කළ ප්‍රකාශයත් සමග ජනාධිපතිවරයාගේ වටේ සිටින කණ්ඩායම පමණක් නොව, ජනාධිපතිවරයා පවා හතරගාතේ දා ඇදවැටුණු ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, මෙවර ජනාධිපතිවරණයේදී දකුණේ ඡන්දවලට වඩා ජයග්‍රාහකයා තීරණය කරන සාධකය බවට උතුරු නැගෙනහිර ඡන්ද පත්ව තිබීම නිසාය.

මාවෙයි අල්ලාගනී

මේ ආකාරයට සුමන්තිරන්ලාගේ තීන්දුවෙන් සමගි ජන බලවේගය මහත් උද්දාමයට පත්වෙද්දී ඒ ජයග්‍රාහී මානසිකත්වය කඩාබිඳ දැමීම සඳහා කළ හැක්කේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන්ද මෙහෙයුමක් දියත් කොට තිබිණි. ඒ අනුව ඔවුන්ට දැනගන්නට ලැබුණේ තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රධාන සාමාජිකයකු වන මාවෙයි සේනාධිරාජා මෙම තීන්දුව සම්බන්ධයෙන් අප්‍රසාදය පළකොට ඇති බවකි. ඒ අනුව වහා ආණ්ඩුව පැත්තෙන් විවිධ පුවත් වාර්තා කිරීමට පටන්ගත් අතර, දකුණේ එක්තරා ප්‍රකට ටීවී නාලිකාවක් මගින් ඊට විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. කිසිදු මූලාශ්‍රයක් නොමැතිව එම නාලිකාව පුවතක් පළකරමින් කියා සිටියේ මාවෙයි සේනාධිරාජා මෙම තීන්දුව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, ඔහු එම තීන්දුවට විරෝධය පළකොට ඇති බවත්ය. ඒ අනුව මෙම නාලිකාවේ පළකළ පුවතට එජාපයට සහ මාලිමාවට සමීප සමාජ මාධ්‍ය ජාල හරහා විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගෙන තිබිණි.

මහලේකම්ගේ නිවේදනය

කෙසේ වෙතත් ඒ මොහොතේම තමිල් අරසු කච්චි පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් මහතා වහාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එදින පැවැති පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමට මාවෙයි සේනාධිරාජා සහභාගි නොවූ නමුත් එම තීන්දුව සම්බන්ධයෙන් කල් තියා ඔහු දැනුවත් කොට තිබූ බවකි. ඒ අනුව, ආණ්ඩුව සහ මාලිමාව මහා ඉහළින් ප්‍රචාරයක් ගෙන යමින් ගත් මෝඩ චූන් එක ඒ මොහොතේම බිඳවැටී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් මෙම සිද්ධි මාලාවේ කිසිවකුත් නොදන්නා තවත් විශේෂ තොරතුරු රැසක්ම මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කිරීමට අප සූදානම්ය. සාමාන්‍යයෙන් බොහෝ දෙනා කියන්නේ සජිත් දේශපාලන ගේම් ගහන්න දන්නේ නැතැයි කියාය. දේශපාලන ගේම් ගසා සජිත්ට පුරුද්දක් නැතැයි කියාය. නමුත් මෙම සිදුවීම් මාලාව සිදුවෙද්දීත් සජිත් සිටියේ දකුණේ රැස්වීම් මඳකට නවත්වා උතුරේ සංචාරයක නිරත වෙමින්ය. ඒ, හිටපු විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමගිනි. එහිදී සජිත් ජී.එල්. සමග විවිධ පාර්ශ්ව මුණගැසෙමින්, විවිධ සාකච්ඡා පවත්වමින් තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය තමන්ට ලබාගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කොට තිබිණි. ඒ අතරවාරයේ මාවෙයි සේනාධිරාජාගේ පුවත වාර්තා වූ සැණින් දකුණේ සිටි පිරිස් දිගට හරහට සජිත්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ තත්ත්වය පිළිබඳ ඔහුව දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී සජිත් ඒ කතා කළ සියලු දෙනාටම කියා සිටියේ කිසිවකට කලබල නොවන ලෙසත්, දකුණේ පළවන පුවත් සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසත්ය. එමෙන්ම තව දින දෙක තුනක් ඉවසීමෙන් යුතුව බලා සිටින ලෙසද එහිදී සජිත් ඒ සියලු දෙනාටම දැනුම් දී සිටියේය.

මාවෙයිගේ පුතා සජිත් ළඟ

ඒ අනුව පසුදා උදෑසනම සජිත් රැඳී සිටි හෝටලයට පැමිණියේ වෙන කවුරුවත් නොව මාවෙයි සේනාධිරාජාගේ පුතාය. එසේ පැමිණි මාවෙයිගේ පුතා සජිත් සහ ජී.එල්. සමග ඉතා දීර්ඝ සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගත්තේය. කිසිදු මාධ්‍යයකට වාර්තා නොවූ මෙම පුවත මෙවර අප පළමු වතාවට රටට හෙළිකරන්නේද රාජ්‍ය රහස් තීරය ඔස්සේය. ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ සිය පියා මෙවැනි ප්‍රකාශයක් සිදුකොට ඇත්තේ වැරැදි වැටහීමකින් සහ තොරතුරු නිවැරැදි ලෙස වාර්තා නොවීම නිසා බව මාවෙයිගේ පුතා සජිත්ට දැනුම් දීමට පියවර ගෙන ඇති බවකි. වෙන කිසිදු ගැටලුවක් සජිත් සම්බන්ධයෙන් සිය පියාට නොමැති බව කී මාවෙයිගේ පුතා, සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය පියා පමණක් නොව, තමන්ද ඉහළින්ම කැපවන බව සජිත්ටත්, ජී.එල්.ටත් දැනුම්දී සිටීමට පියවර ගත්තේය.

මාවෙයි සජිත්ට කතාකරයි

ඉන් අනතුරුව සාකච්ඡාවෙන් නික්ම ගිය මාවෙයිගේ පුතා පසුව මාවෙයි සහ සජිත් අතර දුරකතන සංවාදයක් පැවැත්වීමට අවස්ථාව ලබාදීමටද පියවර ගෙන තිබිණි. එහිදීද මාවෙයි සජිත්ට කියා සිටියේ පක්ෂය සහ තමන් අතර නිවැරැදි අයුරින් තොරතුරු සන්නිවේදනය නොවීම නිසා එවැනි ප්‍රකාශයක් සිදුකළ බවත්, තමන් 100%ක්ම පක්ෂයේ මතයට එකඟව කටයුතු කරන බවත්, ඉදිරියේදී සිය සහයෝගය සජිත්ට ලබාදීමට පියවර ගන්නා බවත්ය. මෙය එදින උතුරේ මාධ්‍ය හමුවේද ප්‍රකාශ කිරීමට මාවෙයි කටයුතු කළේය. ඒ අනුව, තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහාය ලබාදීමට තීන්දු කිරීමේදී පක්ෂය දෙකඩ වී ඇති බවට කියමින් මෝඩ චූන් එකක් ගත් එජාප සහ මාලිමා නියෝජිතයන්ගේ ඒ මෝඩ චූන් එක පැය 24ක් යාමට මත්තෙන් බිමටම සමතලා වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

