රන්ජන් ජවිපෙ ගැන කලකිරෙයි!
හූ විරෝධය යළි එළියට!
අරුන්දික මහින්ද ළග නාහෙන් අඩයි!
ලංකාවේ දේශපාලන වේදිකාව දවසින් දවස පැයෙන් පැය උණුසුම් වෙමින් තිබේ. ඊට හේතුවී ඇත්තේ කිසිවකුත් නොසිතන දේවල් ඇතුළේ මෙන්ම එළියේද සිදුවෙමින් පැවැතීම නිසාය. මේ සිදුවන දේවල් හොඳින් නිරීක්ෂණය කරන දෙපැත්තේම දේශපාලන විශ්ලේෂකයන්ද, දේශපාලකයන්ද, මාධ්‍යවේදීන්ද තැන් තැන්වල කියන්නේ මේ යන විදියට කොයි මොහොතේ හෝ හදිසි මැතිවරණයක්, කොයි මොහොතේ හෝ ඇතුළේ කැරැල්ලකින් සිදුවන දේශපාලන පිපිරීමක්, කොයි මොහොතේ හෝ විශාල පෙරළියක් සිදුවීමේ ඉඩකඩක් පවතිනවා යැයි කියාය. මේ නිසාම දේශපාලනයේ තිරය පිටුපස විවිධ සිදුවීම්, විවිධ හමුවීම්, විවිධ සාකච්ඡා, මතගැටුම්, සංවාද, එකඟතා ආදිය සිදුවෙමින් පවතින ආකාරයක්ද දැකගන්නට ඇත.
විපක්ෂයයි ආණ්ඩුවයි එකතු කරපු සුමන්තිරන්!
මේ ආකාරයේ එක් පෙරළිකාර හමුවීමක් පසුගිය සතියේ ඉතා රහසිගත ආකාරයට කොළඹදී සිදුවිය. එහිදී සිදුවූයේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවද නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂවල නායකයන් එක් ස්ථානයකදී ඉතා රහසිගතව මුණගැසී දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමය. දොරවල් වසාගෙන ඉතා රහසිගතව පැවැති මෙම සාකච්ඡාව සංවිධාන කිරීමට මූලිකත්වය ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන ක්ෂේත්‍රයේ යම් පිළිගැනීමක් තිබෙන දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන එම්.ඒ. සුමන්තිරන්ය. මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ සන්ධාන කැඩෙන ආකාරය පිළිබඳ ප්‍රවෘත්තිත්, විවිධ සන්ධාන අලුතින් බිහිවන ආකාරයේ ප්‍රවෘත්තිත් නිරතුරුවම පළවෙමින් පවතින නිසා සුමන්තිරන් කැඳවූ මෙම රහස් සාකච්ඡාවද එක්තරා ආකාරයක අලුත් සන්ධායක් ගොඩනැගීමේ පෙරනිමිත්තක් වූ බව පැහැදිලිව දැකගන්නට තිබිණි.
වැටෙන ආර්ථිකය ගොඩගන්න යෝජනා!
සුමන්තිරන් කැඳවූ මෙම රහසිගත සාකච්ඡාවේ අරමුණ ලෙස දැකගන්නට ලැබුණේ මේ වන විට කඩාවැටෙමින් පවතින රටේ ආර්ථිකය යළි ගොඩගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල අතරේ යම් එකඟතාවක් ගොඩනගාගැනීමය. වගකිව යුතු විපක්ෂයක් වශයෙන් මෙම ආර්ථික අර්බුදයට මුහුණදී රට ගොඩගන්නා වැඩපිළිවෙළක් සකස් කළ හැකි ආකාරය සොයාබැලීමද මෙම හමුවේ තවත් අරමුණක් විය. ඒ අනුව ආර්ථික අර්බුදය විසඳීම අරමුණු කරගෙන සුමන්තිරන් විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් එක තැනකට ගෙන ඒම සඳහා පසුගිය සති කිහිපය පුරාම ඔවුන් සමග වෙනවෙනම සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය. එසේ සාකච්ඡා කොට ඔවුන්ගෙන් කොළ එළියක් පත්තු වීමෙන් පසු සුමන්තිරන් ඒ සියලු දෙනා එක මේසයකට ගන්නා වැඩේට බය නැතුව අතගැසුවේය. එසේ අතගැසූ සුමන්තිරන් කිසිදු බියකින් තොරව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට පවා ඊට ආරාධනා කිරීමට පියවර ගත්තේය.
සියල්ලන්ම ආරාධනාව පිළිගනියි!
