සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව කියැවෙන පුවතක් වෙබ් අඩවියක පළවීම සම්බන්ධයෙන් ඒ මහතා අදහස් දක්වා තිබෙනවා. සිය යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇති බවට වන අදාළ පුවත අසත්‍යයක් බවයි. පහත පළවන්නේ වරුණ රාජපක්ෂ මහතා සිදුකළ එම අදහස් දැක්වීමයි. (Sri Lanka Latest News)
මම දැක්කා ‘ලීඩර් ටීවී’ නාලිකාවේ ප්‍රවෘත්තියක් පළකරලා තිබුණා ‘වරුණ රාජපක්ෂ යූ.ඇන්.පී.යට’ කියලා. ඒකට මම දෙන උත්තරේ මොකක්ද? පළමු උත්තරේ තමයි වරුණ රාජපක්ෂට එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා දැන් අවුරුදු 12ක් වෙනවා. එතකොට මම අවුරුදු 12කට කලින් තමයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වුණේ. එදා ඉඳන් අද වෙනකල් මාව හඳුන්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් කියලා. ඒ නිසා මට අලුතෙන් එක්සත් ජාතික පක්ෂයට යන්න දෙයක් නෑ, ඒක පළමු උත්තරේ. දැන් ඔබ අහන්න පුළුවන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය කියලා දෙකක් තියෙනවනේ කියලා. ඔව් දෙකක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කොටස් දෙකකට වෙන් වුණේ 2019 විතර කාලේ. ඒ වෙන්වීම කළේ මම නෙවෙයි. ඒ වෙන්වීමට බලපාපු ඉතිහාසගත කාරණා ඇති. මට ඒකට වගකීමක් නැහැ. ඒ වෙන්වීමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෝ කඳවුරු දෙකක ඉන්නවා. තැන් දෙකක ඉන්නවා. ඒ හැමෝම තාමත් තමන්ගේ ආධ්‍යාත්මයෙන් තමන්ගේ හදවතින් තමන්ව හඳුන්වා ගන්නේ යූ.ඇන්.පී.කාරයෝ කියලා.
සමගි ජන බලවේගයේ ඉන්න කවුරුවත් මට මුණගැහිලා නෑ තමන් ‘සමගිකාරයෙක්’ හරි වෙනත් නමකින් හඳුන්වනවා. ඒගොල්ලො කියන්නේ ‘මම යූ.ඇන්.පී.කාරයෙක්’ කියලා. මේ දෙගොල්ලොම යූ.ඇන්.පී.කාරයෝ. දේශපාලන මතවාදයක් විදියට සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දර්ශනයේ වෙනසක් නෑ. මේ දෙකම එකයි. ඒ වගේම සමාජ බලවේගයක් විදියට, ඒ කියන්නේ මේ පැත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා, අනෙක් පැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙපැත්තේ හිටියට මේ කඳවුරු දෙකටම වෙන්වෙලා තියෙන්නේ එකම සමාජ බලවේගයක්. මගේ දේශපාලන පෙනීසිටීම ගතවෙච්ච දශකය පුරාම තියෙන්නේ මේ බලවේගයත් එක්ක. ඒ දේශපාලන බලවේගය ජයග්‍රහණය කරවිය හැක්කේ කෙසේද? ඒ දේශපාලන බලවේගය නියෝජනය කරන දේශපාලන මතවාදය ජයග්‍රහණය කරවන්නේ කෙසේද? ඒ වෙනුවෙන් තමයි මගේ දේශපාලනය තියෙන්නේ. ඒ නිසා මම මාව හඳුන්වන්නේ හැමදාම යූ.ඇන්.පී.කාරයෙක් එහෙම නැත්නම් දකුණු ඉවුරේ මිනිහෙක් විදියට.
