• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තීන්දුව වෙනස් කරයි! රටම හෙල්ලෙන ප්‍රකාශයකට සජිත් ලෑස්ති වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

April 19, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

අනාවැකිය හරි ගියා

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවූයේ ආණ්ඩුව මුල් කරගෙන විශාල දේශපාලන දෙදරීමක් සිදුකරමිනි. ඒ, ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් විපක්ෂය මාස ගණනාවක් තිස්සේ සිදුකළ අනාවරණයන්වල කූටප්‍රාප්තිය සනිටුහන් කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ආණ්ඩුව ගල්අඟුරු ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුකොට ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර, අවසානයේදී විගණකාධිපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ විගණන වාර්තාවෙන් එම චෝදනාව තහවුරු කිරීමත් සමග තුනෙන් දෙකක බලයක් හිමි ආණ්ඩුව බෙල්ල මුලටම සිරවූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News

‘මව්රට’ පුවත්පත මීට මාස කීපයකට ඉහතදී ජ්‍යොතිෂ අනාවැකි කීපයක් පළකරමින් ආණ්ඩුවට මාර්තුවෙන් පසු කාලයේදී ඉතා අසීරු කාල සමයක් උදාවන බව වාර්තා කිරීමට පියවර ගත්තෙමු. විශේෂයෙන්ම ප්‍රකට ජ්‍යොතිෂවේදියකු වන කේ.සී.ජේ. රත්නායක මහතාගේ ආන්දෝලනාත්මක ජ්‍යොතිෂ අනාවරණයන් කිහිපයක් පළකරමින් අප එම තොරතුරු වාර්තා කිරීමට කටයුතු කළෙමු. රත්නායකයන් යනු අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන බව ජනාධිපතිවරණයට පෙර කල් තියාම කෙළින්ම ප්‍රකාශයට පත්කළ අයෙකි. රත්නායකයන් එසේ කීවේ ලංකාවේ නමගිය ප්‍රකට ජ්‍යොතිෂවේදීන් කීප දෙනකුම සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බවට මත ප්‍රකාශ කොට තිබියදීය. ඉන් පසුවද ඔහු තමන්ගේ යූටියුබ් චැනලය ඔස්සේ මහත් ආන්දෝලනාත්මක අනාවැකි කීපයක්ම ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේය. ඉන් එක් අනාවැකියක් වූයේ 2026 වසරේ මාර්තු මාසයෙන් පසු මාලිමා ආණ්ඩුවට විශාල අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවනවා යැයි කියාය. එම අභියෝගවල ප්‍රතිඵල 2027 වසරේ මැදභාගය දක්වාම ඇදීයනු ඇති බව කී රත්නායකයන්, ඉන් ආණ්ඩුව බේරෙනු ඇද්ද, නොමැති නම් එම අර්බුදයන්හි සිරකරුවකු බවට පත්වනු ඇද්ද යන්න පවා කිව නොහැකි තරමට එම අර්බුද දරුණු වන බවද කියා සිටියේය.

සමහරු මේ දේශපාලන අනාවැකි පිළිගන්නා නමුත්, තවත් සමහරුන් මේ අනාවැකි පිළිනොගන්නා තත්ත්වයක්ද සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන තත්ත්වයකි. ඊට හේතුව වන්නේ පසුගිය කාලසීමාවේදී මෙරට විශාල නමක් ගොඩනගාගත් ප්‍රකට ජ්‍යොතිර්වේදීන් කිහිප දෙනකුම දේශපාලන අනාවැකි කියන්නට ගොස් සිය වෘත්තීයමය ජීවිතයම විනාශ කරගෙන තිබීම නිසාය. අවසානයේදී එම ජ්‍යොතිර්වේදීන් පත්වූයේ දේශපාලන ජෝකර්වරුන්ගේ තත්ත්වයටය. කෙසේ වෙතත් ඉතාම නිවැරැදි අනාවැකි ගණනාවක්ම කල්තියා කර තිබීම නිසා කේ.සී.ජේ. රත්නායකයන් කළ මාර්තුවෙන් පසු ආණ්ඩුවට අසීරු බවට වූ එම ජ්‍යොතිෂමය අනාවරණය එකල අප ‘මව්රට’ පුවත්පතේ ඒ අයුරින්ම පළකිරීමට පියවර ගත්තෙමු.

රත්නායකයන් කී ආකාරයටම කිසිවෙකුත් නොසිතූ ආකාරයට 2026 මාර්තු මාසය වනවිට ගල්අඟුරු ගනුදෙනුව මුල් කරගෙන ආණ්ඩුවට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව තිබිණි. එම ගල්අඟුරු චෝදනාව කොතරම් බරපතළ වුණාද කියනවා නම් මන්ත්‍රීවරුන් 159 දෙනකු සිටින විශේෂ බහුතර බලයක් ඇති ආණ්ඩුවක් බෙල්ල මුලින් අල්ලාගෙන එක මිටකට ගැනීමට මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් පමණක් සිටින විපක්ෂයට හැකවී තිබිණ. ඒ හරහා මෙතෙක් ඈලිමෑළිව සිටි විපක්ෂයද අළු ගසාදමා නැගී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව බොහේ දෙනා ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාගෙන් මෙරට ජනතාව බලාපොරොත්තු වූ වෙනස සහ පිරිසුදු දේශපාලනය ක්‍රියාත්මක කරමින්, චෝදනාවට ලක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාව වහාම එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය. විශේෂයෙන්ම විපක්ෂය එල්ල කළ චෝදනාව විගණන වාර්තාවෙන් පවා තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඉවත් කළ යුතු බවට විපක්ෂයෙන් එල්ල වූ බලපෑම්ද ඉතා තීව්‍ර වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ මැතිවරණයන්ට පෙර ජනාධිපතිවරයා පමණක් නොව ජවිපෙ සියලු දෙනාම පාහේ කී පරමාදර්ශී දේශපාලනය ක්‍රියාත්මක කරමින් අවම වශයෙන් විමර්ශන අවසන් වන තෙක් හෝ කුමාර ජයකොඩි මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ඇතැයි කියාය.

නමුත් කෙතරම් බලපෑම් එල්ල වුවද එවැන්නක් සිදුවූ ආකාරයක් දැකගත නොහැකි විය. ඒ වෙනුවට සිදුවූයේ ආණ්ඩුවට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ගැළවීම සඳහාත්, පරීක්ෂණ වෙනත් පැත්තකට යොමුකිරීම සඳහාත් ආණ්ඩුව පියවර ගත් ආකාරයකි. එය හොඳින්ම තහවුරු වූයේ කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා විවාදයේ අවසන් කතාව කළ අමාත්‍ය බිමල් රත්නායක මහතා ලංකාවට ගල්අඟුරු ගෙන්වීම ආරම්භ කළ 2009 සිට මේ දක්වාම සිදුව ඇති සියලු නැව්ගත කිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවත්, ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවත් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටීමය.

බිමල් එවැනි ප්‍රකාශයක් සිදුකොට තිබියදීත් ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතා ඊට පසු දිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් එම ගල්අඟුරු ගෙන්වීම් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව රහස් පොලිසිය වහාම කළේ ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබීමය. ඒ ආකාරයට මුද්‍රා තබා පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් නැවතත් වාර්තා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යළිත් එම කාර්යාලය විවෘත කොට එහි නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු කරගෙන යෑමට අවස්ථාව ලබාදී තිබූ බවකි. එහිදී නිලධාරීන් රාජකාරි කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුම එම කාර්යාලයට යොදවා තිබූ බවක්ද වාර්තා විය. බොහෝ දෙනා පෙන්වා දී තිබුණේ විගණන වාර්තාවෙන් පවා තහවුරු කර තිබූ ගල්අඟුරු වංචාව පිළිබඳ සොයනවාට වඩා මේ හරහා වෙනත් වෙනත් තොරතුරු සෙවීමට ඇතැමුන් කටයුතු කර තිබූ බවත්, සිදුවන සිදුවීම් සියල්ල එකිනෙකට පරස්පර බවක් පෙනෙන්නට ඇති බවත්ය.

