දේශපාලන බිමේදී මහ පොළොවට බහින එක, සාමාන්‍ය මිනිස්සුත් එක්ක එක මට්ටමක ඉන්න එක, සාමාන්‍ය මිනිස්සුත් එක්ක වැඩකරන එක, සාමාන්‍ය මිනිහෙක් වගේ පෙනී ඉන්න එක, සාමාන්‍ය මිනිහෙක් වගේ ඇඳුම් අඳින එක, සාමාන්‍ය මිනිහෙක් වගේ බත් කන එක, සාමාන්‍ය මිනිහෙක් එක්ක ජීවත් වෙන එක, සාමාන්‍ය මිනිස්සු අතරට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට බෙහෙත් හේත් කරන එක ඉතාම රසවත් දෙයක්. සමහර වෙලාවට මේක දේශපාලනික වශයෙන් ගත්තම දේශපාලන උපක්‍රමයක්.Sri Lanka Latest News
ඒකේ රසවත්ම කොටස තමයි මේ කට්ට කන සාමාන්‍ය මිනිහා ගෙදර යනකන් කට්ට කන අතරේ මේ කට්ට කන දේශපාලකයා විනාඩි පහකින් හයකින් රීෆ්‍රෙෂ් වෙලා තමන්ගේ ඊළඟ තැනට යනවා. ඒකයි දේශපාලකයෝ මේවා පාවිච්චි කරන්නේ උපක්‍රම විදිහට. අපි දැක්කා ඉන්දියාවේ නව දේශපාලන පුබුදුවක් නිර්මාණය කරපු විජය තලපති බයිසිකලයක් පැදගෙන යනවා. එයා බයිසිකලේ පැදගෙන යන්නේ තත්පර ගණනකින් තව කෙනෙකුට දීලා ආරක්ෂිතව පැනගන්න බලාගෙන. අපිට මතකයි අපේ රටේ ප්‍රබල දේශපාලකයෝ පයින් යනවා. හැබැයි ඔහුගේ ආරක්ෂකයෝ වටේ ඉන්නවා. අපි දැක්කා අපේ රටේ ප්‍රබල දේශපාලකයෝ ෆුට් සයිකල්වල එනවා, ඔහුගේ ආරක්ෂකයෝ ඔහු එක්ක පිටිපස්සෙන් දුවනවා. මෙහෙම තමයි මේ රටවල්වල තියෙන දේශපාලන සෙල්ලම්.
සජිත් ප්‍රේමදාස මහත්තයා ගොවි බිමේදී පහුගිය කාලේ වැස්සට තෙමුණා. ගොවියෝ එක්ක වැස්සට තෙමුණාම සජිත්ට කුඩු වෙන්න ගැහුවා. ඒ කුඩු වෙන්න ගැහුවේ අද බලයේ ඉන්න ජවිපෙ ප්‍රමුඛ දේශපාලන කඳවුර විසින්. ඒගොල්ලෝ ඒක තදින් විවේචනය කළා. හැබැයි ඇත්තටම අපිත් ඒ විවේචන යම් ආකාරයකින් ප්‍රගතිශීලීව දැක්කා. අපි හිතුවා පොඩි ගොන් පාට් එකක් එකේ තිබ්බා කියලා. මොකද රටේ ඉන්න ප්‍රධාන දේශපාලකයෙක්, සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ ක්ලීන් සූට් මිනිහෙක් වැස්සට තෙමිලා, ඒ වැස්සෙත් තෙතබරි වෙලා, ඒකෙන් පීඩාවට ලක්වෙලා ගෙදර යනකම්ම තෙතේ සීතලෙන් ගැහි ගැහි ඉන්නෙ නෑ කියන එක අපිට ෂුවර්. එතුමා කොහෙට හරි ගිහිල්ලා එතුමාගේ ඇඳුම් මාරු කරගන්න ඇති.
වැස්සට තෙමුණා නම් අනිත් මිනිස්සු, ඒ මිනිස්සුන්ට මේක හම්බවෙන්නේ නැහැ. ඒ මිනිස්සු වෙනුවෙන් වෙන්කරපු හෝටලයක් නැහැ, ඒ මිනිස්සු වෙනුවෙන් ඇඳුම් ආයිත්තම් ඔක්කොම අරගෙන එන ප්‍රයිවට් සෙකටි්‍ර කෙනෙක් නැහැ. ඕක තමයි කතන්දරේ.
