තිස් වසරක් පුරා පැවැති යුද සමයේ එල්.ටී.ටී.ඊ. සටන් විරාමයක් පැවැති අවස්ථාවේ ජීවිත අවදානමද නොතකා යුද හමුදාව සමග වන්නි මහ කැලෑ ප්‍රදේශයේ රැයක් පහන් කරමින් හමුදා කඳුළක කතාවක් හෙළිදරව් කිරීමේ සිද්ධිය අදටත් මගේ සිහියට නැගේ. ඒ, 1996 – 1998 කාලවකවානුව අතර බවයි මගේ මතකයේ රැඳී ඇත්තේ. එම සටන් විරාම අවස්ථාවේ වව්නියාව මහ කැලෑවේ හමුදා කඳවුරු (බංකර් සහිත) 16ක පමණ රට රකිමින් සිටි අපේ රණවිරුවන් දිරිමත් කිරීම සඳහා මාධ්‍යවේදීන් රැගෙන යෑමේ යෝජනාව ඉදිරිපත් වූයේ එවක යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරල් රොහාන් දලුවත්ත හරහාය. එය සංවිධාන කළේ එවක යුද හමුදාවේ වන්නි ජනමාධ්‍ය ප්‍රධානියාව සිටි කැප්ටන් තිලක් සේනානායකය.වන්නි මහ කැලෑවේ කඳවුරු 16ක රැකවල්ලාගෙන නොනිදා රැය පහන් කරමින් සිටි රණවිරුවන් සමග රැයක් ගතකිරීමට යෑමේ අවස්ථාව ඒ අනුව මටද උදාවිය. කඳුවුරු 16කට යෑමට මාධ්‍යවේදීන්ට ආරාධනා තිබුණද මා සමග ඒ ගමනට එක්වූයේ මාධ්‍යවේදීන් 8 දෙනකු පමණි. එම පිරිස අතර මගේ සමකාලීන මාධ්‍යවේදී නෝමන් පලිහවඩනද සිටි බව මතකය.
එදා අපිව වන්නි යුද හමුදා මූලස්ථානයට කඳවාගෙන යෑම සඳහා ලබාදී තිබූ වේලාව වූයේ සවස 6ය. නමුත් හමුදා බස් රථය දහවල් 12ට කොළඹින් පිටත්ව යන අතරමගදී එහි යතුරුපැදිකරුවකු ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් ගමන මඳක් ප්‍රමාද විය. ඒ අනුව, අප රැගත් හමුදා බස් රථය වන්නි හමුදා මූලස්ථානයට ළඟාවන විට රාත්‍රී 7 පසුවී තිබිණි. ඒ වනවිට එක් මාධ්‍යවේදියකු සහ කැමරා ශිල්පියකු බැගින් මහ කැලෑවේ හමුදා බංකර් සහිත කඳවුරු වෙත රැගෙන යෑම සඳහා කඳවුරු අටක අණ දෙන නිලධාරීහු වන්නි මූලස්ථානයට පැමිණ සිටියහ. මමත් මා සමග ගිය ‘දවස’ කැමරා ශිල්පියාත් රැගෙන ගියේ වන්නි මූලස්ථානයේ සිට කිලෝමීටර් 09ක් පමණ කැලෑව මැදින් වැටුණු දුෂ්කර මාර්ගයක යායුතු වූ ඇටඹගස්කඩ හමුදා කඳවුර වෙතය. (Sri Lanka Latest News)
මහ රෑ ගිය ඒ ගමන අවදානම් ගෙනදෙන සහිත එකක් බව අපට වැටහුණේ ඝන අඳුරින් පිරි කැලෑව තුළින් ඇසුණු අලි ඇතුන් නඟන හඬ හේතුවෙනි. අප රැගත් ජීප් රථය කැලෑව මැදින් වැටුණු කුඩා පාරක ගමන් කරද්දී ජීප් රථය පදවමින් සිටි හමුදා රියැදුරුවරයා ඉදිරි අසුනේ සිටි අණදෙන නිලධාරිවරයාට කීවේ ‘සර් ඉස්සරහින් විදුලි පන්දම් එළියක් අපේ වාහනේ පැත්තට එනව වගේ පේනවා. මොකද කරන්නේ…?’ යනුවෙනි. ඒ සමගම අණදෙන නිලධාරිවරයා ඔහු අත තිබූ වෝකිටෝකි යන්ත්‍රයෙන් අපට නොතේරෙන ආකාරයේ කිසියම් පණිවුඩ හුවමාරුවක යෙදෙනු දක්නට ලැබිණි. මමත් මා සමග සිටි ඡායාරූප ශිල්පියාටත් දැනුණේ මර බියකි. අප දෙදෙනා කතාකරගත්තේ, ‘කොටි ප්‍රහාරයක් නම් ඊට කලින් අපි දෙන්නා කැලෑවට පැනලා හැංගෙමු. වෙඩි කාලා මැරෙනවට වඩා ඒක හොඳයි..’ යනුවෙනි. ඡායාරූප ශිල්පියාද ඒ අදහසට එකඟ විය. ඒ සමගම ඉදිරිපස අසුණේ සිට අණ දෙන නිලධාරියා අපට කීවේ, ‘බයවෙන්න එපා. අපි එන්න පරක්කු වෙච්ච නිසා හමුදා කඳවුරේ සොල්දාදුවන් කීප දෙනෙක් අපිව හොයන්න මගට එවලා. ඒක සංඥා කරන්න තමයි ඒ අය විදුලි පන්දම් එළියෙන් කතිරයක් සලකුණු කළේ. දැන් බයවෙන්න දෙයක් නෑ…’ යනුවෙනි. ඒ සමගම අප තුළ ඇතිවූ බිය තුනී වී ගියේය.
