පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය වුවත් මැතිසබය තුළ සිදුවන ඇතැම් වාග් ප්‍රහාර නිසා බොහෝ විට උණුසුම් වන්නේය.Sri Lanka Latest News

මේ දිනවල මැතිසබය නිතරම උණුසුම් වන වාග් ප්‍රහාර රැසක් ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විරුද්ධ පක්ෂයෙන්ද දැකගත හැකි විය.
වර්තමාන පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂය නියෝජනය කරනු ලබන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අතර ඉතා උණුසුම් වාග් ප්‍රහාර පසුගිය දිනවල මැතිසබය තුළදී දැකගත හැකි විය.
බිමල් හා දයාසිරිගේ එම වාග් ප්‍රහාරවලට අමතරව නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, ආනන්ද විජේපාල, හර්ෂණ නානායක්කාර, සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන්ද පසුගිය කාලය තුළදී අඩු වැඩි වශයෙන් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විරුද්ධ පක්ෂයට ප්‍රහාර එල්ල කරන ආකාරයක් දක්නට ලැබිණි.
දයාසිරිට අමතරව මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර්, නාමල් රාජපක්ෂ , ඩී.වී. චානක, චාමර සම්පත් දසනායක, චමින්ද විජේසිරි, හේෂා විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විරුද්ධ පක්ෂය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයට ප්‍රහාර එල්ල කරන්නට විය.
බිමල්-දයාසිරි බොහෝ විට මතවාදීව ගැටුණේ පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට ආරම්භ වී මුල් පැය තුළ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදීය.
නමුත් ජාතික වැදගත්කමකින් යුත් මාතෘකා ගැන එතරම් කතා නොකර දේශපාලනමය වශයෙන් සහ විවිධ පෞද්ගලික කාරණා මුල්කරගෙන උණුසුම් වාද විවාද ඇතිවූ බව දක්නට ලැබිණි.
බිමල් රත්නායක සහ දයාසිරි ජයසේකර තරුණ දේශපාලනඥයන් දෙදෙනකු වන අතර බොහෝ දේශපාලන අත්දැකීම් ඇති දේශපාලනඥයන් දෙදෙනෙකි. එම නිසා වර්තමානයේ රට තුළ ඇති ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න පිළිබඳ බිමල් රත්නායකගේත්, දයාසිරි ජයසේකරගේත් මීට වඩා වුවමනාවක් යොමුවීම වඩාත් රටට සුබදායී වනු ඇත.
පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය කරගැනීම සඳහා සභානායක වශයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා හොඳ ආදර්ශයක් වර්තමාන පාර්ලිමේන්තුවට ලබාදී තිබේ.
කාලය කළමනාකරණය කරගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන්ටද සීමා පැනවීම සඳහා නිතරම තම අත්ඔරලෝසුව බැලීම බිමල්ගේ පුරුද්දක් වී ඇත.
විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයකු කතාකරන කාලයේදී යම් අදහසක් ප්‍රකාශ කිරීමට බිමල් රත්නායක නැගී සිටියහොත් එම කාලය ආණ්ඩු පක්ෂයෙන් ලබාගන්නා ලෙසට බිමල් රත්නායක ඉල්ලා සිටීම පුරුද්දක් කරගෙන ඇත. එයද පැසසුමට ලක්විය යුතු කාරණාවකි.
ඊට අමතරව මේ දිනවල මැතිසබයේ හැප්පෙන අනෙක් යුවල වන්නේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායකයි.
දෙදෙනාම බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නිසා දෙදෙනා අතර වාග් හුවමාරු තවත් උණුසුම් වී ඇත.
සමන්ත විද්‍යාරත්න දිගට හරහට චාමරට චෝදනා කරන්නේ ඌව ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී අක්‍රමිකතා සිදුකළ බවයි. ඒ කාලයේදී ගුරුවරියක් දණගැස්වූ බවටද සමන්ත චෝදනා කරයි.