ඒ අනුව ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, වමේ පක්ෂ වන සමසමාජ පක්ෂයටත්, කොමියුනිස්ට් පක්ෂයටත් මෙම හමුවට සහභාගි වන ලෙස සුමන්තිරන් ආරාධනා කළේය. ඊට අමතරව විපක්ෂයේ දේශපාලන පක්ෂ වන සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසටත්, එජාපයේ රනිල් වික්‍රමසිංහටත්, ජවිපෙ අනුර කුමාර දිසානායකටත්, මුසිල්ම් කොංග්‍රසයේ රවුෆ් හකීම්ටත්, රිෂාඩ් බදුර්දීන්ටත්, මනෝ ගනේෂන්ටත්, පලනි දිගම්බරම්ටත්, උතුරේ පක්ෂ නායකයන් වන ගජේන්ද්‍ර පොන්නම්බලම්ටත්, සී.වී. විග්නේෂ්වරන්ටත් ආරාධනා කිරීමට පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සුමන්තිරන් විසින් මෙසේ කතාකරනු ලැබූ සියලුම පක්ෂ නායකයන් ඔහුගේ මෙම ආරාධනාව පිළිගෙන ඊට සහභාගි වන බව තහවුරු කොට තිබීමය.
සිනමන් ගූඩීස් ශාලාවේ දොරවල් වහයි!
ඒ අනුව සාකච්ඡාව පවත්වන ස්ථානය ලෙස සුමන්තිරන් තෝරා ගත්තේ සිනමන් ලේක් හෝටලයේ ‘ගූඩීස්’ ශාලාවය. ඉතා රහසිගතව මෙම රැස්වීම පැවැත්විය යුතු නිසා කිසිදු මාධ්‍යයකට මෙම තොරතුර වාර්තා නොවීමට තරම් මෙහිදී සුමන්තිරන් පරෙස්සම්සහගතව කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පළමු වටයේදී නිල වශයෙන් තමන් සාකච්ඡා කළ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කිරීමට සුමන්තිරන් පියවර ගත්තේය. ඉන් අනතුරුව සාකච්ඡා සඳහා සහභාගි වන කථික ලැයිස්තුව සහ ඔවුන්ගේ පසුබිම දැනුම් දෙමින් තවත් ලිපියක් යොමුකිරීමටද සුමන්තිරන් කටයුතු කළේය. එමෙන්ම මෙම ආරාධිත දේශකයන් සිය දේශන පැවැත්වීමෙන් අනතුරුව ප්‍රශ්න වටයක් පැවැත්වෙන බවත්, එහිදී සිය පක්ෂවල අදහස් යෝජනා සහ ස්ථාවරයන් ඉදිරිපත් කළ හැකි බවත් මෙහිදී සුමන්තිරන් සිය ලිපිය මගින් දැනුම්දී තිබිණි. පසුව මෙම සාකච්ඡාවට සහභාගි වන නියෝජිතයන් සම්බන්ධයෙන් පසුවිපරමක යෙදීමටද ඔහු කටයුතු කළේය.
සජිත්ගෙන් තවත් යෝජනාවක්!
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇමතීමෙන් පසු සජිත් සුමන්තිරන්ට දැනුම් දුන්නේ තම පක්ෂයේ ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන්නේ ආර්ථික විශේෂඥයන් වශයෙන් සැලකෙන ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා බැවින් ඔවුන් ද කැටුව තමන් මෙම සාකච්ඡාවට සහභාගි වන බවකි. ඊට සුමන්තිරන්ගේද එකඟතාව පළවිය.
අනුර හරිනිව එවන්න පොරොන්දු වෙයි!
ආණ්ඩුවේ නියෝජිතයන් වන මෛත්‍රිපාල සිරිසේනට හා තිස්ස විතාරණට ඇමතුම් ලබාදීමෙන් පසු ඔවුන්ද සාකච්ඡාව සඳහා තම සහභාගිත්වය ස්ථිර කිරීමට කටයුතු කර තිබිණි. අනුර කුමාරට කතා කළ අවස්ථාවේදී අනුර, සුමන්තිරන්ට කියා සිටියේ මේ දිනවල රැස්වීම් හේතුවෙන් පක්ෂයේ සියලු සාමාජිකයන් කාර්යබහුල වී ඇති නිසා සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊට සහභාගි වනවා යැයි කියාය. කෙසේ වෙතත් රැස්වීම පැවැත්වෙන දින පෙරවරුවේ සුමන්තිරන්ට කතා කළ හරිනි කියා සිටියේ තමන් කොවිඩ් ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් රැස්වීමට සහභාගි විය නොහැකි නමුත්, අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඊට සහභාගි වීමට කටයුතු කරන බවකි.
මෛත්‍රී එන්න ඇවිත් මගින්ම හැරෙයි! ආණ්ඩුවේ තිස්ස එයි!