හඬ පටයේ අඬහැරය

මේ අතර සිංහල අලුත් අවුරුද්ද උදාවීමට පැය කීපයක් තිබියදී ගල්අඟුරු ගෙන්වීම මුල්කරගෙන සිදුවූවා යැයි කියන හඬ පටයක් සමාජ මාධ්‍යයට මුදාහැරීමට කිසියම් කණ්ඩායමක් පියවර ගෙන තිබිණි. එම හඬපටයේ සඳහන් වූයේ ආණ්ඩුව ඉකුත් සමයේ සිදුකළ ගල්අඟුරු හදිසි මිලදී ගැනීමට සම්බන්ධ කතාබහකි. එහිදී ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු අතර සිදුවූ බව කියන දුරකතන සංවාදයක් දැකගන්නට ලැබුණු අතර, එක් අයකු හදිසි මිලදී ගැනීම් සිදුකළ සමාගමේ නියෝජිතයකු බවක්ද දැකගන්නට ලැබිණි. මෙහිදී ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් ජනධිපතිවරයාගේ නම සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ධම්මික පෙරේරා මහතාගේ නමද සඳහන් කරන ආකාරය දැකගත හැකි විය. ඒ අනුව අවුරුදු උදාවට පැය කීපයක් තබා ලීක් වූ මේ හඬ පටය පැය කීපයක් යෑමට මත්තෙන් වයිරල් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ආණ්ඩුව පැත්තෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකොට නිහඬ වෘතයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට තිබූ නමුත් එම හඬ පටය ලීක් වී පැය කීපයක් යෑමට මත්තෙන් සජබය නියෝජනය කරන මුජිබර් රහුමාන් මහතාත්, වරුණ රාජපක්ෂ මහතාත් මෙම හඬ පටය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව සිංහල අලුත් අවුරුදු දිනය වනවිට මේ ගල්අඟුරු වංචාව සම්බන්ධ සිද්ධියේ උණුසුම දෙගුණ තෙගුණ වී තිබූ ආකාරයක් සියල්ලන්ටම දැකගත හැකි විය.

ඒ අනුව මේ වනවිට රට ඇතුළේද ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ මතයක් ඇතිවී තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබේ. බොහෝ දෙනා කියන්නේ ලංකාවට ගල්අඟුරු ගෙන ආ 2009 වසරේ සිටම සිදුවූ සිද්ධීන් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමක් පත්කිරීම හරහා ආණ්ඩුව විපක්ෂය නිහඬ කිරීමේ උත්සාහයක් මෙන්ම රටට සිදුව ඇති පාඩුව සාධාරණීකරණය කිරීමේ උත්සාහයක් දරන ආකාරයක් පෙනෙන්නට ඇති බවය. 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන ජනධිපතිවරුන් යටතේ චම්පික රණවක, රංජිත් සියඹලාපිටිය, කංචන විජේසේකර, ඩී.වී. චානක යන හිටපු මහත්වරුන් විදුලිබල අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරනු ලැබ තිබිණි. එම කාල සමයන්හි ලංකාවට ගල්අඟුරු ගෙන්වීම සිදුකොට තිබුණේ මේ කියන පිරිස් යටතේය. ඒ අනුව එම අමාත්‍යවරුන් ඉලක්ක කොට මෙම ජනාධිපති කොමිසම පත්කළාද, එසේත් නොමැති නම් වත්මන් මාලිමා ආණ්ඩුවට එල්ල වන චෝදනා යටපත් කරගැනීම සඳහා එම ජනාධිපති කොමිසම පත්කළාද යන්න සම්බන්ධයෙන් විපක්ෂය පැත්තෙන් විශාල චෝදනාවක් එල්ල වූ ආකාරයක්ද දැකගත හැකිය.

විපක්ෂය බය වෙලාද?

කෙසේ වෙතත් මේ ආකාරයට ජනාධිපති කොමිසමක් පත්කිරීම හරහා විපක්ෂය බයකොට විපක්ෂයේ කට වැසීමට ආණ්ඩුවේ සැලසුම වූයේ නම් ඇත්ත වශයෙන්ම විපක්ෂය මේ වනවිට සිටින්නේ බියට පත්වද? විපක්ෂය තවදුරටත් ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් කතා කිරීම නතර කොට එම මාතෘකාව අතහැරලාද?

අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ සිංහල අලුත් අවුරුදු නිවාඩුව ගතකරද්දී පවා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගනිමින් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පවත්වා ඇති බවකි. ඒ අනුව අප ඉතා වගකීමෙන් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ මෙම සූම් සාකච්ඡාවලදී සජිත් සහ සජබ මන්ත්‍රී කණ්ඩායම ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවකි. එහි ප්‍රධානම තීන්දුව වූයේ ආණ්ඩුව 2009 වසරේ සිටම ලංකාවට ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමට කිසිසේත්ම බාධා නොකිරීමය. එම කොමිසමේ රාජකාරිවලට පූර්ණ සහාය පළකිරීමටත් මෙහිදී සජිත් ප්‍රමුඛ සජබ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇත. ඒ, ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් සජබයටත්, සජබ මන්ත්‍රීවරුන්ටත් කිසිදු බැඳීමක් නොතිබීම ඊට හේතුවය.

එම සාකච්ඡාවලදී ගත් දෙවැනි තීන්දුව වූයේ ඒ වනවිට මහත් ආන්දෝලනයකට තුඩුදුන් බාල ගල්අඟුරු ගෙන්වීම සහ හදිසි මිලදී ගැනීම් මුල්කරගෙන සජබය ප්‍රමුඛ විපක්ෂය ගෙන ගිය සටන අඟලකින් හෝ ආපස්සට නොගෙන සටන තවත් තීව්‍ර කොට ඉදිරියට ගෙන යෑමය. ඒ අනුව සිංහල අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමත් සමග කිසිවකුත් නොසිතන ආකාරයට නැවතත් මෙම ගල්අඟුරු සටන ආරම්භ කිරීමට මෙම සූම් සාකච්ඡාවලදී සජබය තීන්දු කොට අවසානය.

මීට අමතරව තවත් වැදගත් තීන්දුවක්ද මෙම සාකච්ඡාවලදී ගෙන තිබිණි. ඒ, මීට පෙර නොපැවැත්වීමට තීන්දු කර තිබූ මෙවර මැයි දින රැලිය යළිත් පැවැත්වීමට සජබය තීන්දු කිරීමය. වෙසක් පෝය දිනයද මැයි දිනයට සමගාමීව යෙදීම හේතුකොට ගෙන සජබය මීට පෙර තීන්දු කොට තිබුණේ මැයි රැලියක් නොපැවැත්වීමටය. නමුත් ආණ්ඩුව නම් කල්තියාම රටට දැනුම් දී සිටියේ තමන් මෙවර යාපනය, වතුකරය සහ කොළඹ මුල්කරගෙන මැයි රැලි තුනක් පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. නමුත් ගල්අඟුරු සිද්ධිය මුල් කරගෙන රට ඇතුළේ මේ වනවිට මතුව ඇති තත්ත්වය මුල් කරගෙන සජබය එම සූම් සාකච්ඡාවලදී තීන්දු කළේ මීට පෙර ගත් තීන්දුව ආපස්සට හරවමින් මැයි දින සමරුව ඉතා ඉහළින් සිදුකිරීමටය. කෙසේ වෙතත් එදිනට වෙසක් පොහෝ දිනය යෙදී තිබීම නිසා ඊට ගරු කරමින් පෙළපාළි නොපැවැත්වීමටත්, ආණ්ඩුව සිදුකොට ඇති ගල්අඟුරු වංචාව ඇතුළු තවත් දූෂණ ක්‍රියා ගණනාවකට එරෙහිවත් විරෝධය පළකරමින් එම මැයි රැලිය පැවැත්වීමටත් මෙම සූම් සාකච්ඡාවේදී තීන්දු කොට තිබිණි. එහිදී බොහෝ දෙනා පෙන්වා දී තිබුණේ ආණ්ඩුව විවිධ උපායයන් යොදමින් යටපත් කිරීමට උත්සාහ ගන්නා ගල්අඟුරු වංචාව තව තවත් ඉදිරියට ගෙන රට ඇතුළට ගෙන යෑමේ සටනක් බවට මෙවර මැයි රැලිය පත්කරගත යුතු යැයි කියාය.