මීට අමතරව උතුරේ රැඳී සිටි දින කිහිපයේදී තවත් අතිශය තීරණාත්මක සහ රහසිගත හමුවීම් රැසක්ම සජිත්, ජී.එල්. හා විවිධ පිරිස් අතර සිදුව තිබිණි. එමෙන්ම ජී.එල්., සජිත් හා දෙමළ නායකයන් අතර අතිශය තීරණාත්මක දුරකතන ඇමතුම් කිහිපයක්ම පවත්වා ඇති බවක්ද ‘රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව අප මෙවර ඉතා වගකීමකින් යුතුව කියා සිටින්නේ මැතිවරණයට දින ළංවත්ම කවුරුත් නොසිතන ආකාරයේ දැවැන්ත දේශපාලන පෙරළි ගණනාවක්ම උතුරු නැගෙනහිර පළාත්වලින් වාර්තා වීමට නියමිතව ඇති බවකි. උතුරේ ගත කළ දින දෙක තුළ සජිත් සහ ජී.එල්. ඊට අවශ්‍ය සියලු පසුබිම මේ වනවිටත් සකස් කොට අවසන් බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මේ ආකාරයට තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය ලබාගැනීමෙන් අනතුරුව සජිත් ඊළඟට ගියේ ප්‍රභාකරන්ගේ බළකොටුව වූ මුලතිව්හි රැස්වීමක් ආමන්ත්‍රණය කිරීම සඳහාය. එම රැස්වීම කෙතරම් සාර්ථක එකක් වූවාද කියනවා නම් ගණන් හිලව්වලින් කියැවෙන්නේ මුලතිව් ඉතිහාසයේ පැවැති අතිදැවැන්තම දේශපාලන රැස්වීම එය යැයි කියාය. ඒ අනුව සජිත් උතුරේ සංචාරය මුලතිව් රැස්වීමෙන් අවසන් කොට අනෙකුත් රාජකාරි සඳහා පිටව ගියද, තවත් දින කිහිපයක් ජී.එල්. පීරිස් මහතා උතුරේ නවතා ඒමට කටයුතු කොට තිබිණි. ඒ, තවත් දේශපාලන පෙරළි රැසකටම අවශ්‍ය පසුබිම ජී.එල්. හරහා සකස් කිරීම සඳහාය.

දාපු ඩීල් එළියට ආවා

පසුගිය කාලය පුරාම ජවිපෙ සහ මාලිමාව නියෝජනය කරන පිරිස් සජිත් – රනිල් ගනුදෙනුවක් පිළිබඳවත්, රනිල් – සජිත් එකතු වීමක් පිළිබඳවත් නිරතුරුවම සමාජයේ කතා කළහ. සමාජ මාධ්‍යවල තොරතුරු බෙදාහැරියහ. ඒ හරහා ඔවුන් උත්සාහ කළේ රනිල් – සජිත් එකතු වෙන බව කියා සජිත්ට වැටෙන ඡන්ද අධෛර්යමත් කිරීමය. නමුත් ඇත්ත වශයෙන්ම මේ කටකතාවලට පිළිතුරු දෙමින් සජිත් සහ සජබ මන්ත්‍රීවරුන් පැහැදිලිවම කියා සිටියේ රනිල් සමග හෝ එජාපය සමග කිසිදු අවස්ථාවක කිසිදු දේශපාලන ගනුදෙනුවක් සිදුකරන්නේ නැතැයි කියාය.

කෙසේ වෙතත් මේ ආකාරයට මාලිමාව පැත්තෙන් රනිල් – සජිත් ඩීල් එකක් ගැන කටකතා පැතිරුවද ඇත්ත වශයෙන්ම සැබෑ ඩීල් එක පැවැතියේ රනිල් – සජිත් අතර නොව, රනිල් සහ අනුර අතරය. ඒ බව පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම පැහැදිලිවම දැකගන්නට ලැබුණද, කිසිවකුත් ඒ පිළිබඳ එළිපිට කතාකරන්නට ගියේ නැත. විශේෂයෙන්ම රනිල්ගේ අතිසමීපතමයකු වන මලික් සමරවික්‍රම මහතා සමග අනුර කුමාර දේශපාලන ගනුදෙනු සිදුකරන බවටත්, මහනුවර මලික්ගේ නිවසේදී නිතර නිතර හමුවන බවටත් කටකතා පැතිර ගොස් තිබිණි. නමුත් මේ කටකතා පිළිබඳ කිසිවකු ප්‍රසිද්ධියේ කතාකරන්නට නොගියත් ජවිපෙ පැත්තෙන් නම් රනිල් – සජිත් ඩීල් එක පිළිබඳ ජයටම කතාකරන ආකාරයක් දැකගන්නට ලැබිණි.

රනිල්-අනුර ඩීල් එක

නමුත් මේ වනවිට රනිල් – අනුර ඩීල් එක පිළිබඳ සාධක සාක්ෂි සහිතවම සමාජයට නිරාවරණ වීමට පටන්ගෙන තිබේ. ඒ, පසුගියදා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම සජිත් පරාජය වන බවටත්, අනුර – සජිත්ව ඉක්මවා යන බවටත්, සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් හා සමාන බවටත් මහියංගනයේදී කළ ප්‍රසිද්ධ ප්‍රකාශය නිසාය. මේ හරහා පැහැදිලිවම ජනාධිපතිවරයා අනුරට සහාය දක්වන ස්ථාවරයක සිට අදහස් පළකරනු දැකගත හැකි විය. එමෙන්ම අනුරට ආණ්ඩුවේ මාධ්‍යවල විශාල ඉඩකඩක් දෙන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, කෙළින්ම අනුරව රාජ්‍ය මාධ්‍ය වෙත ගෙන්වා අදහස් දැක්වීමේ අවස්ථාව පවා ලබාදෙන ආකාරයක් දැකගත හැකි විය. මෙය මෙතුවක් කල් කිසිදු ජනාධිපතිවරණයක දක්නට නොලැබුණු විශේෂ සිදුවීමකි. ඒ සමගම සජබ ප්‍රධානීන් අනුර රනිල් සමග ඇති අතිශය රහස් ගනුදෙනු එකින් එක එළියට දැමීමට ප්‍රසිද්ධියේම කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය.
එහෙන් දෙනවා මෙහෙන් දානවා

රනිල් අනුර ඩීල් එකේ පළමු සිදුවීම දැකගන්නට ලැබුණේ ආණ්ඩුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබාදීමේ සිදුවීම හරහාය. එහිදී ආණ්ඩුවට හිතවත්ව කටයුතු කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම ඉතා රහසිගත ලෙස ප්‍රතිපාදන ලබාදීම හරහා රනිල් බලාපොරොත්තුවෙන් සිටියේ අවශ්‍ය අවස්ථාවකදී මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කොට ගැනීමටය. නමුත් ඒ ප්‍රතිපාදන ලබාගත් ඇමැතිවරුන් කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බව තහවුරු වීමත් සමග හිටිහැටියේම මාලිමාව පැත්තෙන් එසේ ආණ්ඩුවෙන් ප්‍රතිපාදන ගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් එළියට දැමීමට පියවර ගැනිණි. එසේ මාලිමාවෙන් එම නම් ලැයිස්තුව එළියට ආවේ ආණ්ඩුව විසින් එම නම් ලැයිස්තුව අනුරට ලබාදී තිබීම නිසාය.