තමන්ට එරෙහි වංචා, දූෂණ චෝදනා සියල්ල අසත්‍ය බව ප්‍රකාශ කරන චාමර සම්පත් දසනායක කියා සිටින්නේ තමාට එරෙහිව පවතින වංචා, දූෂණ චෝදනාවලට හැකිනම් නඩු පවරන ලෙසයි. ඒ සඳහා තමන් අභියෝග කරන බවද චාමර සම්පත් සඳහන් කරයි.
පාසල් ගුරුවරියක් දණගැස්වූ බවට තමාට එල්ල කරන චෝදනාව පරණ කතාවක් බවත් තමන් මැතිසබයට බදුල්ලේ ජනතාව එවා තිබෙන බවත්, දැන් අලුත්ම කතාව සමන්ත කජු කෑම බවත් චාමර සම්පත් පසුගියදා ප්‍රකාශ කළේය.
මේ ආකාරයෙන් වර්තමාන ආණ්ඩු සමයේ සහ විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයන් අතර මත ගැටුම් මැතිසබය තුළ සිදුවුවද ඔවුන් එළියට පැමිණි පසුව මිත්‍රශීලීව කටයුතු කරනවාද කියා දැන්මම කිීමට නොහැක.
නමුත් සාමාන්‍ය පොදු ජනතාව තුළ නම් ඒ සම්බන්ධයෙන් යම් යම් මතවාද අදහස් හා යම් යම් සැකසංකා පවතී.
මෙහෙම එකිනෙකාට බැණගන්නා මැති ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් එළිපිටදී හමුවුණාම හොඳට කතාබස් කරනවාද? එකිනෙකාට උදව් උපකාර කරගන්නවාද, මිත්‍රශීලීද? රටේ පොදු ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන යහපත් වැඩකදී එකතු වෙනවාද? යන්න පිළිබඳ රටේ පොදු මහජනතාව තුළ නම් පවතින්නේ දැඩි උනන්දුවකි.
වර්තමාන පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් තත්ත්වය කෙබඳුද කියා ප්‍රකාශ කිරීමට තවමත් කල් මදිය. නමුත් පසුගිය ඇතැම් ආණ්ඩු කාලයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ජනතා නියෝජිතයන් එල්ල කරගත් වාග් ප්‍රහාර හා ඉන් පසු තත්ත්වයන් සොයා බැලීම ඉතා අපූරුය. ඒ වගේම රසවත්ය. ඒ සමහර අපූරු සිදුවීම් සමග විශ්වාසයට ගත නොහැකි ඇතැම් කාරණා පැවැතීමද සුවිශේෂය.
1989 සිට 1994 දක්වා ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු තුළදී මේ අපූරු සිදුවීම් බහුලව දක්නට ලැබුණු පාර්ලිමේන්තුවක් විය.
1988-89 භීෂණ කාලය දකුණේ පැවැති අතර, උතුරු-නැගෙනහිර කොටි ත්‍රස්තවාදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වී තිබිණි. මුළු රටේම එම වකවානුවේදී පැවැතියේ භීෂණයකි. මේ නිසා රටේ ජාතික ආරක්ෂාව ගැන පාර්ලිමේන්තුවේ පමණක් නොව මුළු රටේම අවධානය යොමුවී තිබිණි.
එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ රංජන් විජේරත්නය. ඊට අමතරව ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කළේය.
එකල පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය සඳහා බොහෝ දෙනකුගේ අවධානය යොමුවී තිබිණි.
හදිසි නීති විවාදයේදී වාසුදේව නානායක්කාර, මහින්ද රාජපක්ෂ, සී.වී. ගුණරත්න, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර ඇතුළු එවක සිටි විරුද්ධ පක්ෂයේ බැටෑලියන් එක සමග බොහෝ අවස්ථාවලදී තනියම හැප්පුණේ රංජන් විජේරත්න රාජ්‍ය අමාත්‍යවරයාය.
හදිසි නීති විවාදයේදී ඉතා දැඩි උණුසුම්කාරී වාග් සංග්‍රාමයන් ඒ කාලයේදී සුලබ දසුනක් විය.
