කබීර්-හර්ෂ රනිල් එක්ක ඩිනර් එකේ!
සජිත් කට අරින්න හදද්දී ජ්‍යෙෂ්ඨයන් එපා කියයි!
කව්ද ආපු දහදෙනා?
රනිල් ජ්‍යොතිෂය පස්සේ!
ලංකාවේ දේශපාලනයේ කවුරු මොනවා කිව්වත්, කවුරු නෑ කිව්වත් අතිශය තීරණාත්මක අවස්ථාවකදී ප්‍රධාන සාධකය බවට පත්වන්නේ අන් කිසිවක් නොව ජ්‍යොතිෂයය. ඇතැම් වාමාංශික දේශපාලනඥයන් තමන් ජ්‍යොතිෂය පස්සේ දුවන්නේ නෑ කීවද, තමන් ජ්‍යොතිෂය ගණන් ගන්නේ නෑ කීවද වැදගත් දේශපාලන අවස්ථාවකදී හොර රහසින් ජ්‍යොතිෂයට අනුකූලව දේශපාලන තීන්දු තීරණ ගන්නා බව අප හොඳටම දන්නා කාරණයකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද රටට පෙන්වාගෙන සිටින්නේ තමන්ද ජ්‍යොතිෂය පසුපස නොයන, ජ්‍යොතිෂය පිළිබඳ එතරම් තැකීමක් නොකරන දේශපාලන නායකයකු ලෙසටය. නමුත් ලෝකයට පෙනෙන්නට එසේ සිටියත් ජ්‍යොතිෂය පසුපස ප්‍රසිද්ධියේ දුවන දේශපාලකයන්ටත් වඩා රනිල් ජ්‍යොතිෂය ඉහ මුදුනේ තබාගෙන කටයුතු කරන අයකු බව දන්නේ ක්ෂේත්‍රයේ සිටින අතලොස්සක් දෙනා පමණි. ඊට මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ 2020 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා පාර්ලිමේන්තුවට ඒමට පවා නොහැකි තැනට වැටීමෙන් අනතුරුව රනිල් කටයුතු කළ ආකාරයය. එහිදී රනිල් තීන්දු කොට තිබුණේ දේශපාලනයෙන් විශ්‍රාම යෑමටය. ඒ බව රනිල් සිය පවුලේ හිතවතුන් සමගද, දේශපාලන හිතවතුන් සමගද ප්‍රකාශ කොට තිබිණි. නමුත් හිටිහැටියේම රනිල්ගේ එම තීන්දුව වෙනස් විය. මුලින් ගෙන තිබූ එම තීන්දුව වෙනස් කළ රනිල් පසුව සියලු දෙනාම පුදුමයට පත්කරමින් ඉතිහාසයේ කිසිදු එජාප නායකයකු නොකළ ආකාරයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට තීන්දු කළේය. එදා රනිල් ඒ තරමටම දේශපාලන වශයෙන් පහතට වැටුණේ වෙන කිසිවක් නිසා නොව, ඔහුට ලැබුණු ජ්‍යොතිෂමය උපදේශයක් නිසාය.Sri Lanka Latest News
රනිල්ට මෙම ජ්‍යොතිෂ උපදේශය දුන්නේ 1994 සිටම රනිල්ට ඉතා සමීපව කටයුතු කරමින් ඔහුගේ ජ්‍යොතිෂ කටයුතු සිදුකළ සහ ඔහු වෙනුවෙන් විශේෂ පුදපූජාවන් පැවැත්වූ ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකි. එදා ඔවුන් රනිල්ට කියා තිබූ ප්‍රබල අනාවැකියක් වූයේ රනිල්ගේ හඳහන අනුව කෙතරම් උත්සාහ කළද තරුණ වයසේදී ජනාධිපති ධුරයට පත්වීමේ කිසිදු හැකියාවක් නොමැති බවත්, ජීවිතය අගභාගයේදී ඉතා සුළු කාලයකට පමණක් ජනාධිපති පුටුවේ වාඩිවීමට රනිල්ට අවකාශයක් ඇති බවත්ය. රනිල්ට මෙම අනාවැකිය කියූ ජ්‍යොතිෂවේදීන් අද රනිල් සමීපයේ නොමැති වුවත් එදා 2020දී විශ්‍රාම යෑමට තීන්දු කොට සිටි රනිල්ට එසේ නොකරන ලෙස උපදෙස් දුන්නේ වෙනත් ජ්‍යොතිෂවේදීන් පිරිසකි. ඔවුන්ද 2020දී රනිල්ට දැනුම් දී තිබුණේ එක් අවස්ථාවක් පමණක් දේශපාලනයේ මුදුනටම නැගීමට අනිවාර්යයෙන්ම රනිල්ට අවස්ථාවක් එන බවත්, ඉන් අනතුරුව කිසිදු දිනක යළිත් රනිල්ට එවැනි අවස්ථාවක් නොලැබන බවත්ය. එම නිසා කුමන හෝ පෙර පිනකට දේශපාලන ගමනේ ඉහළටම ගිය පසු ඉතා ගෞරවාන්විතව විශ්‍රාම යෑම සිදුකළහොත් විශාල කීර්තියක් රනිල්ට හිමිකරගත හැකි බවත්, එසේ නොවී බල කෑදරකමට යොමුවී තවදුරටත් දේශපාලනයේ නියැලෙන්නට ගියහොත් පරණ පුරුදු පරාජිත තත්ත්වයටම පත්ව ජනතාව ඉදිරියේ අප්‍රසන්න නායකයකු බවට පත්වීමට සිදුවන බවත් මෙම ජ්‍යොතිෂවේදීන් රනිල්ට දැනුම් දී තිබිණි. ඒ අනුව මේ ජ්‍යොතිෂවේදීන්ගේ ජ්‍යොතිෂමය උපදේශයට අනුව රනිල් සිය විශ්‍රාම යෑමේ තීරණය ආපසු හරවා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණියේ තමන්ගේ එකම හීනය වූ ජනාධිපති පුටුවේ කෙසේ හෝ වාඩිවීමේ ආශාව පෙරදැරි කරගෙනය. ඒ ජ්‍යොතිෂවේදීන් කී ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ සමයේදී රට මහා අර්බුදයකට මුහුණ දී ජනාධිපති පුටුව දක්වා ඒමට පුදුමසහගත අයුරින් රනිල්ට පාර කැපිණි.
නමුත් කනගාටුවට කරුණ වන්නේ එදා රනිල් පාර්ලිමේන්තු ඡන්දයෙන් පරාජයට පත්වී හතරගාතේ දා වැටී සිටියදී මේ ජ්‍යොතිෂ අනාවැකිය කී ජ්‍යොතිෂවේදීන්ව රනිල් ජනාධිපති ධුරයට පත්වූ පසු ජනාධිපති කාර්යාලය පැත්ත පළාතේ වද්දා නොගැනීමය. අඩුම තරමේ මේ ජ්‍යොතිෂවේදීන්ට දුරකතන ඇමතුමක් හෝ ලබාදී ඔවුන්ගේ දුකසැප නොවිමසීමය. පෙර පිනකට ජනාධිපති පුටුවේ වාඩිවුවත් බල කෑදරකම හේතුකොට ගෙන රනිල්ට මේ ජ්‍යොතිෂවේදීන් දුන් උපදේශය අමතකව ගොස් තිබිණි. ඒ අනුව රනිල් කළේ රට ගොඩදමා ගෞරවාන්විත ආකාරයට විශ්‍රාම යනවා වෙනුවට දේශපාලන කෑදරකම පෙරටු කොටගෙන තවදුරටත් බලයේ සිටීමට සැලසුම් කිරීමය. එහි ප්‍රතිඵලය වුණේ ඉකුත් ජනාධිපතිවරණයෙන් කුජීත ලෙස පැරැදී ගෙදර යෑමට රනිල්ට සිදුවීමය.