ගිය ජනාධිපතිවරණයෙන් පස්සේ මම ඉතා විවෘතව අදසක් ඉදිරිපත් කළා තවදුරටත් මේ කඳවුරු දෙක වෙන්වී සිටීමෙන් මේ සමාජ බලවේගයට ජයග්‍රහණයක් අත්පත් කරගන්න බෑ, ඒ නිසා මේ බලවේග දෙක එකතු විය යුතුයි කියලා. මේ එකතුවීම කියලා මම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා සිරිකොතට යන එක හරි, මේ පක්ෂ දෙක එකතු විය යුතුයි කියන එක හරි නෙවෙයි. මේ දේශපාලනික එකඟතාවකට අවබෝධයකට මේ කඳවුර එන එක. මේ කඳවුර කියලා කියන්නේ පක්ෂ දෙකේ ඉන්න මහලේකම්ලා, ජාතික සංවිධායකලා නෙවෙයි. ඒගොල්ලෝ විතරක් නෙවෙයි. මේ දේශපාලන ප්‍රවණතාව නියෝජනය කරන සාතිශය බහුතරයක් රටේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැනයි මම කතාකරන්නේ. මේ බලවේගය එක තැනකට ගේන්න ඕනේ. ඒක කරන්න බැරි වුණා. ඒක කරන්න වුවමනාවකුත් අපිට ඉතාම පැහැදිලිව පේනවා. එතකොට මම තෝරගන්න ඕනේ මම මේ දෙකෙන් කොතැනද ඉන්නේ කියලා. එතකොට මම දන්නවා මම මේ තෝරාගැනීම කරන්නේ අපේ රටේ මේ පක්ෂ දෙක වෙන්වුණාට පස්සේ මැතිවරණ පහක් විතර තිබ්බා. මේ හැම මැතිවරණයකදීම පහෙන් එකක පංගුවක්, ඒ කියන්නේ සමගි ජන බලවේගය 5ක් ගන්නකොට, එක්සත් ජාතික පක්ෂය ගත්තේ 1යි. 2020 ජනාධිපතිවරණය, ඊට පස්සේ පැවැති මහ මැතිවරණය, ඊට පස්සේ පැවැති ජනාධිපතිවරණය ඇතුළු සියලු මැතිවරණවලදී ඔය විදියට තමයි බෙදුණේ. එතකොට රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂ කඳවුර විදියට තෝරාගෙන තියෙන්නේ කාවද? ඒක හරි පැහැදිලියි. ඒක පළමු සාධකය.
ලීඩර් ටීවී නාලිකාවේ පළවෙච්ච ප්‍රවෘත්තියේ තිබුණා සාගල රත්නායක සහ රාජිත සේනාරත්න මට කතාකරලා එක්සත් ජාතික පක්ෂයට එන්න ආරාධනා කළා කියලා. එක්සත් ජාතික පක්ෂයට එන්න කෙනෙක්ට පහුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පස්සේ ඒ පක්ෂය කරපු වෙනස මොකක්ද? අලුත් තරුණයෙක්ට තරුණියක්ට එක්සත් ජාතික පක්ෂය තෝරාගන්න මොකක්ද එක්සත් ජාතික පක්ෂය ගත්ත දේශපාලන ක්‍රියාමාර්ගය? අවම දේ, පහුගිය ජාතික ලැයිස්තුවෙන් ලැබුණු මන්ත්‍රී ධුර දෙනකොට. මම දැක්කා ඒ වෙලාවේ සමාජ මාධ්‍යවල විශාල මතයක් නිර්මාණය වෙලා තිබුණා කංචන විජේසේකර මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. මම කංචන ගැන සහතිකයක් දෙන්න යන්නේ නෑ. නමුත් සමාජ මාධ්‍යවල එහෙම ඉල්ලීමක් තිබුණා. ඔහු ජනාධිපතිතුමා එක්ක පහුගිය කාලේ බොහොම සමීපව කටයුතු කළා. දක්ෂතා දැක්වූවා. අවශ්‍ය නම් එවැනි වෙනසක් කරන්න ඕනෑ තරම් ඉඩ තිබුණා. නමුත් එහෙම කළේ නෑ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ කොහොම කෙනෙක්ද කියන එක බල දේශපාලනයේදි. මේ රටේ ඉන්න අපිට වඩා දක්ෂ, අපිට වඩා හැකියාවන් තියෙන තරුණයන්ට ඔහු එහෙම ආදර්ශයක් දීලා, ඊට පස්සේ ඔහු ඔය ආරාධනාව කළා නම් ඉතා සාධාරණයි. මම නොගියත්, තව ගොඩක් අය එකතු වෙයි.
