දේශපාලන, සමාජයීය සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට ඉදිරි කාලයේදී මුහුණපෑමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මියුරු සම්පත් ලියනගේ මහතා සිය මතය ඉදිරිපත් කර තිබෙනවා. Family TV යූටියුබ් නාලිකාවත් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා දැක්වූ අදහස්වලින් කොටසක් ‘මව්රට’ පාඨක ඔබට අප මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News
මම කැමැතියි මුලින්ම මේ වෙලාවේ ලෝකේ තියෙන කැලඹිලිසහගත තත්ත්වය ලෝකායතන ජ්‍යොතිෂයට අනුව විග්‍රහ කරගන්න?
ලෝකයේ වගේම ලංකාවටත් අප්‍රේල්වලින් පස්සේ කැලඹීම් සහිත කාලයක් එනවා, ලංකාවටත් එනවා. සෙනසුරු ග්‍රහයා මීනයට ආවට පස්සේ ලෝකයන් අතර අර්බුදකාරීභාවයක් හටගන්නවා. ඒ වගේම මීනයට ආවා සෙනසුරු, එක එක රාජ්‍ය නායකයන් තමන්ගේ වචන නිසා, ස්වභාවය නිසා, තම තමන්ගේ රාජ්‍යයන් තුළ කැලඹීම් සහිත බව උදා වෙනවා. ඕක ලංකාවටත් මම කිව්වා අපේ රටේ රාජ්‍ය නායකයනුත් කට නිසා වරද්ද ගන්නවා කියලා ජනවාරිවලින් පස්සේ. ඒ වගේම ඔබ දැක්කා ලක්ෂ 23ක වගේ ප්‍රමාණයකින් ඡන්ද ප්‍රමාණය අඩු වුණා, පෙර ගත්ත ප්‍රමාණයට සාපේක්ෂව. ඒ වගේම තමයි ඒකට උත්තරය හොඳටම ලැබුණේ, ඍජුවම කතා කළොත් බොහෝ දෙනෙක් බොරු කියන්න ගත්ත නිසා. වෙන මුකුත් නෙමෙයි. පළවෙනි පියවර වශයෙන් ඕක වෙනවා කියන තැන මම කිව්වා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා.
ලෝකය දිහා බලද්දී මම කිව්වා, ලෝකයට ට්‍රම්ප් ලොකු බලපෑමක් කරනවා. මුලින්ම බලපෑම ඇති කරන්නේ ආසියාවට ට්‍රම්ප් කියලා. ඕක ලෝකයටම කිව්ව එකම පුද්ගලයත් විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේම තමයි. අද මම කියපු විදිහටම අප්‍රේල් පළවෙනිදායින් පස්සේ, ලෝකයට බලපානකොට, ලංකාවට මුලින්ම සම්බාධකත්, ආසියාවට සම්බාධකත් දානවා කිව්වා ට්‍රම්ප්. ඒ විදිහටම ආසියාවේ බොහෝ රටවලට ඒ සම්බාධක දැම්මා. මම කිව්වා ජූලි, අගෝස්තු වගේ කාලේ වෙනකොට අනිවාර්යයෙන්ම ලංකාවේ ආර්ථිකයට, ලංකාව වගේම ලෝකයේ විවිධ කැලඹීම් සහිත ප්‍රශ්නයත් එක්ක ලෝක යුදමය වාතාවරණ ටික බිහි වෙනවා. ඉතින් ඒක දැන් ඒ විදිහටම සිද්ධ වෙලා.
දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ඉදිරියේදී මොකක් වෙයිද කියලද ඔබ කියන්නේ?
