දීප චෙල්වම්ගේ පොත තහනමට ලක්වීම සහ රේගුව මගින් රඳවා ගැනීම ගැන අපි සාකච්ඡා කරමින් උන්නා. එහෙම සාකච්ඡා කරන අතරතුරේ ඊට අදාළ අතුරු මාතෘකාවක් විදියට අපි අතර කියවුණු කතාවක් වුණේ ඇත්තටම ලංකාවේ තවදුරටත් පොත් කියවනවද මිනිස්සු කියන එක. නැත්නම් ලංකාවේ මිනිස්සු තවදුරටත් කුමන හෝ ආකාරයක කියවීමක යෙදිලා ඉන්නවද කියන එක.Sri Lanka Latest News
ඒකට උත්තරය බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සාකච්ඡා කළා. අපි විශ්වාස කළා ඒකට උත්තර දෙන්න වඩාත් සුදුසු කෙනෙක් විදියට මේ ලියුම්කරු වන මම. ඒකට හේතුව ලියුම්කරු වන මම මාධ්‍ය ආයතනයක රැකියාව කරන පත්තරකාරයෙක් වන අතරම පොත්පත් කීපයකුත් ලියපු කෙනෙක් විදියට. ඉතින් මේ ආයතන දෙකේම සේවය කරන, ජනමාධ්‍ය ප්‍රවාහ දෙකක් එක්කම ගනුදෙනු කරන කෙනෙක් විදියට මට තියෙන ප්රශ්නය තමයි තවදුරටත් මේ රටේ මිනිස්සු කියවනවද කියන එක.
ඒක මගෙන් ඇහුවේ අපේ ප්‍රධාන කර්තෘතුමා තුෂාර ගුණරත්න මහත්මයා. ඉතින් එතුමාගේ ප්‍රශ්නයට උත්තරය කෙටි සරල එකක් නොවිය යුතුයි. එය දීර්ඝ සහ සාකච්ඡාවට බඳුන් වියයුතු එකක් නිසා මම මේ ගැන මෙන්න මෙහෙම කියන්න තීරණය කළා.
ඔබ දන්නවද 2025 වසරේ අයි.එස්.බී.එන්. අංකය ගත්තු ලියාපදිංචි පොත් ප්‍රමාණය කීයද කියලා? ඒ පොත් ප්‍රමාණය ඔබ කිසිසේත්ම අනුමාන කරන අගයක් නෙවෙයි. 2025 වසරේ ලංකාව තුළ ජාත්‍යන්තර සම්මත පොත් අංක යටතේ ලියාපදිංචි වෙලා තියෙන මුළු කෘති සංඛ්‍යාව 11,387ක්. මේක ඉතාම ඉහළ අගයක්. ඒ වගේම 2024 වසරේ 8,592ක් පොත් ලියාපදිංචි වෙලා තියෙනවා. ආසන්න වශයෙන් ගත්තාම පොත් 20,000ක් විතර මේ අවුරුදු දෙකට ලියාපදිංචි වෙලා තියෙනවා.
දිනපතා පුවත්පත් විදියට දැනට ලංකාව තුළ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම දිනපතා පුවත්පත් විස්සකට අධික ප්‍රමාණයක්, සතිපතා සතිඅන්ත සහ අනෙකුත් විශේෂිත සතිපතා ප්‍රකාශන පනහකට ආසන්න සංඛ්‍යාවක්, මාසික පුවත්පත්, මාසිකව ප්‍රකාශ කරන සඟරා තිහකට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ මුද්‍රණය කෙරෙනවා. එතකොට ලංකාවේ මිනිස්සු තවදුරටත් කියවන්නේ නැහැ කියන එක ගැන ඔබට යම් අදහසක් තියෙනවද? බොහෝ විට ලංකාවේ මිනිස්සු කියවන්නේ නැහැ කියන එක අපිට පිළිගන්න හේතු වෙන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඉන් එකක් තමයි ලංකාවේ පොත්පත් මුද්‍රණය කරන ප්‍රමාණය ඉහළ ගියත් ඒවා අලෙවි වෙන්නේ නැහැ කියලා තියෙන විශ්වාසය. පත්තර කඩෙන් මිලදී ගන්නේ නැහැ කියන විශ්වාසය. ඒ වගේම අපිට පැහැදිලිව පේන එක කාරණයක් තමයි ලංකාවේ තරුණ තරුණියන්ට තවදුරටත් ප්රවෘත්ති කියන එක සම්බන්ධව, එහෙමත් නැත්නම් තොරතුරු සම්බන්ධව අවශ්‍යතාවක් නැහැ.