ඒ අනුව සාකච්ඡාව පැවැති දින එය ආරම්භ වීමට මිනිත්තු කිහිපයක් තබා සියලු දෙනාම ශාලාවට එක්ව සිටි අතර මෛත්‍රිපාලගේ පැමිණීම තහවුරු කරමින් ඔහුගේ ආරක්ෂකයන් පවා පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් සාකච්ඡාව පටන්ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී මෛත්‍රිපාලගේ ආරක්ෂකයන් එම ස්ථානයෙන් ඉවත් වනු දැකගන්නට ලැබුණු අතර ඒ සමගම සුමන්තිරන්ගේ දුරකතනයට මෛත්‍රිපාලගෙන් ඇමතුමක් ලැබෙනු දැකගත හැකි විය. එම ඇමතුමෙන් මෛත්‍රී, සුමන්තිරන්ට කියා සිටියේ තමන් හදිසියේම අසනීපව සිටින බැවින් එම නිසා රැස්වීමට සහභාගි විය නොහැකි නමුත් ඊළඟ සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගි වීමට පියවර ගන්නවා යැයි කියාය. ආණ්ඩුව නියෝජනය කරන මෛත්‍රිපාල අවසන් මොහොතේ සාකච්ඡාවට සහභාගි නොවුණත් ආණ්ඩුව නියෝජනය කරන තිස්ස විතාරණ කල් තියාම ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය.
කලකට පසු රනිල්-සජිත් හමුවක්!
මීට අමතරව මෙම සාකච්ඡාවේ දැකගත හැකි වූ අනෙකුත් විශේෂම සිදුවීම වූයේ බොහෝ කලකට පසු සජිත් – රනිල් මුහුණට මුහුණ මෙහිදී හමුව තිබීමය. මෑත කාලයේදී මේ දෙදෙනා කිසිදු සාකච්ඡාවකදී මුහුණට මුහුණ හමුවී නොතිබුණු අතර, කලකට පසුව දෙදෙනා එක්ව සිටීම හේතුවෙන් සාකච්ඡාවේ සිටි ඇතැමුන්ද ඔවුන් දෙස බලමින් යම් යම් ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය.
ඔක්කොම ප්‍රශ්න කියයි! හරින් ඔන්ලයින් එයි!
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී මේ වන විට රටේ ආර්ථිකය වැටී ඇති බරපතළ තත්ත්වය, ඒ හරහා ජනතාවට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි අහිතකර පලවිපාක ආදිය මෙන්ම මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටක් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ආරාධිත දේශකයන් විසින් විග්‍රහ කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් අනතුරුව ප්‍රධාන විපක්ෂය නියෝජනය කරමින් සජිතුත්, කබීරුත්, ඉරානුත් ආර්ථිකය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය පෙන්වා දීමට පියවර ගත්හ. ඉන් අනතුරුව දෙමළ මුස්ලිම් පක්ෂ නියෝජිතයනුත්, සජීවීව අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටි හරිනිත් සිය අදහස් සහ ස්ථාවරයන් ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
දෙවැනි පියවර 10 වැනිදා!
ඒ අනුව මෙම සාකච්ඡාව බොහෝ දෙනකු එළිපිට කතා නොකළත් විපක්ෂයේ දේශපාලන පක්ෂ එකමුතු කිරීමේ දේශපාලන පෙරළියක ආරම්භයක් බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ. එමෙන්ම මෙම හමුව එක් සාකච්ඡාවකින් නොනැවැත්වීමටද මේ වන විට සියලු පක්ෂ අතර එකඟතාවක් ඇතිව තිබේ. ඒ අනුව එහි දෙවැනි අදියර ලබන 10 වැනිදා මීටත් වඩා පුළුල් ආකාරයකට සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
ජාත්‍යන්තරයත් එක්ක ගහන ගේමක්ද?
ඒ අනුව මෙම සිදුවීම දෙස බලන විට පෙනී යන කාරණයක් වන්නේ රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය විසඳාලීම සඳහා ජාත්‍යන්තරයද පිළිගන්නා ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විපක්ෂය සැලසුම් කරමින් සිටින ආකාරයකි. සාමාන්‍යයෙන් රටක් ආර්ථිකමය වශයෙන් කඩාවැටෙද්දී ජාත්‍යන්තරය එම ආණ්ඩුවට උදව් කිරීමට මැළිවන්නේ නම් විපක්ෂය ඒ සඳහා ඉදිරිපත් වී පොදු වැඩපිළිවෙළක් සකස් කොට ජාත්‍යන්තරයෙන් උදව් උපකාර ලබාගෙන රට ගොඩනැගීමේ උදාහරණ බොහෝ ඇති නිසා මෙවර විපක්ෂය සූදානම් වන්නේ එම මෙහෙයුමට දැයි කීමට දැන්ම කල් වැඩිය. කෙසේ වෙතත් නුදුරේදීම මහා දේශපාලන විපර්යාසයක පෙරනිමිති මේ හරහා පහළ වෙමින් පවතින ආකාරයක් නම් පැහැදිලිවම දැකගන්නට පුළුවන.
අපි සති 2කට කලින් කියපු රහස!
මීට සති දෙකකට ඉහතදී ‘මව්රට’ පුවත්පතේ මුල් පුවත ඔස්සේ විශේෂ පුවතක් පළකරමින් අප රටට කියා සිටියේ පෙබරවාරි පස් වැනිදා මධ්‍යම රාත්‍රියේදී ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වත්මන් ව්‍යවස්ථාව යටතේ නිල වශයෙන් බලතල හිමිවන බවත්, ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා විසින් ඒ ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට සැලසුම් සකස් කර ඇති බවත්ය. එහිදී අප පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන්නේ 2023 පෙබරවාරි 05 වැනි දින යැයි කියාය. මේ ආකාරයට ආණ්ඩුව විසුරුවාහැරීමට රාජපක්ෂවරුන් සැලසුම් කර ඇත්තේ මේ වන විට ආණ්ඩුව ඇතුළේ පවතින අර්බුදය ඉදිරි කාලයේදී උග්‍ර වීමට ඇති ඉඩකඩත්, ඒ හරහා විපක්ෂය ඔළුව ඉස්සීමේ අවදානමක් මතුව තිබීමත් මත මැතිවරණයකට නොගොස් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ නොහැකියාවක් මේ වන විට මතුව තිබීමත් නිසා බව අපි එහිදී සඳහන් කර සිටියෙමු. ඒ නිසා නියත වශයෙන්ම මැතිවරණයක් පවත්වා යළි ආණ්ඩුවේ බලය තහවුරු කළ යුතු බවත්, ඒ සඳහා හොඳම මැතිවරණය වන්නේ මහ මැතිවරණය බවත් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී තිබූ බවද එහි සඳහන්ව තිබිණි.
පුංචි ජන්දය කල් දැම්මේ ඇයි!
සාමාන්‍යයෙන් රාජපක්ෂවරුන් සැලකෙන්නේ ඡන්ද පැවැත්වීමේ රුසියන් ලෙසටය. ඡන්ද කල්දැමීමේ ඉතිහාසයක් රාජපක්ෂවරුන් ළඟ කවදාවත් දැකගන්නට තිබුණේ නැත. නමුත් ඉතිහාසයේ පළමු වතාවට රාජපක්ෂවරුන් මීට සති තුනකට ඉහතදී පළාත් පාලන ඡන්දය වසරකින් කල් දැමීමට පියවර ගත්තේය. පොහොට්ටුව පිහිටුවීමෙන් පසු ඔවුන් රටේ බලය ඇල්ලීම මුලින්ම පරීක්ෂා කළේද අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදීය. එම මැතිවරණයේදී මුළු රටේම පළාත් පාලන ආයතන කිහිපයක් හැරුණු විට අනෙක් සියලු පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට පොහොට්ටුවට හැකියාව ලැබිණි. එය වාර්තාවක් වූයේ ඉතිහාසයේ පළමු වරට විපක්ෂයේ සිටි පක්ෂයක් ආණ්ඩු බලය හිමි පක්ෂයක් පළාත් පාලන ඡන්දයේදී පරාජයට පත්කිරීම හරහාය.
ආණ්ඩුව විසුරුවන දිනය!
නමුත් මේ වන විට රට තුළ මතුව ඇති අර්බුද හමුවේ බුද්ධි අංශ මෙන්ම බොහෝ පිරිස් දැනුම්දී ඇත්තේ මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ඉතා අහිතකර තත්ත්වයක් පොහොට්ටුවට උදාවනු ඇතැයි කියාය. ඒ අනුව 2023 මාර්තු 20 දක්වා පළාත් පාලන ඡන්දය කල්තැබීමට ආණ්ඩුව මුල් අදියරේදී තීරණය කළේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ 2023 පෙබරවාරි 05 වැනි දිනය. ඒ අනුව බැසිල් විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත්තේ ජනාධිපති බලතලත් ආණ්ඩුවේ තියාගෙන, ආණ්ඩු බලයත් අතේ තබාගෙන, පළාත් පාලන ආයතනවල බලයත් අතේ තබාගෙන මහ මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට හිතකර යැයි කියාය.
බැසිල් ජන්ද සිතියම එළියට දමයි!
ඒ අනුව ‘මව්රට’ පුවත්පතේ මුල් පුවත හරහා මීට සති දෙකකට ඉහතදී අප රටට අනාවරණ කළේ බැසිල්ගේ මෙම මැතිවරණ සැලැස්මය. අප එසේ මහ මැතිවරණය පිළිබඳ රටට කියද්දී පෙළක් අය අපට කතා කොට එහි ඇත්ත නැත්ත විමසන්නට පියවර ගත්හ. පෙළක් අය එම කතාව අසත්‍ය බව කියමින් අපට සිනාසෙන්නට කටයුතු කළහ. තවත් සමහරු අප පළ කළ පුවත අසත්‍යයක් බව කියා සිටියහ. නමුත් ඒ සියලු සිදුවීම් මැද අප අනාවරණය කළ පරිදිම බැසිල් සිය සැලසුම ක්‍රියාත්මක කරමින් පසුගිය සතියේදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කිරීමට පියවර ගත්තේය. එහිදී බැසිල් පළමුවෙන්ම කළේ මුළු රටේම සිටින පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා වසරක සංවර්ධන සැලැස්මක් ඔවුන් වෙත ලබාදීමය. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයකටම රුපියල් ලක්ෂ 40ක මුදලක් සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් ලබාදීමට බැසිල් පියවර ගත්තේය. මුල් අදියරේදී එය මාස තුනකට ලබාදීමටත්, ඉන් අනතුරුව මාස 3කට වරක් ලක්ෂ 40 බැගින් නැවත ලබාදෙන බවටත් බැසිල් එහිදී පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමටද පියවර ගත්තේය. එහිදී බැසිල් පැහැදිලිවම කියා සිටියේ මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන වහාම ගමට ගොස් වැඩ පටන්ගන්න යැයි කියාය.
