ශ්‍රී ලංකාව, අකාර්යක්ෂම පාලන තන්ත්‍රයක් විසින් ශේෂ කරන ලද ව්‍යසනයකට මුහුණ දෙමින් සිටී. වර්තමානයේ අප අත්දකින ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය, ආදායම් මාර්ග අහිමි වීම, පාසල් පද්ධතිය බිඳවැටීම වැනි සකල විධ සමාජ අර්බුද එකී ව්‍යසනයේ ඍජු ප්‍රතිඵල වෙයි. අතිශය පීඩාකාරී ලෙස අපට දැනුණද තවමත් අප සිටිනුයේ එකී විපතේ සමාරම්භයේය. එහෙයින් අදට වඩා හෙට අනිද්දා වන විට ජනතා අරගල, කැරලිගැසීම්, කලකෝලාහල, උද්ඝෝෂණ ආදිය සමාජයේ සුලබ වනු ඇත. මෙකී තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේදී පොලිසිය වැනි මූලික නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරෙයි. නමුත් කුමක් හෝ අවාසනාවකට ශ්‍රී ලංකාවේ පොලිසියට මහජන අර්ථසාධක කාර්යයන් ඉටුකිරීම සහ සිවිල් සමාජ ගැටුම් කළමනාකරණය උදෙසා විධිමත් ප්‍රවේශයක් කිසිදු දිනෙක තිබී නැත.
කුමක්දෝ අවාසනාවකට ශ්‍රී ලංකාවේ පොලිසියට මෙවැනි සංකීර්ණ සමාජ අර්බුදයක් කළමනාකරණය කරගැනීමේදී චිකාගෝ සම්ප්‍රදායේ ‘ලයිසන් චණ්ඩි’ භූමිකාව ඉක්මවීමට තවමත් හැකිව නැත. එහෙයින් පොලිසිය කරනුයේ අර්බුද විසඳීමට දෑතේ දෙපයේ වෙර වීරිය පාවිච්චි කිරීමය. එම තත්ත්වය නිසා ඉන්ධන පිරවුම්හල් සහ වෙනත් ජනතා ඒකරාශීවීම් බහුල ස්ථාන ආශ්‍රිතව පසුගිය සතියේ ගැටලු රැසක් වාර්තා විය. එවැනි තත්ත්වයක් රටේ පවතින බව දැන දැනත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවම බලය පාවිච්චි කිරීමට පොලිස් නිලධාරීන්ට අවසර දී තිබිණි. ශ්‍රී ලංකවේ පොලිසියේ අවම බලය වූ කලී සබැවින්ම අරුම පුදුම එකකි. විටෙක කඳුළු ගෑස් ප්‍රහාරය අවම බලය වන අතර තවත් විටෙක එය රබර් උණ්ඩ දක්වා ද, බැටන් ප්‍රහාර ඉක්මවා ජීව උණ්ඩ භාවිතය දක්වාද දුරදිග යන්නේය. පසුගියදා රඹුක්කනදී පොලිස් වෙඩිතැබීමකින් තරුණයෙක් මියගියේය. එහිදී පොලිසිය අවම බලය පාවිච්චි කළ බව කියැවුණි. එතැනදී අවම බලය බඩවැල් එළියට පනින්නට තබන වෙඩි පහරකට තක්සේරුවී තිබිණි. මේ ආකාරයෙන් තැනින් තැනට විචල්‍ය වන අවම බලය නිසා අරගලකරුවෝ පමණක් නොව රටේ පොදු ජනයාද විටෙන් විට පත්වෙමින් සිටිනුයේ හරිම අසීරුවකටය.රට පුරා පතිර ඇති ඉන්ධන හා ගෑස් පෝලිම්වල උපරිම පීඩනය මේ වන විට කරළියට පැමිණෙමින් තිබේ. ඇතැම් තැන්හිදී දින තුන හතර එක දිගට ජනතාව තෙල් පෝලිම්වල සිරව සිටිති. ඔවුන්ගේ රැකී රක්ෂා අවස්ථා මෙන්ම සෙසු මානව සමාජ අවශ්‍යතාවන්ද තෙල් පෝලිම්වල දියව යමින් තිබේ. රාත්‍රී නින්ද, උදේ දහවල් රාත්‍රී ආහාර ගැනීම ඇතුළු සියලු අවශ්‍යතාවන් මහ මඟදී සපුරා ගන්නා තැනට පෝලිම්වාසී ජනයා පත්ව සිටිති. මෙම තත්ත්වය නිසා ඔහුන්ගේ මානසික ආතතිය උපරිම තත්ත්වයට පැමිණ තිබෙන අතර සුළු පෙලඹවීමකින් පවා මහා කෝලාහලයක් ඇති වීමේ ඉඩකඩ නිර්මාණයවී අවසන්ය. මෙකී පීඩාකාරී මනසින් මිනිසුන් පෝලිම්වල දුක් විඳිමින් මහ මඟ රැය පහන් කරද්දී විවිධාකාර වූ වරප්‍රසාද සහිත වූවෝ පොලිම් පැන ඉන්ධන ලබාගැනීම බොහෝ තෙල් පෝලිම්වල අර්බුදවලට හේතුවය. පොලිස් නිලධාරීන්ගේ සිට පාතාල මැරයන් දක්වා පුළුල් පරාසයක පැතිරුණු මෙකී වරප්‍රසාද ලත් පන්තියට ඇතැම් භික්ෂුන්වහන්සේලා පවා ඇතුළත් බව ඔබ විශ්වාස නොකරන්නටද පුළුවන. පසුගියදා තලංගම ඩිපෝවේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබාදීමට පිහිටුවා තිබූ පිරවුම්හලට බලහත්කාරයෙන් කඩාවැදුණු සංගීත ශිල්පී පේෂල මනෝජ් එහි සේවකයනට තර්ජනයකර ඉන්ධන ලබාගත් පුවත සමජ මාධ්‍යවල ඡායාරූප සහිතව සංසරණය වනු දැකගත හැකිය.
