මෙරට නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් -19 වයිරසයට එරෙහිව චීනයේ සිනොවැක්ස් එන්නත යළි ශ්‍රී ලංකා රජයට විකිණීමේදී මිල ගණන් අනාවරණය නොකළ යුතු බවට අදාළ චීන සමාගම විසින් කොන්දේසියක් පනවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත.
යම් හෙයකින් එන්නතේ මිල ගණන් අනාවරණය කළහොත් හෝ ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කතා කළහොත් එන්නත් සැපයීමට අදාළ ගිවිසුම අහෝසි කෙරෙන බවද සිනොවැක්ස් ලයිෆ් සයන්ස් කම්පැනි ලිමිටඩ් (Sinovac Life Science Co. Ltd) දැනුම් දී තිබේ.
මේ අතර අදාළ ගිවිසුම් කරුණු පිළිබඳ තොරතුරු අනාවරණය නොකළ යුතු බවට සඳහන් ලිපියක් සිනොවැක් සමාගමේ දේශීය නිෂ්පාදන සහකරු වන කෙලුන් ලයිෆ් (Kelun Life) පෞද්ගලික සමාගම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වෙත යොමුකර ඇත.
මේ පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කරන ලද්දේ එවැනි ලිපියක් පිළිබඳ තමාට දැන ගන්නට ලැබී ඇති නමුත් මෙතෙක් එවැන්නක් තමාගේ අතට පත් වී නොමැති බවයි.