මම මෙහෙම දෙයක් කියනවා. ලෝකයේ යුද්ධ කිරීම, ලෝකයේ පැවැත්මට ඒ බලපෑම් ටික එන එක මට සතුටක් වශයෙන් නැහැ. හැබැයි මම කියපු අනාවැකි කිව්වේ, මගේ ශාස්ත්‍රය තුළ තියෙන හරය, සාර්ථකත්වය, විස්තරය ලෝකයට ඇත්ත කියලා මට ඔප්පු කරන්න ඕනෙ නිසයි. ලෝකයේ මේ පටන් ගත්ත කැලඹීම් සහිතභාවය ඉවර වෙන්න වසර දෙකහමාරකට වැඩි කාලයක් යනවාමයි. 2027 වසරේදී හරියටම අගෝස්තු මාසේ 27, 28 වෙනකම් මේ සෙනසුරුගේ දෘෂ්ටිභාවය ඉවත් වෙලා මුළුමනින්ම අලුත් පරිසරයක් සැකසිලත් මාස දෙකහමාරක් යනකම් මේ විශ්ව පථය තුළ මේ කියන අඳුරු සිද්ධාන්තභාවය තියෙනවා. මොකද අමතක කරන්න බැහැ, මකරයට සෙනසුරු ආවහම ලෝකායතන ජ්‍යොතිෂය අනුව ලෝකයේ එතෙක් වසංගත ප්‍රශ්නාර්ථයන් සහ ලෝකයේ හිරවෙන්න ගත්තා සියලු මිනිස් ජීවියාගේ ඛේදවාචක යුගයක් විදිහට. ඊට පස්සේ සෙනසුරු කුම්භයට ආවම මිනිස්සුන්ට අවස්ථාව දීලා, මිනිස්සුන්ගේ පරිසරය හදලා 2023 ජනවාරි 17න් පස්සේ යම් සෞම්‍ය කාලයක් ඇති කළා. ආපහු හරියටම 2025 වසරේදී මාර්තු මාසේ 29 වැනිදා සෙනසුරු මීනයට ඇවිල්ලා, ලෝකයේ කැලඹීම් සහිත යුගයේ දෙවැනි ස්ටෙප් එක පටන් ගත්තා කලබලකාරී සහ ඝට්ටනකාරක කාලය.
ඔබේ විශ්ලේෂණය ඇතුළේ දැන් ඔය ට්‍රම්ප්ගේ භාවිතාවත් එක්ක, ඊශ්‍රායල්, ඉරාන යුද්ධය කොයි පැත්තකට හැරෙයිද?
99%ක් අපි දැක්කා සදාම් හුසේන්ට වෙච්ච දේ ඉරාකය තුළදී. මේකත් ඇමෙරිකන් ගේම් එකක්. මොකද ඇමෙරිකාවේ ජනාධිපතියෙක් ලෝකෙට බිහි වෙන්නේ 90%ක්ම ඇමෙරිකන්වාදී නිර්මාණාත්මකභාවයක්. මොකද ඕක පහුගිය කාලේ තිබ්බේ නෑ ඔබාමා කියන චරිතය තුළදී. ඒත් අද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන සිංහ ලග්නයේ ඉපදුණු කාලසර්ප යෝගයේ දැවැන්ත චරිතය ඉපදෙන්නේ තමන්ගේ ජීවිතය අවදානමකට අරගෙන. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පුද්ගලයා හරි ආවේගශීලී වගේම, උපක්‍රමශීලී වගේම දරුණු පාලකයෙක්. ඔහු ඇත්තටම ලයන්. ඩොනල්ඩ් ට්‍රම්ප් කළේ මුලින්ම සිංහ ලග්නයෙන් ඇවිල්ලා ඒ පරිපාලනය හැදුවා. මොකද ඔහු ඔහුගේ ජීවිතය අවදානමට තියලා තමයි ඔතැනට ආවේ. ඔහු පටන් ගත්තෙත් ඔහුගේ බුලට් එකක් කන ගාවින් ගිහිල්ලා. අමතක කරන්න එපා එච්චර ප්‍රබල නායකයෙක්. ඔහු ඒ මරණයෙන් බේරුණාට තාමත් ඔහුට එනවා මාරක අවදානමක්. මේ ජුනි මාසේ පටන් ගන්නවත් එක්කම ඔය පරිසරය ඇවිල්ලා ඉවරයි. ජුනි මාසේ හරියටම 20 වැනිදා දිනේ ඉඳන් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන ජන නායකයාට තියෙනවා ජීවිත අවදානමක්.
ඔබට හිතෙන විදිහට මේ කැලඹිලිසහගත තත්ත්වය කොයි කාලේ වෙනකොට නිමාවෙයිද?
