ජනපතිගේ ග්ලාස්ගෝ ගමන!
ජගත් වැල්ලවත්තට වෙච්ච දෙයක්!
සජිත්-විජිත-සුමන්තිරන් කුඹුරට බැස ජන්ද සටන අරඹයි!
නොරොච්චෝලේ වහන්න උපදෙස්!
කබ්රාල්ට ඇතුළෙන්ම කැපිල්ලක්?
පසුගිය මාර්තු මාසයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ලංකාව සම්බන්ධයෙන් ඉතා බරපතළ තීන්දු කිහිපයක් ගත් බව අවස්ථා ගණනාවකදී අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ලියා තැබුවෙමු. ඉන් එක් තීන්දුවක් වූයේ ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් සොයා බැලීම සඳහා විශේෂ කාර්යාලයක් විවෘත කිරීමය. ඊට මානව හිමිකම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති විශේෂඥයන් 12 දෙනකු පත්කිරීමට නියමිත බවත්, එම කාර්යාලය සඳහා විශාල මුදලක් වෙන්කිරීමට නියමිත බවත්, එම මුදල ඩොලර් මිලියන 2,856ක් බවත් අපි එහිදී රටට අනාවරණ කළෙමු.
ඉකුත් ජුනි 05 වැනි දින අප මේ සම්බන්ධයෙන් පළමු වරට රාජ්‍ය රහස් ඔස්සේ රටට අනාවරණය කළේ මේ ආකාරයටය.
රාජ්‍ය රහස් කලින්ම කළ අනාවරණය..
“රටම භයානක අනතුරක”
කෙසේ වෙතත් දැන් ජිනීවා ඡන්දය ආණ්ඩුව පරාජයට පත්වී අවසානය. ලංකාවට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාව ජයග්‍රහණය කර අවසන්ය. එසේ නම් මින් ඉදිරියට ලංකාවට මුහුණදීමට සිදුවන්නේ කුමන තත්ත්වයකටද? දැනගන්නට ඇති ආකාරයට යෝජනාව සම්මත වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය දැනටමත් ලංකාව සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු ආරම්භ කොට අවසානය. එමෙන්ම ලංකාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මහකොමසාරිස්වරයාගේ කාර්යාලය මඟින් විශේෂ කණ්ඩායමක් පත්කිරීමටද නියමිතය. එම කාර්යමණ්ඩලයට නියෝජිතයන් දොළොස්දෙනකු ඇතුළත් වන අතර එම පිරිස අතර මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන්, යුද අපරාධ සම්බන්ධයෙන් වූ විශේෂඥයන් සහ සාක්ෂි ගවේෂණය කිරීමේ විශේෂඥයන් සිටින බව දැනගන්නට තිබේ. මීට අමතරව අපරාධ යුක්තිය පිළිබඳ අත්දැකීම් ඇති නීති උපදේශයකයන් සහ එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීමට, තොරතුරු හා සාක්ෂි එකතු කිරීමට, අපරාධ පරීක්ෂණයට, නඩු පැවරීමට කටයුතු කළ හැකි නිලධාරීන් සහ වින්දින සහායක නිලධාරීන් ඇතුළත් කොට ඇති බවද පැවසේ.
රට යන්න බැරි වෙයිද
මෙම කටයුතු දියත් කිරීම සඳහා මේ වන විටත් මානව හිමිකම් සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.856ක මුදලක් සම්මත කර ගැනීමටද සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ මෙම යෝජනා සම්මතය හරහා ලංකාවට ක්ෂණික බලපෑමත් ඇති නොකරන නමුත්, දීර්ඝකාලීනව දැඩි බලපෑමක් එල්ලවිය හැකි යැයි කියාය. ඇතැම් විට මෙම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර රටවල් සමඟ වෙළෙඳාමට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවත්, ඉහළ පෙළේ ඇතැම් නිලධාරීන්ට සංචාරක සීමා පැනවීමේ ඉඩකඩක් මතුවිය හැකි බවත් දැනගන්නට ඇත. එමෙන්ම මේ හරහා ඕනෑම රටකදී නඩු පැවරීමේ හැකියාවක් පවතින බවද කියැවේ.”