දින 128කට වක්‍ර වෙනවා
රනිල් මීන ලග්නකාරයෙකි. ජනාධිපතිවරණයෙන් පැරැදුණාට පසු රනිල් පසුගිය මාර්තු මාසයේ නැවත වතාවක් දන්නා කියන තැන්වලින් තමන්ගේ හඳහන බලාගත්තේ යළිත් බලයට පැමිණීම සඳහා කුමන හෝ අවස්ථාවක් ජ්‍යොතිෂයට අනුව ඉතිරිව ඇද්දැයි කියා දැනගැනීමටය. එහිදී ජ්‍යොතිෂවේදීන් රනිල්ට දී තිබූ උපදේශය වී ඇත්තේ ලබන අගෝස්තුව පමණ වනවිට දේශපාලන වශයෙන් යන්තම් හෝ ඔළුව එසවීමට ඉතා සුළු අවස්ථාවක් රනිල්ට පැමිණෙනු ඇති බවකි. ජ්‍යොතිෂයට අනුව ජුනි මාසයේදී සෙනසුරු මීන ලග්නයට පැමිණේ. රනිල් ජනාධිපති පුටුවේ වාඩි වූයේද සෙනසුරු සහ ගුරු ග්‍රහයාගේ පිහිටීමක් තිබූ කාලවකවානුවකදීය. නමුත් ගුරු ග්‍රහයා එම ස්ථානයෙන් ඉවත් වීමත් සමග රනිල් බලයෙන් විසිවී ගියේය. ඒ අනුව සෙනසුරු ග්‍රහයා ලග්නයට පැමිණි පසු රනිල් වෙනදා මෙන්ම හතරගාතේ දා සුපුරුදු තැනට වැටුණි. ඒ අනුව පසුගිය මාර්තු 23න් පසු සෙනසුරු ඒරාෂ්ටකයක් රනිල්ට ඇරැඹී ඇති අතර, එය ඉදිරි වසර දෙකහමාරක කාලයක් පුරා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.
රනිල්ගේ මේ ජ්‍යොතිෂමය ග්‍රහචාරය පිළිබඳ පළමු වතාවට අප මේ කෙටි හැඳින්වීම කළේ ඇයි? අප එම අනාවරණය කළේ නිකන්ම නොව, පසුගිය කාලවකවානුව පුරාම ඉතා නිහඬව සිටි රනිල්, හිටිහැටියේම පොඩි ගේමක් ගසමින් යළිත් දේශපාලන කරළියට පිවිස සිටීම නිසාය. රනිල් ඒ ගේම ගැහුවේ තමන්ට ජ්‍යොතිෂමය වශයෙන් ලැබී තිබූ තවත් උපදෙසක් ඔළුවේ තියාගෙනය. සාමාන්‍යයෙන් රනිල් බලයේ සිටින විට ජ්‍යොතිෂය තඹ දොයිතුවකට මායිම් නොකළද, බලයෙන් වැටී ගෙදර සිටින විට ජ්‍යොතිෂමය උපදෙස් අනුව සිය දේශපාලන සිතියමද එහාට මෙහාට කරන අයෙක් ලෙස ප්‍රකටය. ඒ අනුව මාර්තු 13 වැනිදා සිට වසර දෙකහමාරක කාලයක් සඳහා සනසුරු මීන ලග්නයේ ගමන් කිරීම අසුබ වුවද, දින 128ක කාලයකට සෙනසුරුගේ වක්‍ර වීමක් සිදුවීමට නියමිත අතර, ඉන් අනතුරුව නොවැම්බර් 28 වැනි දින නැවත වතාවක් සෙනසුරු එම වක්‍රයෙන් මිදී තමන් සිටි ස්ථානයටම ගමන් කිරීමට නියමිතය. ඒ අනුව රනිල්ට ලැබී ඇති ජ්‍යොතිෂ උපදෙසින් කියැවී ඇත්තේ ඉතා නරක කාලවකවානුවක් ගතකරමින් සිටිනවා වුවද, මේ සෙනසුරු වක්‍ර වන දින 128ක සුළු කාලය පමණක් ඔහුට දේශපාලනමය වශයෙන් කිසියම් වාසිසහගත තත්ත්වයක් උදාකර දෙනු ඇති බවකි. කෙසේ වෙතත් මේ දින 128ක කාලය තුළ රනිල්ට නැවත වතාවක් බලයට ඒමට නොහැකි බව රනිලුත්, රනිල්ට උපදෙස් දුන් ජ්‍යොතිෂවේදීනුත් රටේ සියලු දෙනාත් නොදන්නවා නොවේ. නමුත් රනිල් උත්සාහ කරන්නේ කෙසේ හෝ මේ දින 128 ඇතුළත කුමන හෝ ගේමක් ගසා නැවත වතාවක් දේශපාලනයේ චරිතයක් බවට පත්වීමටය.
බාධාව සජිත්
රනිල්ට මේ සඳහා ඇති ලොකුම බාධකය වී ඇත්තේ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාය. පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර එජාපය සහ සජබය එක්විය යුතු බවට යම් මතවාදයක් පක්ෂ දෙක ඇතුළේම මතුවුවද එජාපයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ තිබූ කඹ ඇදිලි හේතුවෙන් ඒ අවස්ථාවේදී ඊට ඉඩකඩක් ලැබුණේ නැත. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ලැබුණු ප්‍රතිඵලයට අනුව මේ වනවිට සජබය සහ එජාපය අතර යම් දේශපාලන සංහිඳියාවක් ගොඩනැගී ඇති අතර, පළාත් පාලන ආයතන රැසක බලය අත්පත් කරගැනීමට එම එකමුතුවට අනුව හැකියාව ලැබිණි. එමෙන්ම එජාප මහලේකම් තලතා අතුකෝරල මහත්මියද නිල වශයෙන් එජාපය සහ සජබය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඒකාබද්ධව කටයුතු කරන බවට නිවේදනයක්ද නිකුත් කළාය. ඒ අනුව මේ වනවිට ගම් මට්ටමේදී එජාපය සහ සජබය අතර නොනිල වශයෙන් විශාල එකඟතාවක් ගොඩනැගී ඇති අතර, ගම් මට්ටමේ පාක්ෂිකයන් අතරද මේ එකඟතාව ගොඩනැගෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. එය එජාප – සජබ පාක්ෂිකයන්ගේ සතුටට හේතු වී ඇති කාරණාවක් වුවත් රනිල් නම් මේ එකමුතුව ගැන සිටින්නේ කිසිදු සතුටකින් නම් නොවේ. තමාට බලය අත්පත් කරගැනීම සඳහා ඇති ලොකුම බාධාව ගම් මට්ටමේ මේ ගොඩනැගෙමින් පවතින සජබ-එජාප එකමුතුව බව රනිල් හොඳින්ම දනී. ඒ නිසා රනිල්ට මේ වනවිට වුවමනා වී ඇත්තේ පක්ෂ දෙකේ මේ සම්බන්ධය කෙසේ හෝ කඩා බිඳ දමා සජබය ඇතුළේ සජිත්ට එරෙහිව අර්බූධයක් ඇතිකිරීමටය.
