30%ක් වශයෙන් ලංකාවට පනවා තිබූ තීරුබද්ද තවදුරටත් අඩුකර ගැනීම සඳහා ආණ්ඩුව ට්‍රම්ප් රජය සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ අප, එම සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ, නොඑසේ නම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වෙන බව අනාවරණ කළේය. නමුත් ඇතැම් මාධ්‍ය මෙන්ම විදේශ ඇමැති විජිත හේරත්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා විශේෂ කණ්ඩායමක් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇතැයි කියාය. නමුත් පසුව අප කළ අනාවරණය තහවුරු කරමින් අදාළ සාකච්ඡාවන් පැවැත්වූයේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේය. සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම වට දෙකකින් එය අවසන් කිරීමට සැලසුම් කර තිබුණත්, වට තුනක් දක්වා එම සාකච්ඡා ඇදීගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මේ සාකච්ඡාව පුරාම දැකගන්නට ලැබුණේ වෙළෙඳ ශේෂය අවම කරගැනීම සඳහා ලංකාව ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට සූදානම් වන භාණ්ඩ හා සේවා පිළිබඳවත්, එහි වටිනාකම් පිළිබඳවත් අමෙරිකාව උනන්දු වී තිබීමය.Sri Lanka Latest News
පසුගිය සතියේ අප මේ පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් ලංකාව ඇමෙරිකාවෙන් බෝයිං යානා 3ක් මිලදී ගැනීමට සූදානමින් සිටින බව අනාවරණ කළෙමු. නමුත් එය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලබාගන්නවාද, එසේත් නැත්නම් පෞද්ගලික සමාගමක් මගින් ලබාගන්නවාද යන්න සම්බන්ධයෙන් ඒ වනවිට අප වෙත තොරතුරු වාර්තා වී තිබුණේ නැත. නමුත් මේ වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලංකාව ඇමෙරිකාවෙන් බෝයිං යානා 3ක් නොව බෝයිං යානා 6ක් මිලදී ගැනීමට තීරණය කොට ඇතැයි කියාය. ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නොව මෙරට ප්‍රකට ආයතනයක් වන එක්ස්පෝ ලංකා ආයතනයෙන් බවය. එක්ස්පෝ ලංකා ආයතනයේ හිමිකරු වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මොහොමඩ් හනීෆා මහතාය. නමුත් පසුව ඒ මහතා දේශපාලනයට පැමිණීමත් සමග එම නිලතලවලින් ඉවත් වීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව දැනට ඇති තොරතුරුවලින් වාර්තා වන්නේ මෙම එක්ස්පෝ ලංකා ආයතනය ෆිට්ස් එයාර් නම්වූ අඩු වියදම් ගුවන් සේවයක් සමග එක්ව මෙම බෝයිං යානා 6 මිලදී ගැනීමට තීරණය කොට ඇතැයි කියාය. මීට අමතරව ගෑස් සහ තෙල් ඇමෙරිකාවෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී ආණ්ඩුව පැත්තෙන් යෝජනා ඉදිරිපත් කොට තිබේ.










