මෙරට තුළ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් යෝජනා 13ක් ඉදිරිපත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ, විධායකය පිළිබඳ අර්ථවත් පාර්ලිමේන්තු අධීක්ෂණයක් නොමැතිකම, විශේෂයෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව වගවීම සහ විනිවිදභාවය නොමැතිකම පිළිබඳ චෝදනා සහ දූෂණය මේ මොහොතේ රට තුළ පවත්නා දේශපාලන නොසන්සුන්තාවයට හේතු වී ඇති බවයි.
ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කිරීමට හේතු වී ඇති බවද නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.
සියලුම ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අදාළ නෛතික ප්‍රතිපාදනයන්ට අනුව යමින් විනිවිදභාවයකින් සහිතව විය යුතු බව එම සංගමය පෙන්වා දෙනවා.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කර 19 වැනි සංශෝධනය ප්‍රතිෂ්ඨාපනය කරමින් රජය වහාම 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දිය යුතු බවයි නීතීඥ සංගමයේ යෝජනා අතර වෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු අමාත්‍යාංශ සඳහා සියලුම ලේකම්වරුන් පත් කළ යුතු අතර අධිකරණ සේවා කොමිෂන් සභාව හැර අනෙකුත් සියලුම ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරනවා.
ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් නොදැරිය යුතු බව ද එම නිවේදනයේ දැක්වෙන අතර 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් සම්මත කළ යුතු බව ඔවුන් පවසනවා.
විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම මෙන්ම ඒ යටතේ අගමැතිවරයා ආණ්ඩුවේත් කැබිනට් මණ්ඩලයේත් ප්‍රධානියා ලෙස පාර්ලිමේන්තුවට වග කිව යුතු බවටද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය යෝජනාවෙන් දක්වා තිබේ.
කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා අතර ඇති අතර පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාව දිනාගත හැකිවෙතැයි කථානායකවරයා විසින් පිළිගන්නා අයෙකු එහි අගමැතිවරයා විය යුතු බවයි එහි සඳහන් වන්නේ.
අමාත්‍යාංශ 15 ට අනුරූප විෂය ක්ෂේත්රවලින් සුදුසුකම් ලත් වෘත්තිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීමද ඔවුන්ගේ තවත් යෝජනාවක්.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අවලංගු කළ යුතු බවයි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද ඔවුන් යෝජනා කර තිබෙනවා.
අන්තර් වාර ජාතික සමගි ආණ්ඩුව විසින් පොදු අවම අරමුණුවලට අනුකූල අයවැයක් ඉදිරිපත් කළ යුතුව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාවක්.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරන ජාතික සමගි භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ මාස 18 ක කාලයක් සඳහා පමණයි.
ඉන් අනතුරුව ඒ ආණ්ඩුව මාස 6 ක් භාරකාර ආණ්ඩුව ලෙස මැතිවරණය පැවැත්විය යුතු අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වීමත් සමඟ එම ආණ්ඩුවේ කාල සීමාව අවසන් බවයි ඔවුන් කියන්නේ.
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය පත්කළ යුතු බවද නීතීඥ සංගමයේ යෝජනාවලට අයත් වෙනවා.










