පසුගිය සතියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සජබ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් හා හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අතර රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවත්වී තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අප කළ අනාවරණය මෙසේය.
‘මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් කියන්නට යන්නේ ජූලි චන්ග් සහ ජනාධිපතිවරයා අතර ඇති විශේෂ හිතවත්කම පිළිබඳ නොව, ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති සමීප හිතවත්කමක් ගැනය. අපගේ කතාවට හේතුපාදක වන්නේ පසුගිය බදාදා රාත්‍රියේදී ජූලි චන්ග් විසින් පවත්වා තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකි.
සාමාන්‍යයෙන් ජූලි චන්ග් විසින් භෝජන සංග්‍රහයක් පැවැත්වීම විශේෂ කරුණක් නොවන නමුත්, මෙම භෝජන සංග්‍රහයේදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට සහභාගි වී සිටි පුද්ගලයන් නිසාය. මන්ද යත් ඊට සහභාගි වී සිටියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක සහ සජබ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ හර්ෂ ද සිල්වාත්, කබීර් හෂීමුත්ය.
ඉතා රහසිගතව පැවැති මෙම රාත්‍රි භෝජන සංග්‍රහය පිළිබඳ තොරතුරු පසුව යම් යම් මාධ්‍යවලටද අනාවරණ කෙරී තිබිණි. සාමාන්‍යයෙන් සජබ මන්ත්‍රීවරුන් සහභාගි වන මෙවැනි භෝජන සංග්‍රහයන් පිළිබඳ හීන්සීරුවේ මාධ්‍යයට ලීක් කිරීම කාලයක් තිස්සේ රනිල් ගෙනගිය උපක්‍රමයක් වී තිබූ අතර, මෙම රාත්‍රි භෝජන සංග්‍රහයද අවසන් වූ වහාම රනිල්ගේ පාර්ශ්වයෙන් එය යම් යම් පාර්ශ්වයන් හට ලීක් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. අප එසේ කියන්නේ අපටද එම පුවත රනිල්ගේ පාර්ශ්වයෙන් ලැබීම නිසාය.’
නමුත් මෙම සිදුවීමේ ඇති විශේෂත්වය වන්නේ රනිල්ගේ කේන්දරයට අනුව සෙනසුරු වක්‍ර වීම හරහා යම් සහනයක් ලැබෙනු ඇති බවට මත පළවෙමින් තිබියදී මෙම හමුව සිදුවීමය. අප මුලිනුත් කී ආකාරයට රනිල් මේ වනවිට සිටින්නේ සජබය ඇතුළේ අර්බුද නිර්මාණය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමිනි. ඒ අනුව රනිල් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පසුගිය දින කීපයේ පෞද්ගලිකවම කැඳවා ඔවුන්ට විවිධ යෝජනා සහ ‘ලණු’ දෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එසේ රනිල් සමග සාකච්ඡාවට ගිය එක් මන්ත්‍රිවරයකු වූයේ දයාසිරි ජයසේකරය. රනිල් දයාසිරිට දී තිබූ ලණුව වූයේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවට දයාසිරිට පත්වීමට හැකියාව ඇතැයි කියාය. නමුත් රනිල් සමග හමුවෙන් පසු දයාසිරි හිතවතුන්ට කියා තිබුණේ ‘මම රනිල් ගැන දන්නවා. මම දැන් එයාගේ ලණු කන්නේ නෑ’ යැයි කියාය. කෙසේ වෙතත් කබීර්, හර්ෂ සහ එක්ව ජූලි චන්ග් සමග පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු රනිල්ගේ පාර්ශ්වයෙන් එම පුවත ලීක් කිරීම හරහා බොහෝ දෙනා සැක පහළ කර තිබුණේ රනිල් මේ මෙහෙයුමට ජූලි චන්ග්වත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඈඳාගත්තාදැයි කියාය.
මෙන්න කතා වෙච්ච දේවල්
ඒ කොයිහැටි වෙතත් චන්ග් රනිල්, හර්ෂ, සාගල, කබීර් සමග පැවැති සාකච්ඡා පිළිබඳ වෙනත් මූලාශ්‍රයන්වලින් බොහෝ තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට අප වෙත වාර්තා වී තිබේ. ඉන් එක් මූලාශ්‍රයකින් කියැවුණේ ආණ්ඩුව මේ දිනවල සම්මත කිරීමට සූදානමින් සිටින විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙසේ රනිල් ඇතුළු කණ්ඩායම කැඳවූ බවකි. නමුත් ප්‍රශ්නය වන්නේ දැනට කිසිදු බලයක් නැති රනිල්ට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්දැයි කියාය.
තවත් මූලාශ්‍රයකින් කියැවුණේ ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී ලංකාව සහ ඇමෙරිකානු සමාගමක් වූ ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර අස්සන් තැබූ එල්.එන්.ජී. ගිවිසුම සක්‍රීය කරගැනීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වුණු බවකි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩු සමයේදී මේ සම්බන්ධයෙන් එවක විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, එම විරෝධය නොතකා රාජපක්ෂ ආණ්ඩුව අදාළ ගිවිසුම අස්සන් කිරීමට පියවර ගෙන තිබිණි. ගිවිසුම අස්සන් කළද සමාජයෙන් මතුවූ විරෝධය හමුවේ එය ක්‍රියාත්මක තලයට ගියේ නැත. ඒ අනුව මෙම සාකච්ඡාවේදී අදාළ එල්.එන්.ජී. ව්‍යාපෘතිය නැවත වතාවක් සක්‍රීය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවක් එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
නමුත් බොහෝ දෙනා කියා සිටින කාරණාවක් වන්නේ රනිල් සජබ නියෝජිතයන් වන කබීර් සහ හර්ෂ සමග මෙම සාකච්ඡාවට එක්වූයේම සජබය ඇතුළේ අර්බුදයක් නිර්මාණය කිරීමට යැයි කියාය. මන්ද යත් රනිල් සමග මෙවැනි රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වන බවක් කබීර් හෝ හර්ෂ කල් තියා සජිත්ව දැනුවත් කර තිබුණේ නැත. නමුත් ජූලි චන්ග් සමග මේ සියලු දෙනා රාත්‍රි භෝජන සංග්‍රහයේ සිටිද්දීම සජිත්ට වෙනත් පාර්ශ්වයකින් මේ පිළිබඳ වාර්තා වී තිබිණ. නමුත් රනිල්ගේ ගේම් ගැන දන්නා සජිත් ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලයක් පෙන්වූයේ නැත. මන්ද යත් ගම් මට්ටමෙන් සජබය සහ එජාපය මේ වනවිට එක්වෙමින් පවතින නිසා එය රනිල්ට විශාල ගැටලුවක් වී ඇති බව සජිත් දනී. එම නිසා විවිධ උප්පරවැට්ටි යොදමින් රනිල් එම එකතුව කැඩීමට සැලසුම් කරමින් සිටින බවද සජිත් දනී. අදාළ පුවත වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලයක් සජිත් නොදැක්වූයේ ඒ හේතුව නිසාය.