ආයෙත් නිව්ස් ප්ලාන්ට්
රනිල් යනු කෙදිනකවත් ජනතාව සමග හෝ පක්ෂය සමග දේශපාලනය කළ අයෙකු නොවේ. ආරම්භයේ සිටම රනිල් දේශපාලනය කළේ තම පවුලේ පුවත්පත් ජාලය හරහා විවිධාකාරයේ බොරු පුවත් ‘පැල‘ කරමිනි. එසේත් නොමැති නම් ‘නිවුස් ප්ලාන්ට්’ කරමිනි. ඒ සඳහා සැදීපැහැදී සිටි පුවත්පත් ජාලයක් මෙන්ම නාලිකා කීපයක්ද රනිල් පිටුපස සිටියේය. නමුත් පසුගිය කාලය පුරාම අප රනිල්ගේ මේ බොරු පුවත් පැලකිරීමේ මෙහෙයුම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සාක්ෂි උදාහරණ සහිතවම රටට හෙළි කළේය. මුල් කාලයේදී ජනතාව මේ බොරු නිවුස්වලට රැවැටුණත් දැන් දැන් ජනතාව ඒවා ගණන් නොගන්නේ අප ඒ පිළිබඳ කළ අනාවරණයන් හේතුකොට ගෙනය.
කෙසේවෙතත් සෙනසුරු දින 128ක් වැනි ඉතා කෙටි කාලයකට වක්‍ර වන කාලය තුළ වාසිසහගත තත්ත්වයක් ඇති කරගත හැකි බවට ජ්‍යොතිෂ උපදෙස් ලැබීමත් සමග රනිල්ගේ පවුලේ පත්තරයක් වන ‘ලංකාදීප’ පුවත්පතේ හදිසියේම වාගේ විශේෂ පුවතක් ‘පැල’ විය. එම පුවතින් කියැවුණේ සජබයේ මුල් පුටුවල පෙරළියක් සිදුවීමට නියමිතව ඇතැයි කියාය. ලංකාදීපයේ පැලවුණු එම පුවතට රනිල්ට හිතවත් සමාජ මාධ්‍ය ජාලවලින්ද විශාල ප්‍රචාරයක් ලැබුණු ආකාරයක්ද දැකගත හැකි විය. මීට අමතරව තවත් වෙබ් අඩවියක පැළ කෙරුණු පුවතකින් කියවුණේ සජබ මන්ත්‍රීවරුන් 10 දනකුගේ කණ්ඩායමත් සජිත් හමුවී සජබ නායකත්වයේ වෙනසක් සිදු විය යුතු බවට සජිත්ට දැනුම් දී ඇති බවය. මේ ආකාරයට අසත්‍ය පුවත් පැලකරවීම හරහා රනිල් ඉලක්ක කළේ ඊට දින දෙකකට පසු පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමය. එහිදී සජිත්ට එරෙහිව කළමනාකරණ කමිටු රැස්වීමේදී සජබ මන්ත්‍රීවරුන් හරහා යම් බලපෑමක් එල්ල කිරීම රනිල්ගේ සැලසුම වී තිබිණි. එම සැලසුමට අනුව සජබ මන්ත්‍රිවරුන් කිහිප දෙනකුටම දුරකතන ඇමතුම් දුන් රනිල්, පෞද්ගලික කතාබහක් සිදුකිරීමට ඇති බව කියමින් ඔවුන්ට තමන් හමුවීමට පැමිණෙන ලෙස ආරාධනා කිරීමටද පියවර ගත්තේය. මේ හරහා රනිල්ගේ සැලසුම වුණේ සජබය ඇතුළේ යම් කැරැල්ලක් නිර්මාණය කොට සජිත්ගේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිකිරීමය. දෙවැනි සැලසුම වී තිබුණේ සජබයේ කීප දෙනකු අල්ලාගෙන පක්ෂයට නියෝජ්‍ය නායකයකු අවශ්‍ය බවට මතයක් ගොඩනැගීමය. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා සජබයේ නිතරම ‘ලනු‘ කන කීප දෙනකු ගෙන්වා ගෙන ඔවුන් උපනායකකමට සුදුසු බව කියමින් ඇන්දවීමටද රනිල් කටයුතු කළේය.
ඔත්තුව කලින්ම ආවා
නමුත් ප්‍රශ්නය වී තිබුණේ මෙම සජබ මන්ත්‍රීවරුන් රනිල් හමුවීමට ගිය මොහොතේදීම ‘අන්න මේ මන්ත්‍රීතුමා රනිල්ව හම්බවෙන්න ගියා’ යැයි කියමින් සජිත්ට හතර වටින්ම ඔත්තු ලැබීමය. ඒ අනුව මේ මන්ත්‍රීවරුන් රනිල් හමුවී එළියට එන විටම කිසිවක් නොදන්නා ගානට සජිත් ඒ සියලු දෙනාටම ඇමතුම් ලබාදීමට පියවර ගෙන තිබිණි. එහිදී මේ මන්ත්‍රීවරුන් තමන් රනිල් සමග කළ කතාබහේ සියලු තොරතුරු සජිත්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව රනිල් ගහන්නට යන ගේමේ හතර කොන සහ දිග පළල සජිත් කල්තියාම හොඳින් වටහාගෙන සිටියේය.
මෙහිදී සජිත් මේ සියලු තොරතුරු දැන වචනයක් හෝ නොකියා නිහඬව සිටියත්, අප වෙත ලැබුණු තොරතුරුවලට අනුව අප රනිල් මේ ගහන්නට යන ගේම සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම ‘මව්රට නිවුස්’ වේබ අඩවිය ඔස්සේ තොරතුරු අනාවරණය කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව අඟහරුවාදා දිනයේදී සජබ කළමනාකරණ කමිටු රැස්වීම ආරම්භ වූ නමුත් රනිල්ගේ පැත්තෙන් සිතා සිටි ආකාරයේ කිසිදු කලබලයක් එහිදී සිදු නොවීම විශේෂ සිදුවීමක් විය. රනිල් ගහන්න යන ගේම සම්බන්ධයෙන් අප රටට කළ අනාවරණ කිරීම් සජබ මන්ත්‍රීවරුන්ද දැක තිබීම ඊට හේතු වූවා විය හැකිය. එහිදී සජබය ඇතුළේ සජිත්ට එරෙහිව කැරැල්ලක් එනු ඇති බවට රනිල් සිතා සිටියත් ඇත්තටම එහිදී සිදුවූයේ සජිත්ට එරෙහිව කැරැල්ලක් ගසනවා වෙනුවට සියලු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව සජිත්ව තව තවත් ශක්තිමත් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කිරීමය.