පෙට්‍රල් හෝ ඩීසල් ලීටර කිහියක් ලබාගැනීමට ඇති අවස්ථාව පෙනි පෙනී අහිමි වන මිනිසුන්ගේ ආවේගශීලී හැසිරීම් පාලනය කිරීමට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව හමුදා නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරින්ද යොදවා ඇත. මේ දෙපිරිසෙන් බොහෝ විට ගැටුම් මර්දනය කිරීමේ වගකීම පැවරෙනුයේ පොලිස් නිලධාරීන්ටය. අවම බලය පාවිච්චි කිරීමේ අවසරය සහිතව ඉන්ධන පිරවුම්හල් වෙතට කැඳවා ඇති පොලිස් නිලධාරීන් ගැටුම් පාලනය කරනුයේ හරි අපූරු ආකාරයටය. ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණනක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා බලහත්කාරයෙන් ඉන්ධන ලබාගන්නා කඩවත පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊට එරෙහිව කතා කළ නිරායුධ ජනතාව නිහඬ කරනු ලබුවේ හිසට පිස්තෝලය තබාය. ඉන්ද නොනැවතී එම පිරිසට පහර දීමටත්, පොලිස් ස්ථානයට රැගෙන යාමටත් උත්සාහ ගනු දැකගත හැකි විය. කුරුණෑගල මාස්පොතදීද තවත් මෙවැනි පහරදීමක් සිදුවූ අතර එහිදීද පෝලිම් පැන ඉන්ධන ලබාගැනීම සිද්ධියේ ආරම්භය විය. පසුව ප්‍රදේශවාසීන් කුරුණෑගලදී ඊට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ඊට පුළුල් මහජන සහභාගීත්වයක් හිමිව තිබිණි.
පොදු ජනතාවට එරෙහිව සිය මර්දන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලීසිය තෙල් පෝලිම් ආශ්‍රිතව අනීතික ක්‍රියාකාරකම් කරමින් කළු කඩ වෙළෙඳාමට ඉන්ධන තොග රැස්කරන මැරයන් සම්බන්ධව කටයුතු කරනුයේ බොහෝ උපේක්ෂාසහගතවය. එමෙන්ම දේශපාලන අධිකාරියේ මැර ප්‍රචණ්ඩත්වයද ඔවුහු ඉතසිතින් ඉවසා වදාරති. පසුගියදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි සාමාන්‍ය වැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙක් වන ජගත් සමන්ත නම් අය පහරදී ඇත. ඊට අදාළ දර්ශන තවමත් පිරවුම්හලේ සී.සී.ටී.වී. පද්ධතියේ පටිගතව ඇති මුත් මේ වන තුරුත් එකී මැර ප්‍රහාරය එල්ල කළ මන්ත්‍රී සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැත.