ආණ්ඩුව ගැලවීමට ගහපු ගේම
කෙසේ වෙතත් අප කළ මෙම අනාවරණයෙන් පසු සහ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ගත් මේ බරපතළ තීන්දුවෙන් පසු ආණ්ඩුවද මේ ජිනීවා උගුලෙන් ගැලවීම සඳහා විවිධ පියවර ගනු ලැබිණි. ඒ සම්බන්ධයෙන් පැවැති එක් සාකච්ඡාවකදී ඉදිරිපත් වූ යෝජනාවක් වූයේ කෙසේ හෝ මෙම කාර්යාලයට සම්මත කිරීමට නියමිත මුදල් ප්‍රමාණය නවත්වාගතහොත් මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව මඟහැරී යනු ඇති බවත්, එසේ වුවහොත් මේ මර උගුලෙන් ගැලවීමට හැකියාවක් ඇති බවත්ය. ඒ අනුව ආණ්ඩුව එම යෝජනාවට මුල්තැන දී කටයුතු කරන ආකාරයත් පසුගිය කාලසීමාවේදී දැකගන්නට ලැබුණු අතර අවස්ථා ගණනාවකදීම ඒ පිළිබඳ තොරතුරු වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේත්, අප වෙබ් අඩවිය ඔස්සේත් පාඨකයන් වෙත රැගෙන ඒමට අපි පියවර ගත්තෙමු.
ෆිෆ්ත් කමිටි එක අල්ලන්න යයි
ඒ අනුව ආණ්ඩුව කළේ මෙම ජිනීවා කාර්යාලය විවෘත කිරීම වළක්වා ගැනීම සඳහා අදාළ අරමුදල් සපයන ආයතනය පිළිබඳ සොයාබැලීමය. එහිදී ආණ්ඩුවට දැනගන්නට ලැබුණේ ඇමෙරිකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ පිහිටි ආයතනයක් වන ‘පස්වැනි කමිටුව’ හෙවත් ‘ෆිෆ්ත් කමිටි’ එක මගින් මෙම අරමුදල් සැපයීමේ කටයුතු සිදුකරන බවය. ඒ අනුව වහාම නිව්යෝර්ක්හි සිටින ආණ්ඩුවේ නියෝජිතයන්ට පණිවුඩ තැබූ ආණ්ඩුවේ ප්‍රධානීන් ඔවුන්ට දැනුම් දී සිටියේ වහාම මෙම ‘ෆිෆ්ත් කමිටි’ හෙවත් පස්වැනි කමිටුවේ නියෝජිතයන් සම්බන්ධ කොට ගෙන ජිනීවා කාර්යාලයට අරමුදල් සම්මත කිරීමේ වැඩපිළිවෙළ නවත්වා ගන්නා ලෙසය.
සල්ලි වෙන් කරන්නේ මේ කමිටුවෙන්
සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රධාන කමිටු 06ක් ක්‍රියාත්මකය. ඉන් එක් කමිටුවක් වන මෙම ‘ෆිෆ්ත් කමිටි’ හෙවත් පස්වැනි කමිටුව මගින් සිදුකෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාලන කටයුතු සහ ඊට අදාළ මුදල් වෙන්කිරීමේ කටයුතුය. එමෙන්ම හදිසි අවශ්‍යතාවන් සඳහා මුදල් වෙන්කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් තීන්දු කරන සාමසාධක හමුදා කටයුතු සඳහාද මුදල් වෙන්කරනු ලබන්නේ මෙම පස්වැනි කමිටුව හරහාය.
වැඩේ ගොඩ බවට පණිවුඩ එවලා
කෙසේ වෙතත් ආණ්ඩුව කළ මෙම දැනුම්දීමත් සමග නිව්යෝර්ක් නුවර රැඳී සිටි නියෝජිතයන්ද මෙම ෆිෆ්ත් කමිටුවේ සාමාජිකයන් පසුපස වැටී ලංකාව පිළිබඳ සෙවීමට වෙන් කරන මුදල් නවතා ගැනීමට පසුගිය කාලය පුරාම උත්සාහ දැරූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහි සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් නිව්යෝර්ක්වලින් ආණ්ඩුවට නිතරම ලැබුණු පණිවුඩවලින් කියැවුණේ ‘වැඩේ ගොඩ’ යැයි කියාය. සියලු කටයුතු සිතූ ආකාරයෙන්ම සිදුවන බවත් නිව්යෝර්ක්වලින් එවනු ලැබූ පණිවුඩවලින් වැඩිදුරටත් දැනුම් දී තිබිණි.