එමෙන්ම පසුගිය සතියේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග කුරුණෑගලට ගොස් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ බැසිල් එහිදීද අප අනාවරණ කළ පුවත තහවුරු කරමින් හදිසි ඡන්දයක් එන බවට නිවේදනය කිරීමට පියවර ගත්තේය.
ජන්දෙට ආණ්ඩුව ගහන්න යන තුරුම්පු දෙක!
මේ සියල්ල මැද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වූ අලුත්ම තොරතුරකින් කියැවුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාසයක් තබා තවත් දේශපාලන තුරුම්පු කිහිපයක් ඇදීමට ආණ්ඩුව සැලසුම් සකස් කර ඇතැයි කියාය. ඉන් පළමු දේශපාලන තුරුම්පුව වී ඇත්තේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය. මේ වන විට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරමින් පවතින අතර එය ලබන ඔක්තෝබර් මස අවසානයේදී හෝ නොවැමබර් මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇත. මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හරහා විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් තීන්දු තීරණ කිහිපයක් ගැනීමටත්, බලය බෙදාහැරීම සම්බන්ධයෙන් තවත් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
දෙක අයවැය ලේඛනය!
දෙවැනි තුරුම්පුව වී ඇත්තේ නොවැම්බරයේදීම ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසර සඳහා වූ අයවැය ලේඛනයය. මෙම අයවැය ලේඛනය හරහා 2023 වසරේදී ජනතාවට සහන රැසක් ලබාදීම ආණ්ඩුව සැලසුම් කර ඇති ආකාරයක්ද දැනගන්නට ඇත. ඒ හරහා ආණ්ඩුව 2023 වසර ආරම්භයේදී මහ මැතිවරණයකට යෑමට අවශ්‍ය හිතකර වාතාවරණයක් රට ඇතුළේ නිර්මාණය කරගැනීමට සියලු සැලසුම් සකස් කොට ඇති බවක්ද ආරංචිය. ඒ අනුව දැන් අපට සිනාසුණු සහ අපව ප්‍රශ්න කළ සියලු දෙනාටම ඒ සියල්ල පසෙක තබා මහ මැතිවරණයට සූදානම් වීමේ අවස්ථාවක් මතුව ඇති බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
ශ්‍රීලනිපයත් තනිවම යන්න තීන්දු කරයි!
මීට අමතරව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ශ්‍රීලනිපයද ආණ්ඩුව ඇතුළේ පවතින මෙම ඡන්ද සැලසුම පිළිබඳ විශේෂ අනාවරණයක් පසුගියදා සිදු කළේය. එහිදී සිරස රූපවාහිනියේ පැවැති විශේෂ වැඩසටහනකට සහභාගි වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුව හදිසි මහ මැතිවරණයකට සූදානම් වන බව පැහැදිලිවම කියා සිටියේය. මීට අමතරව ශ්‍රීලනිපය මේ වන විට ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන විශේෂ තීන්දුවක්ද ගෙන තිබේ. ඒ, මින් ඉදිරියට කිසිදු මැතිවරණයකදී පොහොට්ටුව සමග සන්ධානගත නොවී තනිව මැතිවරණවලට ඉදිරිපත් වීමටය. තවමත් මෙම තීන්දුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතත්, ඉදිරියේදී විශේෂ සමුළුවක් පවත්වා මෙම ප්‍රකාශය නිල වශයෙන් රටට දැනුම් දීමටත් මේ වන විට ශ්‍රීලනිපය තීන්දුවක් ගෙන ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
සේනාධිපති ආවත් රන්ජන් ඇතුළේ!
අධිකරණයට අපහාස කිරීම හේතුකොට ගෙන වසර හතරක සිර දඬුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරගැනීම සඳහා පසුගිය කාලසීමාව පුරාම විවිධ උත්සාහයන් කිහිපයක්ම ගෙන තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. අවසන් වරට ඒ සඳහා ජනාධිපතිවරයාට අතිශය හිතවත් ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන නිශ්ශංක සේනාධිපති මහතා පවා මැදිහත්ව සිටි බවක් අපි පසුගිය සතියේදී අතිවිශේෂ පුවතක් ලෙස ‘රාජ්‍ය රහස්’ තීරයෙන් පළමු වරට රටට අනාවරණ කිරීමට කටයුතු කළෙමු. එහිදී ආණ්ඩුවට හිතවත් කලාකරුවන් මෙන්ම ස්වාධීන කලාකරුවන් රැසක් එක්ව ජනාධිපතිවරයා වෙත රන්ජන්ට නිදහස ඉල්ලා විශේෂ සන්දේශයක් භාරදීමට පියවර ගත් බවක්ද අපි එහිදී අනාවරණ කර සිටියෙමු. කලාකරුවන්ගේ මෙම වෑයම නිදහස් දිනයේදී රන්ජන්ව නිදහස් කරගැනීම ඉලක්ක කර සැලසුම් කළ එකක් බවද එහිදී වාර්තා විය.
ජවිපෙ රන්ජන්ට පිටුපෑ හැටි!
මීට අමතරව පසුගිය සතියේදී වෘත්තීය සමිතිද රන්ජන්ව නිදහස් කරගැනීම සඳහා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවීමට පියවර ගත්හ. එහිදී විපක්ෂය නියෝජනය කරන ජවිපෙ ඇතුළු සියලු වෘත්තීය සමිති නායකයන්ට ඒ සඳහා ආරාධනා කිරීමටද මාධ්‍ය සාකච්ඡාව සංවිධාන කළ වෘත්තීය සමිති නායකයන් තීරණය කර තිබිණි. ඊට හේතු වූයේ රන්ජන් එළියේ සිටියදී තමන්ගේ පක්ෂයේ නායකයන්ට පවා හොර ලේබලය අලවමින් පහර දුන්නත් සෑම අවස්ථාවකදීම පිරිසිදු පක්ෂයක් ලෙස ජවිපෙ නායකයන්ව වර්ණනා කරමින් අදහස් දක්වා තිබීමය. ඒ අවස්ථාවේදී පෙළක් අය රන්ජන් ජවිපෙ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බවට චෝදනාවක්ද එල්ල කළහ. නමුත් ඒ කිසිවකට නොසැලුනු රන්ජන් හැකි සෑම අවස්ථාවකදීම ජවිපෙට ලකුණක් දෙමින් අදහස් දක්වන ආකාරයක්ද එකල දක්නට ලැබිණි.
ඒ අනුව මෙම වෘත්තීය සමිති නායකයන් මාධ්‍ය හමුවට පැමිණෙන ලෙස ජවිපෙ වෘත්තීය සමිති නායකයකු වන වසන්ත සමරසිංහට කතා කොට දැනුම් දීමට පියවර ගත්තේය. නමුත් එහිදී වසන්තගෙන් ලැබුණේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ කනගාටුදායක පිළිතුරකි. එහිදී වසන්ත ඔච්චමට මෙන් කියා සිටියේ, ‘අයියෝ මේ වෙන වැඩ නැද්ද? රටේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙනවා. අපට ඕවට එන්න වෙලාවක් නෑ…’ යැයි කියාය.
ජවිපෙ රෙද්ද ගලවන්න තීන්දු කරයි!
මීට අමතරව ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වන කේ.ඩී. ලාල්කාන්තද මීට දින කිහිපයකට ඉහතදී යූටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටියේ රන්ජන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තම පක්ෂයට හැකියාවක් නැතැයි කියාය.
‘මේකට අපට එකඟ වෙන්න බෑ. මොකද අපි ජනාධිපති සමාව කියන එකට එකඟ නෑ. වැරැදි කළා නම් හැම කෙනෙක්ම දඬුවම් විඳින්න ඕනෙ. හිර ගෙවල්වල යන්න ඕනෙ. එක්කෙනෙක්ට ජනාධිපති සමාව දෙන්නයි, අනෙක් කෙනාට නොදෙන්නයි බෑ.’ යනුවෙන් එහිදී ලාල්කාන්ත අදහස් දක්වා තිබිණි.
ලාල්කාන්තගේ මේ අදහසත්, වසන්ත සමරසිංහ දුන් පිළිතුරත් මුල් කරගෙන ඒ අනුව වෘත්තීය සමිති නායකයන් මාධ්‍ය හමුවට පෙර කතාබහක නිරතවූ අතර එහිදී ඇතැමුන් පෙන්වා දුන්නේ හිරු නාලිකාවේ වැඩසටහන්වලට සහභාගි වීම අරමුණු කරගෙන මෙසේ ජවිපෙ රන්ජන්ට සම්බන්ධ සිද්ධියට මැදිවත් නොවන බවය. මන්ද යත් ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති සමාවක් යටතේ හිරු නාලිකාවේ ප්‍රධානියාගේ සහෝදරයා වන දුමින්ද සිල්වා නිදහස් කළ අවස්ථාවේදී ජවිපෙ ඊට එරෙහිව කිසිදු වචනයක් නොකීවේ ඒ නිසා බවද ඔවුන් පෙන්වා දුන්නේය. අද ජවිපෙ රන්ජන් වෙනුවෙන් කතා නොකරන්නේ ඒ හේතුව නිසා බව කී වෘත්තීය සමිති නායකයන් මේ තත්ත්වය රටට අනාවරණය කළ යුතු බවද සඳහන් කර සිටියේය. මාධ්‍ය හමුවේදී එක් වෘත්තීය සමිති නායකයකු රන්ජන් සම්බන්ධයෙන් කතා කළ විට ජවිපෙ වසන්ත දුන් උත්තරය ප්‍රසිද්ධියේම කියා සිටියේ ඒ අනුවය.