2027 වසරේදී සාමාන්‍යයෙන් මේ කැලඹීම් තත්ත්වය සම්පූර්ණයෙන් නිමාවට පත්වෙන්නේ අප්‍රේල් මාසේ 16, 17 කියන කාලය තුළ. ඔබට සිංහල අවුරුදු දෙකකට පස්සේ පුළුවන් මේ යුදමය තත්ත්වය තුළ තිබූ හානිය නතර වුණා කියන තැන දකින්න. නමුත් අවුරුදු ගානක් මේක යනවා. මේක වරින් වර ඇවිළෙනවා, පොඩ්ඩක් පාලනය වෙනවා, ආයි එනවා.
මේ ලෝකායතන ජ්‍යොතිෂය අනුව ඔබ කරන විග්‍රහයත් එක්ක ඕක ලංකාවට මොන විදිහට බලපායිද?
ලංකාවට මේ ලෝකායතන ජ්‍යොතිෂය අනුව මේකේ ඍජු බලපෑමක් තියෙනවා. මොකද එක් පැත්තකින් හොඳ පැත්තක් තියෙනවා. මොකද ආසියාවට එන්න එන්න බලය ලැබෙනවා. බලය ලැබෙනකොට අපි සන්නද්ධ වෙන්න ඕනේ ආර්ථිකයෙන්. එතැනදි කෘෂිකර්මාන්තය හා නිෂ්පාදන ධාරිතාව වැඩි කරගත්තම අපිට ලේසියි ඒ යුරෝපා රටවලට, නැත්නම් අරාබිකර රටවලට අපිට අපේ තියෙන ආර්ථිකය වර්ධනය කරගන්න. ඒ සැලසුම් ටික හදන්න පුළුවන්. නමුත් ඒ සැලැස්ම ලංකාවේ තාම හැදිලා නැති ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒ නිසා තමයි ලංකාව වැටෙන්නේ. මම ඕක තමයි සැරින් සැරේ කිව්වේ ලංකාව වැටෙන්න නොදී ආර්ථිකය හදන්න, නිෂ්පාදනයක් ගේන්න, ප්‍රොජෙක්ට් එකක් ගේන්න කියලා. ප්‍රොජෙක්ට් එක කියලා මම කිව්වේ ළමයින්ගේ බුද්ධි වර්ධනයට. නිෂ්පාදන ධාරිතාව කුඩා කාලේ පටන් අර චීනයේ කරනවා වගේ පුංචි දරුවාගේ සිට නිෂ්පාදනයක් ලංකාවට ගේන්න කියලා. ඒ වගේම ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න කියලා.
ඕක ජ්‍යොතිෂයට ගළපගන්නේ කොහොමද?
මේකේ හේතුව තමයි සෙනසුරු ලග්නාධිපතිභාවයෙන් අයින් වෙලා, මීනයට එනකොට අවශ්‍ය වෙන්නේ රටක නිෂ්පාදනය. රටක තියෙන ධාරිතාව. රටක තියෙන පැවැත්මට අදාළ වෙන්නේ මූලික කාරණා ටික එතැන. එතැනට අයිති වෙන්නේ අර නීතිමය ප්‍රශ්න, නීතිමය රාමු ටික විතරක් නෙමෙයි. 1968 නොවැම්බර් මාසේ 24 වැනිදා ඉපදුණු අනුර කුමාර දිසානායක මහත්මයාගේ කේන්ද්‍රය නිර්මාණය වෙන්නේ වෘශ්චික ලග්නයෙන්. දැන්, මම ඕක 2019 වසරෙන් පස්සේ එන අනාගත බලය හැදෙනකොට 2022, 23, 24 වෙනකොට, ඒකාන්තයෙන්ම දිනනවා කිව්වා අනුර කුමාර දිසානායක මහත්මයා, අංක එක.
