LADIES FIRST කියලා ඇමෙරිකන් තාලේ ඉංග්‍රීසි පැටර්න් එකේ කියමනක් තියෙනවා. හුඟක් ඈත අතීතයේ ඉඳන්ම තමයි ඔය කියන කියමන ආවේ.
ඉංග්‍රීසි පැටර්න් එකට ඒ කියමන එහෙම ආවට ආසියානු තාලෙ රටවලට නම් ඒක හරියටම ගැළපුණේ නැහැ. ඒ නොගැළපීමට හේතු වුණේ ආසියානු රටවල ගැහැනියට පළමු තැන තියා සම තැනවත් දෙන්න පිරිමි මනාපයක් දක්වපු නැති එකයි. ගැහැනු ඉන්නේ බත හදන්නයි, රෙදි හෝදන්නයි ළමයි බලාගන්නයි කියන මතය එදා ඉඳන්ම ආසියානු මිනිසුන් තුළ මුල් බැස තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාව ලංකාව වාගේ රටවල ඒ කාලේ දැරියකට රස්සාවකට යන්නවත් ගෙවල්වලින් ඉඩක් දුන්නේ නැහැයි කියලා කියනවා. (Sri Lanka Latest News)
නමුත් කාන්තාව සමාජගත වීමේ ආරම්භයත් සමග ඒ කියන සියලු මතිමතාන්තර බැහැරව යන්නට ගත්තේ නොසිතූ වේගයකින්. ගැහැනිය ලොකු පුටුවල තනතුරු දරන විට දේශපාලනයට අත පොවන විට ‘තොටිල්ල පදවන අත රට පාලනයට’ යනුවෙන් වූ අභිමානනීය වැකිද නිර්මාණය වෙන්නට ගත්තා. ගෙයි මුල්ලට වී බත හදන්නට ළමයි නළවන්නට, රෙදි පෙරෙදි සෝදන්නට පමණක්ම හංවඩු ගැසී හිටපු කාන්තාවන් අළු ගසාදමා එක්ව පෙළගැසෙන්නට වූයේ එතැන් සිටයි. හරියට තම රාජකාරිය ඉටුකරනවා නම් කාන්තාවන්ට සම තැන දීම සහ පිරිමින් හා උරෙනුර ගැටී කටයුතු කිරීම සඳහා නිලතල දීමෙන් පිරිමින්ගේ පිරිමිකමට මහත්මා ගතියට හෝ රටේ ගෞරවයට බාධාවක් වන්නේද නැහැ.
එලෙසම කාන්තාව කෙතරම් සමාජගත වුවද පිරිමින් මෙන් වැඩ කරන්නට පුළුවන් වග පෙන්වුවද කිසිදු අවස්ථාවක ඇයට ලැබිය යුතු ඒ සම තැන ඔවුන්ට හිමිවූයේ නැත. මෙතෙක් හිමිවූයේ නැත. දේශපාලනය තුළදී සේම ආරක්ෂක අංශවල නිලතල පැවරීමේදීද විවිධ ආණ්ඩු පෙරළීමේදී මුල් පුටු හුවමාරු කරන විට වුවද කාන්තාවනට කිසි විටෙක ඒ මුල් පුටුවල තනතුරු ලැබුණේ නැත. සිදුවූයේ දෙවැනි හෝ තුන්වැනි තැන ඔවුන්ට හිමිවීම පමණය. කාන්තාවන් ලෙස අගමැති සහ ජනාධිපති තනතුරු දැරුවා වුවද සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද කිසිම අවස්ථාවක කාන්තාවන්ට සම තැන් ලබාදිය යුතු තැනකදී එය ඉටුකළ වගක් කොතැනක හෝ ලියැවී නැත.
ඒත්, කියන්නට සතුටුය. අසන්නට ආඩම්බරය. පසුගියදා මාලිමා ආණ්ඩුව යටතේ කාන්තාවනට නිසි තැන ලබාදෙමින් පොලිස් සේවයේ පුටු පෙරළියක් සිදුව ඇත. කාන්තාවන් හට ඉහළ ප්‍රමුඛතාවක් හිමිකර දෙමින් සිදුව ඇති මෙම පොලිස් පුටු හුවමාරුවේදී ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේදී පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී ධුරයට සහ පොලිස් නිලධාරීන් සම්බන්ධව විමර්ශන සිදුකරන විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ තනතුරටත් කාන්තා නිලධාරිනියන් තුන්දෙනකු පත්කර තිබීම සුවිශේෂ සිදුවීමකි. පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාස (පොලිස් රෝහල) අධ්‍යක්ෂ තනතුරටද කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක තෝරා ගැනීමද මෙහිදී විශේෂ සිදුවීමකි. ‘පොලිස් මුල් පුටුවලට කාන්තාවෝ 4ක්… ඉතිහාසයේ අලුත් පිටුවක්…’ මැයෙන් මෙම ඉතිහාසගත සිදුවීම සෝෂල් මීඩියා පුරාද වයිරල් වී තිබෙන්නේ කාන්තා නිලධාරිනියන්ට සම තැන සහ නිසි තැන ලැබීමේ අභිමානය නිසාම වන්නට පුළුවන.
ඒ වගේම සරලව කියනවා නම් රටට දැයට සේවය කරන්නට තම අභිමානය පෙන්වන්නට කාන්තාවන්ට ඔන්න කාලය උදාවී ඇත. රටේ අගමැතිකම කාන්තාවක සතුය. අගවිනිසුරු ධුරයට පත්ව ඉන්නේද කාන්තාවකි. පාර්ලිමේන්තු සභා ගැබෙහි කාන්තා නියෝජනයද මන්ත්‍රී ධුර 20කින් සමන්විතය.
ඉතින්, මෙතෙක් ඉටු නොවුණු ඉතිහාසගත සංසිද්ධියක් තුළ කාන්තාවන්ට මෙදා සම තැන් හිමිව ඇත. දැන් ඇත්තේ සුබ නැකතින් ස්ත්‍රී අභිමානය තුළින් තමන්ට ලැබුණු රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමය.
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් නිසා දෙවියන්ට වුවද හරි වැරැද්ද තෝරා දෙමින් අවංකව නීතිය අකුරට ඉටුකිරීමේ කාර්යය දැන් ඉතින් ඔවුන්ට ඉටුකරලීමට පුළුවන. කාන්තා ප්‍රතිරූපයට සමතැන් හිමිවීමේ ගෞරවය නිසි ලෙස රැකගනිමින් මේ වීරෝදාර දියණියනට ලක් මාතාව වෙනුවෙන් තම යුතුකම හා සේවාව නොපිරිහෙළා ඉටුකරලීමට හැකියාව ලැබී ඇත.
පොලිස් සේවාවෙහි රන් අකුරෙන් ලියැවෙන මේ ඉතිහාසගත අවස්ථාව වෙනුවෙන්ද ඉහළ තනතුරුවලින් පුද ලද කාන්තා නිලධාරිනියන් වෙනුවෙන්ද ‘මව්රට’ ශුභාශිංසන මෙලෙස පිරිනමන්නෙමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










