මුළුමහත් ලෝකයම කණපිට පෙරළන සුවිශේෂ කතාන්දරයක් ඇසෙන්නට වූයේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් බටහිර දේශයක් වන ප්‍රංශය හරහා ඇසුණු මෙම පුවත ලෝකයේ බොහෝ මාධ්‍ය ආයතන වාර්තා කළේ ඔවුන්ගේ ප්‍රධානතම සිරස්තලය සහිත පුවත ලෙසිනි. ලොව මහත් ආන්දෝලනයකට පත්කළ එම ප්‍රධාන සිරස්තල කිහිපයක් මෙසේ දකින්නට හැකි විය.Sri Lanka Latest News
● ‘මුළුමහත් යුරෝපයෙන්ම සිරගෙට ගිය ප්‍රථම ජනාධිපති ලෙස ප්‍රංශයේ නිකොලාස් සර්කෝසි වාර්තාවක් තබයි’
● ‘රටවල් 27ක යුරෝපීය සංගමයෙන් ප්‍රථම වරට සිරබත් කන ජනාධිපතිවරයා ප්‍රංශයේ නිකොලාස් සාර්කෝසි’
● ‘වසර 5ක් සිරගෙට යන ප්‍රංශයේ ජනාධිපතිවරයා’
● ‘පළමු වරට ප්‍රංශයේ ජනාධිපතිවරයෙක් සිරගෙට’
දැන් ඔබට මෙම කතාවෙහි යම් සුවිශේෂත්වයක් පෙනෙන්නට ඇතිය. එය නම් ලෝක වාර්තාවන් දෙකක් තබමින් ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලාස් සාර්කෝසි වසර 05ක සිර දඬුවමක් විඳීමට සිරගෙට ගිය කතාව පැහැදිලි වනු ඇතිය. එනම් එම මාධ්‍ය වාර්තාවලට අනුව මුළුමහත් යුරෝපා සංගමයෙන්ම ප්‍රථම වතාවට සිරගෙට ගිය ප්‍රථම ජනාධිපතිවරයා ලෙසද, ප්‍රංශයෙන් ප්‍රථම වතාවට සිරගෙට ගිය ජනාධිපතිවරයා ලෙසද එම වාර්තාවන් දෙක ලෝක ඉතිහාසයට එකතු වනු ඇත. දැන් එසේනම් මෙම වාර්තාවන් දෙකක් තැබූ ප්‍රකට රාජ්‍ය නායකයා කවරෙක්දැයි සොයා බලමු.
නිකොලාස් සාර්කෝසි (Nicolas Sarkozy) යනු 2007 මැයි 16 සිට 2012 මැයි 15 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එරට ප්‍රවීණතම දේශපාලනඥයෙකි. ජනාධිපති වීමට පෙර ප්‍රංශ රජයේ ප්‍රධානතම කැබිනට් අමාත්‍ය ධුර ගණනාවක් දැරූ ඔහු, 2007දී ජනාධිපති ධුරයට පත්වන්නේ එරට ජනාධිපතිවරණයක් බහුතර බලයකින් ජයග්‍රහණය කරමිනි. එනම් ප්‍රංශයේ ජනතාව අතර මහත් ජනප්‍රියත්වයකට පත්වුණු ඔහු ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස වසර 05ක් නොකඩවා කටයුතු කළේය. ඔහු එරට දේශපාලනයට පිවිසෙන්නේ 1983 වසරේදී වන අතර, එනම් මෙයට වසර 42කට පෙරදීය. මුලින් ඔහු එරට උප නගරයක නගරාධිපතිවරයකු ලෙස තේරී පත්විය. මෙලෙස ප්‍රංශයේ දේශපාලනයේ දීර්ඝකාලීන අත්දැකීම් රාශියක් ඇති නිකොලාස් සාර්කෝසි දැනට 70 වැනි වියේ පසුවෙයි. ප්‍රංශයේ පැරිස් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු විවිධ ගරු සම්මාන ගණනාවකටද පාත්‍ර වී ඇති ප්‍රකට පුද්ගලයෙකි. එසේ නම් අද ඔහුට අත්ව ඇති ඉරණම කුමක්ද?
