පසුගිය ආණ්ඩු කාලවලදී සිදුවූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයන් රැසක් ගෙන ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. මෙහිදී හිටුප ජනාධිපතිවරුන්ට මෙන්ම මැති ඇමැතිවරුන්ටද එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුවී තිබේ. එහිදී මෙම සැකකරුවන් හට ඇප ලබාගැනීම සඳහා නීතිඥවරුන් එම සැකකරුවන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ විශ්ෂ වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කළ ආකාරයක් දැකගත හැකිය. මෙය අලුතෙන්ම ආරම්භ වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු විභාගයේදීය.Sri Lanka Latest News
පහත පළවන්නේ රනිල් වික්‍රමසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග සහ ඩේසි ෆොරස්ට් යන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා අධිකරණය හමුවේ දැක්වූ අදහස්ය.
රනිල් වික්‍රමසිංහ මහතාට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කළේ මෙසේය.
‘ස්වාමීනි, මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළාට පස්සේ බන්ධනාගාරයේදී වෛද්‍ය පරීක්ෂණ කීපයක් කර තිබෙනවා. ඒ පරීක්ෂණ කළේ, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්න නෙවෙයි. ඒ පරීක්ෂණයෙන් පසුව අනාවරණ වුණේ මේ සැකකරු බන්ධනාගාර රෝහලේ තියාගන්න බෑ කියලා. ඒ අනුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කර මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා’ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පැවැසීය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ‘ස්වාමීනි, සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී තිබෙනවා. එම අවහිර වීම් හෘදය වස්තුව ආසන්නයේ පිහිටා තිබීම නිසා ශල්‍යකර්මයක් කිරීමට නොහැකි වී තිබෙනවා. දියවැඩියාව උත්සන්න වී තිබෙනවා. අධික රුධිර පීඩනය උත්සන්න වී තිබෙනවා. වකුගඩුවල රෝගී තත්ත්වයන් පවතිනවා. ඔහුට අග්න්‍යාශයේ උඩ කොටසේ සංකූලතාවක් තිබෙනවා. ඒ වගේම නින්දේදී හුස්ම හිරවීමක් සිදුවෙනවා. විනාඩි දෙක තුනක් හුස්ම හිරවෙනවා. වසර හතක් පමණ මෙම සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරු තමයි මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ. ඔහු පැය 24ම වෛද්‍ය අධීක්ෂණය මත සිටිය යුතු පුද්ගලයෙක්. බන්ධනාගාරගත වීමෙන් ඔහුගේ මානසික ආතතිය වැඩි වෙනවා.’
මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ‘ස්වාමීනි, මෙම සැකකරු නින්දේදී හුස්ම හිරවීමේ රෝගයට ගොදුරු වී සිටින පුද්ගලයෙක්. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සෑහෙන්න පිරිහීමට ලක්වෙලා. මොහු ස්ලීප් ඇප්නියා (Sleep apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිනවා. ස්වාමීනි ස්ලීප් ඇප්නියා කියන්නේ නින්දේදී හුස්ම සිරවීමේ තත්ත්වයක්. මේ සැකකරුට නින්දේදී පැයකට 35 වතාවක් හුස්ම හිරවීම සිදුවෙනවා. වෛද්‍ය වාර්තාවලින් පවා ඒ බව පැහැදිලි කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට ‘ස්ලීප් ඇප්නියා’ මැෂින් එකක් භාවිත කළ යුතුයි. එපමණක් නොවෙයි නින්දේදී මෙම සැකකරු ගොරවන ආකාරය නිරීක්ෂණය කර වෙනස් වීම් සිදුවන්නේ නම් ඊට සාපේක්ෂව අදාළ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයත් වෙනස් කළ යුතුයි. මේ යන්ත්‍රය සෑම පුද්ගලයකුටම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නෑ. ඊට රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳ අවබෝධයක් තිබෙන පුද්ගලයකු සිටිය යුතුයි. මේ වෙනකොට මාසයක පමණ කාලයක් මේ සැකකරු අදාළ යන්ත්‍රය නොමැතිවයි බන්ධනාගාරය තුළ සිටින්නේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ රුධිරය පීඩනය වැඩිවෙනවා. රුධිරයේ පීඩනය වැඩිවීම නිසා පසුගිය සතියේ මොහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. මේ නිසා ඔහුගේ ජීවිතය පවා අවදානම්කාරී තත්ත්වයකට පත්ව සිටිනවා…’ යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මෙම සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
‘ස්වාමිනි, මේ සැකකරුට ශල්‍යකර්මයක් සිදුකර තිබීම හේතුවෙන් ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්න බැහැ. ඔහුට පැය හතරෙන්, හතරට කුඩා ආහාරයක් ලබාගත යුතුයි. ඊට විශේෂ ප්‍රෝටීන් මිශ්‍ර කිරීමක්ද කළ යුතුයි. නැතිනම් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්වෙනවා. එබැවින් ඔහුට ඇප ලබාදීමේදී මේ කරුණුත් සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.’
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.
ඩේසි ෆොරස්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය
ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත්ය.
තම සේවාදායිකාව වයස අවුරුදු 98ක වයෝවෘද්ධ තැනැත්තියක වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.
වර්තමානයේ ඇගේ මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පැවැසීය.










