ග්‍රීක මිථ්‍යා කතා (Greek mythology) යනු ලෝක ඉතිහාසය පුරා විහිදී ඇති සුවිශේෂ පුරාවෘත්තයකි. මෙම රසවත් අපූරු වතගොත හරහා අපට ඇසෙන එක්තරා ප්‍රධානතම කතාන්දරයක් ඇත. මෙය ඉංග්‍රීසි බසින් හඳුන්වා දී ඇත්තේ Clash of the Titans (ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස්) ලෙසිනි. මෙහි සිංහල අරුත ලෙස ගත හැක්කේ ‘ටයිටන්වරුන්ගේ ගැටුම හෝ යුද්ධය’ ලෙසය. එනම් ග්‍රීක මිථ්‍යා කතාවලට අනුව ලෝකයේ විවිධ පාරිසරික ක්ෂේත්‍රයන්ට අදාළ බලගතු දෙවිවරුන් ගණනාවක් සිටිති. අහසට අධිපති දෙවියා ‘සියුස්’, පාතාල ලෝකයට අධිපති දෙවියා ‘හේඩීස්’, සාගරයට අධිපති දෙවියා ‘පොසෙයිඩන්’, පිටසක්වළට අධිපති දෙවියා ‘මෙඩූසා’ ආදී වශයෙන් තවත් බලගතු දෙවිවරුන් ගණනාවක්ද වෙති. තවද මෙහිදී හෙළිවන අනෙක් සුවිශේෂ වතගොත නම් මෙම දෙවිවරු සියල්ලටම අනන්‍ය වූ විවිධ බලගතු ආයුධ වර්ග ගණනාවක්ද තිබීමය. ඒ අනුව මෙම බලගතු දෙවිවරු නොහොත් ටයිටන්වරු එම භයානක ආයුධ භාවිත කරමින් තමන්ගේ බලය පෙන්වීමට එකිනෙකා හා සටන් වදිති. එවිට ලෝකය සෙලවීමටද පත්වන්නේ යැයි ග්‍රීක මිථ්‍යාවාදය කියා සිටී.Sri Lanka Latest News
මේ ආකාරයට සිදුවන ටයිටන්වරුන්ගේ දරුණු ගැටුම අද වත්මන් අපගේ ලෝකයටද අදාළ කර තිබෙයි. එනම් ලෝකයේ සිටින විවිධ බලගතු පුද්ගලයන්, සාර්ථක පුද්ගලයන් හෝ ඔවුන්ගේ රටවල් අතර හෝ ඔවුන්ගේ බලගතු සංවිධාන අතර හෝ ඇතිවන බල අරගලයක් මෙලෙස අර්ථ දැක්වීම සිදුකෙරෙයි. එනම් විවිධ ක්ෂේත්‍රයන් ගත්කල ව්‍යාපාර, දේශපාලනය, ක්‍රීඩාව, මාධ්‍ය සහ තවත් විවිධ විෂයයන්ට අදාළවද මෙවැනි බලවතුන්ගේ ගැටුම් දක්නට හැකිය. මෙවැනි දිනවලදි එවැනි දක්නට හැකි ප්‍රබලතම ගැටුමක් වන්නේ ලෝක බලවතුන් දේශපාලනය හරහා සිදුකරනු ලබන මහා යුද්ධයයි. එනම් වත්මන් මැදපෙරදිග යුද අර්බුදයට මෙතෙක් නිසි විසඳුමක් නැත.
මේ ආකාරයට ඔබට මෙම ‘ටයිටන්වරුන්ගේ ගැටුම’ ගැන ලියා තබමින් මෙම කතාව ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කීපයකට ඉහතදී අපගේ යාබද දේශය වන ඉන්දියාවෙන් අසන්නට ලැබුණු එක්තරා සුවිශේෂ කතාන්දරයක් හේතුවෙනි. මෙය අපගේ ශ්‍රී ලංකාවට මෙන්ම විශේෂයෙන්ම මුළුමහත් ආසියාවටම අපූරු පුවතක් ගෙනහැර දක්වන වතගොතකි. එනම් යාබද ඉන්දියාවේ නොහොත් මහා භාරතයේ වෙසෙන බලගතු ටයිටන්වරුන් දෙදෙනකුගේ යුද්ධයක පුවත මෙසේ අපට අසන්නට ලැබෙයි.