ඒ අනුව ආණ්ඩුවද සිතා සිටියේ ඒ එවනු ලැබූ පණිවුඩවලට අනුව ජිනීවාහි විවෘත වීමට නියමිත කාර්යාලය අරින්නටත් පෙර වැසී යනු ඇතැයි කියාය. සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම සැසිවාරයේදීත්, 2022 මාර්තුවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදීත් ලංකාවට කිසිදු ගැටලුවක් මතු නොවනු ඇති බව ඒ අනුව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබිණි.
වැඩේ අල වෙයි! සල්ලි වෙන් කරයි!
ආණ්ඩුව එසේ සිතා සිටියද නිව්යෝර්ක්වල සිදුවෙමින් පැවැතුණේ ආණ්ඩුව සිතා සිටි දෙය නම් නොවේ. ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. එනම් ආණ්ඩුවේ නියෝජිතයනුත් නොදැන ෆිෆ්ත් කමිටුව සිය වැඩකටයුතු සාමාන්‍ය ආකාරයට කරගෙන යෑමය. ඒ අනුව ඔවුන් පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙරාතුව හමුවී ලංකාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීමට පියවර ගත්තේය. ඒ වෙන මොකක්වත් නොව ලංකාව සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවට අවශ්‍ය අරමුදල් මුදාහැරීමටය. ඒ අනුව පළමු අදියරේදී අදාළ මුදල්වලින් 60%ක කොටසක් මුදාහැරීමටත්, විමර්ශන ආරම්භ වී ඉදිරියට යද්දී ඉතිරි 40%ක කොටස මුදාහැරීමටත් ෆිෆ්ත් කමිටුව මගින් තීන්දු කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම කාර්යාලය විවෘත කිරීම වැළැක්වීමට ආණ්ඩුවත්, නිව්යෝක්හි සිටින ලංකාවේ නියෝජිතයනුත් තිරය පිටුපස දියත් කළ මෙහෙයුම මේ වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එහි ඊළඟ පියවර ලෙස ලංකාව සම්බන්ධයෙන් සොයන ජිනීවා කාර්යාලය මේ වන විටත් සිය වැඩ ආර්ම්භ කර ඇති ආකාරයක්ද දැනගන්නට තිබේ. දැන් ඊට නියෝජිතයන් බඳවාගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ලබන මාර්තුවේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් රැස්වීමට පෙර වාර්තා කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත බවත් දැනගන්නට තිබේ.
හදිසි වෙනසට හේතුව මේකද?
කෙසේ වෙතත් සිය ඇමෙරිකානු සංචාරයට ප්‍රථම මෙම තීන්දුව නිව්යෝර්ක්වලින් ජනාධිපතිවරයාගේ කනටද වැටිණි. මීට පෙර යම් යම් කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටියද මෙම තීන්දුව වාර්තා වීමත් සමග තමන් මෙතෙක් දැරූ දැඩි ස්ථාවරයන් කිසියම් වෙනසකට ලක්කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවක් දැකගන්නට තිබිණි. දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡාවට ලක්ව ඇති මාතෘකාවක් වී ඇත්තේ ඇමෙරිකාවට ගොස් ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට කැමැති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීම, මානව හිමිකම් සුරකින බවට ප්‍රතිඥා දීම, දෙමළ සිරකරුවන් නිදහස් කරන බවටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන බවටත් සහතිකයක් ලබාදීම ආදියත් මෙම ජිනීවා කාර්යාලය විවෘත කරන බවට කළ දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයාගේ හදිසි වෙනසට තුඩුදී ඇති බවය.
නාමල් යන්න ගිය ඉන්දියා ගමන ජනපතිම යයි
කෙසේ වෙතත් මේ වෙනසත් සමග ජනාධිපතිවරයා තවත් වෙනස්කම් රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව ආණ්ඩුව ඇතුළෙන් ලැබෙන අභ්‍යන්තර තොරතුරුවලින් දැනගන්නට තිබේ. මෙම වෙනසත් සමග මෙතෙක් ලංකාවේම කාලය ගත කළ ජනාධිපතිවරයා විදෙස් සංචාර කිහිපයකට එක්වීමටද සැලසුම් කොට ඇති බවක් දැනගන්නට ඇත. එහි පළමු සංචාරය වී ඇත්තේ ඉන්දියාවය. ඒ, ලබන 20 වැනිදා ඉන්දියාවේ කුෂිනගර්හි නව ගුවන්තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය. බුදුන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයට ආසන්නයෙන් මෙම කුෂිනගර් ගුවන් තොටුපළ ඉදිවී තිබීම හේතුවෙන් ලංකාවේ බෞද්ධ ජනතාවටද මෙම ගුවන් තොටුපොළ ඉමහත් වැදගත් ස්ථානයක් බවට පත්ව තිබේ.
කෙසේවෙතත් ආණ්ඩුව ඇතුළෙන් ලැබෙන තොරතුරුවලට අනුව මුලින් කියැවුණේ මෙම සංචාරය සඳහා මුලින් ඉන්දියාව පාර්ශ්වයෙන් අගමැතිවරයාට ආරාධනා ලැබුණු බවකි. නමුත් අගමැතිවරයා මේ දිනවල විදෙස් සංචාරවලට එක්වීමෙන් වැළකී සිටීම මුල් කරගෙන ඊට නාමල්ගේ නම යෝජනා වී තිබිණි. ඒ අනුව භික්ෂුන්වහන්සේ 125 නමක් සමග නාමල් මෙම උත්සවයට සහභාගි වන බව තහවුරු කොට තිබිණි.
කෙසේ වෙතත් මේ වන විට තීන්දු වී ඇත්තේ නාමල් නොව ජනාධිපතිවරයාම එම උත්සවයට සහභාගි වීමටය. මෙය ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතාගේ ලංකා සංචාරයෙන් පසු ගත් තීන්දුවක්ද යන්න තහවුරු වී නොමැති නමුත් එළැඹෙන 20 වැනිදා ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ ඉන්දියාව බලා පිටත්ව යෑමටය. එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග ජනාධිතිවරයා විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වීම සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
ග්ලාස්ගෝ සමුලුවටත් යයි
මෙම ඉන්දීය සංචාරයෙන් පසු ජනාධිපතිවරයා තවත් විදේශ සංචාරයකට සහභාගි වීමට නියමිතව තිබේ. ඒ, ලබන ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 12 දක්වා එංගලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වීමට නියමිත ‘කොප් 26’ සමුළුවට සහභාගි වීම සඳහාය. දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව සඳහා ජනාධිපතිවරයා වෙත ආරාධනා ලැබුණේ ඉකුත් ජුලි මාසයේදීය. ඒ, ජනාධිපතිවරයා විසින් රසායනික පොහොර භාවිතය තහනම් කොට කාබනික පොහොර භාවිතයට රට හුරුකරවන බවට ගනු ලැබූ තීන්දුවත් සමගය. දැඩි ආන්දෝලනාත්මක තීන්දුවක් මෙන්ම පරිසර හිතකාමී තීන්දුවක් බවට පත්වූ මෙම රසායනික පොහොර භාවිතය තහනම් කිරීමත් සමග මෙම ‘කොප් 26‘ සමුළුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් එවමින් මෙම සමුළුව සඳහා සහභාගි වන ලෙසට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම මෙම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ තීන්දුව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කිරීමටද පියවර ගෙන තිබිණි.
මේ ගමනත් අපි කලින්ම කිව්වා
කෙසේ වෙතත් මේ ලිපිය පිළිබඳ පළමු වරට එළියට ආවේ පොහොර තහනම සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා සමග ඉකුත් ජූලි මාසයේ පැවැති සාකච්ඡාවකදීය. මෙහිදී ඇමැතිවරුන් පොහොර තහනමෙන් මතුවන ප්‍රශ්න පිළිබඳ විමසද්දී සිය ලාච්චුව හැර මෙම ලිපිය අතට ගත් ජනාධිපතිවරයා එහි ඇතුළත්ව තිබූ කරුණු මැති ඇමැතිවරුන්ට කීමට පටන් ගත්තේය. මේ, ඒ බව පළමු වරට ‘රාජ්‍ය රහස්’ තීරය ඉකුත් ජූලි 31 වැනි දින රටට අනාවරණ කළ ආකාරයය.
‘ජනාධිපතිවරයා පත්කරනු ලැබූ විශාලතම කාර්යසාධක බළකාය වූ දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වූ කාර්ය සාධක බළකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (02) දින පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී වැඩිපුරම සාකච්ඡාවට ලක්වූයේ මේ වන විට රට ඇතුළේ මතුව ඇති පොහොර ප්‍රශ්නය පිළිබඳවය. විශේෂයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මෙහිදී දැඩිව අදහස් ප්‍රකාශ කළ අතර හෙතෙම පෙන්වා දුන්නේ රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවීම හේතුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ තේ වතු හිමිකරුවන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.
