ප්‍රවාහන,’මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 09 වැනිදා සවස වැලිකන්ද, ගල්තලාව, රිදීපොකුණ, අලුත්වැව,ගිනිදමන,නෙලුම්වැව, බොරවැව යන දුෂ්කර ගම්මානවල පාසල් දරුවන්ට පොළොන්නරුව දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා පොළොන්නරුව ඩිපෝව වෙන් කරන ලද ලංගම බස් රථය පසුවදා සිටම නතර කර දමා ඇති බව වාර්තා වේ.
ඉන්දීය රජයේ ණය පහසුකම් යටතේ ලබාදුන් බස් රථ 500න් බස් රථ 16ක් පොළොන්නරු ඩිපෝවට ලබාදීමෙන් පසු ඉන් එක් බස් රථයක් 10 වැනිදා සිට වැලිකන්ද, අලුත්වැව ප්‍රදේශයේ ගම්මාන හතක දරුවන් පොළොන්නරුවේ ප්‍රධාන පාසල් සදහා ප්‍රවාහනය කිරීමට ලබාදී තිබුණේ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන,රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 09 වැනිදා අලුත්වැව ගම්මානයේ පැවැති උත්සවයකදීය.
එහෙත් 10 වැනිදා උදේ පමණක් එම ගම්මාන හතේ දරුවන් අලුත් බස් රථයෙන් පාසල් ගිය බවත්, ගියා මිස යළිත් ඒ බස් රථය තවමත් නොපැමිණි බවත් ගම්වැසියෝ සදහන් කළහ.
ගැමියන් කියන්නේ තම ගම්මාන හතේ දරුවන් සදහා අලුත් බස් රථයක් වෙන්කර දීමත් සමග දරුවන් පෞදගලික ප්‍රවාහන සේවාවලින් ඉවත් කරගත් බවය.
මේ වන විට පෞද්ගලික බස්රථවලටත් තම දරුවන් භාර නොගන්නා බවත්, වෙනත් ලංගම බස් රථයක් අදාළ මාර්ගවල ගමන් නොකිරීමෙන් තම දරුවන් 300කට වැඩි ප්‍රමාණයක් පොළොන්නරුවේ පාසල්වට යෑමට ප්‍රවාහන දුෂ්කරතා මතුව ඇති බවත් දෙමවුපියෝ කීහ.