රනිල් – අනුර ඩීල් එකේ දෙවැනි උදාහරණය දැකගන්නට ලැබුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බාර් ලයිසන් ලබාදී ඇති බවට එල්ල වූ චෝදනාව මුල්කොට ගෙනය. සජබයේ සිට ආණ්ඩුවට එක්වීම සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මෙසේ බාර් ලයිසන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වුවත්, කිසිදු අවස්ථාවක එම නම් ලැයිස්තුව එළියට පැමිණීයේ නැත. නමුත් බාර් ලයිසන් ගත් බවට චෝදනා එල්ලවී ඇති ඇතැම් සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් නොවන බව වටහාගත් වහාම හිටි හැටියේම එසේ බාර් ලයිසන් ගත් කිහිප දෙනකුගේ නම්ගම් මාලිමාව පැත්තෙන් එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ආණ්ඩුව පැත්තෙන් අනුරට එම නම් ලැයිස්තුව ලබාදී තිබූ බව විපක්ෂයට තහවුරු වී තිබිණ.

කබීර්ගේ ඉඩම් ප්‍රශ්නය

ඉන් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් දෑස් දල්වාගෙන සිටි බලාපොරොත්තුවක් වූයේ කබීර් හෂීම් මහතා ආණ්ඩුවට එක්වනු ඇතැයි කියාය. ඒ, කබීර්ට අයත් ඉඩකඩම් ප්‍රශ්නයක් මුල්කරගෙනය. කබීර් යනු පරම්පරාවෙන්ම අතිවිශාල දේපළක් කෑගල්ලේ හිමි දේශපාලකයෙකි. මැතිනියගේ ආණ්ඩු සමයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හරහා කබීර්ලාට අයත් අක්කර විශාල ප්‍රමාණයක් ආණ්ඩුවට පවරා ගත් අතර, නීත්‍යනුකූලව වෙනත් තැනකින් ඉඩම් ලබාගැනීමේ අවසරය හෂීම් පවුලට තිබිණි. ඒ අනුව කබීර් තමන්ට වෙනත් ස්ථානයක ඉඩමක් ලබාදෙන ලෙස නිසි ක්‍රමවේදයට අනුව ඉල්ලීමක් කොට තිබිණි. යහපාලන ආණ්ඩු සමයේදී එහි එක් කොටසක් කබීර්ට ලැබුණු අතර, තවත් කොටසක් ලැබීමට නීත්‍යනුකූල අයිතිවාසිකම තිබිණි. ඒ අනුව පසුගිය කාලයේදී කබීර් මෙම ඉල්ලීම ආණ්ඩුවට ඉදිරිපත් කළ පසු ආණ්ඩුව පැත්තෙන් උත්සාහ කළේ මෙම ඉල්ලීම දඩමීමා කොටගෙන කබීර්ව ආණ්ඩුවට එක්කොට ගැනීමය. ඒ අනුව අවසානයේදී කබීර්ට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ අදාළ ඉඩම ලබාදිය හැකි බවත්, ඒ සඳහා කබීර් ආණ්ඩුවට එක්විය යුතු බවත්ය. මෙම ඉල්ලීම ලැබුණු වහා දැඩි කෝපයට පත් කබීර්, එම පණිවුඩය ගෙන ආ පුද්ගලයාට කෑගසමින් කියා තිබුණේ, ‘මේවා අපේ ඉඩම්. ඒක අපිට නිල බලයෙන් අයිති වෙන්න ඕන දේවල්. හැබැයි ඒවා පටලවලා මගෙත් එක්ක දේශපාලන ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. ගිහිල්ලා කියන්න මම කීයටවත් ආණ්ඩුවට එන්නේ නැහැ කියලා…’ යැයි කියාය. ඒ අනුව කබීර්ද කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බව ආණ්ඩුවේ ප්‍රධානීන්ට තහවුරු විය.

ඒ සමගම මාලිමාව පැත්තේ නියෝජිතයකු වන වසන්ත සමරසිංහ හදිසියේම මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කබීර් ආණ්ඩුවේ ඉඩමක් ලබාගැනීම සඳහා ලිපියක් ඉදිරිපත් කොට ඇතැයි කියාය. මාධ්‍ය හමුවේ එම ලිපිය කියවමින් වසන්ත සමරසිංහ කළ ප්‍රකාශය හරහා පැහැදිලිවම දැකගන්නට ලැබුණේ කබීර් ආණ්ඩුවට එක් නොවීමේ වෛරය හේතුකොටගෙන ආණ්ඩුව පැත්තෙන් මාලිමාවට අදාළ ලිපිය ලබාදීමට කටයුතු කොට තිබූ බවකි. ඒ හරහාද ආණ්ඩුව සහ අනුරලා අතර ඇති රහස් ගනුදෙනුව හොඳටම දැකගන්නට ලැබිණි.

මීට අමතරව ජනාධිපතිවරයාගේ නුවර පැත්තේ ළඟම හිතවතකු නිරතුරුවම මාලිමාවේ ප්‍රධානියකුට කතාකරමින් ‘අද සජබෙන් තලතා එනවා, අද සජබෙන් මෙයා එනවා, අරයා එනවා’ කියමින් තොරතුරු ලබාදෙන ආකාරයක්ද වාර්තා විය. ඒ අනුව මාලිමාව පැත්තෙන්ද ‘අද සජබෙන් අරයා යනවා, අද සජබෙන් මෙයා යනවා’ යනුවෙන් ආණ්ඩුව පැත්තෙන් ලැබෙන තොරතුරු එළියට දමන ආකාරයක් දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරණ සටන අතිශය තීරණාත්මක කඩඉමකට පැමිණීමත් සමග මෙම රහස් ගනුදෙනු සිදුවන වේගයද විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණ. ඊට බලපා ඇති ප්‍රධාන හේතුවක්ද තිබේ. ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන අවසන් මතවිමසුමක් නිකුත්ව තිබීම නිසාය. මුළු ජාත්‍යන්තරයම පිළිගන්නා සහ දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාම පිළිගන්නා ප්‍රකට ආයතනයක් මගින් මෙම මතවිමසුම සිදුකොට තිබිණ. පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙම ආයතනය සිය අවසන් මත විමසුම ආරම්භ කොට ඇති බවත්, සැප්තැම්බර් මුල් සතියේදී එය අදාළ බලධාරීන්ට ලබාදීමට කටයුතු කරනු ඇති බවත්ය. පළමු වතාවට නාමල්ගේ පැමිණීමත් ඇතුළත් කොට සිදුකරන මෙම මත විමසුම විශේෂ එකක් වනු ඇති බවද අපි එහිදී සඳහන් කොට සිටියෙමු.

