හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1,590 ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. (Sri Lanka Latest News)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම එස්.තුරෙයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා 12 දින සිට සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඊට අමතරව සංශෝධනය කරන ලද වග උත්තරකරුවන්ගේ නාම ලේඛනය 12)දින සිට සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණා.
ඉන් අනතුරුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 02වනදා කැඳවීමටද නියම කෙරුණා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු අදාල පෙත්සම අධිකරණ බලය අවභාවිතා කරමින් ගොනුකර ඇති නිසා ඊට එරෙහිව කරුණු දැක්වීමට අවසර දෙන ලෙස විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
එහෙත් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෙයි රාජා සඳහන් කළේ එවැනි කරුණු දැක්වීමකට අවසර දිය නොහැකි බවත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති වරයා, පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම, එහි අධ්‍යක්ෂ සජාත් මවූසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ දේශීය සීනි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා 2020 වසරේ දී ආනයනික සීනි සදහා රුපියල් 50/- ක බද්දක් පැනවූ අතර පසුව එම බද්ද ශත 25 ක් දක්වා අඩු කෙරුණු බවයි.
මෙසේ බද්ධ අඩු කිරීමෙන් ලැබෙන සහනය පාරිභෝගිකයින්ට නොලැබුණු බවත් එය වග උත්තරකාර සමාගම් විසින් අත්පත් කර ගැනීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.
මෙසේ බදු අඩු කිරීම නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි 1590 කට අධික මුදල අය කරගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා
.hirunews