මම කට ඇරියොත්…
කළමනාකරණ කමිටු රැස්වීම ආරම්භයේදීම සජිත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ‘සජබයේ මුල් පුටු පෙරළෙයි’ කියලා දැන් මේ නිවුස් එකක් ප්ලාන්ට් කරලා තියෙනවා. මේක කළේ වෙන කවුරුවත් නෙවෙයි රනිල්. එයාගේ පවුලේ පත්තරේ තමයි මේ නිවුස් එක ගහලා තියෙන්නේ. ඒක එයාට හිතවත් වෙබ් සයිට්වලත් ගහලා තිබ්බා. පහුගිය කාලේ හැමෝම යූ.ඇන්.පී. එකත් එක්ක එකතු වෙලා යමු කියද්දී මම ඒකට අඩිතාළම දැම්මා. හැබැයි පස්සේ මේ අය මටම ගහන්න පටන් ගත්තා. දැන් මේ නිවුස්වල ගහලා තියෙනවා සජබෙ 10ක් ඇවිත් මාව හම්බවෙලා නායකත්වය වෙනස් කරන්න කියලා දැනුම් දුන්නා කියලා….’ යැයි අදහස් දක්වද්දීම රංජිත් මද්දුමබණ්ඩාර, මරික්කාර් සජිත්ගේ කතාවට බාධා කරමින් විමසා සිටියේ එසේ හමුවූ මන්ත්‍රීවරුන් 10 දෙනා කවුරුන්දැයි කියාය. ඔවුන් සම්බන්ධයෙන් කළමනාකරණ කමිටුවට තොරතුරු ඉදිරිපත් කරන ලෙසද මද්දුමබණ්ඩාරත්, මරික්කාරුත් සජිත්ගෙන් ඉල්ලා සිටියහ.
ඊට පිළිතුරු දෙමින් සජිත් කියා සිටියේ ඒ පුවතේ සඳහන්ව තිබූ ආකාරයට කිසිදු සජබ මන්ත්‍රීවරයකු තමන් හමුවීමට නොපැමිණි බවත්, එවැනි ඉල්ලීමක් තමන්ගෙන් නොකළ බවත්ය. ඒ සියල්ලම රනිල්ගේ නිවුස් ප්ලාන්ට් බව කියා සිටි සජිත්, තමන් මෙතෙක් කල් මේ පිළිබඳ කතා නොකළ නමුත්, ඉදිරියේදී තමන් මේ සම්බන්ධයෙන් කට ඇරීමට සූදානම් බවත්, තමන් කට ඇරියහොත් සජබ-එජාප එකතුවක් කිසි දිනෙක සිදු නොවනු ඇති බවත් සජිත් කියා සිටියේය. මෙහිදී තරමක් ආවේගශීලීව අදහස් දැක්වීමට සජිත් කටයුතු කිරීමත් සමග වහාම මැදිහත් වූ මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් සහ මුජිබර් රහුමාන් කියා සිටියේ සජිත් කතා කළ යුතු නැති බවත්, රනිල්ට නොව කිසිවකුට හෝ සජබයේ තනතුරු සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බවත්ය. එම නිසා මෙම ප්‍රශ්නයට සජිත්ට මැදිහත් නොවන ලෙස දැනුම් දී සිටි මෙම මන්ත්‍රීවරු තිදෙනා තමන් ඊට පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවද සජිත්ට දැනුම් දී සිටියහ. ඒ අනුව එම ප්‍රශ්නය එතැනින් අවසන් විය.
ඉන් අනතුරුව කළමනාකරණ කමිටුවේ අවධානයට යොමුවූයේ මේ දිනවල ආණ්ඩුව පැත්තෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කොට දියත් කර ඇති මෙහෙයුම පිළිබඳවය. එහිදී සුජීව සේනසිංහ මන්ත්‍රීවරයාට මාස කීපයක් තිස්සේ අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුව ඇති බවත්, ඔහු වෙනුවෙන් පක්ෂය කුමක් හෝ කළ යුතු බවත් කළමනාකරණ කමිටුවට දැනුම් දී සිටියේ මන්ත්‍රී මරික්කාර්ය. එහිදී මරික්කාර් කියා සිටියේ එදිනද සුජීවට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුව ඇති නිසා ඔහුට ශක්තියක් වීමට පක්ෂයේ සියලු දෙනා උසාවි භූමියට යායුතු යැයි කියාය. ඊට සජිත් ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව පළවිය. සජිත් එහිදී කියා සිටියේ තමන්ට කුමන වැඩක් යෙදී තිබුණද සුජීව වෙනුවෙන් එදින අධිකරණ භූමියට පැමිණෙනවා යැයි කියාය.
ඒ අනුව පසුගිය අඟහරුවාදා දින පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සුජීව වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණය අසලට පැමිණ සිටීම විශේෂ සිදුවීමක් විය. සජිත් පෙරටු කොටගෙන පැමිණ සිටි මෙම මන්ත්‍රීවරු මාධ්‍ය හමුවේ සුජීව වෙනුවෙන් අදහස් පළකිරීමටද පියවර ගත්හ. ඒ අනුව අවසානයේදී සෙනසුරුගේ වක්‍රවීම මුල්කරගෙන සජබය ඇතුළේ කැරැල්ලක් ඇතිකොට යම් දේශපාලන වාසියක් ගැනීමට ගිය රනිල්ට සිදුවූයේ සියලු මන්ත්‍රීවරු සජිත් වටා එකතු වූ ආකාරය දැක පසෙකට වී සිටින්නය.
මල්ටි ප්ලග් ඩීල් එක
පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවිය. ඒ, ඩිජිටල් අමාත්‍යාංශය යටතේ රුපියල් 72,000කට එක් මල්ටි ප්ලග් එකක් මිල කරමින් කෝටි ගණනකට ලබාදී තිබූ ටෙන්ඩරයක් හදිසියේම අත්හිටුවීමට පියවර ගෙන තිබීමය. එම ටෙන්ඩරය ඉදිරිපත් කළ දිනෙන් පසුව එම ටෙන්ඩරය ලබාදීම සහ එම ටෙන්ඩරය අවලංගු කිරීම දක්වා තිරය පිටුපස වූ සිද්ධි දාමය දෙස බැලීමේදී යම් පුදුමසහගත කරුණක් බොහෝ දෙනාට දැකගත හැකි විය. එහි පළමු පුදුමය වී තිබුණේ අදාළ ටෙන්ඩරය එක්තරා සමාගමකට ලබාදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ජන අරගල සන්ධානයේ ප්‍රධානියකු වූ වසන්ත මුදලිගේ විසින් පළමු වරට රටට කරුණු හෙළිකිරීමය.