සිදුවීමක් විදියට ලීඩර් ටීවී එකේ පළවෙච්ච දුරකතන ඇමතුම් ගැනත් කියන්න ඕනේ. මට රාජිත සේනාරත්න ඇමැතිතුමා දුරකතන ඇමතුමක් දුන්නේ නෑ. ඔහු මට නිතර දුරකතනයෙන් කතා කරන කෙනෙක්. නමුත් එදා ඔහු මට දුරකතන ඇමතුමක් නෙවෙයි දුන්නේ. ඔහු, ඔහුගේ හිතවතෙක් හරහා මට පණිවුඩයක් එවලා තිබුණා මාව මුණගැහෙන්න ඕනේ කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂයට එන්න හරි, තනතුරක් බාරගන්න හරි නෙවෙයි. ඔහු එවපු පණිවුඩයේ තිබුණේ දකුණු ඉවුරේ දේශපාලනය කරන්න කැමැති තරුණ තරුණියන් වෙනුවෙන් දේශපාලන ඇකඩමියක් පටන්ගන්න ඔහු බලාපොරොත්තු වෙනවා, ඒ ඇකඩමියේ සම්පත් දායකයෙක් විදියට මට සහභාගි වෙන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මේ දේශපාලනයේ අවුරුදු 25-30 හිටපු කෙනෙක් විදියට ඊළඟ පරම්පරාවේ දකුණු ඉවුරේ දේශපාලනය කරන මිනිස්සු වෙනුවෙන් අපේ අත්දැකීම් බෙදාගන්න පුළුවන් තැනක් තියෙනවා නම් මම කිසිම පැකිලීමකින් තොරව ඒ සඳහා මගේ සම්පත් දායකත්වය ලබාදෙනවා. මම රාජිත සේනාරත්න මහ්තතයට කිව්වා මට ඔහුව මුණගැහිලා සාකච්ඡා කරන්න එන්න හැකියාවක් නෑ, ඒ නිසා ඔබ ඒ වැඩේ පටන්ගන්නකොට දන්වන්න, මම මගේ දේශපාලන දැනුම ඒ සඳහා ලබාදෙන්න සූදානම් කියලා. මොකද මේක යූ.ඇන්.පී. එකේ වැඩක් නෙවෙයි. දකුණේ ඉවුරේ ලිබරල්වාදය ගැන කතාකරන වැඩක්. මම කිව්වා මම උදව් කරන්නම් කියලා.
ඒ වගේම මෑතකදී මට දුරකතන ඇමතුමක් ලැබුණා සාගල රත්නායකගෙන්. සාමාන්‍ය විදියට ආගිය තොරතුරු කතාකරලා ඔහු මගෙන් විමසීමක් කළා ‘වරුණ අපිට වෙලාවක මුණගැහෙන්න පුළුවන්ද?’ කියලා. මම ඔහුට කිව්වා මම මේ දවස්වල නිතර කොළඹ එන්නේ නැහැ, නමුත් ඉඩකඩක් තිබුණොත් පසුව මුණගැහෙමු කියලා. මොකද අපේ දේශපාලනය ඇතුළේ මිත්‍රත්වයන් කියලා කියන්නේ දේශපාලනයට බාධාවක් නෙවෙයි. මිතුරුකම් පැවැත්වීම දේශපාලනයට බාධාවක් නෙවෙයි. අපි මිතුරුකම්වලින් දේශපාලන වරප්‍රසාද කිසි දිනෙක අරගෙනත් නැහැ. හැබැයි මගේ දේශපාලන මතවාදයේ වෙනසක් නැහැ. මම ඉන්නේ දකුණු ඉවුරේ දේශපාලනය වෙනුවෙන්. මේ වෙලාවේ රටේ ජනතාවගේ තීරණයට අපි හිස නමන්න ඕනේ. සාතිශය බහුතරයක් දකුණු ඉවුරේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක, සමගි ජන බලවේගයත් එක්ක. ඒ නිසා මම එතැන දේශපාලනය කරනවා. හැබැයි මට කිසිම දිනක දේශපාලනයේදී පෞද්ගලික වරප්‍රසාද අදාළ වෙලා නෑ. මම අදත් කියන්නේ මේ දෙගොල්ලෝ එකතු වෙනවා නම් ඒ වෙනුවෙන් මට දෙන්න පුළුවන් එකම දේ ගම්පහ සංවිධායකකම. මේ පක්ෂ දෙක එකතු වෙනවා නම්, ඒ එකතු වීම