මීට අමතරව මෙම සූම් සාකච්ඡාවේදී ගල්අඟුරු වංචාවට සම්බන්ධ තවත් බොහෝ තාක්ෂණික කරුණු රැසක්ම පළමු වතාවට සාකච්ඡා වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ පිළිබඳ තොරතුරු මොනවාද යන්න පිළිබඳ මෙවර අපට හෙළිකිරීමට නොහැකි නමුත්, පුවත්පත වෙළෙඳපොළට පැමිණ පැය කීපයක් ඉක්ම යෑමට මත්තෙන් ගල්අඟුරු වංචාව මුල් කරගෙන තවත් බරපතළ සිදුවීමක් සිදුවන්නට යන බව පමණක් වාර්තා කිරීමට අප සූදානම්ය. ඒ හරහා ගල්අඟුරු සිද්ධියට සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් කරළියට ගෙන ඒමට මෙම සූම් සාකච්ඡාවේදී තීන්දු වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව එම දීර්ඝ අදහස් හුවමාරුව දෙස බැලූ විටත් අපට පෙනෙන්නට ඇත්තේ බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධියට අදාළ සිදුවීම් පෙළ මෙතැනින් නොනැවතී තවදුරටත් ඉදිරියට යනු ඇති බවකි.

ආණ්ඩුවත් ගැස්සිලා

එමෙන්ම මෙම සාකච්ඡාවේදී අතිශය තීරණාත්මක මොහොතක ගල්අඟුරු ගෙන්වීමට අදාළ ඉහළ පෙළේ හඬපටයක් මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්ව තිබිණි. එහිදී බොහෝ දෙනා කියා තිබුණේ මෙම දුරකතන සංවාදය මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වයන් පවා බරපතළ තිගැස්මකට ලක්ව ඇති බවය. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වයන්ද මෙම දුරකතන සංවාදය මාධ්‍යයට මුදාහැරීම පසුපස සිටින පිරිස් සම්බන්ධයෙන් වහ වහා සොයා බැලීමට කටයුතු කොට ඇති බවක්ද ආරංචිය. ඒ අනුව ඔවුන්ද යම් යම් කණ්ඩායම් පිළිබඳ සැකසංකා මතුකොට ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවැති සූම් සාකච්ඡාවේදී මෙම සිදුවීම පිටුපස සිටින පිරිස කවුද, එම සංවාදය එළියට දැම්මේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති ආකාරයක්ද ආරංචිය. එහිදී ඇතැමුන්ගේ අදහස වී තිබුණේ මෙම ආන්දෝලනාත්මක හඬ පටය නිකුත් වීම එතැනින් අවසන් නොවනු ඇති බවත්, එය තවත් හෙළිදරව් කිරීම් රැසක පළමු සිද්ධිය පමණක් වනු ඇති බවත්ය. මෙවැනි ආකාරයේ තවත් ප්‍රබල අනාවරණයන් රැසක්ම ඉදිරියේදී සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද මෙහිදී සකච්ඡාවට ලක්ව ඇති බවක්ද දැනගන්නට ඇත.

එමෙන්ම මෙම බාල ගල්අඟුරු සිද්ධියේදී විපක්ෂය හැසිරුණු ආකාරය පිළිබඳවද මෙහිදී බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. පසුගිය කාලයේදී විපක්ෂයටම සම්බන්ධ යම් යම් කණ්ඩායම් සහ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටුකරන විවිධ තුන්වැනි පාර්ශ්වයන් මාධ්‍ය හමු පවත්වමින් ගිරව් මෙන් කියා සිටියේ විපක්ෂය දුර්වල බවත්, විපක්ෂයට පණ නැති බවත්, විශේෂයෙන්ම විපක්ෂයක් සංවිධාන කිරීමට විපක්ෂ නායක සජිත්ට පණ නැති බවත්ය. විවිධ න්‍යාය පත්‍රයන්වලට අනුව යමින් දෙතුන් දෙනකු විවිධ මාධ්‍යයන් අල්ලාගෙන මෙම චෝදනාව සිදුකළද තුනෙන් දෙකක බලයක් සහිත සුපිරිසුදු යැයි කී ආණ්ඩුවක් වසර එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළතදී එක සිදුවීමක් මුල් කරගෙන බිත්තියට හේත්තු කිරීමට තරම් ශක්තිමත් වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබය ප්‍රමුඛ විපක්ෂයම දියත් කළ ඉතා සාර්ථක මෙහෙයුමක් මුල්කරගෙනය.

නමුත් ඇත්ත වශයෙන්ම මෙහි ආරම්භය ගත්තේ සජබය නොව, ජවිපෙන් කැඩී වෙන්වී ගිය කණ්ඩායමක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයය. ආණ්ඩුව ගල්අඟුරු ගෙන්වීම හරහා රටට දැවැන්ත පාඩුවක් සිදුකොට ඇති බවත්, එම ටෙන්ඩර් පටිපාටියේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත් පළමු වරට රටට අනාවරණ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා වන පුබුදු ජාගොඩ මහතාය. පුබුදු කළ එම අනාවරණයට ඒ මොහොතේ විශාල ප්‍රචාරයක් නොලැබුණත්, එහි බැරෑරුම්කම වටහා ගත් සජිත්, පුබුදු කළ එම චෝදනාව සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක නිරත විය. එහිදී සජිත්ට ලොකු හයියක් වූයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරාත්, එස්.එම්. මරික්කාරුත්ය. ඒ අනුව දීර්ඝ අධ්‍යයනයකින් පසු මේ තිදෙනා බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ දැවැන්ත සටනක් දියත් කළෝය. ඒ අනුව සෑම පාර්ලිමේන්තු දිනයකදීම සජිත්, අජිත්, මරික්කාර් යන තිදෙනා මේ ගනුදෙනුව සම්බන්ධයෙන් අලුත් තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තෝය. මේ තිදෙනාගේ පාර්ලිමේන්තු සටනට තවත් ප්‍රබල ශක්තියක් වී තිබුණේ වෙන කවුරුවත් නොව පොහොට්ටුවේ මන්ත්‍රී ඩී.වී. චානකය. පසුගිය ආණ්ඩු සමයේදී විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් ගල්අඟුරු ගෙන්වීම පිළිබඳ අත්දැකීම් රැසක්ම ඩී.වී. චානකට තිබිණි. ඒ අනුව තාක්ෂණික කරුණු පවා රටට හෙළිකරමින් වරින් වර චානකද ආණ්ඩුව ගල්අඟුරු ගෙන්වීම හරහා සිදුකොට ඇති අක්‍රමිකතාවන් පෙන්වා දීමට පියවර ගත්තේය. මීට අමතරව ‘පච මදිවට හොරු – අනුරට බෑ’ යන තේමාව යටතේ ආසන මට්ටමෙන් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධාන කළ සජබය, ගල්අඟුරු ගෙන්වීම හරහා ආණ්ඩුව සිදුකොට ඇති වංචාව සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ජනගත කිරීමට සමත් විය.

මීට අමතරව සිංහල අලුත් අවුරුද්ද නිමා වනවාත් සමගම නැවත වතාවක් මාධ්‍ය හමුවකට එක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකිරීමට පියවර ගත්තේය. ඒ, බාල ගල්අඟුරු හේතුවෙන් නිපදවන විදුලිය ප්‍රමාණවත් නොවන නිසා ආණ්ඩුව වික්ටෝරියා ජලාශයේ ඇති සීමිත ජල ප්‍රමාණය පවා විශාල වශයෙන් විදුලි උත්පාදනය සඳහා නිදහස් කිරීමට තීන්දු කොට ඇති බවය. මේ හරහා මහනුවර ප්‍රදේශ රැසකට විශාල පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද දුමින්ද එහිදී සඳහන් කර සිටියේය. ඒ අනුව මේ වනවිට පෙනෙන්නට ඇත්තේ කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය පරාජයට පත්කිරීමට ආණ්ඩුව සමත් වුවත්, එම ප්‍රශ්නය නිට්ටාවටම අවසන් කරගැනීමට ආණ්ඩුව සමත්ව නැති බවය. ඉදිරි මාස කීපයේදීත් මෙම ගල්අඟුරු වංචාව නමැති මාතෘකාව ආණ්ඩුවට බරපතළ හිසරදයක් වන තරමට දික්ගැස්සෙනු ඇති බවක්ද මේ වනවිට ගොඩනැගෙමින් පවතින සිදුවීම් අනුව වටහා ගැනීමට පුළුවන.

ඩෝබින්ටත් හෝදන්න බැරිවෙයි

මේ ආකාරයට විපක්ෂය ගල්අඟුරු වංචාව අතට ගෙන ආණ්ඩුවට එරෙහිව අවි අමෝරද්දී ආණ්ඩුව ඊට දක්වා ඇති ප්‍රතිචාරය කෙබඳුද යන්න සම්බන්ධයෙන්ද තොරතුරු සොයාබැලීම වටී. අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ දැනටමත් ගල්අඟුරු සිද්ධිය මුල් කරගෙන ආණ්ඩුව ඇතුළේ බරපතළ අර්බුද ගණනාවක්ම නිර්මාණය වෙමින් පවතින බවකි. විශේෂයෙන්ම පැලවත්ත පාර්ශ්වය මෙම සිදුවීමේදී කුමාර ජයකොඩිව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙසට කළ දැනුම්දීම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නොතකා හැර, ඔහුව ආරක්ෂා කරන ස්ථාවරයකට යෑම නිසා එම සංවාදය ආණ්ඩුව ඇතුළේ තරමක් දරුණු අතට පත්ව ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මීට අමතරව මේ දක්වා සිදුවූ සෑම සිදුවීමකදීම ආණ්ඩුව ආරක්ෂා කරමින් ආණ්ඩුවට කඩේ ගිය ප්‍රබල මාලිමා චරිත පවා මේ වනවිට ගල්අඟුරු සිද්ධිය මුල් කරගෙන ආණ්ඩු විරෝධී ස්ථාවරයකට තල්ලු වීම දක්වා මෙම තත්ත්වය ඔඩුදුවා ඇති ආකාරයක්ද දැකගැනීමට පුළුවන. විශේෂයෙන්ම පසුගිය කාලයේදී මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දැවැන්ත දායකත්වයක් දැක්වූ කිහිප දෙනකු ලෙස මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාත්, ‘මහ කුඹලා’ ලෙස සැලකෙන අජිත් පෙරේරා මහතාත්, මාධ්‍යවේදියකු ලෙස සැලකෙන උවිඳු කුරුකුලසූරියත් හඳුනාගෙන තිබිණි. මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවද යම් යම් අර්බුද පැනනැගුණු අවස්ථාවලදී ඒවා සුද්ද කරමින් ගමේ භාෂාවෙන් කියන්නේ නම් ‘සෝදමින්’ ආණ්ඩුවට එරෙහිව නැගුණු ජනමතය යම් තරමකට පාලනය කරගැනීමට සමාජ මාධ්‍ය තුළ කටයුතු කර තිබිණි.

නමුත් මෙවර සිදුවූයේ කුමක්ද? බාල ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් විගණන වාර්තාව නිකුත් වීමත් සමග ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස් එළිපිටම ආණ්ඩුවට එරෙහිව අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි වීමය. විශේෂයෙන්ම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රකාශ කොට සිටියේ තවදුරටත් මාලිමා ආණ්ඩුව සේදීමට තමන්ට නොහැකි බවකි. විගණන වාර්තාව මගින් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට තහවුරු කර ඇති නිසා අවම වශයෙන් විමර්ශන අවසන් වන තෙක් හෝ කුමාර ජයකොඩිව අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව නිර්මාල් රංජිත් එහිදී ප්‍රකාශ කොට තිබිණි. මීට අමතරව මහ කුඹලා ලෙස සැලකෙන අජිත් පෙරේරාද කියා සිටියේ විමර්ශන අවසන් වන තෙක් හෝ කුමාර ජයකොඩිව අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවකි. ජනාධිපතිවරයාගේ මිත්‍රයෙක් වුවද මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරියද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ගල්අඟුරු සිද්ධිය මුල්කරගෙන බරපතළ විවේචන කීපයක්ම සිදුකිරීමට කටයුතු කොට තිබිණි. ඒ අනුව, මේ දක්වා ආණ්ඩුව සුද්ද කළ පිරිස්වලට පවා තවදුරටත් ගල්අඟුරු වංචාව සුද්ද කළ නොහැකි තැනට පත්ව ඇති ආකාරයක් මෙම සිදුවීම හරහා දැකගත හැකි විය.

සජබය අලුත් අතකට

මීට අමතරව මෙම ගල්අඟුරු වංචාව මුල් කරගෙන මේ වනවිට ප්‍රධාන විපක්ෂය වන සජබය ඇතුළු විපක්ෂයේ අනකුත් පක්ෂවලටද විශාල උත්තේජනයක් ලැබී ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. පසුගිය සතියේ එය තහවුරු වූ ආකාරයේ සිදුවීම් කීපයක්ම දැකගන්නට ලැබිණි. කවුරු කොහොම කීවද, කුමන තර්ක විතර්ක, විග්‍රහ ඉදිරිපත් කළද සජිත් ප්‍රමුඛ සජබය ඇතුළු විපක්ෂය අවුරුදු 76කට පසු මහජන ඡන්දයෙන් අතිවිශාල බලයක් ලබා බලයට පත්වූ ජවිපෙ ආණ්ඩුව අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ජනතාව ඉදිරියේ දණගැස්වීමට සමත් වීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමය. මෙපමණ කල් විපක්ෂයේ සිටි පක්ෂ දෙස බලද්දී සජිත් ප්‍රමුඛ සජබය එම විප්ලවය කළේ බොරු කීමෙන් හෝ ජනතාව අනවශ්‍ය ලෙස උසිගැන්වීමෙන් හෝ කෙටි මාර්ගවලින් බලය ඩැහැගන්නා උපක්‍රමවලින් නොව, සෙමින් සෙමින් නමුත් මනා සංයමයකින් සහ පාලනයකින් යුතුව ගිය ගමනක් හරහාය. එහිදී මෙතෙක් පැවැති විපක්ෂයන් උපයෝගී කරගත් උපක්‍රම වෙනුවට අලුත් උපක්‍රමවලට මාරු වෙමින් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව සැබෑ විපක්ෂයක් කළ යුතු කාර්යභාරය ඉටුකිරීමට සජිත් ප්‍රමුඛ සජබය මෙහිදී කටයුතු කොට තිබිණි. නමුත් මේ ගෙවුණු කාලය ඇතුළත විපක්ෂ නායකවරයා ලෙස සජිත් අතින් පවා වැරැදි සිදු නොවුණා නොවේ. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සජබය අතින් පවා වැරැදි අඩුපාඩු සිදු නොවුණා නොවේ. සජබය අතින් සිදුවූ ලොකු අඩුපාඩුවක් වූයේ පක්ෂයේ ඉහළ තනතුරුවල සිටින පිරිස් පක්ෂය බිම් මට්ටමට ගෙන යෑමට කටයුතු නොකිරීමය. එහිදී සජිත්ට පවා ප්‍රබල චෝදනාවක් එල්ල වූයේ පක්ෂයේ ප්‍රධාන තනතුරු ලබාදීමේදී සජිත් වැඩි වැඩ කරන්නට ගොස් යම් යම් ගැටලු සහ පක්ෂයටම අවාසිසහගත පසුබිමක් නිර්මාණය කරගත් බවකි. විශේෂයෙන්ම පක්ෂ සභාපතිවරයා ලෙස ඉමිතියාස් බකීර් මාකාර් මහතා පත්කිරීමට සජිත් කටයුතු කරද්දී බොහෝ දෙනා කියා සිටියේ එය සජිත් ගත් වැරැදි තීන්දුවක් යැයි කියාය. ඊට නියම සුදුස්සා ඉමිතියාස් නොව, පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතමයකු වූ කබීර් හෂීම් මහතා බව එම පිරිසේ ස්ථාවරය විය. නමුත් ඉමිතියාස්ට කරන ගෞරවයක් වශයෙන් පක්ෂ සභාපති ධුරය අන්තිමේදී ඉමිතියාස්ට ලබාදීමට සජිත් පියවර ගත්තේය.

නමුත් අවසානයේදී සිදුවූයේ කුමක්ද?

ආණ්ඩුව පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත්කොට තිබියදී ප්‍රධාන පක්ෂයක තබා නිතර නමක් ගමක් නොකියවෙන සුළු පක්ෂයක සභාපතිවරයෙක් හෝ නොකරන ආකාරයට ඉමිතියාස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කිරීමය. එහිදී ඉමිතියාස් කියා සිටියේ තමන් දේශපාලනය පිළිබඳ කලකිරී සිටීම හේතුවෙන් එම තීරණය ගත්තා යැයි කියාය. නමුත් ඡන්දයක් ප්‍රකාශයට පත්කොට තිබියදී ඉමිතියාස් කළ මෙම කටයුත්ත හේතුවෙන් එදා සජබය ඇතුළේ විශාල කඩාවැටීමක් සිදුවිය. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පක්ෂයට විශාල හානියක් සිදුවිය. මහ මැතිවරණයේදී මාලිමාව ගත් ඡන්ද 69 ලක්ෂයෙන් ලක්ෂ 25ක්ම අඩු වෙමින් පැවැති පසුබිමක ඉමිතියාස් මෙසේ සජබය හැර යෑම පක්ෂය ඇතුළේ පවා බොහෝ විවේචනයට ලක්වූ සිදුවීමක් විය. එමෙන්ම ඇතැමුන් ඉමිතියාස් ගත් එම තීන්දුව පිළිබඳ පුදුමයට පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය.

එතැන් පටන් මේ දක්වා පක්ෂයක් ලෙස සජබයට සභාපතිවරයකු සිටියේ නැත. පක්ෂය ඉදිරියට ඇදගෙන ගියේ නායකයා වශයෙන් සජිතුත්, මහලේකම්වරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායම විසිනි. කෙසේ වෙතත් බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය අතට ගෙන සජිතුත්, සජබයත් පසුගිය මාස දෙක තුළ ගෙන ගිය සටන ඔස්සේ මේ වනවිට සජබයටද අලුත් පණක් ලැබී ඇති ආකාරයක් දැකගැනීමට ලැබිණි. ඒ අනුව සජිත්ද කළේ වසරකට ආසන්න කාලයක් හිස්ව පැවැති පක්ෂ සභාපති ධුරය සඳහා ඉතාම සුදුස්සා ලෙස බොහෝ දෙනා හඳුනාගෙන සිටි කබීර් හෂීම්ව පත්කිරීමට තීන්දු කිරීමය. කබීර් යනු දැනට පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතමයකු මෙන්ම සජබය ගොඩනැගීම සඳහා දැවැන්ත දායකත්වයක්ද දැක්වූ අයෙකි. විශේෂයෙන්ම එජාපයේ සිටියදී කබීර් පක්ෂ මහලේකම්වරයා වශයෙන්ද කටයුතු කොට අත්දැකීම් සහිත අයෙකි. 2015දී මහින්ද පරාජයට පත්කොට එජාපය බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් එදා පක්ෂ මහලේකම්වරයා වශයෙන් කබීර් සිදුකළේය. කබීර්ගේ ඇති ඊළඟ විශේෂත්වය වන්නේ හැමදාම කෑගල්ලෙන් දිනද්දී මුස්ලිම් ඡන්ද මෙන්ම සිංහල බෞද්ධ ඡන්දද විශාල ප්‍රමාණයක් කබීර්ට වැටී තිබීමය. ඒ අනුව, ගල්අඟුරු සිද්ධිය මුල් කරගෙන සජබයට ලැබුණු හොඳම තෑග්ග වූයේ කබීර්ට පක්ෂ සභාපති ධුරය හිමිවීමය.

මෙසේ කබීර් සජබ සභාපති ධුරයට පත්කොට සජිත් ගනු ලැබූ ඊළඟ වැදගත්ම තීන්දුව වූයේ මැයි දින රැලිය මෙවර පැවැත්විය යුතු බවට තීරණය කිරීමය. සජිත් එම තීන්දුව ගත්තේම කබීර් වැනි අයකු පක්ෂ සභාපති ධුරයට පත්කිරීමේ හයිය සජබයට ප්‍රායෝගිකවම ගැනීම සඳහාය. ඒ අනුව මේ දිනවල සජිත් – කබීර් – මද්දුමබණ්ඩාර නිතරම විශේෂ සාකච්ඡා පවත්වමින්, මන්ත්‍රීවරුන් මුණගැසෙමින් දිස්ත්‍රික්ක මට්ටමින් මැයි රැලිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

නිව්ස් ප්ලාන්ට් වැඩ අල්ලයි

මේ ආකාරයට සජබය දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට සූදානම් වෙද්දී එජාපයේ නිව්ස් ප්ලාන්ට් කල්ලිය නැවත වතාවක් අලුත් අවුරුද්දේ වැඩ අල්ලා ඇති ආකාරයක් පෙනී යන්නේ රනිල්ගේ පවුලට අයත් ලංකාදීප වෙබ් අඩවිය ඔස්සේ නමක් ගමක් නොමැති පුවත් පළ කිරී්මට කටයුතු කොට තිබීිම හරහාය. ඒ අනුව පසුගිය සතියේ රුවන් විජයවර්ධනගේ පවුලට අයත් ලංකාදීප වෙබ අඩවියේ නමක් ගමක් නොමැතිව පළවූ පුවතකින් කියවුණේ වෙසක් පොහෝ දින ආගමික කටයුතුවල නිරතව සිටින බැතිමතුන්ට බාධාවක් විය හැකි බැවින් මැයි දින පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බවට නායක ස්වාමින් වහන්සේලා විසින් ඉල්ලීම් කරනු ලැබ ඇති බවකි. පුවතේ එසේ සඳහන් වුවද අඩුම තරමේ නායක ස්වාමීන් වහන්සේ නමකගේ නමක් තියා සාමණේර හිමිනමකගේ නමක් හෝ එහි සඳහන්ව නොතිබීම විශේෂත්වයක් විය. ඒ අනුව පැහැදිලිවම එය රනිල්ගේ නිව්ස් ප්ලාන්ට් කල්ලිය හරහා සජබ මැයි රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් පළ කළ එකක් බව පැහැදිලිවම දැකගත හැකි විය.

මේ ආකාරයට රනිල්ගේ නිව්ස් ප්ලාන්ට් කල්ලිය සජබ-එජාප එකතුව කඩා බිඳ දැමීමට පවා රනිල්ගේ පවුලට අයත් පුවත්පත් යොදාගත් පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද අවස්ථා ගණනාවකදීම මෙම බොරු පුවත් පැළ කරන රනිල්ගේ නිව්ස් ප්ලාන්ට් කල්ලිය සජිත් සහ සජබය අපහසුතාවට පත්වන ආකාරයේ බොරු පුවත් ලංකාදීප පුවත්පතේ පළ කිරීමට පියවර ගෙන තිබිණ. ඒ බව සාධක සාක්ෂි සහිතවම අවස්ථා ගණනාවකදී අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ තහවුරු කිරීමටද එකල කටයුතු කළෙමු. පසුගිය කාලයේදී සජබ-එජාප එකමුතු කිරීම සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමග පැවැති සෑම සාකච්ඡාවකදීම සජිත් පැහැදිලිවම පෙන්වා දී තිබූ කාරණයක් වූයේ ඔහුගේ පවුලට අයත් ලංකාදීප-සන්ඩේ ටයිම්ස් පුවත්පත් සමූහය හරහා සජබ එජාප එකමුතුව කඩාකප්පල් කිරීම සඳහා අසත්‍ය පුවත් පළකිරීමට පියවර ගෙන ඇති බවත්, වහාම එය නැවැත්වීමට පියවර ගත යුතු බවත්ය. එහිදී මද සිනාවකින් යුතුව ඊට රුවන් දී තිබූ පිළිතුරුවලින් ඇඟවුණේ තමන්ගේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, පුවත්පත තමන්ගේ පාලනයෙන් තොර බවත්, රනිල්ගේ පාර්ශ්වය විසින් එය මෙහෙයවමින් අසත්‍ය පුවත් පළකරන බවත්ය. තමන්ගේ ස්ථාවරය වන්නේද මෙම පක්ෂ දෙක එකතු වීම බව රුවන් එහිදී පැහැදිලිවම සජිත්ට දැනුම් දී සිටියේය. එමෙන්ම රුවන් එය අවස්ථා ගණනාවකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටද පියවර ගෙන තිබිණ. පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත ඔස්සේද සජබ කළමනාකරණ රැස්වීමේදී සිදුවූවක් බව කියමින් පට්ටපල් බොරුවක් පළ කිරීමට කටයුතු කොට තිබුණේද මෙවැනි පසුබිමක් යටතේය.

