තමාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් ගසක බැඳ පහරදී මරාදමන්නට හැදූ බවට අසත්‍ය ප්‍රකාශයක් කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයකු වාලච්චේන පොලිසිය මගින් අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව lankasara.com වෙබ් අඩවිය වාර්තා කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වල්පනේ, මානිල්වල, නිකවත්ත යන ලිපිනයේ පදිංචි එම්.වයි.ජි.ආර්.එම්. නදීක පද්මලාල් රත්නසූරිය නමැති 33 හැවිරිදි අයෙකි.
මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේ ගසක බැඳ සිටින අයුරු අද උදෑසන ප්‍රදේශවාසීන් දැක ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය දැනුවත් කර, අදාළ පුද්ගලයාව රෝහල් ගතකිරීමට කටයුතු කර ඇත.
කෝප්‍රල්වරයා ගස් බැඳ තිබූ ස්ථානයේ දෙමළ භාෂාවෙන් ලියූ පුවරුවක් තිබී ඇති අතර, එහි සටහන්ව ඇත්තේ ‘රජයට සහාය දැක්වුවහොත් උඹට මේ වගේ වැඩ තමයි වෙන්නේ’ යනුවෙනි.
ඒ අනුව, අරගලකරුවන් හමුදා සාමාජිකයන්ට පහර දීම ආරම්භ කර ඇතැයි ආණ්ඩු හිතවාදීහු මේ සිද්ධිය පාදක කරගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාන්විතයක්ද ආරම්භ කර තිබිණි.
කෝප්‍රල්වරයා පවසා තිබුණේ තමන් නිවාඩු ලබා ගොස් මහියංගන හරහා මනම්පිටිය මඩකලපුව හන්දියට පැමිණි අවස්ථාවේ ඊයේ (27) රාත්‍රී 07ට පමණ වෑන් රථයකින් තමාව පැහැරගෙන ගොස් පහරදී අත් පා ගැටගසා ගෙලේ තොණ්ඩුවක් දමා මෙම පුවරුවද එල්ලා සැකකාර පුද්ගලයන් පලාගිය බවයි.
තමන් සන්තක තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්ද සැකකරුවන් පැහැරගෙන ගොස් ඇති බවත්, එම මුදල් තම මාලය උකස් කර ලබාගත් බවත් හෙතෙම පවසා තිබිණි.
මෙපමණ මුදලක් කුමක් සඳහා රැගෙන ආවේදැයි විමසූ විට ඔහු පවසා තිබුණේ මුදල් හදිසියක් නිසා කඳවුරේ මිතුරන්ගෙන් ලබාගත් ණය පියවීමට මෙම මුදල් ලබාගත් බවය.
මතුවු සැකය අනුව පොලිසිය ඔහු අසල තිබී හමුවූ පුවරුවේ ඇති දෙමළ වැකිය ගැන විමසා බැලූ අතර එහිදී පොලිසියට වැටහී තිබුණේ දෙමළ භාෂාව පිළිබඳ දැනුම අඩු අයකු විසින් එය ලියා ඇති බවයි.
කෝප්‍රල්වරයා පැමිණි ගමන් මාර්ගය අවට සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කළ අතර, ඔහු බසයෙන් බැස වෙළෙඳසලක් වෙත ගොස් කාඩ්බෝඩ් කැබැල්ලක් සහ කඹයක් මිලදී ගන්නා ආකාරය එම දර්ශනවල තිබී පොලිසියට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගුවන් හමුදා සෙබළා පවසා ඇත්තේ තමන් දැඩි ලෙස අන්තර්ජාල ක්‍රීඩාවකට ඇබ්බැහි වී ඇති බවත්, මාලය උකස් කර ලබාගත් මුදල් එම සූදු ක්‍රීඩාව සඳහා වියදම් කර පැරදුණු පසු සියදිවි හානි කරගැනීමට සිතූ බවත්, තමන් සියදිවි නසා ගතහොත් ලැබෙන දීමනාව බිරියට නොලැබෙන නිසා මේ ආකාරයේ සිදුවීමක් සැලසුම් කළ බවත් lankasara වෙබ් අඩවිය වාර්තා කර ඇත.
අරගලකරුවන් සහ හමුදාව අතර යම් ගැටුමක් නිර්මාණය වී ඇති බවට ව්‍යාජ මතයක් සමාජගත කරන්නට මෙම පුද්ගලයා දැරූ උත්සාහය ඒ අනුව ව්‍යර්ථ විය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වාලච්චේන පොලිසිය විසින් සිදුකරනු ලබයි.