දෙක කිව්වේ සජිත් මහත්මයා. ඕක ඒ රැල්ල අදටත් ඔය සෝෂල් මීඩියා හැමතැනම කතාවෙන දෙයක් දසුන්. මේ දේ මම මෙහෙම කියනකොට, ඒ කියන්න හේතුව තිබුණේ, මේ ලංකා කේන්ද්‍රය. ලංකාව කියන්නේ අමුතු රටක්. මේක අමුතු රාජ්‍යයක්. මොකද මේකේ කාලෙන් කාලෙට දුර්වල වෙන හෝ නැත්නම් වැරදි විදිහට භාවිත කරන අයට දඬුවම් දෙන රාජ්‍යයක් මේ රට. ලංකාව කියන්නේ දුර්වල නම් පාලකයා, කරන දේ කිව්වේ නැත්නම්, කරන දේ කිව්වේ නැති තැනට ආවොත් ඒ පාලකයාට දෙන විපාකය අසමසමයි. ඉතින් මේකත් ඒ වගේ දෙයක් මේ සිද්ධ වුණේ. දැන් මෙතුමා පටන් ගන්නකොට ඒ පරිසර රාමුව තුළ කියපු දේවල් අතර හා පරස්පරතාවක් අනාගතයේ ඇති වුණා පළමු මාස පහේදී. දැන් තමයි ආපහු පරිසරයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම හිතන්නේ නෑ තාම සාර්ථක භාවයක් තියෙනවා කියලා. තාම යන්නේ නීතිය, ඒ වගේම තමයි නීති රාමුව සහ දඬුවම් ක්‍රමවේදයට අදාළ දේවල් විතරයි. තාම නිෂ්පාදනය, පැවැත්ම, දියුණුව නැහැ. අපිට කියන්න පුළුවන් සංදර්ශනයක් විදිහට අරක කළා, මේක කළා, මෙහෙම කරනවා කියලා.
ඔබ පහුගිය දවස්වලත් කියලා තිබුණා ජ්‍යොතිෂ රාමුව ඇතුළේ මෙන්න මේ කට්ටියට හිරේ යන්න වෙයි කියලා. මම ඔබෙන් අහන්නේ මේ තියෙන තත්ත්වයත් එක්ක අතීතයේ වැරදි කරයි කියලා, අර දූෂණ වංචාවලට සම්බන්ධ වුණයි කියලා හරි, ඔය ඉන්න උදවියට මොන වගේ දඬුවමක් ලැබෙයිද? කී දෙනෙකුට දඬුවම් ලැබෙයිද?
උපරිම වුණොත් දැන් අපි නීති රාමුව වශයෙන් ගත්තහම, නීතිය තුළ දඬුවම් දීලා අපිට කාලයක් තිස්සේ හිරේ දාලා තියන්න පුළුවන්. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. අවුරුදු පහෙන් පහට බලයට ආපු හැම පාලනයකදීම වෙලා තියෙන්නේ තමන්ට බලපෑම් කරපු හෝ නැත්නම් ප්‍රශ්නකාරක හෝ තමන්ගේ විරුද්ධවාදීන්ට බලපෑම් කරමින්, ඇත්තටම කිව්වොත් පළිගැනීමක්.
යම් විදියකින් මම කියනවා රාජ්‍ය ආයතනවලට සම්බන්ධ වෙලා හිටපු, ඊට අමතරව ගත්තම රජයේ හිටපු මන්ත්‍රීවරු, හිටපු අමාත්‍යවරු, හිටපු ලේකම්වරු සහ ඊට අමතරව ගත්තම ව්‍යාපාරිකයන් හා ව්‍යාපාරවලට සම්බන්ධ හා ඒ වගේම තමයි ව්‍යාපාර ආයතනවල සම්බන්ධ වුණු අය හා ඒ සම්පූර්ණ සමස්තය ගත්තාම මම මේ කතා කරන්නේ අවුරුදු පහක් බලය තියෙනවා, ඉන් දෙකහමාර යනකොටම දැනට ඒ සහ විස්තරාත්මක පිළිවෙළෙන් ගණනය කරලා බැලුවාම, 436 දෙනකුට නඩු ටිකත් වැටිලා තියෙනවා. ඒ 436ට දඬුවමුත් නියම වෙලා තියෙනවා. ඉතින් ඔය ප්‍රමාණයකට අනිවාර්යයෙන් එනවා. අංක විද්‍යාත්මකව ඔය ප්‍රමාණය එනවා. මොකද සෙනසුරු මීනයේ යද්දී කුම්භ ලග්නය තුළ ඒ ප්‍රමාණය අනිවාර්යයෙන් මේ මොහොතේ අනාගතයට පැමිණිය යුතු සංඛ්‍යාව විදිහට තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම වෙනවා.
දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක, ආපු ගමන්මගත් එක්ක, ජනාධිපතිවරයාට රට කරන්න පුළුවන් වෙයිද?
පැහැදිලිවම අමාරුයි, අපහසුයි. මම හැමතිස්සෙම කියපු දෙයක්නේ. මේ රට එක පැත්තකින් කරන්නේ පාතාලය. අනිත් පැත්තෙන් ජාවාරම්කාරයෝ. අනිත් එක මංකොල්ලකාරයෝ. අනිත් පැත්තෙන් බොරුවෙන්, වංචාවෙන් මවාපෑමෙන් සහ රඟපෑමෙන්. මෙන්න මේ කාරණා හතෙන් සිද්ධ වෙන රටක් කොහොමද දියුණු කරන්නේ? කරන්න බෑ. ජ්‍යෝතිෂ විග්‍රහයට අනුව කරන්න බෑ. හේතුව තමයි, එතුමාගේ කාලසර්ප යෝගයේ පිහිටීම සහිතව 1968, නැවත නැවත මම කියන්නේ, නොවැම්බර් මාසේ 24 වැනිදා ඉපදුණු එතුමාට මේ දීලා තියෙන ජනවරමේ රැල්ල නිර්මාණය කළේ වෙන මොකකටවත් නෙමෙයි, හිටපු පාලකයන් හා පරිපාලකයන් විසින් ඒ රටට කරපු විනාශය හරි, ආර්ථික වශයෙන් සැලසුම්වලින් තොරව කටයුතු කරපු තැන පාලනය කරන්න දීපු අවස්ථාවක් විතරයි. නමුත් මේකෙන් කියන්න බැහැ රට ගොඩනැගෙනවා කියන තැන ලෝකායතන ජ්‍යෝතිෂ්‍යයේවත්, ලංකා කේන්ද්‍රයේවත් ඒක ලියවිලා නැහැ. එහෙම හදන්න පුළුවන් තැනකට එන්න පාලකයෙක් තාම කොහේවත් බිහිවෙලා නැහැ. මම ඒක වගකීමෙන් කියන්නේ, මොකද එහෙම පාලකයෙක් තාම නැහැ. ඒකට හේතුව තමයි, මේ රටේ ජනනායකයා, මේ රටේ සැබෑ ජනහිතකාමී නායකයා, මේ රටේ සැබෑ බුද්ධිගෝචර නායකයා, මේ රටේ තාම නිර්මාණය වෙලා නැහැ.
ඔබට කියන්න බැරිද, දැන්වත්, රට හදන නායකයා මෙන්න මේ කාලේ බිහිවෙන්නේ කියල?
මට තාම එහෙම නායකයෙක් රටේ දකින්නේ නැහැ. සෙනසුරු මීනයෙන් ගැලවිලා මේෂයට ඇවිල්ලා, මේෂය තුළ බලය පතුරවලා, මුලින්ම එතැනින් ගැලවෙන්න ඕනේ වෘෂභයට එන්න. වෘෂභය තමයි ලංකාවේ සිකුරුගේ ස්ථානය. ඒ කියන්නේ හතරවැන්න කියන ස්ථානය. ඔන්න ඔතැනට ආවට පස්සේ තමයි රජයත් එක්ක සම්බන්ධ වෙච්ච ජනනායකයෙක් අනාගතයේ හදන තැනට එන්නේ. ඒ 2030, 31 කියන කාලේ. 2029න් පස්සේ එන පරිසරයත් එක්ක තමයි හැදෙන්නේ. ඉතින් ඒ නිසා අත්දැකීම් සහිත නායකයෙක් අනාගතයේ රට හදන්නේ එතැනදී. මොකද ඕක තමයි අනාගතය දැකපු බාබා වැන්ගලා, අනාගතය දැකපු ඒ බොහෝ ඍෂිවරුන්, අනාගතය දැකපු බොහෝ ආධ්‍යාත්මික නායකයන්, ආතර් සී. ක්ලාක් වගේ චරිතයන්, ලෝකයේ වෙනස් වෙන්න පටන් ගන්න තැන ලංකාව දෙස බලලා කියපු අනාවැකිවල තියෙන්නේ. මොකද ඒ විද්‍යාඥයන් පවා, ඒ ශක්ති භාවයන් භාවිත කරපු ආධ්‍යාත්ම