බළන්ගොඩ, ගවරන්හේන, හොරංකඳුර ගමේ ඉකුත් 12 දා සවස සිදු වූ නායයෑමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව් දෙනාගේම සිරුරු කැණීම් අතරතුරදී ඊයේ (14) සවස හමු වී තිබේ. එකම ස්ථානයක වැළලී තිබියදී මහත් පරිශ්‍රමක් දරා මේ සිරුරු ඊයේ (14) සන්ධ්‍යාවේ ගොඩ ගැනිණි. (Sri Lanka Latest News)
අතුරුදන් වූ දැරියගේ පාදයක කොටසක් ඊයේ (14) දහවල් මතු වූ අතර, ඒ අනුව අදාළ ස්ථානය වැඩිදුරටත් කැණීමට ලක් කරන අවස්ථාවේ මේ සිරුරු සොයා ගැනීමට හැකි වී ඇත. පවුලේ ඥාතීන් විසින් මළ සිරුරු හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බළන්ගොඩ මූලික රෝහලට රැගෙන යෑම බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) දමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරිණි.
සිරුරු ආසනන්යේ තිබී සෙල්ලම් බඩු හා ගෘහභාණ්ඩ කීපයක්ද ජංගම දුරකතනයක්ද හමු විය. දැරියගේ පාද කොටස මතු වීමත් සමඟ නාය යෑමෙන් ගසාගෙන විත් තිබූ විශාල කළු ගලකට යට වී මේ දැරිය සිටින බවට සැකකරමින් කැණීම් සිදු කෙරිණි.
මේ නායයෑමෙන් එකම පවුලේ පියා, මව සහ දියණියන් දෙදෙනා මෙසේ මිය ගොස් ඇති අතර, නිවෙසද සම්පූර්ණයෙන්ම පස්වලින් යට වී තිබේ. මෙසේ මිය ගියේ චමින්ද සුමිත් කුමාර (44) එස්. සිරියාවතී (40) තමෝදි (16) සහ විමල්සා (10) නමැති සිව් දෙනාය.
රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ කාර්ය මණ්ඩලය, යුද හමුදා සාමාජිකයෝ, බළන්ගොඩ පොලිසියේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු එක්ව අතුරුදන් පිරිසගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.
dinamina