පසුගිය 18 වැනිදා අතුරිගිරියේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතවද තවත් පොලිස් ප්‍රහාරයක් සිදුවිය. එහිදී පොලිසියේ ප්‍රචණ්ඩත්වය ඉසිලිය නොහැකිවූ ජනතාවද පොලිසියට පහරදී ඇති අතර දෙපාර්ශ්වයටම තුවාල සහ පාඩු සිදුව ඇත. පහර කෑ පිරිස් අතර කන්තාවන් කිහිපදෙනකුද සිටින බව වාර්තා වේ. පෝලිම්වල දුක් විඳින ජනතාව ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර දකුණට පමණක් සිමාවී නැත. උතුරේ විශ්වමඩු ප්‍රදේශයේදීද මෙවැනි පොලිස් හමුදා මැදිහත් වීමක් සිදුව ඇති අතර එහිදී අහසට වෙඩි තැබීමක්ද සිදුව ඇත. පෝලිම් ආශ්‍රිතව දුක් විඳින මිනිසුන්ගේ උතුරා යන ආතතිය නිසා හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අවි ආයුධවලින් පිළිතුරු දීමට යන ලංකාවේ පොලිස් නිලධාරීන් පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇත. ඕනෑම කෙනකු අත ජංගම දුරකතනයක් ඇති බැවින් මෙවැනි පොලිස් පහරදීම් වීඩියෝ දර්ශන සහිතව සමාජගත වීමට යන්නේ විනාඩි කිහිපයකි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලී චංග්ද මෙකී පොලිස් පහරදීම් ගැන කනස්සල්ල පළකර තිබුණාය.
පෝලිම්වල දුක්විඳින ජනතාවට එරෙහිව මුදාහරින පොලිස් ප්‍රචණ්ඩත්වය හෙළාදකිමින් ප්‍රකාශයක් කරන ඇමෙරිකානු තානාපතිනිය පොලිසිය සහ හමුදාව ඉන්ධන පෝලිම් ආශ්‍රිතව දුක් විඳින මිනිසුන්ට එරෙහිව අසීමිත බලය යෙදවීම පිළිබඳ වහා සොයා බලන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට සිහි කැඳවීමක්ද කරන්නීය. ඉන්ධන සඳහා වූ පෝලිම් දිග්ගැස්සෙන විට සහ විදුලිය විසන්ධි කරන කාලසීමාව දීර්ඝ වන විට, ජනතාවගේ ආතතියද ඉහළ යන බව පවසන තානාපතිනිය අසීමිත බලය යෙදවීමෙන් ජනතා අවශ්‍යතා ඉටු නොවන බවද පවසන්නීය. දිනෙකට දෙක තුනක නොවරදින ලංකාවේ පොලිස් පහරදීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සිංගර්ද සිය කනස්සල්ල පළකර සිටියාය. ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවට එරෙහිව පොලිසිය සහ හමුදාව බලය යෙදවීම පිළිකුල්සහගත ක්‍රියාවක් බව පවසන ඇය මෙකී පොලිස් පහරදීම් නවතාලීමට ආණ්ඩුව සක්‍රීයව මැදිහත් වියයුතු බව පවසන්නීය.
එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වූ රූපරාමු දැකීමෙන් තමන් කම්පනයට පත්වූ බව පවසන ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනී හානා සිංගර් එවැනි සිදුවීම් පිළිබඳ වහා විමර්ශනය කළ යුතු බවද අවධාරණය කරන්නීය. ශ්‍රී ලංකාව මානව හිමිකම් පවත්වාගෙන යෑම පිළිබඳ ඉතා අයහපත් වාර්තා සහිත රටකි. එහෙයින් දරාගත නොහැකි ආර්ථික දේශපාලන අර්බුදයකින් පීඩා විඳිමින් සිටිනා ජන සමූහයක් ඉලක්ක කර පොලිසිය සහ (අතැම් තැන්හි සන්නද්ධ හමුදාව) මුදාහරින පීඩනය ඉදිරියේදී ජාත්‍යන්තරය හමුමේ ශ්‍රී ලංකාව තවත් අර්බුදයකට ලක් කිරීමට ඉඩ තිබේ. මෙරට උද්ගතවෙමින් පවතින දේශපාලන ආර්ථික තත්ත්වය පිළිබඳ මේ වන විටත් ඕනෑවටත් වඩා ලෝකය දැනුවත් බව අප සිතට ගත යුතුය.
පොලිස් පහරදීම් ආශ්‍රිතව උද්ගතව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සිය අදහස් දක්වා ඇත. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉවසීමෙන් සහ සහකම්පනයෙන් යුතුව ක්‍රියා කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටී.
කුරුණෑගල මාස්පොත සහ තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන නීතිඥ සංගමය, නීතිය හා සාමය රැකීමේදී නිලධාරීන් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනයා සමග කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි. රාජකාරි කරන පොලිස් නිලධාරීන් මහජනයා මුහුණදෙන දැඩි පීඩාව පිළිබඳ දැනුවත්භාවයකින් හා අවබෝධයෙන් යුතුව සහ කම්පනයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හැම විටම සාධාරණ සහ අපක්ෂපාතී විය යුතු බවත් එම නිවේදනය මගින් ඔවුහු කියා සිටිති.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු








