ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳවැටීම පිළිබඳ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජේ ෂා වෙත ශ්‍රී ලංකා රජය අද නිල වශයෙන් කණගාටුව ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කළ අතර ඔවුන් සඳහන් කළේ, වරද පැවරිය යුත්තේ මෙරට පරිපාලකයන්ට මිස බාහිර ලෝකයට නොවන බවයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජේ ෂා සම්බන්ධ කරගත් බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු පැවසීය.
ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තහනම බලපාන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම රටට අහිතකර බව ඇමැති හරීන් ප්‍රනාන්දු අනතුරු ඇඟවීය.
“අයිසීසී තහනම ඉවත් නොකළහොත් තරගාවලිය සඳහා කිසිවකු ශ්‍රී ලංකාවට එන්නේ නැහැ . ශ්‍රී ලංකාවත් ක්‍රිකට් තරගාවලියෙන් එක සතයක්වත් උපයන්නේ නැහැ.” යනුවෙන් ඔහු පෙන්වාදුන්නේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති කංචන විජේසේකර කියාසිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විදේශ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුවට බලය පවරා ඇති බවයි.
ඒ අනුව එම කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් රැස්වීමක් ඉල්ලා ඇති බවයි ඇමැති විජේසේකර වැඩිදුරටත් කියාසිටියේය.
කමිටුවේ කර්තව්‍යය පැහැදිලි කරමින් ඇමැතිවරයා කියාසිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටා ඇති වත්මන් අර්බුදය අධ්‍යයනය කර අවශ්‍ය වෙනස්කම් සඳහා සුදුසු නිර්දේශ ලබාදීම කමිටුවට පැවරෙන බවයි.
“අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අදාළ සාකච්ඡා පවත්වා තිබෙනවා. කෙසේවෙතත්, අපගේ මූලික වගකීම වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම ඉවත් කිරීමට කටයුතු කිරීමයි,” ඔහු පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තහනම පිරිමි ජාතික කණ්ඩායමට පමණක් නොව කාන්තා කණ්ඩායමට මෙන්ම 21න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වලටද බලපාන බවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉදිරියට යෑමට ඉඩ නොදෙන බවත් ඇමැති විජේසේකර වැඩිදුරටත් පැවසීය.
මේ මස මුලදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පාලක මණ්ඩලය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.










