පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවැසීය. Sri Lanka Latest News
රටේ ආර්ථික තත්වය යම් යහපත් මට්ටමක පවතින බවට රජයේ පාර්ශ්වයෙන්ම ප්‍රකාශ නිකුත් කෙරෙන හෙයින් මෙම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළද රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ලබා දිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සෑම අවස්ථාවකදීම එම කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමුණේ ඒ අනුවය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බහුතරයක්ද මේ වනවිට මුද්‍රණය කර අවසන්ව පවතී. ඒවා දැනට රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ තැන්පත් කර ඇත.
මේ අතර පළාත්පාලන මැතිවරණය කල් ගොස් ඇතත් එම මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරගෙන යන බව නිමල් ජී පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.