නායකයන් පවා දැක්ක සීමාව ඔතැන. අපි 2024 බලන් හිටියා. හැබැයි 24න් පස්සේ එක හොඳක් සිද්ධ වුණා. ඒ තමයි ලෝකයේ මිනිස්සුන්ට හැමදේම කියලා දුන්නා, සීමාව කුමක්ද පාලනය කුමක්ද කියලා. අපි අවුරුදු 20ක් ආපස්සට ගියාම, 2004දී, ලෝකයේ අලුත් ජනනායකයෙක් බිහිවෙලා, ඒ ජනනායකයා ලෝකයේ, මම හරි සතුටින් කතා කරන්නේ, මගේ රටේ යුද්ධය නැති කළා, මගේ රටේ තිබ්බ 30 වසරක හානිදායක ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයන් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් විනාශ කළා. ඉතින් මම ඒකට ගරු කරනවා. මම මහින්ද රාජපක්ෂ කියන චරිතයට ගොඩක් ගරු කරනවා. ඒ කිව්වේ මම ජ්‍යෝතිෂයට එහා ගියපු තවත් දෙයක් එක්ක. මොකද මම මගේ රටට ආදරෙයි නිසා.
ඔබ ඔය කියන්නේ 30, 31 කාලේ එහෙම කෙනෙක් නැවත බිහිවෙනවා කියලද?
අනිවාර්යයෙන් පහළ වෙනවාමයි. මොකද මිනිස්සු හොයන ජනනායකයා, මිනිස්සු හොයන ඒ රටට ආදරේ ඇති ආරක්ෂකයා එදාට බිහිවෙයි.
ඔබ මහින්ද රාජපක්ෂ හින්දා කතාකරන හින්දා මට හිතෙනවා ඔබ ඔය කියන්නේ නාමල් රාජපක්ෂ ගැන කියලා?
මෙහෙම දෙයක් තියෙනවා. සමහරවිට විය හැකියි. හැබැයි මම තාම ඒක ස්ථිර කරන්නේ නැහැ. මම කියන්නේ අනාගතයේදී රාජපක්ෂවරුන්ගේ බලය එනවා කියන එක කියලා තියෙනවා. ඒක 2027න් පස්සේ කොහොමත් වර්තමානයේ තියෙන ආණ්ඩුවේ බලය ශක්තිය වෙනස් වෙනවා. ඒකට හේතුව ලංකාවේ තියෙන ආර්ථික අර්බුද, නැවත අරගලකාරීභාවයන්, නැවත මේ පීඩනභාවයන්, මේ වගේ පරිපාලකයන්ගේ දුර්වල මානසිකත්වයන්, අත්දැකීම්වලින් තොරව කටයුතු කිරීම, බොරුව සහ වංචාව තවත් තවත් වර්ධනය කිරීම සහ මිනිස්සුන්ව රැවටීම කියන කාරණා.
අනුර ජනාධිපතිවරයාට මොකක්ද අපලයක් තියෙනවා කියලා ඔබ එක තැනක කිව්වා?
අපලයක් තියෙනවා කියලා නෙවෙයි මම අදහස් කරන්නේ. එතැන කියන්නේ කේන්ද්‍රය තුළ පිහිටන සීමාව අනුව එක් එක් කාලවලදී එක් එක් පුද්ගලයෝ නිර්මාණය වෙද්දී එතැනදී අනතුරු සහිත කාලවල් පෙන්නනවා කියන එක. ඕක වැරදියට වටහා ගත්තොත් ඒක තමන්ගේ බුද්ධි මට්ටම. මම මෙහෙම දෙයක් කියනවා. මෙතැනදි මම කිව්වා ඔතැනට උදාහරණයක් එක්කම පැහැදිලි කරන්නේ. අර අපිට පිටින් පේන දේ නෙමෙයි, ඇතුළාන්ත දේ බලන්න ඕනේ කියන කතාව. මම කියන්නේ ඒක අනතුරු සහිත කාලයක්, අනතුරු බාධකයක් ඇතිවෙන සිද්ධාන්තයක් එතුමාගේ තියෙනවා කියන එක.
