සිය තනතුරුවලින් ඉල්ලා අස් නොවීමට නැවත වතාවක් ආණ්ඩුකාරවරු තීරණය කොට ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ලන්ඩනය බලා පිටත්ව යාමට ප්‍රථම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබුණේ ඉල්ලා අස්වීමේ ලිපි ලබා දෙන ලෙසය.
ඒ අනුව ඇතැම් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමේ ලිපි ලබා දීමට තීන්දු කළද ඇතැමුන් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.
එහිදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඔවුන්ට දැනුම් දී තිබුණේ වත්මන් ජනාධිපති අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු බැවින් පළාත් සභාවේ යෝජනා සම්මතයකින් තොරව ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කළ නොහැකි බවකි.
එම නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව මෙම ආණ්ඩුකාරවරු තීරණය කොට තිබුණේ සිය තනතුරුවලින් ඉවත් නොවීමටය. ඒ බව ඔවුන් ජනාධිපති කාර්යාලයට පවා දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ට ඇමතුම් ලබා දී තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමක් කර තිබිණ.
නමුත් මෙම දැනුම් දීමෙන් පසුවද ආණ්ඩුකාරවරුන් තීරණය කොට ඇත්තේ සිය තනතුරුවලින් ඉල්ලා අස්නොවීමටය.
මේ බව නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් මාධ්‍ය වෙත දැනුම් දීමටද පියවර ගෙන ඇත.










