අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් මෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ගැටලු රැසක් තිබෙනවා.
කළමනාකරණ සේවා නිලධාරීන් 3 සිට 2 දක්වාත් 2 සිට 1 ශ්‍රේණිය දක්වාත් සුවිශේෂී කාර්යසාධනය මත වසර 5කින් උසස්වීම සදහා පැවැති ක්‍රමවේදය වෙනස් කර එක් එක් ශ්‍රේණියේ වසර 10ක සේවා කාලය සම්පූර්ණ කිරීම යන පදනම යටතේ උසස්වීමේ ක්‍රියාවලිය වෙනස් කර ඇති බවත් එම නිසා එම අසාධාරණ ක්‍රමය වෙනස් කර පෙර පැවැති ක්‍රමයට විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කළමනාකරණ සේවා නිලධාරින් බදවා ගැනීමේ මූලික සුදුසුකම විෂයන් 6ක් සාපෙළ සමත්වීම හා උසස්පෙළ සමත්වීම වුවත් බහුතරයක් උපාධිධාරීන් බවත් එම නිසා මොවුන්ට එම්එන් 3 කාණ්ඩයේ වැටුප් ලබා දිය යුතු බවත් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය පරිදි එය සිදු කළ හැකි බවත් මෙම සේවයට බදවා ගැනීමේ දී 70%ක් විවෘතව සහ 30%ක් සීමිත තරග විභාගයේ දී බදවා ගත හැකි වුවත් සීමිත ක්‍රමයෙන් පමණක් බදවා ගෙන ඇති බවත් 2020 මේ සදහා විභාග අයදුම්පත් කැදෙව්වත් තවමත් විභාගය පවත්වා නැති නිසා වහාම විභාගය පවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට උත්තර ලබා දෙන්න
එසේම ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් නිල ඇදුම් දීමනාව 15000ක් කිරීම ගමන් වියදම් දීමනාව වැඩි කර දීම මාසික සන්නිවේදන දීමනාව 1500ක් කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් මේ වන විට නිල ඇදුම් දීමනාව පමණක් ක්‍රියාත්මක බැවින් මොවුන්ගෙන් ඉටුවන සේවාවට සරිලන ලෙස මෙම ඉල්ලීම් ඉටු කර දෙන මෙන් ද ඉල්ලා සිටියේය.
ග්‍රාම නිලධාරීන් අපේක්ෂා කළ සේවා ව්‍යවස්ථාව පසුගිය රජයේ ද ක්‍රියාවට නංවන්න උත්සාහ කළත් එය ග්‍රාමනිලධාරීන් ඉල්ලා සිට එක නොවන බවත් එම නිසා ඔවුන් ඉල්ලා සිටින සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙසත් විනිවිදභාවයෙන් යුක්ත වැඩපිළිවෙළකට ගොස් ඔවුන් ඉල්ලා සිටින සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
දේශපාලන පළිගැනීම් කරන්න එපා
රාජ්‍ය සේවය තුළ මේ රජය යටතේ පළිගැනීම් ද සිදුවන බවත් සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය පූල් එකට දැමීමත් සමග විශ්‍රාම ගිය බවත් වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න, ඌව පරණගම ප්‍රධාන ලේකම්තුමිය, දිස්ත්‍රික් ලේකම්වරුන් වන නන්දන ගලබොඩ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ ආදීන් ඉවත් කර ඇති බවත් රාජ්‍ය සේවයකයන්ගේ වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් මේ රජයට ලබා දුන්නේ පළි ගන්න නොවන බවත් හොදට රාජකාරී කල නිලධාරීන් චෝදනාවලින් තොරවම එළියට දමා හිතවතුන් පත් කර ඇති බවත් තමා ඉදිරිපත් කළ කරුණු කාරණා සත්‍ය බවත් එම නිසා රජයෙන් මේවාට පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
උපාධිධාරීන්ට දෙනවා කියූ රැකියා ලබා දෙන්න
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුවට අනුව උපාධිධාරීන් 35000ක් බදවා ගන්නා බවට සදහන් වුවත් අයවැය කතාවේ එවැනි දෙයක් නොමැති බවත් උපාධිධාරීන් 40000කට ආසන්න සංඛායාවක් සිටින බවත් මොවුන් තමා මෙන්ම අගමැතිවරියද හමු වී ඇති බවත් සෑම පළාතකම රැකියා විරහිත උපාධිධාරීන් සිටින බවත් මොවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය පොරොන්දු වූ දේවල් ඉටු කරනවා නම් උපාධිධාරීන් අද උද්ගෝෂණය නොකරන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ දේ අයවැයේ තිබුණා නම් මේවා නොවන බවත් රජයට ඇති විශ්වාසය කඩ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඡන්දය යටපත් කරන්න කුමන්ත්‍රණ කළ අය කවුද කියා අනාවරණය කරන්න
ඡන්ද යටපත් කරන සංස්කෘතිය වෙනුවට ඡන්ද තියෙන සංස්කෘතියට රජය පණ පෙව්වා කියන බවත් සමගි ජන බලවේගය ද අධිකරණය හමුවට ගොස් පළාත් පාලන මැතිවරණය තිබිය යුතුයි කියා නියෝගයක් ලබා ගත් බවත් අපේ රටේ ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් බොරු කියමින් රවටමින් වසර ගණනාවක් පළාත් පාලන මැතිවරණය කල් දැමූ කණ්ඩායම්වලට ගන්නා පියවර කවරේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමහර රාජ්‍ය නිලධාරීන්ට කළ බලපෑම් නිසා සමහර නිලධාරීන් රට හැර ගිය බවත් මැතිවරණ කල්දැමූ මහමොලකරුවන් කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ සභාවේ නම් ගම් සහිතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවත් සර්ව සාධාරණ මැතිවරණයක් අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය හස්තය උපයෝගී කර ගෙන මැතිවරණ කල් දැමීම ආචාර සම්පන්න නොවන බවත්ය.