මෙම විවාදවලදී රංජන් විජේරත්න සහ වාසුදේව නානායක්කාර බොහෝ අවස්ථාවලදී ගැටුණේ වාග් සංග්‍රාමවලදීය.
එක් අවස්ථාවකදී මැතිසබය තුළ ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හමුවේ වාසුදේව නානායක්කාර දිවගොස් කතානායකවරයාගේ ආසනයේ අසුන් ගත්තේය.
මෙම සිදුවීම සිදුවූයේ 89-90 මුල් කාලයේදීය. වාසුදේවට කතානායක ආසනයෙන් ඉවත් වන ලෙසට එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් දැඩි ලෙස කෑකෝ ගසමින් බලපෑම් කළද ආසනයෙන් නොසෙල්වී ගල්ගැසුණා සේ වාසුදේව සිටියේ ආණ්ඩු පක්ෂයේ කෑකෝගැසීම් තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.
වාසුදේව කතානායක ආසනයෙන් ඉවත් නොවන බව දැනගත් ගාමිණී ලොකුගේ, නන්ද මැතිව්, විජේපාල මෙන්ඩිස් ඇතුළු පිරිසක් ගොස් වාසුදේව ආසනයෙන් ඇද දමනවාත් සමගම වාසු විසිවී ගොස් ඔහුගේ කොන්ද බිම පඩියක ගැටෙන්නේය.
‘අම්මෝ’ යනුවෙන් වාසුට කියැවෙන්නේ ඒ ඇදවැටීමෙන් ඔහුට විශාල වේදනාවක් දැනුණු නිසාය. ඉන් පසුව වාසුව වටකරගෙන ආණ්ඩු පක්ෂයේ පිරිසක් පහර දෙන්නට සූදානම් වෙද්දී ඒ අසලට විදුලි වේගයෙන් දිව යන්නේ රංජන් විජේරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාය.
‘වාසුට කවුරුවත් අතක් තියන්න එපා…’ යනුවෙන් දැඩි ලෙස ප්‍රකාශ කළ රංජන් විජේරත්න, වාසුව වත්තන් කරගෙන නිරුපද්‍රිතව රැගෙන යෑමට කටයුතු කිරීම පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂ සිදුවීමකි.
තමන් නියෝජනය කරන ආණ්ඩුවේම පිරිසකට එරෙහි වෙමින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ වාසුදේව බේරාගැනීමට රංජන් එදා කටයුතු කිරීම අදටත් මතුවටත් ආදර්ශයට ගත හැකි ක්‍රියාවකි.
රංජන් විජේරත්නගේ කතාන්දරය එතෙකින් අවසන් නොවේ. ඔහු කෙතරම් පෞරුෂයකින් හෙබි පාර්ලිමේන්තුවේ දැඩි ලෙස වාග් ප්‍රහාර එල්ල කරන පුද්ගලයකු වුවද ඕනෑම අවස්ථාවකදී කෙනකුට පිහිට වීමට ඔහු තුළ තිබුණේ දැඩි උනන්දුවකි.
වරක් රංජන් විජේරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට හොඳටම කේන්ති ගියේ සී.වී. ගුණරත්න, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේය.
‘මං කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නෑ. ආරක්ෂක හේතු මත එසේ ප්‍රකාශ කරනවා…’ යනුවෙන් රංජන් විජේරත්න මහත් වූ උස් හඬින් කීවේය.
නමුත් ඉන් සෑහීමකට පත් නොවූ සී.වී. ගුණරත්න දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය.
‘බෙල්ල කැඩෙන්න ගහනවා’ යනුවෙන් එක් අවස්ථාවකදී රංජන් විජේරත්නගේ මුවින් පිටවිය.
ටික වේලාවකට පසුව එම උණුසුම් තත්ත්වය පහවිය.
ඉන් විනාඩි 10කට පමණ පසුව පාර්ලිමේන්තු පුස්තකාලයට පැමිණ සී.වී. ගුණරත්න යළිත් ඉහළ මාලයට යෑම සඳහා විදුලි සෝපානය පැමිණෙන තුරු සිටියේය. සී.වී. ගුණරත්න සමග එවක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී ධුරය දැරූ විජය පල්ලියගුරුගේද සිටියේය.
විදුලි සෝපානය විවෘත වූ පසු එළියට පැමිණියේ මීට විනාඩි 10කට පමණ පෙර හොඳ හැටි වාග් සංග්‍රාමයේ යෙදුණු රංජන් විජේරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාය.
සී.වී. හා රංජන් මුහුණට මුහුණ හමුවිය. මීට විනාඩි 10කට පෙර දෙදෙනා අතර දැඩි වාග් සංග්‍රාමයන් සිදුවූ නිසා කුමකින් කුමක් වේද කියා යම් සාධාරණ සැකයකින් විජය පල්ලියගුරුගේ වේත්‍රධාරීවරයාද බලා සිටින්නට විය.
‘හලෝ සී.වී. කොහොමද…?’ කියා සී.වී. ගුණරත්නගේ පිටට තට්ටුවක් දමා රංජන් විජේරත්න ගිය අතර, සී.වී. ගුණරත්න සිනහමුසු මුහුණින් ඊට ප්‍රතිචාර දැක්වීම විශේෂ සිදුවීමකි.
තමන්ගේ කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බව රංජන් විජේරත්නත් සී.වී. ගුණරත්නත් එමගින් ප්‍රකාශ කළහ.
එම පාර්ලිමේන්තුවේදී විජේපාල මෙන්ඩිස් අමාත්‍යවරයා සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අතර උණුසුම් වාද විවාද සිදුවිය.
ඒ කාලයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටද පොලිස් නිලධාරීන් දෙදෙනු බැගින් ආරක්ෂාවට ලබාදී තිබිණි.
යම් දේශපාලන බලපෑමක් මත එක්වර ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබුණු අතර, ඒ සමගම ඔහුගේ සහ ඔහුගේ පවුලේ ජීවිත ආරක්ෂාවටද බරපතළ තර්ජනයක් එල්ල වී තිබිණි.
මේ තත්ත්වය කෙසේ හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්නට දැන්වීමට ජෙයරාජ් කටයුතු කළේය.
ආරක්ෂාව ඉවත් කිරීමට තමාගේ සම්බන්ධයක් නොමැති බව පැවැසූ රංජන් විජේරත්න, ජෙයරාජ්ට ප්‍රකාශ කර තිබුණේ ටික කාලයකට හෝ දරු පවුලත් සමග රටින් පිටවන ලෙසයි.
රටින් පිටවනතුරු තමාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ජෙයරාජ්ගේ ආරක්ෂාවට ලබාදීමට තරම් රංජන් විජේරත්න කාරුණික විය. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු වුවද එදා ජෙයරාජ්ගේ ජීවිතය බේරාගැනීමට රංජන් කටයුතු කළේ එලෙසය.
රංජන් විජේරත්න ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කොටි ත්‍රස්තවාදී සංවිධානයේ බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙන්නේය.
රංජන් විජේරත්න රාජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි අභාවය පිළිබඳ පාර්ලිම්න්තුවේ පැවැති ශෝක යෝජනාව ඉදිරිපත් වූ දිනයේ සී.වී. ගුණරත්න අදහස් දැක්වීමට අමතක නොකළේය.
කෙතරම් උණුසුම් වාද විවාද පැවැතියද කෙනකු උදව්වක් ඉල්ලූ විට පක්ෂ – විපක්ෂ දේශපාලනය ආදී මෙකී නොකී සියලු භේදවලින් තොරව උදව් කිරීමේ නිහතමානී ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස රංජන් විජේරත්න මහතා හැඳින්වීමට පුළුවන් බව සී.වී. ගුණරත්න පැවැසුවේ හැඬූ කඳුළෙනි. කඳුළු පිරි දෙනෙතින් සී.වී. ගුණරත්න කියා සිටියේ දැඩි, ඍජු මෙන්ම මානුෂීය දයාව රංජන් විජේරත්නගෙන් දුටු බවයි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු