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලාස් සාර්කෝසි හට මෙසේ වසර 05ක සිර දඬුවම් නියම කිරීමට ඔහුට එරෙහිව නැඟුණු චෝදනාවන් කුමක්ද? මෙය සැබැවින්ම එක්තරා අතකින් අපූරු කතාන්දරයකි. අප්‍රිකානු රාජ්‍යයක් වන ලිබියාවේ වසර 40ක පමණ දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනයේ සිටි ඒකාධිපති රාජ්‍ය පාලකයකු වන මුවම්මර් ගඩාෆි වෙතින් ප්‍රංශ ජනාධිපතිවරයා මූල්‍යාධාර රාශියක් ලබාගත්තේ යැයි මෙම චෝදනාව එල්ල වී තිබිණි. එනම් හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලාස් සාර්කෝසි 2007 වසරේදී එරට ජනාධිපති ධුරයට පත්වීමට ප්‍රථම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සිදුකිරීම උදෙසා මෙම මූල්‍යාධාර ලිබියානු නායකයාගෙන් ලබාගත්තේ යැයි මෙම චෝදනාව එල්ල වී තිබිණි. එම සමයේදී ඔහු ප්‍රංශ රජයේ අභ්‍යන්තරික කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. ඒ අනුව ලිබියානු රජයෙන් ප්‍රංශයට ලබාදුන් යුරෝ මිලියන 50ක පමණ අතිවිශාල මුදලක් තමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් භාවිත කළේ යැයි ප්‍රංශ නායකයාට චෝදනා නැගිණි. ලිබියාව යනු බොර තෙල් ඛනිජ සම්පත ඉතා සශ්‍රීක අයුරින් ඇති රාජ්‍යයක් හෙයින් එම රට අප්‍රිකාවේ ඇති ධනවත් රටක් ලෙස සැලකිණි. එහෙයින් එකල ලිබියාවෙන් ප්‍රංශයට ලබාදුන් ඉහත මූල්‍යාධාර යොදාගනිමින් ප්‍රංශ හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය සිදුකළේ යැයි චෝදනා නැගිණි. මෙහිදී ප්‍රකාශ වන අනෙක් කරුණ නම් ලිබියානු ඒකාධිපති පාලක මුවම්මර් ගඩාෆිද ප්‍රංශයේ නිකොලාස් සාර්කෝසිගේ අතිශය සමීප හිතවතකු වීමය. ඒ අනුව ලිබියානු පාලකයාගේ අනුදැනුම මතම මෙම මූල්‍යාධාර අවභාවිත වීම සිදුව ඇතැයිද ප්‍රකාශ වෙයි.
මෙයට වසර දෙකකට පෙර, එනම් 2023 වසරේදීද හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට එරෙහිව මෙම දූෂණ වංචා චෝදනා නැගුණු අතර, ඔහු අධිකරණ නියෝගයක් මත නිවාස අඩස්සියටද පත්කරන ලදී. වසරක කාලයකට ලබාදුන් එම දඬුවම පසුව මාස 6ක් දක්වා ලිහිල් කෙරිණි. පසුව මෙම දූෂණ නඩුව නැවත විභාගයට ගැනුණු අතර, පසුගිය සැප්තැම්බර් 23 දා මහාධිකරණ නඩු තීන්දුවට අනුව වසර 05ක සිර දඬුවම් නියම කෙරිණි. එහෙත් එම සිර දඬුවම ක්‍රියාත්මක වීම ආරම්භ කරනු ලැබුවේ එයට මාසයකට පමණ පසුවය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මෙයට දින කිහිපයකට පෙරදී සිර දඬුවම විඳීම සඳහා තමන්ගේ නිවසේ සිට බන්ධනාගාරය වෙත ගෙන යන ලදී. ඔහු කිසිදු කලබලයකින් තොරව තම තෙවැනි තරුණ බිරිය වන කාර්ලා බෲනි සමග නිවසින් එළියට පැමිණ, ඇය සිප වැලඳගෙන පොලිස් මෝටර් රථයට ගොඩවී ඇත. මෙහිදී රැස්ව සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට ඔහු ප්‍රකාශ කර ඇත්තේ ‘මේ සිරගත කිරීමට රැගෙන යන්නේ ජනාධිපතිවරයකු නොව, වරදක් නොකළ අහිංසක මිනිසකු’ යන වදනයි. ඔහු නිවසින් පැමිණෙන විට එම යාබද මාර්ගයෙහි අතිවිශාල ජනතාවක් රැඳී සිටිමින් ඔල්වරසන් දුන් බව පැවැසෙයි. ඒ, ඔහුගේ ආධාරකරුවන්ය.
ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ ඇති ‘ලා සැන්ටේ’ නම් බන්ධනාගාරය වෙත හිටපු ප්‍රංශ ජනාධිපතිවරයා රැගෙන ගිය අතර, එහි හුදෙකලා අංශයේ සිර කුටියක ඔහු සිරගත කෙරිණි. මෙම සිර කුටිය වර්ග මීටර් 9 ½ 11 ප්‍රමාණයේ ඉතා කුඩා එකකි. ඔහු අනෙක් සියලු සිරකරුවන්ගෙන් හුදෙකලාව තැබීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර ඇත. මෙම සිර දඬුවම් විඳින ‘හුදෙකලා අංශය’ මීට පෙර සිටම විවිධ විශේෂිත සහ ප්‍රභූවරුන් සිරගත කිරීම සඳහා භාවිත කරනු ලබයි. හිටපු ප්‍රංශ ජනාධිපතිවරයා සිරගත කරනු ලැබූ සිර මැදිරියට සම්බන්ධව වැසිකිළියක්, කුඩා නාන කාමරයක්ද පිහිටා ඇත. එයට අමතරව මෙම මැදිරියට කුඩා මේසයක්, ඇඳක්, කුඩා විදුලි උදුනක් සහ කුඩා රූපවාහිනියක්ද ලබාදෙනු ඇත. අවශ්‍ය නම් කුඩා ශීතකරණයක්ද ලබාදිය හැකි අතර, ඒ සඳහා මාසිකව අමතර යුරෝ 14ක මුදලක් ගෙවිය යුතුය. පවුලේ සාමාජික හමුවීම් මෙන්ම දුරකතන සබඳතා සඳහාද විශේෂ අවසරයක් ඇත.
‘මම සිරගෙදරට යන්න කිසිම බයක් ඇති මිනිසෙක් නොවෙයි. මම සිරගෙදර ගේට්ටුවෙන් ඇතුළු වුණෙත් මගේ හිස හොඳට කෙළින් තියාගෙන. මට එරෙහිව ගෙන ආ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයි. එහෙත් මම අධිකරණ තීරණ ගැන විචාරය කරන්න යන්නේ නැහැ. මම සිරගෙදරට එනවිට විශාල ග්‍රන්ථ දෙකක් ගෙනාවා කියවීම සඳහා. එකක් ලේඛිකා ජීන් ක්‍රිස්ටියන් විසින් රචිත ‘ජේසුස් වහන්සේගේ ජීවිත කතාව’ (The Life of Jesus By Jean Christian) සහ ඇලෙක්සැන්ඩර් ඩූමාස් විසින් රචිත ‘කවුන්ට් ඔෆ් මොන්ටික්‍රිස්ටෝ’ (The Count of Monte Cristo By Alexandre Dumas) යන ග්‍රන්ථය. මෙම වටපිටාවේදී මතකයට එන්නේ තවත් රසවත් අපූරු කතාවකි. එනම් මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගියදා සිරගත කරන විටදී ඔහුද අගමැති ධුරයෙන් පහවුණු බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ගේ ජීවිත කතාව කියැවීමට රැගෙන ගියේය. රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ සිරගෙට ගිය ප්‍රථම හිටපු ජනාධිපතිවරයාය.

ප්‍රියන්ත හෙට්ටිගේ