පාදෙණිය රමේෂ්ට විරුද්ධ වෙයි
නමුත් රමේෂ්ගේ කතාවට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීම ආරම්භ කළේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියය. පාදෙණිය පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා රසායනික පොහොර තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය අගය කළ යුතු බවත්, ගොවි ජනතාව ක්‍රමක්‍රමයෙන් කාබනික පොහොර භාවිතයට හුරු කළ යුතු බවත්ය. එය සිදුකළ හැකි එකක් බවද පාදෙණිය ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.
ජනපති ලාච්චුවෙන් ගත් ලියුම
පාදෙණිය මෙසේ කියනවාත් සමගම ඊට හොඳින් සවන් දී සිටි ජනාධිපතිවරයා සිය මේසයේ ලාච්චුව හැර විශේෂ ලියුමක් එළියට ගැනීමට කටයුතු කළේය. එම ලියුමේ සඳහන්ව තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් ආයතනයක් මගින් සංවිධාන කරනු ලබන විශේෂ රැස්වීමක මුඛ්‍ය දේශනය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට කර තිබූ අරාධනාවකි. එය සියල්ලන්ටම පෙන්වූ ජනාධිපතිවරයා, “පේනවා නේද? මේ රසායනික පොහොර තහනම් කරලා කාබනික පොහොරවලට යන්න අපි තීන්දු කළාට පස්සේ යූ.එන්. එකෙන් මට ලියුමක් එවලා තියෙනවා ඒක අගය කරලා. ඒ වගේම ඒ අය තියන සමුළුවක ප්‍රධාන දේශනය කරන්න එන්න කියලා. ඒකෙන්ම පේනවා මේ තීන්දුව ජාත්‍යන්තරයත් අගය කරලා කියන එක. ඒ නිසා අපි ඒ තීන්දුව අමාරු වුණත් ආපස්සට හරවන්නේ නැතිව ඉස්සරහටම යන්න ඕනේ” යනුවෙන් කියා සිටියේය.
රමේෂ්ගේ යෝජනාව කුණුකූඩෙට
බොහෝ දෙනකු ජනාධිපතිවරයාට එවැනි ආරාධනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබී ඇති බවක් දැනගත්තේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමගය. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ රමේෂ් පතිරණ, රසායනික පොහොර තහනම් කිරීමට එරෙහිව පළ කළ අදහස් කණු කූඩයට තල්ලු කරමිනි.
දැන් නම් ඒ තීන්දුවත් රිවස්
කෙසේවෙතත් මේ ලිපිය ජනාධිපතිවරයා අතට ලැබෙන විට රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වුවත් සමුළුව පැවැත්වෙන ඔක්තෝබර් මාසය වන විට තත්ත්වය තරමක් වෙනස්වී තිබීම විශේෂිතය. ගොවි ජනතාව රසායනික පොහොර නොමැතිව මරාගෙන මැරෙන සටනකට මේ වන විට අවතීර්ණ වී ඇති අතර දිනපතාම පාහේ රට පුරා ගොවි උද්ඝෝෂණ දැකගන්නට ඇත. ඇතැම් ගොවියෝ රසායනික පොහොර නොමැතිව ගොවිතැන සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ තීන්දුවකටද මේ වන විට පැමිණ ඇති බවක් දැකගන්නට තිබේ. ගොවීන්ගෙන් ආණ්ඩුවට ආ පීඩනය නිසාම ආණ්ඩුව මීට සතියකට ඉහතදී තේ සඳහා රසායනික පොහොර පෙන්වීමට අවසර ලබාදුන් අතර මේ සතියේදී බඩඉරිඟු සඳහාද රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබාදුන්නේය. ඉදිරියේදී තවත් බෝග කිහිපයකට මෙම තහනම ලිහිල් කිරීමට ආණ්ඩුව මේ වන විට තීන්දු කර තිබීම නිසා මෙම සමුළුවට ජනාධිපතිවරයා සහභාගි වන්නේ රසායනික පොහොර තහනමේ තීන්දුවද රිවර්ස් වෙමින් පවතින පසුබිමකය.
දෙමළ ඩයස්පෝරාවත් හමු වෙයිද?