සාමාන්‍යයෙන් වෙනදා නම් ආණ්ඩුවක් ඇතුළේ යම් හොරකමක්, වංචාවක්, අක්‍රමිකතාවක් සිදුවනවා නම් එය එළියට එන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හරහාය. එසේත් නොමැති නම් විපක්ෂයේ සිටින වෙනත් දේශපාලන පක්ෂයක් හරහාය. නොඑසේ නම් විපක්ෂයේ සිටින වෘත්තීය සමිති හරහාය. නමුත් මෙම මල්ටි ප්ලග් ටෙන්ඩරය පිළිබඳ තොරතුරු පළමු වරට එළියට ආවේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු පක්ෂයකින් නොව, පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පෙරටුගාමී පක්ෂයට සම්බන්ධකම් කියන ජන අරගල සන්ධානය හරහාය.
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ සිදුවන ආන්දෝලනාත්මක ගනුදෙනු පිළිබඳ පෙරටුගාමී පක්ෂය හරහා තොරතුරු එළියට ආ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද විද්‍යුත් හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂය රට හමුවේ ප්‍රබල අනාවරණයක් සිදුකළේය. එමෙන්ම ඉන්දියාව සමග අස්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන්ද පෙරටුගාමී පක්ෂය ආණ්ඩුව බරපතළ ලෙස ප්‍රශ්න කළේය. දැන් පළමු වතාවට ආණ්ඩුවේ මල්ටි ප්ලග් ටෙන්ඩරයද එළියට ආවේ පෙරටුගාමී පක්ෂය සම්බන්ධ ජන අරගල සන්ධානය හරහාය. මේ සියල්ලම ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් අමාත්‍යාංශය මගින් සිදුකරමින් පවතින ව්‍යාපෘතිය.
මෙම මල්ටි ප්ලග් ගනුදෙනුව කෙතරම් ආන්දෝලනාත්මක එකක් වුවද වසන්ත මුදලිගේ එය රටට ඉදිරිපත් කිරීමෙන් පසුව වුවද විපක්ෂයේ කිසිදු පක්ෂයක් ඒ පසුපස එතරම් එලෙව්වේ නැත. රටට තොරතුරු අනාවරණ කළේද නැත. නමුත් කැබිනට් පත්‍රිකාවද සමග වසන්ත මුදලිගේ මෙම තොරතුරු රටට ඉදිරිපත් කිරීමෙන් පසු සමාජ මාධ්‍ය ඊට විශාල ප්‍රචාරයක් ලබාදුන්නේය. ආණ්ඩුවේ විනිවිද බව පිළිබඳ දැඩිව ප්‍රශ්න කළේය. ඒ අනුව ආණ්ඩුව වහාම මෙම මල්ටි ප්ලග් ටෙන්ඩරය අවලංගු කිරීමට පියවර ගත්තේය. අප දන්නා කලෙක නම් විපක්ෂයේ සුළු නියෝජනයක් සහිත පක්ෂයක් කළ හෙළිදරව්වක් හේතුකොට ගෙන ආණ්ඩුවක් විසින් ලබාදුන් ටෙන්ඩරයක් ආපසු හැරවීමට කටයුතු කොට නොමැත. නමුත් මෙවර එවැන්නක් සිදුව තිබීම සුවිශේෂය.
කවුරුත් දන්නා පරිදි පෙරටුගාමීන් යනු ජවිපෙන් කැඩී ගොස් දේශපාලනය කරන කොටසකි. පක්ෂ දෙකක් වුවත් ඒ දෙකෙහිම සිටින්නේ කාලාන්තරයක් පුරා එකට වැඩ කළ, දන්නා හඳුනන පුද්ගලයන්ය. ඒ අනුව දැන් මතුව ඇති ප්‍රශ්නය වී ඇත්තේ පෙරටුගාමීන්ට ආණ්ඩුව ඇතුළේ සිදුවන මේ ගනුදෙනුවල තොරතුරු සහ කැබිනට් පත්‍රිකා ආදිය ලීක් කරන්නේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන්ය. එම තොරතුරු ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිතිවලින් ලබාදෙනවාද, එසේත් නැත්නම් ජවිපෙට සම්බන්ධ නිලධාරීන්ගෙන් පෙරටුගාමීන්ට ලැබෙනවාද, එසේත් නැත්නම් ජවිපෙට සම්බන්ධ වෙනත් ප්‍රබල හස්තයකින් එම තොරතුරු පෙරටුගාමීන්ට ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් බොහෝ දෙනා තුළ මේ වනවිට මතුව තිබේ. අප මීට පෙරද මෙම තීරය ඔස්සේ ආණ්ඩුව ඇතුළේ යම් යම් මතගැටුම් සහ අර්බුද පවතින බව කීප වතාවක්ම සඳහන් කර සිටියෙමු. එම අර්බුදයන් සහ මතගැටුම් ප්‍රසිද්ධියේ එළියට පැන්න අවස්ථාද අපි මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටියෙමු. මාලිමා ආණ්ඩුව ඇතුළේ යම් මත ගැටුමක් පවතින බවට සමාජ මාධ්‍ය පවා වාර්තා කිරීමට පටන් ගත්තේ අප කළ එම අනාවරණයන් මුල්කොට ගෙනය.
මීට අමතරව ආණ්ඩුව මේ දිනවල මුහුණ දී සිටින බරපතළම ගැටලුව වන කන්ටේනර් රථ 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මුලින්ම රටට කරුණු අනාවරණ කිරීමට පටන් ගත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයය. ඒ අවස්ථාවේදී ඔවුන් කිසිදු විටෙක ජවිපෙ ප්‍රබලයකු වන බිමල් රත්නායකව ඉලක්ක කළේ නැත. බිමල්ද පසුව පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කන්ටේනර් සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, රේගුව තමන් යටතේ නොපවතින ආයතනයක් බවත්, තමන්ට ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට බලයක් නොමැති බවත්ය. ඊළඟයට පෙරටුගාමීන්ගේ පැත්තෙන් එළියට ආවේ ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියාවට ලබාදීමේ සිද්ධියය. දැන් මල්ටි ප්ලග් සිද්ධියය. ඒ අනුව නිල තොරතුරු නැතත් ජවිපෙ සහ පෙරටුගාමීන් අතර යම් සම්බන්ධයක් මෝදුවෙමින් ඇති බවට සැකයක් බොහෝ දෙනා තුළ මේ සිදුවීම් හරහා මතුව තිබේ. ඒ අනුව මෙවර අප කියා සිටින්නේ ආණ්ඩුව ඇතුළේ සිදුවන යම් යම් අකටයුතුකම් සම්බන්ධව බොහෝ කරුණු ඉදිරියේදී විපක්ෂයේ අනකුත් පක්ෂවලට වඩා පෙරටුගාමී පක්ෂය හරහා හෙළිදරව් වීමේ ඉඩකඩ වැඩි බවය.
අනුර ස්ලෝ වුණේ ඇයි?
පසුගිය සතියේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් විවිධ තොරතුරු හෙළිදරව් කරන මන්ත්‍රී. එල්.කේ. වෙබ් අඩවිය අපූරු අනාවරණයක් කර තිබිණි. ඒ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දු සහ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ගෙවුණු කාලය අතරතුර ඉටුකර තිබූ පොරොන්දු සම්බන්ධයෙන්ය. වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදුකර තිබූ මේ අනුර මීටරයෙහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමක් වන ‘අනුර මීටරය‘ හරහා වෙරිටේ රිසර්ච් ආයතනය මෙම හෙළිදරව්ව සිදුකොට තිබිණ ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා මැතිවරණ සමයේදී ප්‍රධාන පොරොන්දු 22ක් ලබා දී ඇති බවත්, ඉන් කක් පමණක් මේ වනවිට ඉටු කොට ඇති බවත්ය. එසේ ඉටුකළ පොරොන්දුව වන්නේ උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීමය.
වෙරිටේ රිසර්ච් ආයතනය යටතේ පවත්වාගෙන යන ප්බඑයරුැගකන වෙබ් අඩවිය මගින් අනුර මීටරය ක්‍රියාත්මක වන අතර ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශ ආවරණය වන පරිදි ජනාධිපතිවරයාගේ පොරොන්දුවලින් 22ක් එයින් විමර්ශනය කෙරේ.
මෙසේ ඉටුකළ පොරොන්දු වර්ගීකරණය තෝරාගත් පොරොන්දු 22න් 5%ක පංගුවක් වන අතර මෙකී පොරොන්දු 22න් 35%ක් අර්ධ වශයෙන් ඉටුකර ඇති අතර තවත් 14%ක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් එම පොරොන්දු 22න් 10ක් හෙවත් 45%ක් ගැන යාවත්කාලීන තොරතුරු නැතැයි එහි සඳහන් වේ.
මහින්දට ගල්-මුල් දෙකම
පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ආණ්ඩුව ට්‍රම්ප් රජය විසින් පනවා තිබූ තීරුබද්ද අඩුකර ගැනීම සඳහා තිරය පිටුපස සිදුකළ මෙහෙයුම පිළිබඳ විශේෂ අනාවරණයක් සිදුකළෙමු. එහිදී අතිවිශේෂ අනාවරණයක් කරමින් අප ධවල මන්දිරය මගින් සිය වෙබ් අඩවියේ පළකොට තිබූ ශ්‍රී ලංකාවට අදාළ ලිපියෙහි ජනාධිපතිවරයාගේ නම ‘අරුණ කුමාර දිසානායක’ ලෙස වැරැදි ආකාරයට වාර්තා කර තිබීමත්, පසුව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහ මහතා පළමුව මෙය දැක වහාම ධවල මන්දිරයට කතාකොට රාජ්‍යතාන්ත්‍රික අයුරින් එය නිවැරැදි කරගැනීමට කටයුතු කළ ආකාරයත් අනාවරණ කළෙමු. ඊට අමතරව බදු අඩුකර ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදී පවා මහින්ද සමරසිංහ ඉතා විශාල කාර්යභාරයක් ඉටුකර තිබිණි. ඊට ඔහුට විශාල සහායක් වී තිබුණේ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ ඔහු සතුව ඇති පළපුරුද්දත්, අත්දැකීම් සම්භාරයත්ය.
කෙසේ වෙතත් අප කළ මෙම අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය ට්‍රම්ප් රජය විසින් පනවා ඇති බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා මුණගැසී තිබිණි. 30%ක් ලෙස පනවා තිබූ බද්ද හේතුවෙන් අපනයනකරුවන් ඒ වනවිටත් සිටියේ තමන්ගේ සමාගම්වල අනාගතය සම්බන්ධයෙන් කිසියම් දෙගිඩියාවකින් සහ මානසික කඩාවැටීමකින් යුක්තවය. කෙසේ වෙතත් මෙහිදී ට්‍රම්ප් රජය සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ ජනාධිපතිවරයා මෙම කාර්යයන් සිදුකිරීමේදී ශ්‍රී ලංකාවේ තානාපතිවරයා වශයෙන් මහින්ද සමරසිංහ මහතා විශාල කාර්යභාරයක් සිදුකළ බවද කියා සිටියේය.
කෙසේ වෙතත් පසුගිය සඳුදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳ නැවත වතාවක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන්ද විමසා සිටියේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා නොදෙන බව නලින්ද ප්‍රකාශ කිරීමය. නලින්දගේ ඒ ප්‍රතිචාරය හරහා බොහෝ දෙනාට වැටහී ගියේ යම් අවඥාසහගත ආකාරයකින් නලින්ද ඊට ප්‍රතිචාර දැක්වූ බවකි. නැතහොත් ජනාධිපතිවරයා අපනයනකරුවන් හමුවේ මහින්ද සමරසිංහ මහතා සම්බන්ධව ප්‍රශංසාවෙන් යුතුව දැක්වූ අදහස් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරන බවකි. ඒ හරහා ට්‍රම්ප්ගේ බද්ද සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ යම් මත ගැටුමක් පවතින ආකාරයේ ඉඟියක් පළවූ ආකාරයක්ද දැකගත හැකි විය.
එය තවත් පැහැදිලි වූයේ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා දෙරණ නාළිකාව වෙත පැමිණ කළ ප්‍රකාශයක් හරහාය. එහිදී නලින්ද කුමක් කීවද ජනාධිපතිවරයා සිටි ස්ථාවරයේ සිටිමින් අදහස් දැක්වූ අනිල් ජයන්ත කියා සිටියේ බදු සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡාවලදී මහින්ද සමරසිංහ මහතා සුවිශේෂ කාර්යභාරයක් සිදුකරමින් සිටින බවකි.
ඉන්දුනීසියාව ගේම ගැහුවා
ට්‍රම්ප් රජය පැනවූ 30%ක තීරුබද්ද සම්බන්ධයෙන් තවත් විශේෂ අනාවරණයක් කරමින් අප පසුගිය සතියේ කියා සිටියේ මින් ඉදිරියට ක්‍රියාත්මක වන සියලු සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින්) පැවැත්වීමට නියමිතව ඇති බවකි. නමුත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා නම් කියා සිටියේ අදාළ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 18 වැනිදා තවත් කණ්ඩායමක් ඇමෙරිකාව බලා පිටත්ව යන බවකි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ සිදුවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් 44%කට පැනවූ බද්ද 30% දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබී තිබිණි. ආණ්ඩුවේ අමාත්‍ය අනිල් ජයන්ත මහතා මෙය ආසියානු කලාපයේ රටක් වශයෙන් ලබාගත් වැඩිම සහනය බව කියා සිටියද පසුව අනාවරණ වූයේ ඇමෙරිකාව ලංකාවට 30%ක බද්දක් පනවද්දී ඉන්දුනීසියාවට පනවා ඇත්තේ 19%ක බද්දක් පමණක් බවකි. කෙසේ වෙතත් ඉන්දුනීසියාවට මේ අයුරින් බදු අඩු කරද්දී ට්‍රම්ප් රජය ඒ හරහා විශාල වෙළෙඳ ගනුදෙනුවක් ඉන්දුනීසියානු රජය සමග සිදුකොට තිබිණි. ඒ, ඇමෙරිකානු භාණ්ඩවලට ඉන්දුනීසියාව අයකළ බද්ද 0% බවට පත්කිරීමට අමතරව, ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං වර්ගයේ ගුවන් යානා 50ක් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට ඉන්දුනීසියාව එකඟතාව පළකොට තිබීමය.
ඉන්දුනීසියාව මේ ආකාරයට ඇමෙරිකානු බද්ද අඩුකර ගැනීමට ට්‍රම්ප් රජය සමග විශාල වෙළෙඳ ගනුදෙනුවකට යද්දී ලංකාවටද අදාළ බද්ද අඩුකර ගැනීමට නම් ඇමෙරිකාව සමග විශාල වෙළෙඳ ගනුදෙනුවකට යා යුතුව තිබේ. අනෙක් අතට ලංකාවේ තරගකරුවන් වශයෙන් කටයුතු කරන ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් ඇමෙරිකාව සමග කරන සාකච්ඡාවලදී ඉතා විශාල වශයෙන් බදු ප්‍රතිශතයන් අඩුකරගෙන ඇති බවද ආරංචිය. තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැතත් ඉන්දියාව මෙම බදු ප්‍රතිශතය 20%ත්. 15%ත් අතර ප්‍රමාණයකට අඩුකොට ගෙන ඇති බවක් කියැවේ. සමහරුන් කියන්නේ එය 12% දක්වා අඩුකර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බවකි. ඊට හේතු වී ඇත්තේ ඉන්දියාව වැනි විශාල වෙළෙඳපළක් අත්හැර ගැනීමට ඇමෙරිකාව සූදානම් නොවීමත්, ඇමෙරිකාව වැනි විශාල වෙළෙඳපළක් අත්හැර ගැනීමට ඉන්දියාව සූදානම් නොවීමත්ය.
ඒ අනුව ඉන්දුනීසියාව ඇමෙරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 0% ලෙස ප්‍රකාශයට පත්කරද්දී ලංකාවටද එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට හැකිද? කලින් ඇමෙරිකාවට පොරොන්දු වූවා සේ තෙල් සහ ගෑස් ඇමෙරිකාවෙන් මිලදීගත හැකිද? ඉන්දුනීසියාව මෙන් බෝයිං ගුවන් යානා ඇමෙරිකාවෙන් මිලදීගත හැකිද? මේ සියල්ල තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්නය.
බෝයින් 3ක් ගන්නෙ කව්ද?
මේ සියලු සාකච්ඡා මැද මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ නිල නොවන ලෙස පැතිර යමින් ඇති කටකතාවකින් කියැවෙන්නේ ශ්‍රී ලංකාව බිලියන ගණනක් වියදම් කරමින් බෝයිං යානා තුනක් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමේ සූදානමක් පවතින බවකි. මෙය කිසිදු ජාතික මට්ටමේ මාධ්‍යයක පළ නොවුණත් එක්තරා මාධ්‍යයක් පමණක් මේ සම්බන්ධයෙන් යම් පුවතක් වාර්තා කිරීමට පසුගිය සතියේ පියවර ගෙන තිබිණි. නමුත් එම යානා මිලදී ගන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයටද, නැතිනම් වෙනත් ආයතනයකට ද යන්න ගැන කිසිදු සඳහනක් එහි නොවිණි. ඒ කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ බදු අඩුකර ගැනීම සඳහා මේ වනවිට ආරම්භ කර ඇති දෙවැනි වටයේ සාකච්ඡා ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.
විමුක්ති ආවා
කාලයෙන් කාලයට ලංකාවේ දේශපාලනයේ මතුවන මාතෘකාවක් වන්නේ විමුක්ති කුමාරතුංගය. ‘විමුක්ති දේශපාලනයට එනවා’ යනුවෙන් මෙරට පුවත්පත් අවස්ථා ගණනාවකදීම පොල්ගෙඩි අකුරෙන් සිරස්තල පළකිරීමට පියවර ගෙන තිබුණේ ඒ නිසාය. කෙසේ වෙතත් අප මෙවර හෙළිකරන්නට යන්නේ විමුක්ති ගැන අලුත්ම කතාවක්ය.
කලකට පසු පසුගිය සතියේ විමුක්ති නැවත වතාවක් ලංකාවට පැමිණියේය. නමුත් විමුක්ති මෙවරත් ආවේ දේශපාලනට සම්බන්ධ වීමට නම් නොවේ. විමුක්ති ආවේ සිය මව වූ චන්ද්‍රිකාගේ 80 වැනි උපන්දිනය වෙනුවෙන් සූදානම් කොට තිබූ විශේෂ උත්සවයකට සහභාගි වීම සඳහාය. උත්සවය සංවිධාන කොට තිබුණේ ගෝල්ෆේස් හෝටලයේය. විමුක්ති ඊට සහභාගි වීමට ආවේ තනිවම නොව සිය සහෝදරිය වූ එංගලන්තයේ වාසය කරන යශෝධරා කුමාරතුංගගේ දරු දෙදෙනාද සමගය.
මෙම උත්සවයට බණ්ඩාරනායක පවුලේ සමීපතම හිතවතුන් මෙන්ම ඥාතීන් සහභාගි වී සිටියේ එය චන්ද්‍රිකාගේ ජීවිතයේ වැදගත් කඩඉමක් වීම නිසාය. පවුලෙන් පිට එම උත්සවයට ආරාධනා ලැබ තිබුණේ එකම එක් අයකු පමණි. ඒ වෙන කවුරුවත් නොව චන්ද්‍රිකාගේත්, රනිල්ගේත් අතිශය සමීපතමයකු ලෙස සැලකෙන මලික් සමරවික්‍රමය. චන්ද්‍රිකාත්, රනිලුත් සක්‍රීය දේශපාලනයේ සිටියදී දෙදෙනා අතර ගනුදෙනුව ගොඩනැගුවේත්, පණිවුඩ රැගෙන ගියේත්, ඩීල් දැමුවේත් මේ කියන මලික් බව ප්‍රකට රහසකි.
මේ ආකාරයට විමුක්තිද සහභාගි වූ ගෝල්ෆේස් හෝටලයේ සාදයෙන් පසු චන්ද්‍රිකා සිය උපන්දිනය වෙනුවෙන් ගම්පහ හොරගොල්ල වලව්වේ සිය හිතවතුන්ටත්, පාක්ෂිකයන්ටත් තවත් වෙනම භෝජන සංග්‍රහයක් ලබාදුන් බවක්ද ආරංචිය.
ජුලී චන්ග් අහුවුණාද?
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා වන ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය නිමාකොට මේවනවිට සිටින්නේ ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින්ය. ලංකාවට එන නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කියැවෙන්නේ එරික් මේයර්ගේ නමය. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් වැඩ භාරගනු ඇති බව කියැවේ.
කෙසේ වෙතත් ජූලි චන්ග් මෙරට රැඳී සිටි කාලසීමාව ඉතා තීරණාත්මක එකක් ලෙස සඳහන් කළ හැකිය. 2021දී ගෝඨාභය රාජපක්ෂ රජයට එරෙහිව ජනතා අරගලයක් පැනනැගුණේත්, ගෝඨාභය බලයෙන් පහකෙරුණේත්, එහි ප්‍රතිඵලයක් ලෙස අලුත් රජයක් බිහිවුණේත් ජූලි චන්ග්ගේ ධුර කාලයේදීය. බොහෝ දෙනා මේ නිසාම කියා සිටියේ අරගලයට ජූලි චන්ගේ විශාල සහයෝගයක් තිබුණා කියාය. එමෙන්ම ජූලි චන්ග් අනුරට ඉතා හිතවත් අයකු ලෙසටද ප්‍රකටය.
රනිල්-සාගල-හර්ෂ-කබීර්
මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් කියන්නට යන්නේ ජූලි චන්ග් සහ ජනාධිපතිවරයා අතර ඇති විශේෂ හිතවත්කම පිළිබඳ නොව, ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති සමීප හිතවත්කමක් ගැනය. අපගේ කතාවට හේතුපාදක වන්නේ පසුගිය බදාදා රාත්‍රියේදී ජූලි චන්ග් විසින් පවත්වා තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකි. සාමාන්‍යයෙන් ජූලි චන්ග් විසින් භෝජන සංග්‍රහයක් පැවැත්වීම විශේෂ කරුණක් නොවන නමුත්, මෙම භෝජන සංග්‍රහයේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට සහභාගි වී සිටි පුද්ගලයන් නිසාය. මන්ද යත් ඊට සහභාගි වී සිටියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක සහ සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ හර්ෂ ද සිල්වාත්, කබීර් හෂීමුත්ය. ඉතා රහසිගතව පැවැති මෙම රාත්‍රි භෝජන සංග්‍රහය පිළිබඳ තොරතුරු පසුව යම් යම් මාධ්‍යවලටද අනාවරණ කෙරී තිබිණි. සාමාන්‍යයෙන් සජබ මන්ත්‍රීවරුන් සහභාගි වන මෙවැනි භෝජන සංග්‍රහයන් පිළිබඳ හීන්සීරුවේ මාධ්‍යයට ලීක් කිරීම කාලයක් තිස්සේ රනිල් ගෙනගිය උපක්‍රමයක් වී තිබූ අතර, මෙම රාත්‍රි භෝජන සංග්‍රහයද අවසන් වූ වහාම රනිල්ගේ පාර්ශ්වයෙන් එය යම් යම් පාර්ශ්වයන් හට ලීක් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. අප එසේ කියන්නේ අපටද එම පුවත රනිල්ගේ පාර්ශ්වයෙන් ලැබීම නිසාය.
නමුත් මෙම සිදුවීමේ ඇති විශේෂත්වය වන්නේ රනිල්ගේ කේන්දරයට අනුව සෙනසුරු වක්‍ර වීම හරහා යම් සහනයක් ලැබෙනු ඇති බවට මත පළවෙමින් තිබියදී මෙම හමුව සිදුවීමය. අප මුලිනුත් කී ආකාරයට රනිල් මේ වනවිට සිටින්නේ සජබය ඇතුළේ අර්බුද නිර්මාණය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමිනි. ඒ අනුව රනිල් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පසුගිය දින කීපයේ පෞද්ගලිකවම කැඳවා ඔවුන්ට විවිධ යෝජනා සහ ‘ලණු’ දෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එසේ රනිල් සමග සාකච්ඡාවට ගිය එක් මන්ත්‍රිවරයකු වූයේ දයාසිරි ජයසේකරය. රනිල් දයාසිරිට දී තිබූ ලණුව වූයේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවට දයාසිරිට පත්වීමට හැකියාව ඇතැයි කියාය. නමුත් රනිල් සමග හමුවෙන් පසු දයාසිරි හිතවතුන්ට කියා තිබුණේ ‘මම රනිල් ගැන දන්නවා. මම දැන් එයාගේ ලණු කන්නේ නෑ’ යැයි කියාය. කෙසේ වෙතත් කබීර්, හර්ෂ සහ එක්ව ජූලි චන්ග් සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු රනිල්ගේ පාර්ශ්වයෙන් එම පුවත ලීක් කිරීම හරහා බොහෝ දෙනා සැක පහළ කර තිබුණේ රනිල් මේ මෙහෙයුමට ජූලි චන්ග්වත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඈඳාගත්තාදැයි කියාය.
මෙන්න කතා වෙච්ච දේවල්
ඒ කොයිහැටි වෙතත් චන්ග් රනිල්, හර්ෂ, සාගල, කබීර් සමග පැවැති සාකච්ඡා පිළිබඳ වෙනත් මූලාශ්‍රයන්වලින් බොහෝ තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට අප වෙත වාර්තා වී තිබේ. ඉන් එක් මූලාශ්‍රයකින් කියැවුණේ ආණ්ඩුව මේ දිනවල සම්මත කිරීමට සූදානමින් සිටින විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙසේ රනිල් ඇතුළු කණ්ඩායම කැඳවූ බවකි. නමුත් ප්‍රශ්නය වන්නේ දැනට කිසිදු බලයක් නැති රනිල්ට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්දැයි කියාය.
තවත් මූලාශ්‍රයකින් කියැවුණේ ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී ලංකාව සහ ඇමෙරිකානු සමාගමක් වූ ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර අස්සන් තැබූ එල්.එන්.ජී. ගිවිසුම සක්‍රීය කරගැනීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වුණු බවකි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී මේ සම්බන්ධයෙන් එවක විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, එම විරෝධය නොතකා රාජපක්ෂ ආණ්ඩුව අදාළ ගිවිසුම අස්සන් කිරීමට පියවර ගෙන තිබිණි. ගිවිසුම අස්සන් කළද සමාජයෙන් මතුවූ විරෝධය හමුවේ එය ක්‍රියාත්මක තලයට ගියේ නැත. ඒ අනුව මෙම සාකච්ඡාවේදී අදාළ එල්.එන්.ජී. ව්‍යාපෘතිය නැවත වතාවක් සක්‍රීය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවක් එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
නමුත් බොහෝ දෙනා කියා සිටින කාරණාවක් වන්නේ රනිල් සජබ නියෝජිතයන් වන කබීර් සහ හර්ෂ සමග මෙම සාකච්ඡාවට එක්වූයේම සජබය ඇතුළේ අර්බුදයක් නිර්මාණය කිරීමට යැයි කියාය. මන්ද යත් රනිල් සමග මෙවැනි රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වන බවක් කබීර් හෝ හර්ෂ කල් තියා සජිත්ව දැනුවත් කර තිබුණේ නැත. නමුත් ජූලි චන්ග් සමග මේ සියලු දෙනා රාත්‍රි භෝජන සංග්‍රහයේ සිටිද්දීම සජිත්ට වෙනත් පාර්ශ්වයකින් මේ පිළිබඳ වාර්තා වී තිබිණ. නමුත් රනිල්ගේ ගේම් ගැන දන්නා සජිත් ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලයක් පෙන්වූයේ නැත. මන්ද යත් ගම් මට්ටමෙන් සජබය සහ එජාපය මේ වනවිට එක්වෙමින් පවතින නිසා එය රනිල්ට විශාල ගැටලුවක් වී ඇති බව සජිත් දනී. එම නිසා විවිධ උප්පරවැට්ටි යොදමින් රනිල් එම එකතුව කැඩීමට සැලසුම් කරමින් සිටින බවද සජිත් දනී. අදාළ පුවත වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලයක් සජිත් නොදැක්වූයේ ඒ හේතුව නිසාය.