ජවිපෙට කඩේ ගිය රන්ජන්ට දුක හිතෙයි!
නමුත් එහිදී දැකගන්නට ලැබුණු කනගාටුදායකම සිදුවීම වූයේ මෙම පුවත වෙබ් අඩවිවල පළවීමෙන් පසු රන්ජන්ටද එය දැනගන්නට ලැබීමය. එහිදී රන්ජන් ජවිපෙ සම්බන්ධයෙන් දැඩි කනගාටුවෙන් යුතුව සිය හිතවතුන් සමග අදහස් දක්වා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. තමන් එළියේ සිටියදී ජවිපෙ පිළිබඳ කිසිදු දිනෙක වැරැද්දක් නොකී බව එහිදී සිය හිතවතුන්ට කියා ඇති රන්ජන්, තමන්ට අසාධාරණයක් වූ අවස්ථාවේදී ජවිපෙ පිටුපෑ ආකාරය කනගාටුවට කරුණක් බව වේදනාවෙන් යුතුව සඳහන් කොට ඇති බවද ආරංචිය.
වෙසක්වලට නිදහස් කල් යයි!
කෙසේ වෙතත් බොහෝ දෙනා රන්ජන් නිදහස් දිනයේදී නිදහස ලබා එළියට එනු ඇති බව සිතා සිටියත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රන්ජන් වෙසක් පොහොය දවසේදී නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවකි.
යටගිය ඇමැති විරෝධය යළි උඩට!
පසුගිය කාලයේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ‘හූ’ තැබීමේ ප්‍රවණතාවක් මතුව තිබූ බව අවස්ථා ගණනාවකදීම අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එහිදී අනෙකුත් කිසිදු මාධ්‍යයක් ඒ සම්බන්ධයෙන් වාර්තා නොකරද්දී මෙම සිදුවීම් සාක්ෂි සහිතව රටට අනාවරණ කිරීමටද අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකාරකම් හමුවේ ඔවුන් වෙත දැඩි ජනතා විරෝධයක් එල්ල වීම මෙම හූ තැබීම්වලට හේතුවී ඇතැයි කියාය.
පළමු විරෝධය ගොඩහේවාට!
කෙසේ වෙතත් සති කිහිපයක් මෙවැනි සිදුවීම් වාර්තා වීම නැවතී තිබුණද ඉකුත් සතියේ දින දෙකක් ඇතුළත සිදුවීම් තුනක් වාර්තා වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී පළමු ජනතා විරෝධය එල්ල වූයේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාටය. මැනිං වෙළෙඳපොළේ සිට නව බස් රථ සේවාවක් ආරම්භ කිරීමට එහිදී ගොඩහේවා පියවර ගෙන තිබුණු අතර බොහෝ වේලාවක් මගීන්ද නංවාගෙන උත්සවය ආරම්භ කරන තුරු එක් බසයක් නවත්වාගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ගොඩහේවා කැමරාද සහිතව නිල වශයෙන් බස් සේවාව ආරම්භ කිරීමට එම බස් රථයට නඟිනවාත් සමගම එහි සිටි මගීන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ලවූ ආකාරයක් දැකගත හැකි විය. එම විරෝධය හමුවේ ගොඩහේවාට සිදුවූයේ බස් රථයට නැඟි වේගයෙන්ම ඉන් බිමට බැසීමටය.
දෙවැන්න දේවානන්දාට!
දෙවැනි සිදුවීම වාර්තා වූයේ යාපනයෙන්ය. ඉන්දීය ධීවරයන්ට එරෙහිව උතුරේ ධීවරයන් මේ දිනවල දැඩි විරෝධයක් දක්වමින් සිටින අතර එම ස්ථානයට පැමිණි කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට එම ධීවරයන්ගෙන් දැවැන්ත විරෝධයක් එල්ල වීම එම සිදුවීමය. මෙහිදී ඩග්ලස් හා ධීවරයන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවැති නමුත් ඒ සියල්ලක්ම අවසන් වූයේ ඩග්ලස්ට ධීවරයන්ගෙන් එල්ල වුණු දැඩි විරෝධය මධ්‍යයේය. වරක් එක් සාකච්ඡාවකදී ඩග්ලස් ධීවරයන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ කෝපයට පත්ව ‘ඒයි කට වහනවා. මමයි කතා කරන්නේ..’ යනුවෙන් ප්‍රකාශ කරන ආකාරයක්ද දක්නට ලැබිණි. පසුව එම සාකච්ඡාවද ඩග්ලස්ගේ ප්‍රකාශයත් සමග විසඳුමකින් තොරව අවසන් වූ ආකාරයක් දැකගත හැකි විය.
