කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක් උත්සවය නිමිති කරගෙන නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනය මෙසේය.
නිරෝගී බව උතුම් ය යන්න සිත් දරාගෙන උතුම් තෙමගුල සමරමු.
මෙලොව ස්‌ථාපිත අනභිබවනීය දර්ශනය ලොවට දායාද කළා වූ තිලෝගුරු ශාක්‍ය සිංහ සම්බුදුපියාණන් වහන්සේගේ ඉපැදීම,බුදුවීම,පිරිණිවන් පෑම යන උතුම් තෙමගුල සිහිපත් කරන පූජනීය වෛශාක්‍ය මංගල්‍යය අදට යෙදී තිබේ.
මීට අවුරුදු දෙදහස් හයසිය දහයකට පෙර මහත් වෙහෙස විඳ පසක් කර ගත්තා වූ ආර්ය පර්යේෂණය තුළින් සාක්ෂාත් කොට ගත් පරමෝත්කෘෂ්ට සම්බුද්ධත්වය මේ ලොව සියලු සත්වයාට සත්‍ය පසක් කරගන්නට මග විවර කළ සිදුවීමක් විය. විශ්වයේ ඇති පරම සත්‍යය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය දිනෙන් දින සනාථ කරන්නේ උන් වහන්සේගේ ධර්මයෙහි සර්වකාලීන බවයි.
එකී සත්‍ය අද වෙනදාටත් වඩා ඉස්මතුවෙමින් තිබේ.
ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං” “නිරෝගී බව උතුම් ලාභයකි, සතුට උතුම් ධනයකි” යන්න බුදුන් වහන්සේ දේශනාකොට තිබේ.
උන්වහන්සේ දේශනා කළ සුවාසූදහසක් ධර්මස්කන්ධයෙහි සියලුම කොටස් ගම්‍ය කරන්නේ පරම සත්‍ය යි.
අද මුළුමහත් ලෝකවාසීන්ම “නිරෝගී සුවය” ප්‍රාර්ථනා කරමින් සිටී.
අතීත යුගයේ සිටම වසංගත රෝග, දුර්භික්ෂ බිය, නියඟ ආදී විපත් පත් සෑම අවස්ථාවක දී ම තෙරුවනේ අනන්ත බලය ලෝකවාසීන්ටත් සිරිලක් වැසි ජනතාවටත් පිළිසරණක් වූ බව සත්‍යයකි.
සොබාදහමට සමීපව ස්වකීය ජීවිතයේ උත්තම අවස්ථාවන් සියල්ල සපල කරගත් බුදු පියාණන් වහන්සේ එයින් ගම්‍ය කළේ සොබාදහම උදෙසා තමන් වහන්සේ තුළ පැවැති අසීමිත භක්ත්‍යාදරය යි.
එබැවින් මේ උතුම් තෙමගුල සොබාදහමට හිතැතිව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සැමරීම බුදු දහමේ සැබෑ අරුත පසක්වන්නට හේතු වනු ඇත.චිරාත් කාලයක් මුළුල්ලේ ථෙරවාදී බුදු දහම සුරක්ෂිතව පවතින අපගේ උතුම් මාතෘභූමියේ ද මුළුමහත් ලෝකයේම මේ වනවිට උද්ගතව පවතින කොරෝනා වියසනය තුරන් වී නිරෝගි ලෝකයක් බිහි වනු පිණිස උතුම් බුදුගුණ බලයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු .
ශ්‍රී ලාංකිකයන් ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාව තුල මෛත්‍රිය, කරුණාව,මුදිතාව,උපෙක්ෂාව වැනි ගුණයන් ඉස්මතුවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවායි පතමි.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක










