සජිත් සහ අනුර මේ ආකාරයට පසුගිය සති කිහිපයේ යාපන සංචාරය පිළිබඳ සැලසුම් සකස් කරද්දී ජනාධිපතිවරයා සැලසුම් කළේ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරටත් අගමැතිවරයා බවට පත්වීමේ උත්සවයට සහභාගි වී ලංකාව ඇතුළේ ලොකු මාධ්‍ය සංදර්ශනයක් පවත්වන ආකාරය පිළිබඳවය. ඒ අනුව ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබුණේ සිය ඉන්දීය සංචාරයේදී මෝදිට පළමුවෙන්ම ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කොට එම ආරාධනාව පිළිගැනීමෙන් පසු ලංකාව ඇතුළේ ලොකු ෂෝ එකක් පෙන්වන්නටය. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසිමාවේ මෝදිව ලංකාවට කෙසේ හෝ ගෙන්වාගෙන මැතිවරණ වේදිකාවේ ලොකු ගැම්මක් ගන්නට තිරය පිටුපස නිල නොවන මට්ටමේ සාකච්ඡාවක්ද ජනාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබ තිබිණි.Sri Lanka Latest News
කෙසේ වෙතත් ඉන්දියාව පැත්තෙන් මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ජනාධිපතිවරයාට පමණක් නොව මාලදිවයින, නේපාලය, භූතානය, බංග්ලාදේශය යන කලාපයේ අනෙකුත් රාජ්‍ය නායකයන්ටද නිල වශයෙන් ආරාධනා කර තිබිණි. ඇතැම් ආරාධනාවන් පෞද්ගලිකව මෝදි විසින් කතාකොට සිදුකරනු ලැබ තිබූ ඒවා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිණි.
කෙසේ වෙතත් විශාල මාධ්‍ය කණ්ඩායමක් සමග ලොකු මීඩියා ෂෝ එකක් දැමීමට ජනාධිපතිවරයා ඉන්දියාවට ගියද ජනාධිපතිවරයාව පිළිගැනීමට දිල්ලි ගුවන් තොටුපළට පැමිණ තිබුණේ ඉන්දීය රජයේ අතිරේක ලේකම්වරයෙකි. එමෙන්ම මෙම දිවුරුම් දීමේ උත්සවයේදී තරුව බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව, මාලදිවයිනේ නව ජනාධිපතිවරයාය. මන්ද යත් මාලදිවයිනේ නව ජනාධිපතිවරයා චීනය සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ඉන්දීය අගමැතිවරයා හා මාලදිවයින් ජනාධිපතිවරයා අතර පැවැතියේ සීතල යුද්ධයකි. නමුත් මෝදි කළ ආරාධනය පිළිගෙන මාලදිවයින් ජනාධිපතිවරයා මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී තිබීම හේතුවෙන් සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ අපේ ජනාධිපතිවරයාටත් වඩා මාලදිවයින් ජනාධිපතිවරයා වෙතය.
රනිල්ට විනාඩි 3යි
මීට අමතරව මෝදි විසින් මෙම උත්සවයට සහභාගි වී සිටි සෑම රාජ්‍ය නායකයකුටම තමන් සමග සාකච්ඡා කිරීමට විනාඩි තුනක කාලයක් ලබාදී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාටද මෝදි සමග පෞද්ගලිකව කතාකිරීමට හැකි වූයේ එම විනාඩි තුනක කාලය ඇතුළතය.
එමෙන්ම ජනාධිපතිවරයා හා ගාන්ධි පවුල අතර, අතීතයේ සිටම පැවැතියේ ඉතා සමීප සබඳතාවකි. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ ගාන්ධි පවුල හා ජනාධිපතිවරයා අතර හමුවක්ද පැවැත්වෙනු ඇතැයි කියාය. නමුත් මෙම උත්සවයට සමගාමීව ගාන්ධි පවුල බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය පමණක් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම අවස්ථාවට ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි, සෝනියා ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධිද එක්ව සිටියහ.
මෙවැනි වාතාවරණයක් යටතේ කලින් සැලසුම් කරගත් පරිදි ඉන්දීය සංචාරයෙන් ලොකු හයියක් ගැනීමට නොහැකි වීම නිසා හිටිහැටියේම සංචාරය අවසානයේදී ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කෙරුණු පණිවුඩයක දැක්වුණේ ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන ලෙසට මෝදිට ආරාධනා කළ බවත්, මෝදි එම ආරාධනාව පිළිගත් බවත්, අගෝස්තු මාසයේදී මෝදි ලංකාවේ සංචාරය කරනු ඇති බවත්ය. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් වුවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ ඉන්දීය මාධ්‍ය මගින් එවැනි නිවේදනයක් නිකුත් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එමෙන්ම අගෝස්තුව වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වී තිබීම නිසා එවැනි මැතිවරණ කාලයකදී මෝදි ලංකාවේ සංචාරය කරනු ඇතැයිද සිතිය නොහැකිය.