දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ තවත් කරුණු 14ක් ඇතුළත් ලිපියක් මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කරති.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිතුමා වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
උද්ගත ව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව ලිපිය මඟින් මහානායක හිමිවරු පෙන්වා දෙති.
විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජීවන වියදම පහත හෙළීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම ද යෝජනා අතර වේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට සහන සැලසීම, ආර්ථික අර්බුදය හමුවේ අනිසි මූල්‍ය වාසි වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කරන කූට වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මහානායක හිමිවරු පෙන්වා දෙති.
ආයෝජන සඳහා දිරිගැන්වීම, පාරදෘශ්‍ය ආර්ථික සැලැස්මක් තුළින් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කර ගැනීම සේ ම අපනයන ආර්ථියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ලිපියෙහි යෝජනා අතර වෙයි.
රටේ නව ආයෝජනය දිරිමත් කිරීම, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම, නාස්තිය, දූෂණය, සම්පත් අවභාවිතය වැළැක්වීම සඳහා වන තිරසර සැලසුමක් සැකසීමේ වැදගත්කම ද උන්වහන්සේ අවධාරණය කරති.
දේශයේ ආරක්ෂාවත්, ස්වෛරීභාවයත් වෙනුවෙන් ක්‍රියාත්මක කළ දූරදර්ශි වැඩපිළිවෙළ පිළිබඳ සමස්ත රටවැසියාගේ ප්‍රශංසාව සහ සතුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිමි වන බව ද මහා නාහිමිවරු සිය ලිපියෙන් සඳහන් කරති.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආපදාපන් අවස්ථාවේ සමස්ත ජනයා පිළිබඳ සංවේදී ව රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දෙනාගේ ම පූර්ණ දායකත්වයත්, කැපවීමත් අවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කරති.