අපලයක් වෙන්න පුළුවන්. නමුත් ඒක කොහොමද වෙන්නේ කියන එක මම අහන්නේ?
ඔව් පැහැදිලිවම. මොකද ඒකට හේතුවක් තියෙනවා. පැහැදිලිව ජ්‍යොතිෂ විග්‍රහය අනුවම මම ඒක පෙන්නලා දෙන්නම්. හොඳම උදාහරණය තමයි, කාලසර්ප යෝගයෙන් නිර්මාණය වෙච්ච ඩී.එස්. සේනානායක මහත්මයා. බණ්ඩාරනායක මහත්මයා, ඊට පස්සේ ගත්තාම විජය කුමාරතුංග මහත්මයා. ඊට පස්සේ අපි එනවා අනුර කුමාර දිසානායක මහත්මයාගේ කේන්ද්‍රයට. දැන් ලංකාවේ නිර්ධන පන්තිය මෙහෙයවමින් ජනයා අතර ඉතා ආකර්ෂණශීලී බවෙන් ගොඩනැගිච්ච බොහෝ දෙනෙකුට ඔන්න ඕක සිද්ධ වුණා ලංකාවේ. මොකද ඔවුන් ආවේ ඒරාෂ්ටකයක් අරගෙන. දැන් වර්තමානයේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ උත්පත්ති කේන්ද්‍රය දිහා බලද්දී, 1968 නොවැම්බර් මාසේ 24 වැනිදා උදෑසන කාලයේ. කාලසර්ප යෝගයේ පිහිටීමකින් සෙනසුරුගේ මහා දශාවෙන්, සෙනසුරුගේම අතුරු දශාවක් ගෙවෙන මොහොතක එතුමා ඉන්නේ. ලංකාවේ බලය හැදුවේ සෙනසුරුම තමයි. ලංකාවේ සෙනසුරු අධිරාජ්‍යයා මේ කුම්භ ලග්නයේ. මේකෙන් නිර්මාණය කරන ජනනායකයෝ මේකේ තමන්ට පැවරෙන ඩියුටි එක අවංකව සහ පාරිශුද්ධ භාවයෙන් කළේ නැතිනම්, ඒක සෙනසුරු විසින්ම ගිල ගන්නවා. මේක තමයි ලෝක යථාර්ථය. බණ්ඩාරනායක මහත්මයාට, ඩී.එස්. සේනානායක මහත්මයාට, විජය කුමාරතුංග මහත්මයාට ඔය අනතුරු සිද්ධාන්තය ඇති කරපු ලෝකයේ එක්තරා පරීක්ෂණයක්.
ඔබ කියන්නේ මේ වර්තමාන ජනාධිපතිවරයාටත් අපලයක් තියෙනවා කියලද?
අපලභාවයන් තියෙනවා. මම නිශ්චිත වශයෙන් තාම ඒක සනාථ කළේ නැහැ. මම මේ කියපු කාරණය වැරදියට වටහා ගන්නේ නැතුව, ඒකේ තියෙන අවදානම තේරුම් ගන්න. මම අවදානම කියලා කියන්නේ අපිට ඒකෙන් ගැළවෙන්න පුළුවන් සීමාවක් තියෙන නිසයි. ගැළවෙන්න පුළුවන්, ඒ අවස්ථාව තියෙන නිසා. මොකද මේ ජනනායකයා අපේ අවුරුදු පහක අනාගත ජනාධිපතිවරයා නම්, මේ ඇවිල්ලා බොහෝ දෙනෙක් වර්තමානයේ මේ මොහොතේදී අර තිබ්බ සමහර අකටයුතුකම් කරපු, නැත්නම් රාජ්‍ය දේපළ හරි, වත්කම් හරි, මිනිස්සුන්ගේ ධනය හරි අක්‍රමිකව භාවිත කරපු පාලකයන්ට දඬුවම් දෙන්න නිර්මාණය කරපු ජනනායකයා. මොකද මම කියන්නේ මෙතුමාට බොහෝ ආදරණීයත්වයෙන්, මෙතුමාට බොහෝ ගෞරවයෙන්. මේ අනාගතය තුළ යන රටා රාමුව වෙනස් කරන්න කියලා කිව්වේ ආදරයෙන්. එතුමාට තියෙන අවදානම ගැන කියන්නේ බොහෝ ආදරයෙන් සහ ගෞරවයෙන්.