චාමරටත් විරෝධයක්!
මීට අමතරව ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන චාමර සම්පත් දසනායකටද පසුගිය සතියේදී බදුල්ල ප්‍රදේශයේ ජනතාවගේ විරෝධයකට මුහුණ පෑමට සිදුවිය. ඒ, සංවර්ධන කටයුත්තකට සහභාගි වීම සඳහා පැමිණි චාමරට ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය පළවීමත් සමගය.
ඒ අනුව තාවකාලිකව යට ගොස් තිබූ ජනතා විරෝධය පසුගිය සතියේ සිදුවූ මෙම සිදුවීම් හරහා නැවත වතාවක් කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
අරුන්දිකට වෙච්ච වැඩේ!
මේ සියලු සිදුවීම් මැද්දේ පසුගිය සතියේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ රාගම වෛi පීඨයේ නේවාසිකාගාරයේ සිදුවූ සිදුවීමක් හරහාය. එහිදී අරුන්දිකගේ පුත්‍රයා අලුයම් කාලයේ පොල් සංවර්ධන මණ්ඩලයේ සේවකයන් පිරිසක් සමග පැමිණ තවත් වෛi සිසුවෙකුට පහරදී තිබීම සිද්ධියට හේතුවී තිබිණි.
එතනෝල් ජාවාරමා ගෙන්වපු චෝදනාවත් එකක්!
අරුන්දික මීට සති කිහිපයකට ඉහතදීද වරෙන්තු පිට සිටි එතනෝල් ජාවාරම්කරුවකු ඩුබායි රටේ සිට කටුනායක ගුවන් තොටුපළේ සිට ලංකාවට ගෙන්වා ගත් බවට චෝදනාවක්ද එල්ලවී තිබිණි. එහිදී අරුන්දික සමග කොළඹ දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රීවරයකු වූ මධුර විතානගේද සිටි බව මාධ්‍ය වාර්තා කර තිබූ අතර, පසුව මධුර මාධ්‍ය වෙත කියා සිටියේ තමන් එම ගුවන් යානයේ පැමිණෙන විට අදාළ එතනෝල් ජාවාරම්කරුවාද එහි සිටි බව දුටු නමුත් තමන් ඔහු සමග කිසිදු සාකච්ඡාවක් හෝ සම්බන්ධතාවක් පැවැත්වූයේ නැතැයි කියාය. මධුර එසේ මාධ්‍යයට ප්‍රකාශ කළද, එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් අරුන්දික නම් කිසිදු තැනක ප්‍රකාශයක් නිකුත් කරන ආකාරයක් දැකගන්නට නොතිබිණි. ඒ අවස්ථාවේදී මාධ්‍ය වාර්තා කර තිබුණේ මම සිදුවීමෙහි සී.සී.ටී.වී. දර්ශන නරඹා ජනාධිපතිවරයා අරුන්දිකට ඇමැතිකමෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබූ බවකි.
මහින්දට දුක්ගැනවිල්ලක්!
කෙසේ වෙතත් කොරේ පිටට මරේ කීවාක් සේ රාගම පහරදීමට අරුන්දිකගේ පුත්‍රයා සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම ඇමැතිකමෙන් ඉවත් වන ලෙසට අරුන්දිකට පණිවුඩ එවා තිබිණි. ඒ අවස්ථාවේදී අරුන්දික වහාම අගමැතිවරයා හමුවී තමන්ගේ දුක්ගැනවිල්ල කියා ඊට සිය සම්බන්ධයක් නොමැති බව පෙන්වා දී මේ ප්‍රශ්නය විසඳා දෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටීමට කටයුතු කළේය. ඒ අනුව අගමැතිවරයාද සිද්ධියට මැදිහත්ව වහාම ජනාධිපතිවරයාට කතා කොට තත්ත්වය සමනය කිරීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් මෙම පහරදීමට අරුන්දිකගේ පුත්‍රයා සම්බන්ධ වී ඇති බවට තහවුරු වීමත්, අධිකරණයට දැනුම්දී ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පියවර ගැනීමත් සමග අරුන්දික කළේ තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට මධ්‍ය හරහා රටට ප්‍රකාශ කිරීමය. මෙම පරීක්ෂණවලට සහාය දීම සඳහා තමන් තාවකාලිකව ඇමැති ධුරයෙන් ඉවත් වන බව එහිදී අරුන්දික සඳහන් කර සිටියේය.