හැබැයි දැන් මම කියන්න යන්නේ මීට වඩා වෙනස් කතාවක් නේ. දැන් අපේ රටේ අගමැතිනිය පහුගිය දවසක වැස්සට තෙමෙනවා. ඇත්තටම මැයි රැලියේදී මහ වැස්සක් වැටෙනවා, එතුමිය වැස්සෙම ඉස්සරහට යනවා. අපි දන්නවා මේ දේශපාලකයෝ වැස්සට තෙමුණට ඒගොල්ලන්ට කුඩයක් හොයාගන්න බැරි තරම් ඒගොල්ලෝ අන්ත අසරණ වෙලා නෙවෙයි. ඒගොල්ලෝ පෙන්නන්න හදන්නේ අනිත් මිනිස්සුන්ට කුඩ නැත්නම් මටත් කුඩයක් ඕනේ නැහැ වගේ එකක්.
එතකොට අගමැතිනිය වැස්සට තෙමුණම ඒක අර සජිත් ප්‍රේමදාසගේ වැස්සට තෙමීම විවේචනය කරපු අයම පුදුම විදිහට ප්‍රශස්ති කියලා, ගුණ වයලා, වර්ණනා කරලා, මාරයි කියලා, ‘වාව්’ කියලා, ‘පට්ට’ කියලා, ‘එළපවුසි’ කියලා වර්ණනා කරනවා. එතැනදී තමයි පොඩි ගොන් පාට් එකක් අපි දකින්නේ. මොකද සජිත් තෙමිච්ච එක ගොන් පාට් නම් හරිනි තෙමිච්ච එකත් ඒ වගේම වෙන්න ඕනේ. හරිනි තෙමිච්ච එක මාරයි නම් සජිත් ප්‍රේමදාස තෙමිච්ච එකත් මාර වෙන්න ඕනේ. දැන් එකක් මාර වෙලා අනික අප්සට් වෙන්නයි, එකක් ‘වාව්’ වෙලා අනික ‘චාටර්’ වෙන්නයි බැහැ.
එහෙම නිසා තෙමෙන්නේ ගොන් පාට් එකක් විදිහට නම්, තෙමුණ අයට ආයෙත් ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන යන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම්, මේ කුඩ තියාගෙන තෙමෙන එක මෝඩ වැඩක් නම්, ඒක සජිත් තෙමුණත් අනුර තෙමුණත් හරිනි තෙමුණත් රනිල් තෙමුණත් මහින්ද තෙමුණත් එහෙම තමයි.
මේ ආණ්ඩු හිතවාදීන්ගෙන් අපි දකින ප්‍රධානම දුර්වලතාව තමයි තමන්ගේ කෙනෙක් කළොත් ඒක මාර වෙන එකයි, වෙන කෙනෙක් කළොත් ඒකම ඒක ගොන් පාට් එකක් වෙන එකයි. මේ බැතිමතුන් විදිහට, අනුගාමිකයන් විදිහට දේශපාලන පක්ෂ අදහන එකේ පරිප්පුව පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ අනුගාමිකයොත් කෑවා, මහින්ද රාජපක්ෂ මහත්තයලත් කෑවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් යළි නිර්මාණය නොවීමට අවශ්‍ය කරන පරිසරය මේ ආණ්ඩුව විසින් නිර්මාණය කරගන්න ඕනේ. ඒක හෙට මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන බරපතළම අර්බුදය වෙන්න පුළුවන්. රටක දේශපාලනය කියලා කියන්නේ අනුගාමික දේශපාලනයක් නෙමෙයි.
දැන් දකුණු ඉන්දියාවේ අපි දකිනවා, ඔවුන් දකුණු ඉන්දියාව තුළ අනුගාමිකයෝ බවට පත්වෙලා, විජය තලපතිව අදහන අය බවට පත්වෙලා, වන්දනා මාන කරන අය බවට පත්වෙලා, කියන ඕනෙ දෙයක් අහගෙන, කියන දෙයක් කරගෙන ඉන්න තත්ත්වයට පත්වෙලා ඉන්නවා. එවැනි තත්ත්වයක් නිර්මාණය නොවීම දේශපාලනයටත් හොඳයි, පක්ෂවලටත් හොඳයි, කණ්ඩායමටත් හොඳයි, රටටත් හොඳයි.
ඒ නිසා මේ තත්ත්වය යළි එහෙම නොවෙන්න අපි වගබලා ගමු. ඒ නිසා දැන් සජිත් වැස්සෙ තෙමිච්ච එක ගොන් පාට් කියලා කියපු කට්ටිය පොඩ්ඩක් පැත්තකින් ඉඳගන්න. අපි දන්නවා ඔයාලට හරිනි අගමැතිතුමිය ගැන මුකුත් එහෙම කියන්න බැහැ කියලා. ඒ නිසා ආයේ ඒ වැරැද්ද නොකර ඉන්න මතක තියාගන්න.

ජීවන පහන් තිළිණ










