පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන කොමිෂන් සභාව විසින් නම්කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති උසස් පොලිස් නිළධාරින් පිරිසක් විසින් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ආගමික නායකයන් පිරිසක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කොට ඇත.
බෞද්ධ / කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් කිහිපදෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම නිවේදනය මගින් පොලිස් නිලධාරීන් සිංහල බෞද්ධ වීම නිසා ඔවුන් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් කිරීමට සැරසෙන බව හැගී යන බවත්, පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදි සහ ආගම්වාදි ආකාරයකට තල්ලූ කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්ව ඇති බව පෙනෙන්නට ඇති බවත් සදහන් කොට තිබේ.
එබැවින් එවැනි අන්තවාදි ප්‍රකාශ හමුවේ නොසැලී මෙම ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු දේශපාලන බලපෑම්වලින් තොරව සිදුකරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද අදාළ නිවේදනයේ සදහන්ය.









