චමල් බැසිල්ට එළිපිට ගහයි!
බැසිල්ට යකා නගී! බහාම එන්න තීන්දු කරයි!
යෝෂිතයි රෝහිතයි මහින්දට යන්න නොදෙන හේතුව හෙළිවෙයි!
මැතිවරණ කොමිසමේ සභාපති ගහන ඩබල් ගේම!
3 වැනිදා ලංකාව දුප්පත් වෙයි!
22 ගෙනා විනාශය!
22 වැනි සංශෝධනය යනු 19 වැනි සංශෝධනය තරමටම ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම්වලින් ගහන එකක් යැයි කිවහොත් එහි කිසිදු අතිශයෝක්තියක් නැත. ඊට හේතුව වන්නේ 19 වැනි සංශෝධනය හා සමානවම 22 වැනි සංශෝධනය හරහාද රටේ දේශපාලනයේ මෙන්ම පක්ෂ දේශපාලනයේද හැලහැප්පීම් විශාල ප්‍රමාණයක් සිදුවීමය. පසුගිය සතියේ අපි මෙම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා කිරීමට පියවර ගත්තෙමු. උදාහරණයක් ලෙස 22 වැනි සංශෝධනය මූලික කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ පිල ලෙස සැලකෙන සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායම ඊට විරුද්ධව අදහස් දැක්වූ ආකාරයක් අපි එහිදී අනාවරණ කළෙමු.
රාජපක්ෂ පවුලත් පුපුරයි!
කෙසේ වෙතත් පොහොට්ටුව ඇතුළේ සිදුවූ බෙදීමටත් වඩා බරපතළ බෙදීමක් 22 මුල් කරගෙන සිදුවූයේ රාජපක්ෂ පවුල ඇතුළේය. බෙදීමකටත් වඩා 22 මුල් කරගෙන රාජපක්ෂ පවුල ඇතුළේ සිදුවූයේ පිපිරුමකි. කාලයක් පුරා රාජපක්ෂ පවුල ඇතුළේ මේ දේශපාලන කඹ ඇදිල්ල හොර රහසේම ආරම්භ වී තිබූ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුවූ විවිධ සිදුවීම් මුල් කරගෙන මෙම බෙදීම උඩුදුවමින් තිබිණි. ගෝඨාගේ පාලන සමයේදී සිදුවූ ඇතැම් සිදුවීම් අප මෙම තීරය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තේ එවැනි බෙදීමක් සිදුවෙමින් පවතින බවට පළමු වතාවට රටට දැනුම් දෙමිනි. එහිදී අපි රාජපක්ෂ පවුලේ අනාගත දේශපාලන ඔටුන්න මුල්කරගෙන මෙම බෙදීම ආරම්භ වී ඇති බව පෙන්වා දීමට පියවර ගත්තෙමු.
ඔටුන්න හිමි කුමාරයා?
කවුරුත් දන්නා පරිදි රාජපක්ෂ පවුලේ දේශපාලන ප්‍රධානියා වන්නේ වෙන කවුරුවත් නොව මහින්ද රාජපක්ෂය. චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නිපුන රණවක යන මෙකී නොකී රාජපක්ෂලා දේශපාලනය කළද රාජපක්ෂවරුන්ගේ දේශපාලන බලාධිකාරිය ගොඩනැගී තිබුණේ මහින්ද මූලික කරගෙනය.
මහින්ද ජනාධිපතිකම් කරද්දී රාජපක්ෂ පවුල ඇතුළේ කිසිදු බෙදීමක් දැකගන්නට නොලැබුණද මහින්දගේ පරාජයෙන් පසු, එසේත් නැතිනම් මහින්දගේ දේශපාලන විශ්‍රාම යෑමෙන් පසු රාජපක්ෂ පවුලේ දේශපාලන ඔටුන්න හිමිවිය යුත්තේ කාටද යන්න මුල් කරගෙන මෙම ගැටුම පවුල ඇතුළේ මෝදුවෙමින් තිබිණි. සාමාන්‍යයෙන් රට ඇතුළේ මෙන්ම පොහොට්ටුව ඇතුළේද මතය වී තිබුණේ මහින්දගෙන් පසු රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂ මහින්දගෙන් පසු රාජපක්ෂ පවුලේ දේශපාලන නායකත්වය දරනු ඇති බවය. එය තහවුරු කරමින් ගෝඨාද මුල් වටයේදී නාමල්ට කැබිනට් ඇමැතිකම් මෙන්ම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ වැඩ අධීක්ෂණය කිරීමට පවා හැකි වන පරිදි තනතුරු ලබාදීමට පියවර ගෙන තිබිණි.
ගෝඨා කනපිට ගහයි! නාමල්ට කොකා පෙන්වයි!
නමුත් කල් ගතවත්ම ගෝඨා සිය ස්ථාවරය වෙනස් කරමින් නාමල් දේශපාලන වගකීම්වලින් ඉවත් කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. රට ඇතුළේ මතුව ආ ඇතැම් විරෝධතා හේතුවෙන් ගෝඨා නාමල්ට ලබාදී තිබූ ඇමැතිකම් ගැලවීමටද පියවර ගත්තේය. නාමල් වෙනුවට රාජපක්ෂ පවුලේ වැඩිමලා වූ චමල් රාජපක්ෂගේ පුත් ශශීන්ද්‍ර රාජපක්ෂ ඔසවා තැබීමේ මෙහෙයුමක ගෝඨා සිටින ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණි. මෙය රාජපක්ෂ පවුල ඇතුළේ බෙදීම ප්‍රසිද්ධියේ එළියට ගෙන ආ ප්‍රධාන සිදුවීමක් විය. කෙසේ වෙතත් චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7ක මුදලක් නිකරුණේ ගෙවීම වැනි සිදුවීම් මුල් කරගෙන ශෂීන්ද්‍ර රාජපක්ෂට චෝදනා රැසක් එල්ල වූ අතර නැවත නාමල් රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා බවට පත්විය.
චමල් සටන අතට ගනී!
එමෙන්ම ගෝඨාගේ සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී. ජයසුන්දර මුල් කරගෙනද රාජපක්ෂ පවුල ඇතුළේ බෙදීමක් හටගෙන තිබිණි. ඒ අවස්ථා කිහිපයකදීම පී.බී.ට එරෙහිව චමල් අවි අමෝරා සිටීම නිසාය. මෙහිදී බැසිල් පී.බී.ට හිතවත් ස්ථාවරයක සිටීම හේතුකොටගෙන චමල් හා බැසිල් අතරද ඒ දිනවල යම් යම් වචන හුවමාරු සිදුවූ ආකාරය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි එකල වාර්තා කිරීමටද පියවර ගත්තෙමු.
මම ආයෙ එන්නේ නෑ කියපු කතාවේ රහස!
ඒ අනුව ගෝඨාගේ ජනාධිපති ධුරයේ අවසන් සමයේ පැවැති පොහොට්ටුවේ ප්‍රධාන රැස්වීමකදී චමල් සිය දේශපාලන විශ්‍රාම යෑම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පවා පියවර ගෙන තිබිණි. එහිදී චමල් කියා සිටියේ, ‘මේ මම පාර්ලිමේන්තු එන අන්තිම පාර. මීට පස්සේ මම ඡන්දෙ ඉල්ලන්නෙ නෑ…’ යැයි කියාය. ඒ අවස්ථාවේදී රට තුළ මතුව පැවැති රාජපක්ෂ විරෝධය මුල් කරගෙන චමල් එසේ ප්‍රකාශ කළ බවක් බොහෝ දෙනා සිතුවද චමල් එම ප්‍රකාශය කළේ රාජපක්ෂ විරෝධය නිසාම නොව වෙනත් කරුණක් ඔළුවේ තියාගෙනය. ඒ, ශෂීන්ද්‍රව රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා බවට පත්කිරීමේ මෙහෙයුම ඉක්මන් කිරීම සඳහාය. ඒ සඳහා චමල් අන්තිමේදී ආයුධය කරගත්තේ 22 වැනි සංශෝධනයය.
22ට බැසිල්-මහින්ද-නාමල් එරෙහිව!
22 වැනි සංශෝධනයේදී ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය මුල් කරගෙන මුල සිටම බැසිල්වාදීන් සිටියේ එය පරාජයට පත්කරන තැනකය. වරෙක ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් ජනාධිපතිවරයාගේ මුහුණටම කියා සිටියේ 22ට තම පක්ෂය විරුද්ධ බවත්, එම විරෝධය නොතකා 22 රැගෙන ආවොත් තමන් සමග සිටින 30ක පමණ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඊට එරෙහිව ඡන්දය ලබාදෙන බවත්, එසේ වුවහොත් ආණ්ඩුව පරාජයට පත්වීමේ වගකීම 22 රැගෙන එන පිරිස් විසින්ම භාරගත යුතු බවත්ය. සාගරගේ මෙම ප්‍රකාශය අනුව එළිපිට නොකීවද රාජපක්ෂ පවුලේ දේශපාලන මහ මොළකරු වශයෙන් සැලකෙන බැසිල් සිටින්නේ 22ට එරෙහි ස්ථාවරයක බව පොහොට්ටුවේ සාමාජිකයන්ට වැටහී ගොස් තිබිණි. එමෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවලදී නාමල්ද මෙම ස්ථාවරය ගෙන තිබීම හේතුවෙන් රාජපක්ෂ පවුලේ දේශපාලන ප්‍රබලයා වන මහින්දද සිටින්නේ 22ට එරෙහි තැනක බව මන්ත්‍රීවරුන්ට වටහා ගැනීමට අපහසු වූයේ නැත. ඒ අනුව ආරම්භයේදී 22ට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට හෝ 22ට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට පොහොට්ටුවේ 40ත් 50ත් අතර මන්ත්‍රීවරුන් පිරිසක් පෙළගැසී සිටින ආකාරයක් දැකගත හැකි විය.
චමල් වැඩේ අල කරයි!
නමුත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ චමල් සියල්ලන්ම පුදුමයට පත්කරමින් මහින්දටත්, බැසිල්ටත් එරෙහිව අදහස් දැක්වීම ආරම්භ කිරීමත් සමගය. වරෙක පැවැති පොහොට්ටුවේ රැස්වීමකින් පසු එළියට පැමිණි චමල් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග කියා සිටියේ, ‘මේක කරන්න දෙන්න බෑ. මේ හදන්නේ 22 කඩාකප්පල් කරන්න. අපි මේ වෙලාවේ ඉන්න ඕනෙ ආණ්ඩුවත් එක්ක. මෙහෙම කරන්න ගියොත් මම තීන්දුවක් ගන්නවා…’ යැයි කියාය. මොහොතක් යෑමට මත්තෙන් චමල් එළියේ කළ මෙම කතාව පොහොට්ටුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටද දැනගන්නට ලැබුණු අතර 22 මුල් කරගෙන චමල් පළමු වරට දේශපාලන පෙරළියකට සූදානම් වන බව එහිදී බොහෝ දෙනාට වැටහී ගිය කාරණාවක් විය. විශේෂයෙන් එළියට නොපෙනෙන්නට මහින්ද, බැසිල්, නාමල් 22 පරාජය කිරීමේ සැලසුම ක්‍රියාත්මක කොට තිබියදී චමල් 22 සම්මත කිරීමට සුදානම් වීම හරහා රාජපක්ෂ පවුලේ බෙදීමක් මතුව ඇති බව මන්ත්‍රීවරුන්ට තවදුරටත් රහසක් නොවීය.
පොහොට්ටුවම හෙල්ලෙයි!
රාජපක්ෂ පවුලේ එළිපිට සිදුවුණු මේ පිපිරුම හේතුකොටගෙන මුල් වටයේදී 22ට එරෙහිව සිටි 50ක පමණ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමද සෙලවී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ බව දුටු චමල් පවුල ඇතුළු ඇතුළේ බෙදීම ප්‍රසිද්ධියේම කරළියට ගෙන එමින් බැසිල්ට එරෙහිව පළමු ප්‍රකාශයද නිකුත් කිරීමට කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම බැසිල් දේශපාලන කරනවා නම් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන සිටිය යුතු බවට මෙහිදී චමල් මන්ත්‍රීවරුන් සමග කළ ප්‍රකාශය මහත් ආන්දෝලනාත්මක එකක් විය.
බැසිල්ට දුන් ෂොට් එක!
‘දැන් මේ බැසිල් වුණත් පිටරට ඉඳලා නූල් සූත්තර දාලා හරියන්නේ නෑ. එයා දේශපාලනය කරනවා නම් ලංකාවට ඇවිත් දේශපාලනය කරන්න ඕනෙ. දැන් ඔය ගෝඨා ජනාධිපතිවරණයට එද්දී ද්විත්ව පුරවැසිකම අයින් කරගෙන ආවේ. ඒ වගේ බැසිලුත් දේශපාලනය කරනවා නම් ද්විත්ව පුරවැසිකම අහෝසි කරගෙන එන්න ඕනෙ…’ යැයි එහිදී චමල් ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රකාශය හරහා චමල් සිටින්නේ රාජපක්ෂවරුන්ට එරෙහි ස්ථාවරයක බව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තහවුරු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
චමල් එළිපිට ගහයි!
මෙම තත්ත්වය යටතේ 22 සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා පොහොට්ටුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්විණි. නිසැක වශයෙන්ම ඊට සහභාගි වුවහොත් පවුලේ බෙදීම එළියට පෙනෙණු ඇති බව දැන මහින්ද ඊට සහභාගි වීම මඟහැරීමට තීරණය කොට තිබිණි. එමෙන්ම ඒ වන විටත් මහින්ද සහ නාමල් තීරණය කොට තිබුණේ 22ට ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට නොපැමිණ සිටීමටය. කෙසේ වෙතත් නාමල් මෙම රැස්වීමට පැමිණි අතර මහින්ද නොමැති වීම මත චමල් රැස්වීමේ මුලසුන ගැනීමට පියවර ගෙන තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සියල්ලන්ම පුදුමයට පත්කරමින් චමල් 22ට පක්ෂව ප්‍රසිද්ධියේම අදහස් දැක්වීමය. එහිදී නාමල් චමල්ගෙන් යම් යම් ප්‍රශ්න විමසා සිටියත් චමල්ගේ ස්ථාවරයට ඍජුව විරෝධය පළ කිරීමේ ශක්තියක් නාමල්ටද තිබුණේ නැත. ඒ අනුව අවසානයේදී මන්ත්‍රී කණ්ඩායම හමුවේ කී පරිදිම චමල් 22ට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. සිය පියා අනුගමනය කරමින් ශෂීන්ද්‍රද 22ට ඡන්දය ප්‍රකාශ කළ අතර පවුලේ බෙදීම තරමක් හෝ සමනය කරගැනීම සඳහා මුලින් ඡන්දය නොදෙන ස්ථාවරයක සිටි නාමල්ද 22ට පක්ෂව ඡන්දය ලබාදීමට පියවර ගත්තේය. නමුත් මහින්ද එදින පාර්ලිමේන්තුවට පැමිණීමට පියවර ගෙන තිබුණේ නැත.
බැසිල්ගේ දේශපාලනය චමල් අවසන් කරයි!
මේ ආකාරයට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීම වළක්වමින් සම්මත කෙරුණු 22 වැනි සංශෝධනයට පක්ෂව චමල්, ශෂීන්ද්‍ර සහ නාමල් අත එසවීමත් සමග බැසිල්ගේ දේශපාලනය අවසන් වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම තමන්ගේ දේශපාලනය අවසන් කිරීමට සිය පවුලේම ඥාතීන් වූ චමල් සහ ශෂීන්ද්‍ර පියවර ගෙන ඇති බව දුටු බැසිල් දැඩි ලෙස කෝපයටත්, කලකිරීමටත් පත්ව සිටි බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ සම්බන්ධයෙන් මුල සිටම මන්ත්‍රීවරුන් බැසිල්ට තොරතුරු වාර්තා කර තිබූ අතර ඔවුන් සමගද බැසිල් කෝපයෙන් යුතුව අදහස් හුවමාරු කරගෙන තිබූ බවක් දැකගත හැකි විය.
බැසිල්ට යකා නගී! මොනවා කරයිද!
ඒ අනුව දැන් බැසිල් කුමක් කරනු ඇතිද? දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වේවිද? ලංකාවට නොපැමිණ ඇමෙරිකාවේම නවතිනු ඇතිද?
‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වූ තොරතුරුවලට අනුව 22 සම්මත වීමත් සමග බැසිල් ක්ෂණිකව තීන්දු කර තිබුණේ ගෝඨා මෙන්ම ද්විත්ව පුරවැසිභාවය අහෝසි කොටගෙන වහාම ශ්‍රී ලංකාවට පැමිණ යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමටය. විශේෂයෙන් පොහොට්ටුව යළි ප්‍රතිසංවිධාන කොට එළඹෙන පළාත් පාලන මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම බැසිල්ගේ සැලසුම වී තිබිණි. තමන්ට කතා කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම බැසිල් මේ බව දැනුම් දීමටද පළමු අදියරේදී පියවර ගෙන තිබිණි.
තීන්දුව වෙනස් කරයි! රිවස් ගියර් දමයි!
කෙසේ වෙතත් ඉකුත් බ්‍රහස්පතින්දා දිනය වන විට බැසිල්ගේ මෙම තීන්දුව යම් වෙනසකට ලක්ව තිබිණි. ඒ අනුව තව සති කිහිපයක් ඇමෙරිකාවේ රැඳී සිටීමටත්, ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළහොත් පමණක් ලංකාවට පැමිණීමටත් බැසිල් මේ වන විට තීන්දු කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එසේ නොමැති වුවහොත් බැසිල් නැවත ලංකාවට පැමිණෙන දිනයක් කිව නොහැකි බව බැසිල්ට සමීප ආරංචි මාර්ගවල මතය වී තිබේ.
ගෝඨා රට විතරක් නෙමෙයි පවුලටත් ඉතිරි කරපු දේ!
ඒ අනුව අවසානයේ එකක් පැහැදිලිය. ඒ, ගෝඨා දේශපාලනයට ගෙන ඒම හරහා පොහොට්ටුවේ දේශපාලනයට සහ රාජපක්ෂවරුන්ගේ දේශපාලනට කණකොකා හැඬුවා පමණක් නොව, රාජපක්ෂ පවුල ඇතුළේ මෙතෙක් තිබූ සමගියටද කණකොකා හඬා ඇති බවය.
මහින්ද කරන්න යන දේ!
මෙහිදී බොහෝ දෙනා බලා සිටින්නේ රාජපක්ෂ පවුලේ දේශපාලන ප්‍රබලයා වන මහින්ද කරන්නට යන දේ පිළිබඳවය. පසුගිය කාලසීමාව පුරාම පොහොට්ටුව ඔළුව උස්සාගත නොහැකිව බිමටම වැටී සිටියදී මහින්ද හමුවුණු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සියල්ලම පාහේ මහින්දට දැනුම්දී සිටියේ නිහඬව සිටි කාලය ප්‍රමාණවත් බවත්, මහින්ද යළි සක්‍රීය දේශපාලනයට පැමිණ පක්ෂය ඔසවාලීමට පියවර ගත යුතු බවත්ය. ඒ අනුව ‘එක්ව නැඟිටිමු’ යනුවෙන් මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට පියවර ගැනිණි.
තවත් ඉන්නේ ඇයි?
කෙසේ වෙතත් පසුගිය කාලයේදී අවස්ථා කිහිපයකදීම මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සැලසුම් කොට තිබුණද ඒ සෑම අවස්ථාවකදීම පවුල ඇතුළෙන් පැමිණි බලපෑම හේතුවෙන් මහින්ද තීන්දුවක් ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියේය. ඒ අවස්ථාවලදී පවුල ඇතුළෙන් ආ ප්‍රධානතම යෝජනාව වූයේ නාමල්ට පක්ෂයේ අනාගතය නිල වශයෙන් භාරදෙන තෙක් සහ නාමල් දේශපාලන වශයෙන් ස්ථාවර වන තෙක් මහින්ද දේශපාලනයේ යෙදී සිටිය යුතු බවය. ඒ හේතුවෙන්ම මහින්දද අපහසුවෙන් හෝ නාමල් වෙනුවෙන් දිගින් දිගටම දේශපාලනයේ යෙදී සිටින ආකාරයක් දැකගන්නට ලැබිණි.
යෝෂිතයි-රෝහිතයි කරන දේ!
නමුත් මේ වන විට අපට ඇති ආරංචිවලට අනුව නාමල්ටත් වඩා ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂත් මහින්ද තවදුරටත් දේශපාලනයේ තබාගැනීමට දැඩි උනන්දුවකින් පසුවන බවක් දැනගන්නට ඇත. නැතහොත් නාමල්ට වඩා රාජපක්ෂ පවුල ඇතුළේ මේ වන විට යෝෂිත හා රෝහිත බලවත් වී ඇති බවක් දැකගන්නට තිබේ. මේ සඳහා හේතුවී ඇත්තේ මහින්ද ලවා යම් යම් ස්ථානවලට සහ පුද්ගලයන්ට විවිධ කරුණු මත දුරකතන ඇමතුම් ලබාදීමට යෝෂිතටත් රෝහිතටත් අවස්ථාව ලැබී තිබීමය.
හතර වටේටම කෝල්ස්!
පසුගිය කාලයේ යෝෂිතත්, රෝහිතත් බොහෝ ව්‍යාපාර කටයුතුවලට පෙළඹී ඇති බවට මාධ්‍ය වාර්තා පළව තිබුණේ වරක් දෙවරක් නොවේ. විවිධ අවස්ථාවලදී තෙල් ගෙන්වීමේ ව්‍යාපාර, ගල්අඟුරු ව්‍යාපාර ඇතුළු ආන්දෝලනාත්මක ව්‍යාපාර ගණනාවකදීම යම් යම් ගනුදෙනුවලට රජ පවුලේ පුතුන් සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී පවා චෝදනා එල්ල විය. එක් අවස්ථාවකදී සමාජ මාධ්‍ය ජාලා වාර්තා කොට තිබුණේ තිළිණි ප්‍රියමාලි සමගද මුදල් ගනුදෙනු සිදුකොට ඇති බවට චෝදනා එල්ලවී ඇති බවය. ඒ අනුව ගෝඨාගේ ආණ්ඩුවේ සිටි අගමැති මහින්දට වඩා පිළිගැනීමක් වත්මන් ආණ්ඩුව යටතේ මහින්දට හිමිව ඇති බැවිනුත්, මහින්ද කියන යම් යම් දේ වහවහා ඉටුවන බැවිනුත් යෝෂිතත්, රෝහිතත් මහින්ද ලවා විවිධ අවස්ථාවලදී යම් යම් ප්‍රබල පුද්ගලයන්ට දුරකතන ඇමතුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මහින්දත් විවිධ තරාතිරමේ ලේකම්වරුන්ට, අමාත්‍යවරුන්ට පමණක් නොව ඇතැම් විට ජනාධිපතිවරයාට පවා ඇමතුම් ලබාදී යෝෂිතගේත් රෝහිතගේත් වැඩකටයුතු සාර්ථක කරදී ඇති බවක්ද ආරංචිය. ඒ අනුව මහින්දට දේශපාලන තීන්දුවක් ගැනීමට ඉඩ නොතබා තවදුරටත් දේශපාලනයේ සිරකරගෙන තබාගෙන සිටින්නේ නාමල්ටත් වඩා ඔවුන් දෙදෙනා බව බොහෝ දෙනාගේ මතයය.
ගෝඨාභයව පොහොට්ටුවටත් එපා වෙයි!
අනෙක් අතට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට සිටින්නේ මලලසේකර මාවතේ ඔහුට ලබාදී ඇති අලුත් නිල නිවෙසට වී හුදෙකලාවය. මේ වන විට පොහොට්ටුව ආසන බලමණ්ඩල රැස්වීම් පැවැත්වීම ආරම්භ කර ඇති බැවින් ගෝඨාට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම ගෝඨාවද පොහොට්ටු වේදිකාවට කැඳවීමට යෝජනා කර ඇතත් මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පෙන්වා දී ඇත්තේ ගෝඨා රට අතහැර පලා ගිය ජනාධිපතිවරයකු බැවින් එවැන්නකු පොහොට්ටු වේදිකාවට යළි නංවාලීම පක්ෂයට ඍණත්මක ලෙස බලපානු ඇති බවය. ඒ අනුව ගෝඨා පොහොට්ටු වේදිකාවට ගොඩකරවා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පසුගිය සතියේ තීරණය කළහ.
ගෝලයා මහින්දානන්ද!
කෙසේ වෙතත් හඬක් නැති ගෝඨාගේ හඬ බවට මේ වන විට පත්ව සිටින්නේද පොහොට්ටුවේම ජ්‍යෙෂ්ඨයෙකි. ඒ වෙන කවුරුවත් නොව මහින්දානන්ද අලුත්ගමගේ මහතාය. ගෝඨාගේ අදහස් මේ දිනවල පොහොට්ටුව වෙත රැගෙන යමින් සිටින්නේ මහින්දානන්දය. 22 සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ සාකච්ඡා කරද්දී මහින්දානන්ද සිටියේද 22ට සහාය පළ කළ යුතු බවට වූ ස්ථාවරයේය. ඒ අනුව බොහෝ දෙනා කියන්නේ ගෝඨාද නාමල්, ශෂීන්ද්‍ර මෙන්ම 22ට සහාය දිය යුතු බවට වූ ස්ථාවරයේ සිටින බවය.
ජන්ද කොමිසම ගහන ඩබල් ගේම!
මේ සියල්ල අතරවාරයේ මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මුල් කරගෙන මේ දිනවල දෙබිඩි පිළිවෙතක පිහිටා කටයුතු කරන ආකාරයක් දැකගන්නට තිබේ. මෙම තීරයේ මීට සති දෙකකට ඉහතදී සඳහන් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ව්‍යවස්ථාවෙන්ම මැතිවරණ කොමිසම වෙත බලතල හිමිව තිබුණද තවමත් කොමිසම ඒ සඳහා දින වකවානු ප්‍රකාශ කොට නැත. ඊට හේතු වශයෙන් කොමිසම පෙන්වා දුන්නේ ඔක්තෝබර් අවසන් වන තෙක් නව ලියාපදිංචි වීම් සඳහා ඉඩ ලබාදී ඇති බවත්, එසේ නොකළහොත් තරුණ ඡන්ද ලක්ෂ දෙකහමාරකට පමණ අසාධාරණයක් වනු ඇති බවත්ය. එම කටයුතු අවසන් කළ සැණින් පළාත් පාලන මැතිවරණය කැඳවන බවත්, මාර්තු අවසන් වීමට පෙර මැතිවරණය පවත්වා අවසන් කරන බවත් මැතිවරණ කොමිසම එහිදී කියා සිටියේය. කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා අවස්ථා දෙකකදී මේ බව ප්‍රසිද්ධියේම මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමට වගබලා ගත්තේය.
රනිල්ගේ ජන්ද කල්දැමීම!
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ සැලසුම පළමු වරට ජනාධිපතිවරයා එළියට දැම්මේ එජාප වෘත්තීයවේදීන් සමග පැවැති සාකච්ඡාවකදීය. එහිදී ජනාධිපතිවරයා හීන්සීරුවේ කියා සිටියේ පළාත් පාලන සභිකයන් 8,000ක් පමණ සිටින බැවින් එය 4,000 දක්වා අඩු කළ යුතු බවත්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් සතු බලතල එම ප්‍රධානියාද ඇතුළත්ව සිටින කමිටුවකට පැවරිය යුතු බවත්ය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ අවශ්‍ය නම් එම සංශෝධන සිදුකිරීමට ජනමත විචාරණයක් හෝ පැවැත්විය හැකි බවකි.
විපක්ෂයම එක්වෙයි!
ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ අරමුණෙන් කළ එකක් බව වටහා ගැනීමට විපක්ෂයට එතරම් අසීරු නොවීය. ඒ අනුව මුළු විපක්ෂයම එක්ව පසුගිය සතිය වන විට පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයක් අස්සන් කළේ එම වෑයම පරාජය කිරිමට සූදානම්වය.
විජයදාස පළමු වෙඩිල්ල තියයි!
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත ලිපියක් යවමින් නව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කරන ලෙසටත් එහි සංයුතිය සකස් විය යුතු ආකාරය දැනුම් දීමටත් පියවර ගෙන තිබිණි. මෙම ක්‍රියාවලිය මාස 6ක් ඇතුළත අවසන් කළ යුතු බවටද එම ලිපිය මගින් විජයදාස කතානායකවරයාට දැනුම් දී තිබිණි.
සජිත් පෙනී හිටපු හේතුව!
ඒ අනුව ආණ්ඩුව මේ සූදානම් වන්නේ වෙන මොකකටවත් නොව පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව පත්කිරීම හරහා පළාත් සභා මැතිවරණය කල්දැමීමටය. කෙසේ වෙතත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවිය යුතු බැවින් බොහෝ දෙනා සිතා සිටින්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වන නිමල් පුංචිහේවා මහතා ඉන් ඉවත් කොට ආණ්ඩුවට හිතවත් අලුත් සභාපතිවරයකු පත් කරගෙන මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා යැයි කියාය. ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහතා යළිත් වතාවක් මැතිවරණ කොමිසමේ සභාපති ලෙස පත්කිරීමටද ආණ්ඩුවේ උත්සාහයක් පවතින බවකි. නමුත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුවට සිතූ සිතූ ආකාරයට සභාපතිවරුන් පත්කිරීමේ අවස්ථාවක් හිමිවන්නේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා එම පත්කිරීම් සිදුකිරීමේදී විපක්ෂ නායකවරයා විමසීමට අවශ්‍යය. මෙම තොරතුර වාර්තා වූ වහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ ආණ්ඩුව හිතූ හිතූ ආකාරයට කොමිෂන්වල සභාපතිවරුන් ඉවත් කිරීමට සූදානම් වන්නේ නම් එම සෙල්ලමට ඉඩ දීමට තමන් සූදානම් නැතැයි කියාය. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව කී සජිත්, ඊට ඉඩ නොතබන බවද ප්‍රසිද්ධියේම කියා සිටියේය.
මොනවත්ම කරලා නෑ!
සජිත්ගේ මෙම ප්‍රකාශයෙන් පසුව මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදී එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ස්තුතිය පළකිරීමටද පියවර ගත්තේය.
කෙසේ වෙතත් පුංචිහේවා අවස්ථා කිහිපයකදීම පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ප්‍රකාශ කර සිටියද ඔහු ගැන යම් සැකයක් මේ වන විට මතුව ඇත්තේ සැබැවින්ම වචනයෙන් කියන ලෙසට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවක් ඔහු සතුව තිබේද යන්න සම්බන්ධයෙන්ය. ඊටද හේතු වූයේ පසුගිය සතියේදී මැතිවරණ කොමිසමට සම්බන්ධ තවත් පාර්ශ්වයක් විසින් සජිත්ට කරනු ලැබූ දැනුම් දීමකි. එම දැනුම් දීමෙන් කියැවුණේ තවමත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය කරන අවම මූලික පියවර කිහිපය හෝ ගෙන නොමැති බවය.
පුංචිහේවා ලිස්සන හැටි!
විශේෂයෙන්ම මැතිවරණයක් පවත්වන්නට නම් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කළ යුතුව ඇති බැවින් අදාළ ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මේ වන විටත් අවශ්‍ය ලිපිය ආණ්ඩුව වෙත යවා තිබිය යුතුය. නමුත් තවමත් පුංචිහේවා එම ලිපිය හෝ යවා නොමැති බවක් දැනගන්නට ඇත. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් පුංචිහේවාගෙන් විමසද්දී, ‘අද යවනවා, හෙට යවනවා’ යැයි කියමින් පුංචිහේවා ඊට ලිස්සා යන ආකාරයේ පිළිතුරු ලබාදෙන බවද දැනගන්නට ඇත.