මෙන්න අලුත්ම ප්‍රතිපල

ඒ අනුව, මේ වනවිට අදාළ ආයතනය විසින් ලබාදී ඇති අවසන් ප්‍රතිඵලවලට අනුවද සජිත් සිටින්නේ ඉතා පැහැදිලිවම ඉදිරියට පැමිණය. එහි දෙවැනි තැනට පසුගිය සතියේ යම් ඉහළ නැගීමක් ලබාගනිමින් අනුර කුමාර පැමිණ ඇති බව සඳහන් කොට ඇති බව ආරංචිය. නමුත් දෙදෙනා අතර ඡන්ද පරතරය 7%ක් පමණ වන බවත්, සජිත්, අනුරට වඩා 7%කින් ඉහළින් සිටින බවත් ඔවුන් සඳහන් කොට ඇති බවක් දැනගන්නට තිබේ. එමෙන්ම නාමල්ද 7%ක ප්‍රතිශතයක් ලබාගනු ඇති බව එහි සඳහන් කොට ඇති අතර, 15%ක තිබූ ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රතිශතය නාමල්ගේ පැමිණීමත් සමග යම් අඩුවීමේ ප්‍රවණතාවක් දැකගන්නට හැකි බවත් එහි සඳහන් කොට ඇත.

ලීක් කළ වීඩියෝව

මෙම වාර්තාව පැමිණීමත් සමග ආණ්ඩුව ඇතුළේ ලොකු කලබලයක් ඇතිවූ ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි. ඒ සමගම සජිත් සහ සජබය ඉලක්ක කොට සියලු ආචාරධර්ම ඉවතලමින් දැඩි ප්‍රහාරයක් සමාජ මාධ්‍ය හරහා එල්ල කිරීම ආරම්භ වූ ආකාරයක් දැකගත හැකි විය. එහි විශේෂ ඉලක්කය වී තිබුණේ සජබයෙන් ජනාධිපතිවරයා සහ මාලිමාව ඉලක්ක කර දැඩි ප්‍රහාර එල්ල කරන සජබ මන්ත්‍රීවරුන්ය. ඒ අනුව පසුගිය සතියේ හිටිහැටියේ මරික්කාර් සහ ජනාධිපතිවරයා සමීප අසුන්වල වාඩිවී සාකච්ඡා කරන ආකාරයේ වීඩියෝවක් හිටිහැටියේම සමාජ මාධ්‍යවල පළවිය. එය හරියට වාර්තා කොට තිබුණේ මරික්කාර් ඊයේ පෙරේදා හොර රහසේම රනිල්ව හමුවීමට ගිය වීඩියෝවක් ලීක් වූ ආකාරයටය.

මරික්කාර්ට බාල්දියක්

මෙම වීඩියෝව ඉන් අනතුරුව රට වටේම රැගෙන යමින් ඊට විශාල ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කර තිබුණේ මාලිමාවේ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායමය. එමෙන්ම අනුරද මෙම වීඩියෝව අල්ලාගෙන මරික්කාර්ට ප්‍රසිද්ධ රැලි දෙකකදී දැඩි ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. මේ ආකාරයට රනිල් හා මරික්කාර් එකට සිටින වීඩියෝවක් ගැන මාලිමාව දැඩි ප්‍රහාර එල්ල කරද්දී සියල්ලෝම මේ කතාව පිළිබඳ මරික්කාර්ට කතාකොට විමසා සිටින්නට පියවර ගත්හ. එහිදී කතාකළ සියල්ලන්ටම මරික්කාර් කියා සිටියේ එය හොර රහසේ හමුවූවක් හෝ අද ඊයේ හමුවීමක් නොවන බවත්, මීට මාස 3කට පමණ පෙර පැවැති සිරිනාල් ද මැල් මහතාගේ අවමඟුල් උත්සව අවස්ථාවේදී සියලු දෙනා ඉදිරිපිට සිදුකළ ප්‍රසිද්ධ කතාබහක් බවත්ය. මෙහිදී සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයක් වන වාහන බලපත්‍රය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡාවක් සිදුවූ බවත්, ඊට අස්සන් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, එහි සැඟවීමට කිසිවක් නොමැති බවත් මරික්කාර් කියා සිටියේය. එහි සිටියේ ජනාධිපති මාධ්‍ය ඒකකය පමණක් බව කියා සිටි මරික්කාර් සාකච්ඡාව අවසානයේදී ජනාධිපතිවරයා තමන්ට මෙය පටිගත වී ඇති බව දැනුම් දුන් බවත්, තමන්ද ඊට සිනාසෙමින් ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ජනාධිපතිවරයාට කියා සිටි බවත් මරික්කාර් කියා සිටියේය. එම කොටස මෙම වීඩියෝවෙන් සංස්කරණය කොට ඉවත් කොට ඇති බවද මරික්කාර් කතා කළ සියලු දෙනාට සඳහන් කර තිබිණි.

ඩීල් එක එළියට ආවා

නමුත් කිසියම් පාර්ශ්වයක් විසින් මෙය එළියට දමා තිබූ අතර, ඊට ජවිපෙන් විශාල ප්‍රසිද්ධියක් දී තිබුණා පමණක් නොව, අනුර පවා ඊට දැඩිව ප්‍රතිචාර දැක්වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ඊට පසු දිනම මාධ්‍ය හමුවක් පැවැත්වූ මරික්කාර් මෙහි සැබෑ කතාව රටට හෙළිකිරීමට පියවර ගත්තේය. එමෙන්ම එම සිදුවීම හරහා රනිල් – අනුර අතර ඇති රහස් ගනුදෙනුව එළියට ආ බවද මරික්කාර් සඳහන් කර සිටියේය. එපමණක් නොව මළගෙදරකදී සිදුවූ කතාබහක් පවා සිය දේශපාලන වාසිය සඳහා යොදාගැනීම හේතුකොට ගෙන මින් ඉදිරියේදී අවම වශයෙන් ජනාධිපතිවරයා මළ ගෙදරකදී හෝ මුණගැසුණහොත් ඔහු සමග කතා නොකරන තත්ත්වයකට ජනතා නියෝජිතයන් පත්වනු ඇති බවද මරික්කාර් කියා සිටියේය.