මොකද මෙතුමාට විය හැකි දරුණු ගණයේ එක්තරා අවකාශයන් දෙකක් තියෙනවා. එකක් තමයි සමාජගත තත්ත්වයන් තුළදී මේ තියෙන පිහිටීම් අනුව සෙනසුරුගේ මහා දශාවත්, අතුරු දශාවත් දෙක එකට ගමන් කරන මොහොතේදී, අපි කියමුකො යම් විදියකින් අනාරක්ෂිත, ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ අනතුරක් ඇතිවෙන්න පුළුවන්. දෙවැනි දේ තමයි සෞඛ්‍ය වශයෙන් අනතුරක් වශයෙන් එන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක මම හිතන්නේ හරියටම 2024 වසරේදී සැප්තැම්බර්, ඔක්තෝබර් අතර කාලයේත්, ඒක මට යම් යම් සෞඛ්‍ය ගැටලු කීපයක් මතු වුණා. ඊට පස්සේ ආපහු නැවත වතාවක් එතුමාට එනවා 2025 අවුරුද්දේම සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් අතර කාලයේ. එතකොට මේ කාලයේ එතුමාට ආපහු අනාරක්ෂිත කාලයක් තියෙනවා.
ආපහු ඕක තියෙනවා 2026දී, ජුනි, ජූලි, අගෝස්තු අතර කාලයේ. එතකොට ඔය තැන් දෙකේදී එතුමාට ඒක තියෙනවා. මම එතුමාගේ ඕරා එක අනුව, එතුමාගේ තියෙන ඒ සටහන් ක්‍රමය අනුව, ඍෂිවරුන් වහන්සේලාගේ සංග්‍රහය අනුව මේ සටහන මෙතැන තියෙනවා දසුන්. මොකද මම අවංකව කතා කරන්නේ.
මම සර්වබලධාරී දෙවියන් වහන්සේ නෙමෙයි. මේක මගේ දැනුම, ප්‍රඥාව සහ විශ්වයේ, දෙවියන් වහන්සේලා මට දීපු ශක්තිය. මේ විශ්වයත් එක්ක කරන සටනක් මේ තියෙන්නේ. ඒක ගවේෂණයක්. මේකට කියන්නේ තුන්වැනි ඇස කියලා. මේකට කියන්නේ ප්‍රඥාව කියලා. මේකට කියන්නේ අනාගතයේ දැක්මක් කියලා.
ඔබ අද මේ සාකච්ඡාව ඇතුළේ මතු කරපු කාරණා ටිකක් බරපතළයි?
ඔබ දන්නවාද මේ ලෝකයේ සමහර දේවල් අදටත් රහසක්. නමුත් ඒවා තියෙනවා. ඒවා නැත්තේ නැහැ. අපි තාම දැකලා තියෙන්නේ පියවි ඇසට 10%ක්. ඔය මිනිස්සු ලෝකයේ ගතකරමින් දකින්නේ 10%ක දෙයක්. මේ ලෝකයේ පේන්නේ නැති කොටසක්. ඔබට ඔබේ පිටිපස්සේ පේන්නේ නැහැ. මට මගේ පිටිපස්සේ පේන්නේ නැහැ. හැබැයි මේ විශ්වය තුළ එක්තරා සර්කල් එකක් තියෙනවා, මිරකල් එකක් තියෙනවා. මේ ලෝකයේ රහසක් තියෙනවා. ඒ රහස තමයි මම මේ ලෝකයට ඉදිරිපත් කරන්නේ.
Family TV යූටියුබ් නාලිකාවෙනි