ඇතුළේ ගිනි පත්තුවෙයි!
අනෙක් අතට ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ මෙන් නොව පළාත් පාලන මැතිවරණය යනු ඉතා සංකීර්ණම මැතිවරණයකි. එය පැවැත්වීමේදී ඡන්ද පොළවල් සඳහා නියෝජිතයන් පත්කිරීමේ සිට විශාල වැඩකොටසක් සිදුකිරීමට ඇති අතර, ඒ සඳහා විශාල පිරිසක් බඳවා ගැනීමටද අවශ්‍යය. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස කිහිපයක් තිබුණත් තවමත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එවැන්නක් සිදුකරනවා තබා ඒ පිළිබඳ සිතාවත් නොමැති බවක් මෙම පණිවුඩවලින් සජිත්ට දැනගන්නට ලැබිණි. එම නිසා එම පාර්ශ්වයන් සජිත්ට තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කොට කටයුතු කරන්න යැයි කියාය. ඒ කතා කළ සැමටම සජිත් කියා සිටියේ තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ආරක්ෂා කරන ස්ථාවරයක පිහිටා අදහස් දැක්වූයේ මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවත්ය. යම් හෙයකින් මැතිවරණ කොමිසම ඡන්ද කල් දැමීමට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පියවර ගන්නා බවද සජිත් එහිදී කියා සිටියේය.
එහෙම කළොත් බලාගමු!
‘ජාත්‍යන්තරයෙන් ආණ්ඩුවට ලොකු බලපෑමක් තියෙනවා ඡන්ද තියන්න කියලා. ඒ අය කියන්නේ ලංකාවට උදව් කරන්න ඕනෙ නම් හරි ජන වරමක් තියෙන ආණ්ඩුවක් පත්වෙන්න ඕනෙ කියලයි. ඉතින් ආණ්ඩුවටත් ජන වරම පෙන්නන්න නම් අනිවාර්යයෙන්ම ඡන්දයක් තියන්න ඕනෙ. එතැනදී දිනන්නේ කවුද කියන එක අදාළ නෑ. ආණ්ඩුව දිනුවත්, අපි දිනුවත් රටට ආධාර ගන්න නම් ඡන්දෙ තියන්න ඕනෙමයි. අපට ආරංචියි බැසිලුයි පොහොට්ටුවයි ඉන්නෙත් ඡන්දෙ තියන්න කියන මතයේ. අපිත් ඕනෙ වෙලාවක ඕනෙම ඡන්දෙකට ලෑස්තියි. ජවිපෙත් ඡන්දයක් ඉල්ලනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ආණ්ඩුව ඡන්දයක් දෙන්න පස්ස ගහන එකයි. අපි ඒකට ඉඩ තියන්නේ නෑ. ඡන්ද ගන්නකල් අපි අපේ සටන දිගටම ගෙනියනවා’ යනුවෙන් කියමින් සජිත් ඒ සියලු දෙනාටම පිළිතුරු ලබාදුන්නේය.
ජන්දෙට බය හේතුව!
ඇත්තටම ආණ්ඩුව ඡන්දයක් තැබීමට මැළි වන්නේ ඇයි? මෙහිදී ආණ්ඩුවටත් වඩා ප්‍රශ්නය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය. මන්ද මැතිවරණයක් කැඳවුවහොත් සමගි ජන බලවේගය, පොහොට්ටුව, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ සිය අනන්‍යතාව තහවුරු කරමින් මැතිවරණයට ඉදිරිපත් වනු ඇත. නමුත් ගැටලුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න පිළිබඳවය. එජාපය මේ මොහොතේ පළාත් පාලන ඡන්දයකට ගියහොත් එජාපය සේදී යනවා පමණක් නොව, ජනාධිපතිවරයාට ජන වරම නොමැති බව තහවුරු වීමද මේ හරහා සිදුවේ. නමුත් පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නිල ප්‍රකාශයක් කොට නොමැත. සියල්ල ඇත්තේ නිල නොවන මට්ටමේය. නමුත් පාර්ලිමේන්තුව හරහා හෝ මැතිවරණය කල් දැමීමට කිසිවක් කළ නොහැකි බැවින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යම් කිසි උප්පරවැට්ටියක් ඉදිරිපත් වුවහොත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සියලු පක්ෂ මේ වන විට යම් තීන්දුවකට පැමිණ අවසන්ය.
පොහොට්ටුවත් එක පොටකට එයි!