ඒ සමගම සිරිනාල් ද මැල්ගේ පුතා වූ ගයාන් ද මැල් මහතාද ඊට පසු දින මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම පසුතලයේම සිට මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකළේය. එහිදී ගයාන් කියා සිටියේ සිය පියාගේ අවමඟුල් උත්සවයේදී සියලු දෙනා ඉදිරිපිට සිදුවූ සිදුවීමක් ඉතා පහත් අයුරින් එක් එක්කෙනාට දේශපාලන මඩ ගැසීමට උපයෝගී කරගෙන ඇති බවත්, ඒ හරහා මාලිමාව සිය මියගිය පියාට පවා අගෞරව කිරීමට කටයුතු කොට ඇති බවත්ය. මේ හරහා රනිල් – අනුර පැහැදිලි ගනුදෙනුවක් ඇති බව තහවුරු වන බවද ගයාන් කියා සිටියේය.

හරීන්ගෙන් සජබෙට ඇමතුම් එයි

මීට අමතරව අප පෙර කී ජාත්‍යන්තරය පවා පිළිගත් ආයතනය මගින් සිදුකළ අවසන් මත විමසුමේ ප්‍රතිඵල ලැබීමත් සමග ආණ්ඩුවේ බොහෝ පිරිස් මහත් කලබලයට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව පසුගිය සතියේ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා සුජීව සේනසිංහටත්, හර්ෂණ රාජකරුණාටත්, කාවින්ද ජයවර්ධනටත් දුරකතන ඇමතුම් ලබා දෙමින් ජවිපෙ ගැන කියා ඔවුන් බය කොට රනිල් – සජිත් එකතු විය යුතු බව දැනුම් දීමට කටයුතු කළේය.

‘මචං මේකයි, ජේ.වී.පී. එක ටිකක් ඉස්සරහින් ඉන්නවා වගේ පේනවා. අපි දෙගොල්ලෝ එකතු වුණොත් කිසි ප්‍රශ්නයක් නැතුව උන්ව පරද්දන්න පුළුවන්’ යනුවෙන් හරීන් කියා සිටියද, ඒ සියලු දෙනාම හරීන්ට පැහැදිලිවම කියා සිටියේ රනිල් – සජිත් අතර කිසිසේත්ම එකතු වීමක් බලාපොරොත්තු විය නොහැකි බවය.

ඒ අනුව හරීන් ඊළඟට කතා කළේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරටය. මද්දුමබණ්ඩාරටද පෙර කී තියරියම දැමූ හරීන් දෙපාර්ශ්වය එක්විය යුතු බව දැනුම් දීමට පියවර ගත්තේය.
‘ජේ.වී.පී. එක දැන් ඉන්නේ ලීඩ් කරලා. මේක අපි නවත්තන්න ඕනේ. නැත්නම් මිනිස්සු අපි දෙගොල්ලන්ටම ගහලා එළවයි. මමයි අපේ තව දෙන්නෙකුයි ජනාධිපතිතුමා හම්බවෙලා එතුමටත් මේක කිව්වා. මම කිව්වේ මේ තත්ත්වය හුඟක් භයානකයි, සජිත්ට දීලා හරි කමක් නෑ අපි මේක නවත්තමු කියලායි’ යනුවෙන් හරීන් කියද්දී මද්දුමබණ්ඩාර සිනාසෙමින් කියා සිටියේ ‘හරි හරි බලමු බලමු’ යැයි කියාය. ඒ අනුව එම ඇමතුම අවසන් වූ වහා මද්දුමබණ්ඩාර කළේ සජිත්ට ඇමතුමක් ගැනීමය. සජිත් ඒ වනවිට සිටියේ යාපනයේ මැතිවරණ රැස්වීම්වලට සහභාගි වෙමිනි. මද්දුමබණ්ඩාර සිනාසෙමින් හරීන් කී කාරණාව කියද්දී සජිත්ද සිනාසෙමින් කියා සිටියේ ‘මේ හොරු ටික ආයෙමත් අපි ළඟට ගත්තොත් හොඳට තියෙයි. මිනිස්සු අපිට ගහලා එළවයි’ යැයි කියාය. ඉන් අනතුරුව රංජිත් කියා සිටියේ, ‘මට නම් පේන්නේ ඒගොල්ලෝ පරදින හින්දා දැන් හොඳටම බය වෙලා වගේ’ යැයි කියාය.

මාලිමාව තවත් ගේමක

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවී මොහොතක් යෑමට මත්තෙන් සමාජ මාධ්‍ය ජාලවල එක්තරා විශේෂ ප්‍රවෘත්තියක් පළවන්නට විය. ඒ, ජනාධිපතිවරයා සහ සජබය එක්වීමට සූදානම් යැයි කියාය. එම පුවතට මාලිමාවේ සමාජ මාධ්‍ය ජාලවලින් ඉතා විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක්ද දැකගත හැකි විය. පෙර පරිදිම අනුරද ඊට දේශපාලන වේදිකාවේදී විශාල ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළ බවක් දැකගත හැකි විය. මේ නිසාම දකුණේ බොහෝ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ සජබ ආසන සංවිධායකවරුන් දිගින් දිගටම සජිත්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් කියා සිටියේ මොනම තත්ත්වයක් යටතේ වුවත් කිසිසේත්ම ජනාධිපතිවරයා සහ එජාපය සමග එක්වීමට කටයුතු නොකරන ලෙසටය.

‘සර්, කීයටවත් මුං එක්ක එකතු වෙන්න එපා. මුං මහබැංකුව හොරකම් කරලා, පහුගිය අවුරුදු දෙකේදිත් පුදුම විදියට හොරකම් කරලා, දැන් ආයෙමත් ලැජ්ජා නැතුව එනවා අපිත් එක්ක එක්කහු වෙන්න. මුන් එක්ක එක්කහු වෙන්න ගියොත් එහෙම අපට තමයි පරිප්පු කන්න වෙන්නේ. ආණ්ඩුවක් ආපු ගමන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ වෙන එවුන්ට ඉස්සෙල්ලා මේ විදියට හොරාකාලා රටයි යූඇන්පී එකයි දෙකම විනාශ කරපු මුන් ටිකට නඩු දාලා උසාවියට අරන් එන එකයි….’ යනුවෙන් මේ මන්ත්‍රීවරුන් කියද්දී මුලින් මුලින් සජිත් සිතා සිටියේ මෙය විහිළුවට කියනවා යැයි කියාය. නමුත් දිගින් දිගටම ඇමතුම් ලැබෙද්දී ඒ කතාවට යම් යම් පාර්ශ්වයන් ඊට දකුණේ විශාල ප්‍රචාරයක් ලබාදෙමින් සිටින බවක් සජිත්ට දැනගන්නට ලැබිණි. ඒ අනුව සජිත් වහාම කළේ උතුරේ සිටියදීම ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගැනීමය. ඒ අනුව සජිත් කියා සිටියේ ‘සජිත් – රනිල්’ එකතු වීමක් කිසිදු දිනක සිදු නොවන බවත්, ඇතැම් විට රනිල් – අනුර එකතු වීමක් සිදුවිය හැකි බවත්ය. පසුගිය කාලය පුරාම දෙදෙනා අතර සිදුවූ රහස් ගනුදෙනු මේ වනවිට ප්‍රසිද්ධියේම දැකගන්නට ඇති බවද එහිදී සජිත් කියා සිටියේය. ජනාධිපතිවරයා මහියංගනයේදී ‘සජිත්ට දිනන්න බෑ, අනුර දිනනවා’ යනුවෙන් කළ ප්‍රකාශයෙන් මේ රහස් ගනුදෙනුව පැහැදිලිවම හෙළිදරව් වූ බවද සජිත් එහිදී පෙන්වා දුන්නේය.