වෙනුවෙන් මට කරන්න පුළුවන් මගේ සංවිධායකකම පරිත්‍යාග කරන එක. මම ඕනෙම වෙලාවක මගේ සංවිධායකකම බන්දේසියක තියලා දෙන්න ලෑස්තියි. ඕනෙ කෙනෙක් මේක අරගන්න, අරගෙන එකතු වෙන්න කියලා. මට පෞද්ගලිකව කිසිම දෙයක් ඕනේ නෑ, මම විශ්වාස කරන දේශපාලන මතය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මම ඉන්නවා. ඒ ආදර්ශය මම මගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 25ක් 30ක් තිස්සේ ඉඳලම දීලා තියෙනවා. නමුත් දැන් අපිට ඔය ආරාධනා කරන කට්ටිය, ඒගොල්ලෝ කැපකිරීම් කරලා පෙන්වන්න ඕනේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පොරකන්නේ නැතුව, මහලේකම්කම්වලට, ජාතික සංවිධායකකම්වලට පොරකන්නේ නැතුව අපි දේශපාලනය භාරදෙන්න ලෑස්තියි කියලා ඊළඟ පරම්පරාවට ඒ ආදර්ශය පෙන්වන්න.
අවසාන වශයෙන් මම ලීඩර් ටීවී නාලිකාවටත් පුංචි පණිවුඩයක් කියන්න ඕනේ. මේක අහම්බයක් නෙවෙයි. පහුගිය මහ මැතිවරණය පටන්ගන්නකොටම ලීඩර් ටීවී එකේ නිවුස් එකක් පළකරලා තිබුණා වරුණ රාජපක්ෂ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ට්‍රෝජන් අශ්වයෙක් කියලා. ට්‍රෝජන් අශ්වයා කියන එක අපි දන්නවා. කිසියම් කඳවුරක් විනාශ කරන්න කෙනෙක්ව ප්ලාන්ට් කරනවට කියනවා ට්‍රොජන් අශ්වයෙක් කියලා. ඒ වෙලාවේ මම ගැන එහෙම සටහනක් කළා. මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. මගේ දේශපාලනය මම කරගෙන ගියා. මේ දෙවැනි වතාවට නැවත වතාවක් ඔය විදියේ නිවුස් එකක් ඔවුන්ගේ වෙබ් එකේ පළවෙනවා. එතකොට මේක මට උපකල්පනය කරන්න වෙනවා මේක අහම්බයක් නෙවෙයි, හිතාමතා කරන දෙයක් කියලා. පොලිටිකල් ප්‍රොපගැන්ඩා ගැන ඔබතුමාලා වගේම අපිත් දන්නවා. අපිත් එකම ගුරු කුලයක දේශපාලන ප්‍රචාරණ ආකෘති ඉගෙනගත්ත අය. පොලිටිකල් ප්‍රොපගැන්ඩාවල එකක් තියෙනවා, සතුරාට විරුද්ධව මොකක්ද කරන්නේ කියන එක. එකක් තමයි සතුරාව නම්කිරීම. මෙන්න මෙයා තමයි සතුරා, මෙයාට ගහන්න කියලා. එහෙම සතුරෙක්ව නම් කළාම සටන හරි පහසුයි. එක්කෝ ඒ සතුරා එක්ක ගැටුමක් නැතිවෙන්න ඕනේ. ඒ ගැටුම ඇතිවෙන්නේ නෑ. උදාහරණයක් විදියට ඇමෙරිකාවත් එක්ක ලංකාවේ අධිරාජ්‍ය විරෝධී ගැටුම කියන එක හඳුන්වන්න පුළුවන්. විමල් වීරවංශට හරි, මහින්දට හරි වෙනත් කාටහරි පුළුවන් ලංකාවේ ඉඳගෙන ඇමෙරිකාවේ ට්‍රම්ප්ට ඕනේ තරම් බණින්න. එහෙම බැන්නා කියලා ඔවුන් යුද්ධ කරන්න එන්නේ නෑනේ. ඒකෙදී වෙන්නේ සතුරෙක්ව නම්කරලා ඒ සතුරාට විරුද්ධව මෙහේ ඉඳගෙන දේශපාලනය කරනවා. ඒකට කියනවා සතුරා නම්කිරීම කියලා. ඒක එක ක්‍රමයක්.
