මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා පත් කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවත් මීට පෙර පුන පුනා මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරද්දි විවිධ පාර්ශ්වයන්ගෙන් බාධා කිරීම් හා යම් යම් කුමන්ත්‍රණ සිදු වුවත් අවසානයේ සත්‍ය ජය ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මුදල් කමිටුවේ සභාපතිවරයා පත් කිරීම රටේ විධායක ජනාධිපතිවරයා ඇවිත් සිදු කළ යුතු ද යනුවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල ඇත්ද කියා ගැටලුවක් ඇති නමුත් ජනාධිපතිවරයා පහුවෙලා හෝ එම පත්කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් සතුටු වන නමුත් එතුමාට එවැනි පත්කිරීමක් සඳහා මැදිහත්වීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නීතිරීති කඩකරමින් එම තනතුරට පත් කිරීම පමා කිරීමත් අනීතික ලෙස තාවකාලික සභාපතිවරු පත් කර ගෙන අණ පනත් ගෙන ඒමට අනුමැතිය ලබා දීම තරයේ හෙලා දකින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ අවස්ථාවේ කතානායකවරයාට මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට යුතුකමක් තිබූ බව යි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමාගේ පත්වීම නැවැත්වීමට විවිධ දේශපාලන කුමන්ත්‍රණ සිදු වුවත් විපක්ෂයේ සියලු පාර්ශ්ව මේ අවස්ථාවේ එකට එක්වීම සතුටට කරුණක් බවත් මෙම පත්කිරීම සිදු කිරීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අගය කරන නමුත් විවිධ දේශපාලන කුමන්ත්‍රණ සිදු කරමින් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කිරීම අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
Sajith Premadas Harsha De Silva chairmanship of finance committee President speaker