රනිල් පරාජය පිළිගනී

එමෙන්ම ජනාධිපතිවරයාගේ ඒ ප්‍රකාශයෙන් තවත් එකක් පැහැදිලි විය. ඒ, කිසිසේත්ම තමන් ජයග්‍රහණය නොකරන බව ජනාධිපතිවරයා විසින්ම පිළිගෙන තිබීමය. ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට සිය දේශපාලන ජීවිතය පවා පරදුවට තබා පොහොට්ටුවෙන් පැමිණි මැති ඇමැතිවරුන් බරපතළ ලෙස කඩාවැටුණු ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ඔවුන්ද ඉදිරියේදී යම් යම් බරපතළ දේශපාලන තීන්දුවලට එළඹීමේ සූදානමකින් සිටින බව ‘රාජ්‍ය රහස්‘ තීරයට ආරංචිය.

7ක් බැසිල් හමුවෙලා

පසුගිය සඳුදා අප ‘මව්රට’ වෙබ් අඩවිය ඔස්සේ විශේෂ ප්‍රවෘත්තියක් පළකරමින් සඳහන් කර සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු පැමිණ පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියාය. අපට දිනපතා පුවත්පතක් නොමැති නිසා අපට ලැබෙන මෙම සුවිශේෂ පුවත් අප පළකරනුයේ ප්අර්ඒබැඅිගකන අප වෙබ් අඩවිය ඔස්සේය. දිනපතාම මෙම වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයකුට පැයෙන් පැය ලංකාවේ වෙනස් වන දේශපාලනයේ සිදුවන සුවිශේෂ සිදුවීම් දැකබලා ගැනීමට පුළුවන. ඒ අනුව අප එම පුවතින් කියා සිටියේ ඉරිදා රාත්‍රියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 7 දෙනකු බැසිල් හමුවී විශාල අඳෝනාවක් බැසිල් හමුවේ තබා ඇති බවය. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳ වැඩිමනත් තොරතුරු අප වෙත ලැබී නොමැති නිසා ඒ සම්බන්ධයෙන් තොරතුරු ලද වහා ඉදිරියේදී ඒවා ‘රාජ්‍ය රහස්’ පාඨකයන් හට ගෙන ඒමට අප සූදානම්ය. ඒ කෙසේ වුවත් මෙම හමුව සම්බන්ධයෙන් එකක් හොඳටම පැහැදිලිය. ඒ, ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපය ඇතුළත ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පැත්තෙන් බරපතළ දේශපාලන පිපිරීම් රැසක් සිදුවීමට නියමිතව ඇති බවය. එය කිසිවකුත් නොසිතන ආකාරයේ දේශපාලන පෙරළිවලින් ගහන වනු ඇති බව අපට දැනගන්නට තිබේ.

සැලුන් දොර බැසිල් වහයි

ඒ කෙසේ වෙතත් මේ වනවිට බැසිල්ලා පොහොට්ටුව පැත්තෙන් ඉතා දැඩි දේශපාලන තීන්දුවක් ගෙන අවසානය. ඒ, පසුගිය කාලයේදී ආණ්ඩුවට එක්වූ පොහොට්ටුවේ සියලු මැති ඇමැතිවරුන් යළි පොහොට්ටුවට නොගැනීමටය. ඒ සියලු දෙනාම ගන්නවා වෙනුවට තෝරා බේරාගෙන කිහිප දෙනකු පමණක් යළිත් පොහොට්ටුවට එක්කර ගැනීමට බැසිල් සැලසුම් කර ඇති බවක්ද ආරංචිය.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පසුගිය සතියේදී බිහිවූයේ ඒ හේතුව මතය. අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වී ඇති බවත්, එහිදී ඉදිරි මැතිවරණයේදී ටිරාන් අලස් මහතාගේ පක්ෂයෙන් තරග කිරීම සඳහා සන්ධානගත වීමට ඔවුන් තීන්දුවක් ගෙන ඇති බවත්ය. කෙසේ වෙතත් පසුගිය සතියේදී දිනේෂ් ප්‍රමුඛ කණ්ඩායම සන්ධානගත වූයේ ටිරාන්ගේ පක්ෂයෙන් නොව, කුසලානය ලකුණ සහිත වෙනත් පක්ෂයකිනි. වරක් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිවම තරග වැදුණේද මෙම කුසලානය පක්ෂය යටතේය. එහිදී ඔහුට ලබාගත හැකි වූයේ ඡන්ද 28,000ක් පමණි. ඒ අනුව දිනේෂ්ලා සන්ධානගත වීමට කටයුතු කළේ එම කුසලාන ලකුණෙන් වන අතර, එහි නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධනත්, මහලේකම් ලෙස අමාත්‍ය රමේෂ් පතිරණත් නම්කරනු දැකගත හැකිවිය. නමුත් මැතිවරණයක් කැඳවා තිබියදී මේ ආකාරයට පක්ෂ හෝ සන්ධාන එළිදැක්වීම සහ තනතුරු එළිදැක්වීම සිදුකළ නොහැකි නිසා දිනේෂ්ලාගේ මෙම අලුත් සන්ධානයටද ඉදිරියේදී බරපතළ අර්බුදයකට මුහුණ දීමේ ඉඩකඩක් ඇති බව ඇති බව ආරංචිය.

අරුන්දික සජිත් හමුවෙයි

මේ අතර, මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බැසිල් සමග සාකච්ඡා කොට පැය 24ක් යෑමට මත්තෙන් අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තුවේ තවත් පෙරළියක් සිදුවිය. ඒ, පසුගිය සතියේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට කටයුතු කිරීමත් සමගය. එහිදී අරුන්දික විශේෂ ප්‍රකාශයක්ද පාර්ලිමේන්තුවේ සිදුකිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම කතාව සිදුකිරීමට පෙර පාර්ලිමේන්තුවට පැමිණි අරුන්දික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය අසල කැරකි කැරකී සිටියේ සජිත් සමග සාකච්ඡා කිරීම සඳහාය. මේ බව සජිත්ට දැනගන්නට ලැබීමත් සමග අරුන්දික සමග සාකච්ඡා කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සජිත් සිටියේ පඹ ගාලක පැටලීය. නමුත් මනත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අරුන්දික සමග සාකච්ඡා කරන ලෙසටත්, ඔහුට කියන්නට ඇත්තේ කුමක්ද යන්න දැනගන්නට කටයුතු කරන ලෙසත් කළ දැනුම් දීම නිසා සජිත් අන්තිමේදී අරුන්දිකව සිය කාර්යාලයට කැඳවීමට කටයුතු කළේය. මෙහිදී අරුන්දික සජිත් හමුවේ විශාල පාපොච්චාරණයක් කිරීමට පියවර ගත්තේ සජිත් ද නොසිතූ පරිද්දෙනි.

‘ආණ්ඩුව ඇතුළේ ලොකු කචල් එකක් තියෙන්නේ. රනිල්ට කොහොමත්ම දිනන්න බෑ. එතුමා දෙවැනියා වෙන්නෙත් නෑ. ඒ ඡන්ද බෙදෙන එකේ වාසිය යන්නේ ජේ.වී.පී. එකට. මං තීන්දුවක් අරගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා කියලා. මම කැමැතියි ඔබතුමාට එකතු වෙලා වැඩ කරන්න. ඔබතුමාටත් බැරිද ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා වැඩ කරන්න?’ යනුවෙන් අරුන්දික කියද්දී සජිත් කෙළින්ම ජනාධිපතිවරයා සමග එක්වීම ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම ජවිපෙ ඉදිරියෙන් සිටින බවට ගෙන යන ප්‍රචාරයට පැහැදිලි පිළිතුරක් අරුන්දිකට ලබාදීමටද සජිත් පියවර ගත්තේය.

කව්ද ඔය බොරු කියන්නේ

‘කවුද ඔබතුමාලට කියන්නේ මාලිමාව ඉස්සරහින් ඉන්නවා කියලා? අපිටත් රට වටෙන්ම තොරතුරු එනවා. මාලිමාව ඉන්නේ අපිට ගොඩක් පස්සෙන්. අපි තමයි ඉස්සරහින් ඉන්නේ. මාලිමාව ඉස්සරහින් ඉන්නවා කියලා ඔය එවන්නේ බොරු වාර්තා අපිව බයකරන්න. මේ ඡන්දෙන් අපි දිනනවා.’ යනුවෙන් කියා සිටියද අරුන්දිකව සජබයට එකතු කරගැනීම සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබාදීමට සජිත් කටයුතු කළේ නැත.

මේ හමුවෙන් පසු අරුන්දික කෙළින්ම සභා ගැබට ගොස් තමන් ස්වාධීන වන බවට වූ කතාව කිරීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා හා අනුර අතර පවතින යම් රහස් ගනුදෙනුවක් පිළිබඳවද, සජිත්ගේ කකුලෙන් ඇදීමේ කුමන්ත්‍රණයක් පිළිබඳවද වටින් ගොඩින් කරුණු කාරණා ඉදිරිපත් කිරීමට අරුන්දික කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.

මුසම්මිල් ගැලවෙයි

මෙවර ජනාධිපතිවරණයේදී දැකගැනීමට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් වූයේ ස්වාධිනව කටයුතු කළ යුතු බවට නිශ්චිතවම දක්වා ඇති ආණ්ඩුකාරවරුන් ප්‍රසිද්ධියේම රෙදි ගලවාගෙන ආණ්ඩුවේ අපේක්ෂකයා වූ ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට එක්ව සිටීමය. ඇතැම් ආණ්ඩුකාරවරු මැතිවරණ නීති කඩමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ රැස්වීම් පැවැත්වූහ. ඇතැම් ආණ්ඩුකාරවරු විවිධ පත්වීම් ලබාදුන්හ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබීමෙන් පසුව ඒ සියලු පත්වීම් අවලංගු කිරීමටද මැතිවරණ කොමිසම පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මෙසේ මැතිවරණ නීති කඩමින් ස්වාධීනව සිටිය යුතු ආණ්ඩුකාවරුන් ප්‍රසිද්ධියේ දේශපාලනය කිරීම හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදී බරපතළ නීතිමය ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය.

කෙසේ වෙතත් ඇතැම් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයාට රෙදි ගළවාගෙන කඩේ ගියද, නීතියට ගරු කරමින් සිය රාජකාරි කළ ආණ්ඩුකාරවරුන් දෙතුන් දෙනකුද නොසිටියා නොවේ. ඉන් එක් අයකු වන්නේ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ය. මුසම්මිල් යනු අද ඊයේ දේශපාලනයට පිවිසි අයෙකු නොව, දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනයේ ඉතා තීරණාත්මක සන්ධිස්ථානවල ඉදිරියෙන්ම සිටි ප්‍රබල චරිතයකි. එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සමග අතිශය හිතවත්ව ඔහුගේ සමීපතමයකු ලෙස රාජකාරි කළ දේශපාලනඥයෙකි. වරක් 1994 මහ මැතිවරණය පරාජයට පත්වීමෙන් පසු එජාප ආණ්ඩුවක් යළි පිහිටුවීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක ඒ.එච්.එම්. අෂ්රොෆ් මහතා නැගෙනහිර සිට කොළඹට රැගෙන ඒම සඳහා හෙලිකොප්ටරයෙන් කොළඹ සිට නැගෙනහිරට ගියේ මේ කියන මුසම්මිල්ය. මුසම්මිල් එසේ ගොස් අෂ්රොෆ්ව කොළඹට රැගෙන ආවද ඒ වන විටත් ගාමිණී දිසානායකට ආණ්ඩුව පිහිටුවීමේ අවස්ථාව ලබා නොදී රනිල් අගමැති ධුරයෙන් ඉවත් වී ආණ්ඩුව පිහිටුවීමේ අවස්ථාව චන්ද්‍රිකාට ලබාදෙමින් අරලියගහ මන්දිරයෙන් එළියට බැසීමට කටයුතු කොට තිබුණි. රනිල් එසේ නොකළා නම් එදා ගාමිණී යළිත් එජාප ආණ්ඩුවක් පිහිටුවන නමුත් රනිල් කළ වැඩෙන් එම අවස්ථාව මඟහැරී ගියේය. එම නිසා නැගෙනහිර සිට පැමිණි අෂ්රොෆ් ඒ හෙලිකොප්ටරයෙන්ම යළිත් නැගෙනහිර බලා ගියේ චන්ද්‍රිකා ආණ්ඩුව පිහිටුවනු ඇතැයි බියට පත්වය.

ඉහළින් ආ තර්ජනය

පසුව මුසම්මිල් ආණ්ඩුවේ විවිධ තනතුරු දැරීය. වරක් කොළඹ නගරාධිපතිවයා ලෙසද මුසම්මිල් කටයුතු කළේය. මැලේසියාවේ තානාපතිවරයා ලෙසද කටයුතු කළේය. අවසානයේදී ගෝඨා මුසම්මිල්ට ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට පියවර ගත්තේය. නමුත් ජනාධිපතිවරණයේදී දේශපාලනයේ නිරතවන ලෙසට ඉහළින් දැඩි බලපෑම් එල්ල වීමත් සමග මුසම්මිල්ට ආණ්ඩුකාර ධුරයේ ස්වාධීනව රාජකාරි කිරීම බරපතළ ගැටලුවක් වී තිබිණි. ඒ අනුව අවසානයේ මුසම්මිල් තීරණය කළේ සජිත්ට සහාය දැක්වීමටය.