එක පැත්තකින් ඒගොල්ලන්ට තොරතුරු කුමන හෝ ආකාරයකින් ලැබෙනවා. නිවුස් ඇලට්වලට ඔවුන් ඇබ්බැහි වෙලා හුරු වෙලා තියෙනවා. පහසුවෙන් තෝරා බේරාගත හැකි ප්‍රවෘත්තියක්, වැල්වටාරම්වලින් තොරව ක්ෂණිකව තමන්ගේ ජංගම දුරකතනයට එන තත්ත්වයකට ඔවුන් මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ නිසාත් ඔවුන් බොහෝ විට කියවීම සඳහා පොත්පත් මිලදී ගැනීමට වුවමනාවක් දක්වන්නේ නැහැ.
නමුත් ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කියවීම කියන එක මේ වෙද්දී ඉතාම සරුවට සිද්ධ වෙනවා. එක දවසකදී 5,000ක් දෙනා විසින් කියවනු ලබන නවකතා කොටස් සමාජ මාධ්‍ය තුළ පළවෙනවා. අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය තුළ ඉතාම විශාල වශයෙන් මේ උනන්දුව නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඒ ගැන අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධව බලද්දී අපිට පේන කාරණය තමයි මිනිස්සු කියවන්නේ නැහැ නෙමෙයි මිනිස්සුන්ට කියවන්න අලුත් ක්‍රම නිර්මාණය වෙලා තියෙනවා. මිනිස්සුන්ට තවදුරටත් ප්රවෘත්තිවල, තොරතුරුවල අවශ්‍යතාව නැහැ, ඔවුන්ට කතන්දර කියවීමේ අවශ්‍යතාව නිර්මාණය වෙලා නැත්තේ නැහැ.
දැන් මේ කතන්දර කියවීම කියන එක ඇතුළේ ඔවුන්ට තියෙන්නේ සරල වීම, පහසු වීම, ඔවුන් ප්‍රිය මාතෘකා වීම, යටිපෙළ ධ්වනිතාර්ථ, ව්‍යංග්‍යාර්ථ, ගම්ය්යාර්ථ රහිත වීම, බැලූබැල්මටම අවබෝධ කර ගැනීමට ලැබෙන හැකියාව, ඒ සියල්ල ගැනම මේ පුද්ගලයෝ බොහොම ඉහළ රුචිකත්වයක් දක්වනවා.
ලංකාවේ සිනමාව වෙනස් වුණා, ටෙලිනාට්‍ය වෙනස් වුණා, ගීත කලාව වෙනස් වුණා, මේ සියල්ලම වෙනස් වුණා. සිනමාවේ අලුත් ප්රවණතා නිර්මාණය වෙලා තියෙනවා, ගීතයේ අලුත් ප්රවණතා නිර්මාණය වෙලා තියෙනවා, නවකතාවේ අලුත් ප්රවණතා යම් තරමකට නිර්මාණය වෙමින් පවතිනවා. නමුත් පුවත්පත්වල අලුත් ප්රවණතා නිර්මාණය වෙලා තියෙනවද? අලුත් පරම්පරාවට ගැළපෙන ආකාරයෙන් මේවා මුද්‍රණය වෙනවද? රචනා ශෛලීන් බිහිවෙලා තියෙනවද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා.
ලංකාවේ සමහර ප්‍රකාශන සමාගම් චෝදනාවට ලක්වුණත් ඔවුන් මේ අලුත් පරම්පරාවට ගැළපෙන විදියට, අලුත් පරම්පරාවට උචිත විදියට තමන්ගේ පොත් මුද්‍රණය කරන්න පුරුදු වෙලා තියෙනවා. මියුසස් වගේ ප්‍රකාශන සමාගම් අලුත් දේවල් කරමින් අලුත් විදියට දේවල් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා.

ජීවන පහන් තිළිණ