මෙම ටයිටන්වරුන් දෙදෙනා නම් ඉන්දියාවේ සිටින එසේම මුළුමහත් ආසියාවේම සිටින ප්‍රකෝටිපති ධනකුවේරයන් දෙදෙනෙකි. මේ එක් අයකු මුකේෂ් අම්බානි වන අතර, අනෙක් තැනැත්තා ගෞතම් අදානිය. මුළුමහත් ලෝකයේම ප්‍රකට මෙම ප්‍රකෝටිපතියන් දෙදෙනාම ඉන්දියාවේම උපන් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකි. මොවුන් ගැන කලින් කලට අපට විශේෂිත පුවත් අසන්නට ලැබෙයි. එයින් සුවිශේෂ පුවත නම් දැනට වසර කීපයක සිට මුළුමහත් ආසියාවේම ප්‍රධානතම ධනකුවේරයා ලෙස සැලකෙන්නේ මුකේෂ් අම්බානි වීමය. ඉන් පසුව දෙවැනි තැනට සිටින ධනකුවේරයා වන්නේ ගෞතම් අදානිය. ආසියාව යනු රටවල් 48කින් සමන්විත ඉතා විශාල මහාද්වීපයකි. මෙවැනි සුවිශාල ප්‍රදේශයක ධනයට අදාළව බලය පැතිරවීම අපගේ යාබද ඉන්දියාවේ ධනවතුන් දෙදෙනකුට හැකිවීම අපටද නිරන්තරයෙන්ම පුවත් මවන වතගොතක් වෙයි. ඉහත ඔබට පැවසූ ආසියාවේම ධනවතාගේ කතාන්දරයේ පිටු මෙයට මාස කීපයකට ඉහතදී වෙනත් ආකාරයකට පෙරළෙන්නට වී ඇත. එනම් මුකේෂ් අම්බානි වෙත තිබුණු එම ධනකුවේර කිරුළ, ගෞතම් අදානි විසින් පැහැරගැනීමට සමත්වී ඇත. තවත් ආකාරයකින් කියනවා නම් ආසියාවේ ප්‍රධානතම ධනවතා වීමට ගෞතම් අදානි සමත්ව ඇත. එනම් දැනට මුකේෂ් අම්බානිගේ තිබෙන ඩොලර් බිලියන 90.8ක වත්කම අභිභවා යමින් ගෞතම් අදානි ඩොලර් බිලියන 92.6ක වත්කමක් ලබාගැනීමට සමත්ව ඇත. එහෙයින් මේ වනවිට මුළුමහත් ආසියාවේම අංක එකේ ධනවතා වන්නේ ගෞතම් අදානිය.
දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. මෙලෙස ඇසෙන ‘ටයිටන්වරුන්’ දෙදෙනා නොහොත් ඉන්දියානු මහා ධනකුවේරයන් දෙදෙනාගේ සටන කුමක්ද? මේ වනවිට මෙම යුද්ධය මුළුමහත් ආසියාවම පමණක් නොව මුළුමහත් ලෝකයේම දෙනෙත් විවර කරවීමට සමත්ව ඇත. මෙම ධනවතුන් දෙදෙනා සතුව ප්‍රකට ව්‍යාපාරයන් දෙකක් ඇති අතර, එයින් ගෞතම් අදානි සතුව ‘අදානි ගෲප්’ සමාගම සහ මුකේෂ් අම්බානි සතුව ‘රිලයන්ස් ඉන්ඩස්ටී්‍රස්’ සමාගම ඇත. මෙම සමාගම් දැනට දශක කීපයක සිටම ලෝකයේ විවිධ රටවල මෙන්ම තමන්ගේ ඉන්දියාව තුළද විවිධ ව්‍යාපාර ගණනාවක් මෙහෙයවයි. මෙයින් මොවුන්ගේ ප්‍රධානතම ව්‍යාපාර ක්‍රියාවලිය වන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් ධනය ආයෝජනය කර ක්‍රියාත්මක කිරීමය. මෙලෙස මෙම ඉන්දියානු බිලියනපතියන් දෙදෙනා මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් ධනය යටකරමින් මෙම බලශක්ති ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත. මෙය එසේ මෙසේ ක්‍රියාවලියක් නොව, තම තමන්ගේ විශාල ව්‍යාපාරික අධිරාජ්‍යයන් පුළුල් කරගැනීමේ මහා ප්‍රබල මෙහෙයුමකි. මෙහිදී ඩොලර් බිලියන ගණනක සටනකින් ඔවුන් බලාපොරොත්තු වන අනෙක් පරමාර්ථය නම් ආසියාවේ ප්‍රධානතම මහා ධනකුවේරයාගේ කිරුළ දිනාගැනීමය. එහෙයින් ඔවුහු ශීතල යුද්ධයක පැය 24 පුරාම නිරතව සිටිති. මෙහිදී පසුගියදා ඔවුන්ගේ සටන අතිශය උච්ච තැනකට පැමිණියේය.
මෙලෙස මෙම යෝධයන් දෙදෙනාගේ සටන උච්ච වූයේ කෙසේද? මෙම පුවත පසුගියදා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ‘අදානි සහ අම්බානිගේ කුච්හි හරිත රන් ආකරය දිනාගැනීමේ සටන’ ලෙසිනි. මෙම වදනින් එක්වරම පෙනීයන්නේ ‘රන් ආකරයක’ යම් වතගොතකි. ඉන්දියාවට රත්‍රන් නිධි කිසිවක් නැත. එසේනම් මෙහි අර්ථය කුමක්ද? මෙයින් අර්ථවත් කර ඇත්තේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් රත්‍රන් හා සමාන වටිනාකමක් ඇති බවයි. එනම් එහිදී තවත් ප්‍රකාශ වූයේ ඉන්දියාවේ ‘කුච්’ නමැති සුවිශාල දිස්ත්‍රික්කයක ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් තමතමන් වෙත හිමිකර ගැනීමට මෙම ප්‍රකෝටිපතියන් දෙදෙනා අතර උද්ගතව තිබෙන ප්‍රබල සටනයි. එනම් එම ව්‍යාපෘති සඳහා ධනය ආයෝජනය කිරීමට ඔවුහු මේ වනවිට විශාල බල අරගලයක යෙදී සිටිති. ඉන්දියාවේ පාකිස්තාන දේශසීමාවට ආසන්න ගුජරාට් ප්‍රාන්තයේ තිබෙන මෙම කුච් නමැති දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 45,674ක විශාලත්වයකින් යුත් ප්‍රදේශයකි. මෙහි ජනගහනය ලක්ෂ 21ක් වෙයි. මෙම දිස්ත්‍රික්කයේ වැඩි භූමිභාගයක් වියළි ශුෂ්ක කලාපයක් වන අතර, එහෙයින් එම ප්‍රදේශය පුනර්ජනනීය බලශක්තියට තෝතැන්නක් වී ඇත. එනම් ප්‍රධාන වශයෙන්ම සූර්ය හා සුළං බලශක්ති සම්පතින් අනූනව ඇත. මේ අනුව දැනටමත් එම ප්‍රදේශයෙහි ගෞතම් අදානි සහ මුකේෂ් අම්බානිගේ සමාගම් විසින් සුවිශාල බලශක්ති ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර, ඉන් දැනට ප්‍රධාන තැනට පැමිණි සිටින්නේ ගෞතම් අදානිගේ සමාගමයි. ඒ අනුව දැනට ගෞතම් අදානි සටන ජයග්‍රහණය කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