පොහොට්ටුව තුළද ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ඔවුන්ද තීන්දු කළේ ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් ගෙන එන මොන යම් හෝ යෝජනාවකට එකඟ නොවීමටය. එමෙන්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂද මේ වන විට තීන්දු කර ඇත්තේ ආණ්ඩුව පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් හරහා ඡන්දය කල් දැමීමට උත්සාහ කළහොත් ඊට සිය පක්ෂවලින් කිසිදු සාමාජිකයෙක් නම් නොකිරීමටය. ඒ අනුව පාර්ලිමේන්තුව හරහා ඡන්දය කල් දමන ක්‍රියාවටද වැඩි ආයුෂක් නොමැති ආකාරයක් දැකගන්නට තිබේ. යම් හෙයකින් එවැනි උත්සාහයක් ගතහොත් විපක්ෂයද තීන්දු කොට ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෝ ආණ්ඩුවේ එම උත්සාහය පරාජයට පත්කිරීමටය. බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ එවැනි අධිකරණමය ක්‍රියාමාර්ගයකදී ආණ්ඩුවට වඩා විපක්ෂයට වැඩි වාසිසහගත තත්ත්වයක් උදාවනු ඇතැයි කියාය. මන්ද යත් ඒ සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ නියෝග කිහිපයක්ම ලබාදී තිබීම ඊට හේතුවය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට මේ වන විට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකක් පමණි. ඒ, එක්කෝ මැතිවරණ කොමිසමේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමය. එසේ නොමැති නම් නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමය. මේ දෙකෙන් කුමන තීරණයක් ගත්තද ආණ්ඩුව සිටින්නේ වාසිසහගත විකට්ටුවක නොවන බව සියල්ලන්ගේම මතය වී ඇත.
ද්විත්ව පුරවැසියන් 10 දෙනා!
22 වනි ව්‍යවස්ථාව සංශෝධනය වීමත් සමග මේ වන විට ආණ්ඩුවේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්ද යන්න හඳුනාගැනීමය. මේ වන විටත් විවිධ පාර්ශ්වයන් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් 10 දෙනකු පමණ සිටින බවය. නමුත් කිසිවකුත් ඒ 10 දෙනා කවුරුන්ද යන්න නම් වශයෙන් සඳහන් කොට නැත. කෙසේ වෙතත් කතානායකවරයා මෙන්ම මැතිවරණ කොමිසමද කියා සිටියේ ඔවුන් කවුරුන්ද යන්න සෙවීමට තමන්ට නොහැකි බවත්, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා එම කටයුතු සිදුවිය යුතු බවත්ය.
නඩු වැටෙයි!
කෙසේ වෙතත් පසුගිය සතියේ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම හේතුවෙන් කතානායකවරයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම නම් ඇතුළත් කොට ලිපියක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා තොරතුරු දැනුම් දෙන ලෙස දන්වා සිටියේය. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදුකළ කෙටි පරීක්ෂණයේදී මේ වන විට ආණ්ඩු පක්ෂයට සම්බන්ධව සිටින එක් මන්ත්‍රීවරයකු ද්විත්ව පුරවැසියකු වශයෙන් නිශ්චිතවම හඳුනාගෙන තිබේ. එමෙන්ම තවත් මන්ත්‍රීවරියක සම්බන්ධයෙන්ද මේ වන විට පැමිණිලි රාශියක් බලධාරීන් වෙත ලැබී ඇති බවද සඳහන්ය. යම් හෙයකින් මොවුන් ද්විත්ව පුරවැසියන් බව තහවුරු වුවහොත් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මැතිවරණවලට තරග වැදීම මුල්කරගෙන අපරාධ නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ලූ කියපු දේ!
පසුගිය සතියේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම්වරයා වන ඩොනල්ඩ් ලූ මහතා ලංකාවට පැමිණියේය. එම සංචාරයේදී ඒ මහතා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වූයේය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ ලංකාව ගොඩගැනීමට පහළ වූ හොඳම ජනාධිපතිවරයා මේ වන විට ලංකාවට ලැබී ඇතැයි ලූ මහතා විසින් පැවසුවා යැයි කියාය.
ඇත්තටම කියපු කතාව!
ජනාධිපති මාධ්‍ය ඒකකය මෙසේ සඳහන් කළද ජාත්‍යන්තර මාධ්‍ය නම් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එහි සඳහන් වූයේ ඩොනල්ඩ් ලූ මේ සාකච්ඡාවේදී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සෙයා බැලීම සඳහා කාර්යාලයක් ලංකාව තුළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇතැයි කියාය. එමෙන්ම ලංකාව ජිනීවා මානව හිමිකම් කොමිසම සමග සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතු බවද ඩොනල්ඩ් ලූ ආණ්ඩුවට දැනුම්දී තිබූ බවක් එහි සඳහන්ව තිබිණි.
3 වැනිදා ලංකාව දුප්පත් වෙයිද?
මේ අතර ඇමෙරිකානු රජයේ මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට පැමිණ ආණ්ඩුවේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට පසුගිය සතියේ පියවර ගත්තේය. ඒ, ලබන 03 වැනිදා ඇමෙරිකාවේ පිහිටි ලෝක බැංකු මූලස්ථානයේදී ආරම්භ වන විශේෂ රැස්වීමක් සම්බන්ධයෙනි. දැනටමත් ආණ්ඩුව ලංකාව දුප්පත් රටක් බවට නම් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ සමුළුවේදී සාකච්ඡා කොට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය. ආණ්ඩුව මෙසේ ලංකාව දුප්පත් රටක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර කල් යන වටපිටාවක් මතුව ඇති පසුබිමකය. ඒ අනුව ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ රට දුප්පත් යැයි ලෝකය හමුවේ ප්‍රකාශ කොට ඒ හරහා ලෝක බැංකුව ඇතුළු දුප්පත් රටවලට ආධාර ලබා දෙන ආයතන මගින් ලබාදෙන ආධාර මුදල් ලබාගැනීමටය. එසේ ලෝක බැංකුව විසින් ලංකාව දුප්පත් රටක් බවට ලබන 03 වැනිදා තීරණය කළහොත් ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලංකාවට ලැබීමට නියමිතය.