කෙසේවෙතත් මෙම පුවත පළ කොට පැය කිහිපයක් යාමට මත්තෙන් එහි රස්නය ලංකාදීප වෙබ් අඩවියට දැනෙන්නට පටන් ගෙන තිබිණ. එහි ප්‍රතිපලය වූයේ පැය කිහිපයක් තිබූ මෙම පුවත ලංකාදීප වෙබ් අඩවියෙන් හිටිහැටියේ අතුරුදන් වීමය. කෙසේවෙතත් සජබ මැයි රැලිය කඩාකප්පල් කිරීමට ලංකාදීප වෙබ් අඩවියේ මෙවැනි තුට්ටු දෙකේ අසත්‍ය පුවත් පළ කළද ඒ කිසිවක් තඹයකට මායිම් නොකොට යොදාගත් පරිදිම සජබය මැයි රැළිය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සජබය මේ වනවිට තීරණය කොට ඇත.

එමෙන්ම ඉදිරි සතියේදී සජිත් මැයි රැළිය මුල්කොටගෙන තවත් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ, සජබ මැයි දින වේදිකාවට එක්වන ලෙසට එජාපයට නිල ආරාධනාවක් සිදුකිරීමේ සූදානමින් සිටින බවය. එය එසේ වුවහොත් සජබය සහ එජාපය එක්වීමේ තීරණාත්මක අවස්ථාවක් බවට සජබ මැයි දින වේදිකාව පත්වීම වැළැක්විය නොහැකිය.

අත යන අත

කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය මැයි දින රැලි නොපවත්වන බවට ප්‍රකාශ කිරීමට කටයුතු කොට තිබුණද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින්නේ ඊට වෙනස් ස්ථාවරයකය. පසුගිය කාලයේදී බරපතළ දේශපාලන කඩාවැටීමකට මුහුණ දුන්නද ශ්‍රීලනිපය සිටින්නේ මෙවර මැයි දින රැලියක් පැවැත්විය යුතුය යන ස්ථාවරයේය. ඒ අනුව ඔවුන් දැනටමත් බොරැල්ලේ කැම්බල් පිටිය සිය මැයි රැලිය පැවැත්වීම සඳහා වෙන්කර ගැනීමට කටයුතු කොට ඇත. නමුත් ගැටලුව ඇත්තේ අතීතයේ මෙන් දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට තරම් හයියක් මේ වනවිට ශ්‍රීලනිපය සතුව තිබෙනවාදැයි කියාය. දේශපාලනය ගැන දන්නා බොහෝ පිරිස් කියන්නේ මේ වනවිට ශ්‍රීලනිපය සතුව ඇති ඡන්ද පදනම ලක්ෂ දෙකහමාරකට පමණ සීමා වී ඇති බවකි. එසේ වුවද ශ්‍රීලනිපය තුළ එජාපයට මෙන් ජවිපෙට මෙන් ගම්වල මුල් බැසගත් ඡන්ද පදනමක් තවමත් නැතුවා නොවේ. ඒ අනුව ඔවුන්ගේ විශ්වාසය වී ඇත්තේ කෙසේ හෝ මෙවර මැයි රැලිය පවත්වා ශ්‍රීලනිපය තවදුරටත් දේශපාලන පිටියේ නොනැසී සිටින බව ජනතාවට පසක් කර දීමටය.

මෙය පසුපස විශේෂ හේතුවක්ද තිබේ. ශ්‍රීලනිපයට ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී දැනට පවතින තත්ත්වය යටතේ තනිව තරග කොට කිසිසේත්ම ජයග්‍රහණයක් ලබාගත නොහැක. එසේ නම් ඔවුන් කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකුට සහාය දැක්වීමය. පසුගිය කාලයේදී විවිධ අවස්ථාවලදී ශ්‍රීලනිපය මහින්දට සහාය ලබාදුන්නේය. පසුව රනිල්ට සහාය ලබාදුන්නේය. සජිත්ටද සහාය දැක්වූයේය. තවත් අවස්ථාවලදී වෙන වෙන පිරිස් සමගද ශ්‍රීලනිපය සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ ආකාරයට විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වුවද ශ්‍රීලනිපය ඇතුළේ දැනට ඉතිරිව පවතින්නේ තීරණාත්මක අවස්ථාවකදී වෙනසක් කළ හැකි චරිත තුන හතරක් පමණි. ඉන් එක් චරිතයක් වන්නේ බදුල්ලෙන් පාර්ලිමේන්තුවට පැමිණි චාමර සම්පත් දසනායකය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රීලනිපය සහාය දැක්විය යුතු අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීමේදී මේ කියන තුන් හතර දෙනාගේ තීන්දුව පක්ෂයේ අවසාන තීන්දුව බවට පත්වීමේ වැඩි ඉඩකඩක් තිබේ. එහිදී ශ්‍රීලනිපය වැනි පක්ෂයක් පරදින අපේක්ෂකයකුට සහාය දැක්වීමට හෝ එවැනි පරදින පක්ෂයක් සමග සන්ධානගත වීමට කටයුතු කළහොත් තවදුරටත් ශ්‍රීලනිපයට අනාගතයක් ඇතැයි සිතිය නොහැක. එසේ වුවහොත් ශ්‍රීලනිපයට යෑමට සිදුවන්නේ පරාජිත අපේක්ෂකයා සමගම දේශපාලන කනත්තටය. ඒ අනුව ශ්‍රීලනිපය මෙවර සහාය දැක්විය යුතු වන්නේ නිශ්චිත වශයෙන්ම ජයග්‍රහණය කරන අපේක්ෂකයාටය. එසේ නොමැතිව තුන්වැනි හෝ හතරවැනි ස්ථානවලට පත්වන අපේක්ෂකයන්ට සහාය දී ශ්‍රීලනිපයට ලැබෙන දෙයක් නැත. අවම වශයෙන් ජනාධිපතිවරණයෙන් පසු පවත්වන මහ මැතිවරණයකදී හෝ ශ්‍රීලනිපයට ආසන 10ක් පමණ ලබාගත හැකි වන්නේ ප්‍රධාන පක්ෂයක් සමග සන්ධානගත වීමෙන් පමණි.

ඒ අනුව ශ්‍රීලනිපය මේ වනවිට තීන්දු කොට ඇත්තේ මේ මොහොතේ කිසිදු පාර්ශ්වයකට සහාය ලබා නොදී අවසන් මොහොතේ වැඩි බලයක් සහිත ජයග්‍රහණය කළ හැකි යැයි අනුමාන කළ හැකි අපේක්ෂකයාට සහාය දැක්වීමටය. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කරන්නේ ශ්‍රීලනිපය මෙවර කැම්බල් පිටියේ මැයි රැලිය පැවැත්වීමට තීරණය කර ඇත්තේද එම තීන්දුවට අවශ්‍ය දේශපාලන හයිය ලබාගැනීමේ අරමුණෙන් යැයි කියාය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය ඇතුළේ තීන්දු තීරණ ගැනීමේ බලය සහිත තුන් හතර දෙනා අතරින් ප්‍රධාන චරිත දෙකක්ම මේ වනවිටත් විපක්ෂ නායක සජිත් සහ සජබය සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන. පාර්ලිමේන්තුව ඇතුළේදීත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ දෙදෙනා සජිත් සමග මෙන්ම සජබයේ තීරණාත්මක චරිත සමග විවිධ සාකච්ඡාවල නිරත වෙමින් සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන. එහිදී ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විවිධ අදහස් හුවමාරු කරගන්නා ආකාරයක්ද දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරියේදී බොහෝ දේ සිදුවීමට නියමිත බව පමණක් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයේ සටහන් කොට තැබීමට සූදානම්ය.