අනෙක් ක්‍රමය තමයි සතුරා පරද්දන්න කෙළින්ම සටන් කිරීම. එතකොට සතුරා ශක්තිමත් වෙනවා. සතුරෙක් නම්කරලා සටන් කිරීමෙන් වෙන්නේ සතුරා ශක්තිමත් වෙනවා, සතුරා විනාශ වුණොත් එහෙම අනෙක් පැත්තත් විනාශ වෙන එක. ප්‍රභාකරන්ව නම්කරලා මහින්ද සටන් කළා. මහින්ද දිනුවා, ප්‍රභාකරන් පැරැදුණා. ප්‍රභාකරන් පැරැදුණාට පස්සේ මහින්දත් ඉවර වුණා. එහෙම තමයි ඒක ඉවර වෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් සතුරන්ව නම්කරන එක කලබලේට කරන්නේ නෑ. ඊට වඩා වැඩිපුර කරන්නේ සතුරාව අවඥාවට, අපහාසයට ලක්කිරීම.
උදාහරණයක් විදියට එක අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහත්තයා දොන් ජුවන් ධර්මපාල ලෙස නම්කරලා, ඔහු පාවාදෙන්නෙක්, ඔහු සතුරෙක් විදියට හැඳින්නුවා. ඒවා අහම්බෙන් කරන දේවල් නෙවෙයි. සැලසුම්සහගතව කරන දෙයක්. ලීඩර් ටීවී එකේ දේශපාලන උරුමය තියෙන්නේ මංගල සමරවීර මහත්තයා එක්කනේ. ඔහුනේ ‘රනිල්ට බෑ’ කියලා කිව්වේ. එහෙම තමයි කැම්පේන්. මම හිතන්නේ ඒ වගේ ඔවුන් දැන් මේ හරහා උත්සාහ කරනවා වරුණ රාජපක්ෂ කියලා කියන්නේ විශ්වාස කරන්න බැරි කෙනෙක්, විශවාසයක් නැති කෙනෙක්, එහෙට මෙහෙට මාරුවෙන කෙනෙක් වගේ අදහසක් නිර්මාණය කරන්න. එහෙම අදහසක් නම් නිර්මාණය කරන්න හදන්නේ, ඒ අදහස ඔවුන්ට එන්න ඕනේ කොහෙන්ද කියන එක ගැන හිතපුවාම, මේ මොහොතේ මගේ දේශපාලන භාවිතය කියන එක දකුණු ඉවුරට බාධාවක් නෙවෙයි. මම දේශපාලනය කරන්නේ දකුණු ඉවුර වෙනුවෙන්. එහෙම නම් මගේ දේශපාලන මැදිහත් වීමෙන් බාධාවක් තියෙන්නේ මාලිමා ආණ්ඩුවට. ඒ නිසා ඒක මාලිමාවෙන් ඔවුන්ට ලැබුණු කොන්ත්‍රාත්තුවක් වෙන්න ඕනේ.
Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි










