වත්මන් වැටුප් සංශෝධනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තුන්වන ශ්‍රේණියට රුපියල් දෙලක්ෂ විසි තුන් දහස් හත්සිය හැට තුනයි ශත අසු තුනක දල මාසික වැටුපක් ලැබෙන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. (Sri Lanka Latest News)
මුදල් කාරකසභාවේ නිර්දේශය වී තිබුණේ මෙම වැටුප් වැඩිවීම තාවකාලිකව අත්හිටුවා මේ සම්බන්ධ ස්වාධීන කමිටුවක් මගින් කරන විමර්ශනයකින් අනතුරුව එම වාර්තාව සති හතරක් තුළ මුදල් කාරක සභාව වෙත ලැබෙන්නට සලස්වන ලෙසත් රජයේ මුදල් කාරක සභාව සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.
මෑතක දී සිදුකළ වැටුප් වැඩි කිරීමට මහ බැංකුවට ස්වයං හිමිකමක් ඇති වුවද එලෙස වැඩි කරගැනීම පිළිබඳව මහබැංකුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් නිශ්චිත ක්‍රමවේදයක් සහ විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් රජයේ මුදල් කාරක සභාව අද සිය නිගමනය දැනුම් දෙමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකාව තම ආර්ථික බිඳවැටීමේ ප්‍රතිවිපාක සමග පොරබදමින් සිටින අවස්ථාවක, රට පුරා සිටින පුරවැසියන් සැලකිය යුතු දුෂ්කරතාවයකට ලක් වී සිටින අවස්ථාවක, බදු වැඩි වීම් සහ ජීවන වියදම් ඉහළ යෑම රට යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා ඉඩ හැර ඇති අවස්ථාවක විශේෂයෙන්ම මෑත කාලීන මහබැංකු වැටුප් වැඩිකරගැනීම මහජන කෝපය අවුලුවාලීමට සමත්ව ඇති බව රජයේ මුදල් කාරක සභාවේ නිගමනය බවද සභාපතිවරයා පැවසුවේය.
පවතින තත්ත්වය තුළ මහබැංකුවේ සියලුම කාර්ය මණ්ඩල සඳහා වැටුප් වැඩිවීම අසාධාරණ බව ද රජයේ මුදල් කාරක සභාව දරන මතය විය.
රජයේ මුදල් කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති වූ සියලු ලිපි ගනුදෙනු මත පදනම්ව ශ්‍රි ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව සාධාරණ විසඳුමක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ 24 සහ 26 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024.03.16 ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියට විශේෂ අවධානයක් යොමුකරමින් වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරදෘශ්‍ය කමිටුවක් කඩිනමින් පත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.
lankasara