එමෙන්ම මෙවර මැයි දින රැලියේදී ශ්‍රීලනිපයේ සැලසුම වී ඇත්තේ 5000ක් 6000ත් අතර පාක්ෂිකයන් පිරිසක් කෙසේ හෝ කැම්බල් පිටියට ගෙන්වා ගෙන තවමත් පක්ෂය කෙළින් කටින් සිටින බව රටට පෙන්වීමටය. සාමාන්‍යයෙන් දේශපාලන ගණන් හැදීමට අනුව කැම්බල් පිටියට 4000ක පමණ ජනතාවක් ගෙන්වුවද එය දහ පහළොස් දාහක ප්‍රමාණයක් මෙන් පෙන්විය හැකි බව බොහෝ දෙනාගේ අදහසය. ඒ අනුව දැන් ශ්‍රීලනිපය සූදානම් වන්නේ මේ දේශපාලන ගණන් හැදීමට අනුව කැම්බල් පිටිය පුරවා සිය ඉදිරි ගමනට අවශ්‍ය දේශපාලන ඔක්සිජන් ලබාගැනීමටය.

රාජ්‍යතාන්ත්‍රික යුද්ධය

ඉරාන යුද්ධය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් පැනනැගුණු ආකාරයක් පසුගිය කාලයේදී දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ඉරාන නෞකාවන් දෙකක් ශ්‍රී ලංකාවට අනන්‍ය ආර්ථික කලාපයට ඇතුළු වීමෙන් පසු සිදුවූ සිදුවීම් දාමය මුල්කොට ගෙන බොහෝ දෙනා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි. පළමුවෙන්ම ඇමෙරිකානු සබ්මැරීනයක් මගින් ඉරාන නෞකාවකට එල්ල කළ ප්‍රහාරයෙන් එම නැව මුහුදුබත් වූ අතර, ඉන් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් නිකුත් වූ ප්‍රකාශ මුල් කොටගෙන මෙම ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා ඔඩුදිවූ ආකාරයක්ද දැකගත හැකි විය. එම නැව විනාශ වීමෙන් පසු දෙවැනි ඉරාන නැවද ලංකාවට පැමිණි අතර, එහි සිටි නාවිකයන් සම්බන්ධයෙන්ද ඉන් අනතුරුව බරපතළ ගැටලු මතුවිය. ආණ්ඩුව මැදිහත් වී එම නාවිකයන් ලංකාව ඇතුළට ගෙන වැලිසර කඳවුරේ රඳවා තැබුණු අතර, නෞකාව ත්‍රිකුණාමල වරාය සමීපයට ගෙන යන බවක් ප්‍රකාශ විය. කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වි තිබුණේ ඉරාන නැව හා එම නාවිකයන් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර රහසිගත ආකාරයට අදහස් හුවමාරු වී තිබූ බවකි. විශේෂයෙන්ම ඇමෙරිකාව මෙම ඉරාන නාවිකයන් සිරකරුවන් ලෙසට ඉල්ලා සිටි බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහි සත්‍ය අසත්‍යතාව තවමත් තහවුරු වී නැතත්, ඇමෙරිකානු සිරකරුවන් ලෙස ඔවුන්ට පත්වීමට නොදී එම නාවිකයන් බේරාගැනීම සඳහා ඉරානයද පසුගිය සති කීපය පුරාම දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් ලංකාවට සිදුකොට තිබිණි.

මේ අතරවාරයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආසියානු සහ මධ්‍යම කලාප භාර නියෝජිතයා වූ සර්ජියෝ ගෝර් ලංකාවට පැමිණි අතර, ඒ හරහාද ලංකාවේ මෙම විදේශ ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ගෝර් ලංකාවට පැමිණ කෙළින්ම ගියේ කොළඹ වරායටය. ඒ අනුව ඇමෙරිකාව මේ වනවිට කොළඹ වරාය පිළිබඳ ඇස ගසාගෙන සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ගෝර් මෙහිදී වරායේ බටහිර පර්යන්තයෙන් එපිට ප්‍රදේශය පිළිබඳ නිරීක්ෂණය කර තිබූ බවත්, එහි ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවත්ය. එම සාකච්ඡා දැනටමත් සෑහෙන දුරදිග ගොස් ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

ගෝර්ගේ ලංකා සංචාරය අතරතුරදී පවා ඉරානය සිය නාවිකයන් නැවත ඉරානයට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා වටයක් ලංකාවේ බලධාරීන් සමග ආරම්භ කොට තිබිණි. ඔවුන්ගේ උත්සාහය වී තිබුණේ එම ඉරාන නාවිකයන් ඇමෙරිකානු සිරකරුවන් ලෙසට භාරදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට කෙසේ හෝ එම නාවිකයන් නැවත ඉරානයට ගෙන්වා ගැනීමය. මෙහිදී ලංකාවද මෙම ඉරාන නාවිකයන් සිරකරුවන් ලෙසට ඇමෙරිකාවට ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති බවක්ද ආරංචිය. ලංකාවේ අවශ්‍යතාව වී තිබුණේ ඇමෙරිකාවද තරහා කොට නොගෙන මෙම ඉරාන නාවිකයන් ඔවුන්ගේද අනුමැතිය යටතේ කෙසේ හෝ ඉරානයට පිටත්කොට යැවීමටය. ඒ අනුව පැවැති දීර්ඝ සාකච්ඡා වටයකින් පසුව ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග යම් එකඟතාවක් ඇතිකර ගැනීමට ලංකාව සමත්ව තිබිණි. ඒ, ඉරානය සමග පැවැති යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට ප්‍රකාශයට පත්කළ සති දෙකක සටන් විරාම කාලය තුළ මෙම ඉරාන නාවිකයන් ලංකාවෙන් පිටමං කිරීමටය. ඒ අනුව අලුත් අවුරුදු සමයේ පළවූ විශේෂ ප්‍රවෘත්තියකින් කියැවුණේ තුර්කියට අයත් විශේෂ ගුවන් යානයකින් මෙම සියලු ඉරාන නාවිකයන් ඉරානය බලා පිටත්කොට හැරීමට පියවර ගත් බවකි.

එසේ නම් මේ වනවිට කොළඹ වරායට නුදුරින් නැංගුරම්ලා ඇති අනෙක් ඉරාන නෞකාවට ආණ්ඩුව සිදුකරන්නට යන්නේ කුමක්ද? යම් හෙයකින් මෙම ඉරාන නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවත්ව ජාත්‍යන්තර මුහුදු තීරයට ඇතුළු වුවහොත් ඇමෙරිකානු ප්‍රහාරයකට නතුවීමේ අවදානමක් ඇති නිසා මේ වනවිට යුද්ධය අවසන් වනතෙක් මෙම ඉරාන නෞකාව ලංකා මුහුදු සීමාවේ තබාගැනීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉරාන-ඇමෙරිකානු යුද්ධය අවසන් වීමෙන් පසු එම නෞකාව යළිත් ඉරානයට භාරදීමටද එහිදී තීන්දු වී අති බවක් දැනගන්නට ඇත.

ආණ්ඩුවේ අලුත්ම අර්බුදය

එමෙන්ම මේ වනවිට තෙල් මිලදී ගැනීම සම්බන්ධ ප්‍රශ්නයකටද ආණ්ඩුව මුහුණ දී තිබේ. යුද්ධය ආරම්භ වීමෙන් පසුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉන්ධන නෞකා ජාලය අඩපණ වීමෙන් පසු ලොව පුරා උග්‍ර තෙල් හිඟයක් මතුවූ අතර, ඊට පිළියම් වශයෙන් ආණ්ඩුව මුලින්ම කියා සිටියේ සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි කියාය. එමෙන්ම රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා ආරම්භ කිරීමටද ආණ්ඩුව කටයුතු කොට තිබිණි.

මේ අතරවාරයේ ඉරාන තානාපතිවරයා ලංකාවේ පැවැති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉරානය ලංකාවට තෙල් ලබාදීමට සූදානම් බවකි. නමුත් ඊට පසු දිනම කැබිනට් මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් කළ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ ලංකාව ඉරානයෙන් තෙල් ලබාගැනීමට කටයුතු නොකරන බවකි. ඒ වෙනුවට ඇමෙරිකාවෙන් සහ නයිජීරියාවෙන් තෙල් ලබාගන්නා බවද ආණ්ඩුව පැත්තෙන් කියැවුණු අතර, ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ කියා සිටියේ ඇමෙරිකාවෙන් තෙල් ලබාගැනීම සඳහා මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවය. ඒ අනුව ලංකාවේ බලධාරීන් ඇමෙරිකානු පාර්ක් සමාගම සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පසුගිය කාලයේදී පැවැත්වීමට කටයුතු කොට තිබිණි.

නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අනාවරණ කරන්නේ ඇමෙරිකාවෙන් තෙල් ලබාගැනීම සඳහා කළ සාකච්ඡා වචනවලට පමණක් සීවා වී ඇති බවකි. එහිදී යම් අදහසක් පමණක් ප්‍රකාශ වී තිබුණත්, එම සාකච්ඡා ඉදිරියට ගොස් නොමැති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මේ තෙල් කතා අස්සේ පසුගිය සතියේ එච්.එස්.බී.සී. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩි්‍ර මහතා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඒ මහතා සඳහන් කොට තිබුණේ යුද්ධය පැවැති කාලසීමාවේදී ආසියානු රටවල් තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 100ත් 120ත් අතර මිලකට ලබාගනිද්දී ලංකාව ඉතා ඉහළ මිලක් ගෙවමින් ඩොලර් 286ක් වැනි විශාල මුදලක් එක් තෙල් බැරලයක් වෙනුවෙන් වැයකොට තිබූ බවකි. පහත පළවන්නේ ඒ මහතා සිදුකළ අදහස් දැක්වීමය.

‘මාව කණස්සල්ලට පත්කළේ ප්‍රධාන සිරස්තලවල පැවසෙන මිල ගණන් ‍නො‍වේ. මම අදහස් කළේ තෙල් මිල ඩොලර් 100 – 110ට වඩා වැඩියි. ප්‍රායෝගිකව ගතහොත් ඔබ දැන් මැදපෙරදිගින් තෙල් ලබාගැනීමට උත්සාහ කරනවා නම් ඔබට ඩොලර් 140 – 150ක් ගෙවීමට සිදුවනු ඇති. මම ඇසූ පරිදි තෙල් බැරලයකට ඉහළම මිල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාව. ඩොලර් 286ක්….’ යනුවෙන් හෙතෙම එහිදී සඳහන් කර සිටියේය.

ජෝර්ජ් එල්හෙඩි්‍ර මහතාගේ මෙම ප්‍රකාශයට බ්ලූම්බර්ග්, රොයිටර් වැනි ජාත්‍යන්තර මාධ්‍ය සහ ලංකාවේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් දෙද්දී මෙය බොරුවක් යැයි පෙන්වන්නට කලබල වූ ඛනිජ තෙල් සංස්ථාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් යුද්ධයෙන් පසු තෙල් නැව් වලට ගෙවීමට පොරොන්දු වී ඇත්තේ ඩොලර් 71 – 113.29 ත් අතර මිලක් බවයි. මෙය කලබලේ වැඩිකමට කරගත් නැවත හැරවිය නොහැකි “ලොකු” නස්පැත්තියක් බව පෙනී යන්නේ මේ නිවේදනයත් සමග ඔවුන් නොදැනුවත්වම තමන්ගේම මර උගුලක පැටලී ඇති බවක් පෙනෙන්නට ඇති නිසාය.

එම නිවේදනයට අනුව පහත දක්වා ඇති අවස්ථාවන් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ඇත්ත විය යුතුය. ඉන් පළමුවැන්න වන්නේ මාර්තු 21 රටේ තෙල් මිල ඉහළ දැමූ අවස්ථාවේ, ලෝක වෙළඳපොළේ බොර තෙල් මිලෙහි සාමාන්‍ය අගය තිබුණේ ඩොලර් 95 මට්ටමේය. එහිදී ආණ්ඩුව කියා සිටියේ ඩීසල් ලීටරයකට රු. 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් පාඩු පිට විකුණන බවය. මිල සූත්‍රය අනුව ගණනය කළහොත් නම් ආණ්ඩුව බොරතෙල් බැරලයක් ඩොලර් 95ට නොව ආසන්න වශයෙන් ඩොලර් 250කට මිලට ගත යුතුය. එහිදී එක්කෝ බැරලයක් ඩොලර් 250කට වඩා ගෙවා මිලට ගෙන ඇත. නැත්නම් අඩු මිලට මිලදී ගෙන, යුද්ධය මුවාවෙන් මිල වැඩි කර අති දැවැන්ත ලාභයක් ආණ්ඩුව ලබා ඇති බවක් දැකගන්නට පුළුවන.

මෙහිදී ආණ්ඩුවට වාසිදායක වන ලෙස, ඩොලරයේ අගය රු. 315 ලෙස උපකල්පනය කළහොත්තෙල් සංස්ථාව කියන උපරිම මිල වන ඩොලර් 113.29 කට බැරලයක් ගෙනාවා නම් මිල සූත්‍රයට ආදේශ කළ විට ආණ්ඩුව ලබන ලාභය විය යුත්තේ ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 113ක්, සුපර් ඩීසල් ලීටරයකින් රු. 169ක්, ඔක්ටේන් 92 ලීටරයකින් රු. 134ක්, සහ ඔක්ටේන් 95 ලීටරයකින් රු. 186ක් විය යුතුය. උපරිම ගණන වන ඩොලර් 113ට ගෙනාවත් මේ පසුබිම යටතේ තෙල් සංස්ථාව කියන විදිහට ඩොලර් 71ක් නම් ගෙවන්නේ මේ ලාභය තවත් වැඩි විය යුතුය. ඒ අනුව පළමු අවස්ථාවේ ඇත්තටම තෙල් ගෙනාවේ ඩොලර් 113 ට (හෝ 71 ට) නම්, මාර්තු 21 ඉන්ධන මිල ඉහළ දමමින් ”‍අපි ඩීසල් ලීටරයකින් රු. 100 ක් පාඩු ලබනවා”‍ යැයි ජනතාවට කීවේ අමුම අමු බොරුවක් විය යුතුය. ඒ අනුව පාඩු ලබනවා වෙනුවට සංස්ථාව සුපර් ඩීසල් ලීටරයකින් රු. 169ක දැවැන්ත ලාභයක් ලබමින් සිටින බවක් දැකගත හැකිය. එසේනම් පාඩුවක් පියවීමට යැයි කියමින් මිල වැඩිකර, සාමාන්‍ය ජනතාව මහ දවල් කොල්ලකෑමට කටයුතු කොට ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

අනෙක් අතට ”‍රු. 100ක පාඩුවක් පියවා ගැනීමට මිල වැඩිකළා”‍ යන්න සත්‍යයක් නම්, ඒ සඳහා, තෙල් බැරලයක් අනිවාර්යයෙන්ම ඩොලර් 250 කට වඩා වැඩි මුදලකට ගෙන තිබිය යුතුය.
එය හරියටම එච්.එස්.බී.සී. බැංකුවේ ප්‍රධානියා කියූ ඩොලර් 286ක ගනුදෙනුව සමග සියයට සියයක් පෑහේ. ඒ අනුව ලෝකයේ වැඩිම මිල වන ඩොලර් 286කට බොරතෙල් බැරලයක් ගෙන මාලිමා ආණ්ඩුව ලෝක වාර්තාවක් තිබ්බාද?

එය එසේනම් උපරිමයෙන් 150කට ගත හැකිව තිබූ බැරලයකට ඩොලර් 286ක් ගෙව්වෙ ඇයි? එය සත්‍යයක් නම් මෙම ගනුදෙනුව හරහා වැඩි මිලට තෙල් ගෙන, ඔවුන් ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් කොල්ලකා හෝ නාස්ති කර ඇත්ද? ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවට මේ ප්‍රශ්නය සඳහාද පිළිතුරු සැපයීමට සිදුවනු ඇත.

කපිල පුංචිමාන්නගේ

.

SendShareShare
Previous Post

‘දීලා බලමු’ ආදීනව දැන් මිනිස්සු හොඳට විඳිනවා! රනිල්ලාට වඩා හොඳ ආර්ථිකය මෙහෙයවීමේ වැඩපිළිවෙළක් සජබ ටීම් එකට තියෙනවා! මාෆියා දෙකක් නැත්තටම නැති කරන්න ඕනේ.. -සුජීව සේනසිංහ! I Sri Lanka Latest News

Next Post

ඉල්ලා අස්වුණේ ආණ්ඩුවේ රෙද්ද බේරගන්න! බාල ගල්අඟුරු ගෙනල්ලා කරපු පාඩුවට එරෙහිව වහාම නඩු පවරන්න! පෙරටුගාමීන් ඊළඟ සටන පටන්ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.