අප රැගත් ජීප් රථය එදින රාත්‍රී 7.30ට පමණ ඇටඹගස්කඩ හමුදා කඳවුර සහිත බංකරය අසලට ළඟාවිය. අප එහි යනවිටත් එහි සිටි භට පිරිස් අපට සංග්‍රහ කිරීමට සූදානම්ව සිටියහ. රාත්‍රී භෝජන සංග්‍රහයද කිසිවකින් අඩුවක් නොවීය. මේ අවස්ථාවේ මට ඇතිවූයේ මේ සියල්ල අප පැමිණි නිසාද යන අදහසය.
මේ අතර, ගල් කුලකට පිටුපා සකස් කර තිබූ හමුදා බංකරය ඉදිරියෙන් හමුදා භටයකු සිය ගිනි අවිය මානාගෙන කැලෑව දෙස බලා සිටින දර්ශනයක් මගේ නෙත ගැටිණි. අඩු විදුලි ආලෝකයක් ජෙනරේටරයකින් සැපයුවද ලන්තෑරුම් එළිද නොතිබුණා නොවේ. රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මම රණවිරුවකු පැත්තකට කැඳවාගෙන ගොස් ඒ අයට ලැබෙන පහසුකම් සහ විඳින්නට සිදුවන දුෂ්කරතා ගැන කතාව ඔහුගෙන් විමසා සිටියෙමි. මාධ්‍ය පැමිණි නිසා එදින රාත්‍රී ආහාරය රසවත්ව ලැබුණද සාමාන්‍ය දිනවල ලැබෙන්නේ කෑමට දුෂ්කර නීරස ආහාර බව ඔහු මා හා කීවේය. තවත් රණවිරුවකු මා සමග කීවේ පැදුරක් දෙකට කපා නිදියන අවස්ථාද ඇති බවයි. රණවිරුවන් සඳහා ලැබිය යුතු ආහාර වට්ටෝරු නියමිත ලෙස නොලැබෙන තැන සිට ඒවා සිදුවන ඇතුළු පැතිකඩවල් ගැනද මෙතෙක් ඔවුන්ගේ සිත් තුළ ගුළිගැසී තිබූ වේදනා එළියට පැන්නේ අප ඔවුන් හා කතාකළ මාධ්‍ය ස්වරූපය ඔවුන් හොඳින් තේරුම්ගත් නිසාමය.
රණවිරුවන්ගේ කඳුළු කතාවේ සෑම කොනක්ම මම අවුස්සා ගත්තෙමි. රණවිරුවන් ගැන කැලෑවෙන් ඇසෙන කතා කොළඹට යනවිට වෙනස් රටාවකින් පැතිරී ගියත්, තිත්ත ඇත්ත ඔවුන්ගේ හදවතින්ම අප හෙළිකර ගත්තෙමු. හමුදා කඳුළක වේදනාව මම අඩ අඳුරේම සටහන් කරගත්තේ රට රකින රණවිරුවන්ගේ තිත්ත ඇත්ත පුවත්පතේ පිටුවක් පුරා ලිවීමේ අදහසිනි. එදා වන්නි මහ කැලෑවේ රැයක් පහන් කර පසුදා නැවත පත්තර කන්තෝරුවට ආවේ රණවිරු කඳුළු කතාව මගේ කඳුළක් යට සඟවාගෙනය.
රිවිරැස පත්‍රයට රණවිරුවන් විඳින දුක පිටුවක් පුරා මම ලීවෙමි. එම ලිපිය ‘රිවිරැසේ’ පළවී තිබෙනු දුටු එවක යුද හමුදාපති රොහාන් දුල්වත්ත පසු දිනම වන්නි හමුදා මූලස්ථානයට ගොස් රණවිරුවන්ට දිනපතා ලැබෙන කෑම වට්ටෝරුව එළියට ඇද්දේය. සෑම කඳවුරකම සිටින අණ දෙන නිලධාරීන් යටතේම දිනපතා ලබාදෙන ආහාර වේල ගැන සෙවීමට වෙනම හමුදා නිලධාරියකු පත්කිරීමටද යුද හමුදාපතිවරයා නියෝග ලබාදී තිබිණි. එම නියෝග ඇතුළත් චක්‍රලේඛය වන්නියට සීමා නොකර උතුරු-නැගෙනහිර පළාත්වල පිහිටි හමුදා කඳවුරුවලට බලාත්මක කළේ එම යුද හමුදාපතිවරයායි.
හමුදාවේ කඳුළු කතාව ගැන මම එදා පුවත්පතට ලිවීම නිසා තමන්ට හොඳ ප්‍රතිඵල ලැබුණු බව නම හෙළි නොකළ රණවරුවන් පිරිසක් පසු දිනක මට පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න