කෙසේ වෙතත් මෙම තීන්දුව ගැනීමට පෙර මුසම්මිල් නීති උපදෙස් ලබාගැනීමටද කටයුතු කළේය. එහිදී ලැබුණු නීති උපදෙස්වලින් කියැවුණේ සජිත්ට සහාය දැක්වූවා කියා ජනාධිපතිවරයාට ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවය. එසේ කළහොත් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවීමේ අවස්ථාව මුසම්මිල්ට ඇති බවද ඒ ලැබුණු නීති උපදෙස්වලින් වැඩිදුරත් කියැවිණි. ඒ අනුව අවසන් තීන්දුව ගත් මුසම්මිල් සජිත්ට කතාකොට තමන්ගේ තීරණය දැනුම් දීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙහිදී සජිත් මුසම්මිල්ගෙන් කළේ එකම එක ඉල්ලීමකි. ඒ තමන්ට සහාය දෙනවා නම් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී තමන්ට සහාය දීමට කටයුතු කරන ලෙසය. තමන්ගේ පාලන සමයකදී කිසිදු දේශපාලන බලපෑමක් ආණ්ඩුකාරවරුන්ට සිදු නොකරන බවත්, ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව සලසා දෙන බවත් මෙහිදී සජිත් මුසම්මිල්ට දැනුම් දී සිටියේය.

ඒ අනුව මුසම්මිල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කිරීමේදී එක්තරා ඉහළ තැනකින් දුරකතන ඇමතුමක් ලැබිණි. එම ඇමතුමේ තරමක තර්ජනාත්මක ස්වරයක් තිබූ ආකාරයක් මුසම්මිල්ට වැටහීමට වැඩි වෙලාවක් ගියේ නැත.

‘අපිට ආරංචියි ඔබතුමා අයින් වෙන්න හදනවා කියලා. හැබැයි එහෙම වුණොත් ඔබතුමා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න.’ යනුවෙන් කියද්දී දෙවරක් නොසිතාම මුසම්මිල් කියා සිටියේ ‘හරි මම ලෑස්තියි ඕනෙම දේකට මූණ දෙන්න’ කියාය.

ගෝඨාවත් හමුවන්න ගිහින්

ඒ අනුව ලිපිය ජනාධිපතිවරයාට යොමුකිරීමට ප්‍රථම මුසම්මිල් එදින උදෑසන, තමන්ට තනතුර ලබාදුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී මේ බව ඔහුට දැනුම්දීමට කටයුතු කළේය. එමෙන්ම මෙරට ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා මුණගැසී ඔහුටද මේ බව දැනුම්දීමට මුසම්මිල් පියවර ගත්තේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය යැවූ මුසම්මිල් එදිනම සවස සජිත්ගේ මිනුවන්ගොඩ රැස්වීමේදී ඔහුට සහාය පළකිරීමට පියවර ගත්තේය.

මෙම දේශපාලන රැලියේදී අදහස් දැක්වූ මුසම්මිල් තමන්ට තර්ජනය කළ රාජ්‍ය නිලධාරියා පිළිබඳවද කෙටි විස්තරයක් කළේය.

උතුරටත් තර්ජන

මේ ආකාරයට තර්ජන ගර්ජන සිදුවන්නේ දකුණේ පමණක් නොවේ. උතුරේද මේ ආකාරයටම තර්ජන ගර්ජන දේශපාලනඥයන් වෙත එල්ල වන ආකාරයක් මේ වනවිට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය සජිත්ට සහාය දක්වන බවට තීන්දු කිරීමෙන් අනතුරුව මෙම තර්ජන ගර්ජන වැඩිවැඩියෙන් එල්ල වන ආකාරයක් දැකගන්නට පුළුවන. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දෙමළ ජාතික සන්ධානය සජිත්ට සහාය දීමට තීන්දු කිරීමෙන් පසු උතුරේ අනෙකුත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් සජිත්ට සහාය දැක්වීම වළක්වාලීම සඳහා මේ ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ තර්ජන ගර්ජන සිදුකරන බවය.

මේ සඳහාද ඔවුන් වැඩි වැඩියෙන් යොදාගෙන ඇත්තේ මත්පැන් බලපත්‍ර ලබාදීමය. දැනගන්නට ඇති ආකාරයට දකුණේ මෙන්ම උතුරේ යම් යම් මන්ත්‍රීවරුන්ද මේ වනවිට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍ර දෙක තුන ගෙන ඇති බවක් වාර්තා වේ. යම් යම් පක්ෂවල ප්‍රධාන නායකයන් පවා මේ ආකාරයට බාර් ලයිසන් ලබාගෙන ඇති බවද දැනගන්නට තිබේ. ඇතැම් පිරිස් ඒ අනුව ඔවුන්ට දැනුම් දී ඇත්තේ සජිත්ට සහාය දැක්වුවහොත් එසේ බාර් ලයිසන් ගත් දෙමළ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව උතුරේ ජනතාවට හෙළිදරව් කරනවා යැයි කියාය. ඒ අනුව දෙමළ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් මේ දේශපාලන ඛේදචවාචකයට ගොදුරු වී ඇති බවක් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් අප නම් කියන්නේ මේ දේශපාලන සූදුව මෙතෙකින් අවසන් කළ යුතු යැයි කියාය. කවර රජයක් බලයට පත්වුවද මන්ත්‍රීවරුන් බිලී බාගැනීම සඳහා බාර් ලයිසන් යනාදිය ලබාදීමේ සංස්කෘතිය අවසන් කළ යුතුය. ඒ වෙනුවෙන් අප නිරතුරුවම පෙනී සිටින බව ද සඳහන් කළ යුතුය. යම් හෙයකින් එම මන්ත්‍රී ලැයිස්තුව කවුරුන් හෝ එළියට දමයි නම් කිසිදු සංස්කරණයකින් තොරව ජනතාවගේ දැනගැනීම සඳහා එය ප්‍රසිද්ධ කිරීමටද අප සූදානම්ය. ඒ, ජනතාවද තමන් ඡන්දය ලබාදී පත්කරන මන්ත්‍රීවරුන්ගේ කැරැට්ටුව දැනගත යුතු නිසාය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

මහබැංකු හොරකම හොයයි කියලා බයේද රනිල් අනුරට යාලුවා කිය කියා ෂේප් වෙන්න හදන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

දාපු තැපැල් ඡන්දේ ෆොටෝ ගහලා ෆේස්බුක් දාලා තියෙන්නේ විදුහල්පතිවරයෙක්! පොලිසියෙන් අත්අඩංගුවට අරන්! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.