ආණ්ඩුවේ තවත් ප්‍රබලම තනතුරක් දරන අයකු පිළිබඳවද මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කසුකුසුවක් යමින් තිබේ. මේ වනවිට ආණ්ඩුව මුහුණදී ඇති ප්‍රධානම ආර්ථික ප්‍රශ්නය වී ඇත්තේ දිනපතාම ඩොලරය වේගයෙන් ඉහළ නැගීමය. ඩොලරය පාලනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ වෙන කාටවත් නොව මහබැංකුවටය. මීට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමත් සමග බොහේ දෙනා සිතා සිටියේ මහබැංකුව සිය වගකීම නිසි අයුරින් ඉටුකොට නොතිබීම හේතුවෙන් එවැනි වංචනික ක්‍රියාවකට මගපෑදී ඇතැයි කියාය. බොහෝ දෙනා ඒ පිළිබඳ ප්‍රශ්න කරද්දී මහබැංකුව පැත්තෙන් ඊට කිසිදු උත්තරයක් ලැබුණේ නැත. එමෙන්ම මහබැංකු අධිපතිවරයා වූ නන්දලාල් වීරසිංහ මහතාද ඒ පිළිබඳ කතා කරනවා තියා හෙතෙම පෙනෙන්නටවත් එළියේ සිටියේ නැත. ඒ අනුව අප කළ සොයාබැලීම්වලදී අපට දැනගන්නට ලැබුණේ ඒ දිනවල නන්දලාල් විදේශගතව සිටියා යැයි කියාය. ඒ අනුව දින 14ක නිවාඩුවක් ගෙන නන්දලාල් ඔස්ටේ්‍රලියාවට ගොස් සිටි බවක් වාර්තා විය. කෙසේ වෙතත් නිවාඩුව අවසන් වීමෙන් පසු ලංකාවට පැමිණි නන්දලාල්, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් ලබාදුන් පිළිතුර වූයේ මේ වනවිට මහා භාණ්ඩාගාරය මහ බැංකුවට අයත් නොවන්නේ යැයි කියාය. පසුගිය කාලය පුරාම මහා භාණ්ඩාගාරය මහබැංකුව යටතේ තිබුණද, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මහා භාණ්ඩාගාරය මහබැංකුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය යටතට ගත් බවද නන්දලාල් එහිදී කියා සිටියේය. ඒ අනුව නන්දලාල් නොකියා කීවේ එම ඩොලර් මිලියන 2.5 අතුරුදන්වීමේ සිදුවීම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් භාරගත යුතු යැයි කියාය. එම ප්‍රකාශය සිදුකිරීමේ දී නන්ලාල්ගෙන් දිස්වුණු ශරීර ඉරියව් අනුව හිතාමතාම එය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හිස මතට යොමුකළ බවක් දැකගන්නට තිබිණි.Sri Lanka Latest News
කෙසේ වෙතත් මෙම ඩොලර් අර්බුදය සහ මහා භාණ්ඩාගාරයෙන් මුදල් අතුරුදන් වීම සම්බන්ධ ප්‍රශ්නය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාවේද ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. මුදල් කාරකසභාවේ සභාපතිවරයා හර්ෂ ද සිල්වා මහතා වුවද, ඔහු පසුගිය සතියේ ඇමෙරිකානු සංචාරයක නිරතව සිටි බැවින් එහි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේ රවුෆ් හකීම් මහතාය. එමෙන්ම එහි සාමාජිකයකු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහබැංකු අධිපතිවරයා මුදල් කමිටුව හමුවට කැඳවන ලෙස කර තිබූ ඉල්ලීමකට අනුව හකීම් මහතා නන්දලාල්ව පසුගිය සතියේ මුදල් කමිටුවට කැඳවීමට පියවර ගත්තේය. ඒ අනුව එහිදීද නන්දලාල් කළ ප්‍රකාශයක් රට ඇතුළේ මහත් ආන්දෝලනයකට තුඩුදුන්නේය. එහිදී නන්දලාල් කියා තිබුණේ ඉදිරියේදී ආර්ථික අර්බුදය තවත් දරුණු වුවහොත් යම් අවිනිශ්චිත තත්ත්වයක් රටේ මතුවිය හැකි බවකි. කෙසේ වෙතත් ඊට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීමත් සමග විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ නන්දලාල් කියා සිටියේ සිය ප්‍රකාශය ඇතැම් මාධ්‍ය වැරැදි ලෙස අර්ථකථනය කොට පළකර ඇතැයි කියාය. නමුත් එහිදීද තමා එවැනි ප්‍රකාශයන් නොකළ බව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට නන්දලාල් කටයුතු නොකිරීම විශේෂ සිදුවීමකි. ඒ අනුව අපට වැටහෙන දේ නම් මහ බැංකු අධිපතිවරයා ඉදිරි කාලයේදී කුමක් හෝ ගේමක් ගැසීමට සූදානම් වන බවකි.
පසුගිය කාලය පුරාම මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය අතරත්, මහ බැංකු අධිපතිවරයා සහ ආණ්ඩුව අතරත්, මහ බැංකු අධිපතිවරයා සහ පැලවත්ත අතරත් එතරම් සමීප සම්බන්ධතාවක් පවතින ආකාරයක් දැකගන්නට නොතිබිණි. ඒ අනුව අපට දැනෙන දේ නම් මහ බැංකු අධිපතිවරයාද සිය තනතුර හැරදමා හිටිහැටියේ විදේශීය රටක ප්‍රබල තනතුරකට යෑමේ සූදානමකින් පසුවනවා යැයි කියාය. ඒ අනුව අප පෙර වාර්තා කළ මහින්ද සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගම බොහෝ දුරට නන්දලාල්ද මහ බැංකු අධිපති ධුරයෙන් සමුගැනීමේ ඉඩක් ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එය එසේ වුවහොත් ආර්ථික දේශපාලන අර්බුදයට අමතරව පරිපාලනමය අර්බුදයකට මුහුණ දීමේ ඉඩකඩක්ද ආණ්ඩුව පැත්තෙන් මතුවනු නොඅනුමානය.