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ලන්ඩන් සංචාරය පිළිබඳ පාර්ශ්ව ගණනාවක්ම මේ වන විට විපරම්සහගතව සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවට ගොස් තමන් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බවට ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයය. ජනාධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව දෙමළ ඩයස්පෝරාව මිශ්‍ර ප්‍රතිචාර දැක්වූ අතර ඉන් ප්‍රධානම කණ්ඩායමක් රැඳී සිටින්නේ ලන්ඩනයේය. ඒ සුරේන් සුරේන්ද්‍රන් නියෝජනය කරන ගෝලීය දෙමළ සංසදයය. ඒ අනුව ජනාධිපතිවරයා සිය එංගලන්ත සංචාරය තුළදී සුරේන් සුරේන්ද්‍රන්ට සාකච්ඡා සඳහා ආරාධනා කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානයක් යොමුව ඇති බවක් දැකගන්නට ඇත. එසේ ජනාධිපතිවරයා ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කරනු ලැබුවහොත් එය ඓතිහාසික හමුවක් වනවා පමණක් නොව බොහෝ ගැටලු විසඳාගැනීම සඳහා විශාල ආරම්භයක්ද වනු ඇත.
නොරෝච්චෝලේ වහන්න කියයි
ජනාධිපතිවරයා මෙසේ එංගලන්ත සංචාරයක් සඳහා සූදානම් වෙද්දී ඉකුත් ඇමෙරිකානු සංචාරය තුළදී ජනාධිපතිවරයා අස්සන් තැබූ ගිවිසුමක් මුල් කරගෙන මේ වන විට තවත් බරපතළ ආන්දෝලනයක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ, කාලගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් අස්සන් කළ ගිවිසුමක් මුල් කරගෙනය. මේ වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීම මුල් කරගෙන ලෝකය පුරාම දැඩි ප්‍රවණතාවක් පැතිර යන තත්ත්වයක් යටතේ ඇමෙරිකානු සමුළුව අතරතුරදී ඒ පිළිබඳ ගිවිසුමක්ද අස්සන් කෙරිණි. ජනාධිපතිවරයාද ඊට අස්සන් කිරීම නිසා පසුගිය සතියේදී ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ, වහාම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වසා දමන ලෙස විදුලිබල මණ්ඩලයට ලිපියක් යැවීම හරහාය.
ජාතික පද්ධතියට 45%ක්
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදිකරනු ලැබුවේ චීනයේ අනුග්‍රහයෙනි. නමුත් පසුගිය කාලසීමාව පුරාම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ප්‍රශ්න මතුවීම නිසාත්, ගල් අඟුරු විදුලිය සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීම නිසාත් ආණ්ඩුව නොරොච්චෝලේ දෙවැනි අදියර ආරම්භ කිරීම අතහැර දමා තිබිණි. එම තීන්දුව චීනයටද දැනුම් දී තිබූ අතර චීනයද සිටියේ නොරොච්චෝලේ ඉදිකිරීම් අතහැර දමාය. නමුත් තවමත් ජාතික විදුලිබල පද්ධතියට 45%ක අගයක් එක්කරනු ලබන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන්ය.
විදුලි බලධාරීන්ගේ හිස ගිනි ගනී
එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ජනාධිපතිවරයා හදිසියේම වාගේ නොරොච්චෝලේ බලාගාරය වසාදමන ලෙසට විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්ට දැනුම් දීමත් සමග ඔවුන්ටද විදුලි සැර වැදී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මේ හදිසි තීන්දුවෙන් හිස ගිනිගෙන සිටි විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් හදිසි සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් තීන්දු කළේ එක් වරම ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් වුවහොත් බරපතළ විදුලි අර්බූදයකට මුහුණ පෑමට සිදුවන නිසා 2040 දක්වා මෙම බලාගාරය භාවිත කිරීමටත්, ඒ දක්වා කාලය තුළ ක්‍රමක්‍රමයෙන් පුනර්ජනනීය බලශක්තිය සඳහා රට හුරු කළ යුතු බවට ජනාධිපතිවරයාට දැනුම් දීමටත්ය.
ඒකටත් කාබනික පොහොරට වෙච්ච දේම වෙයිද?
නමුත් ප්‍රශ්නය තියෙන්නේ ජනාධිපතිවරයා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය වසාදැමිය යුතු බවට තද ස්ථාවරයක සිටීමය. ඒ අනුව ඉදිරියේදී විදුලි අර්බුදයක් මතුවීමට ඉඩ ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. එසේ වුවහොත් විදුලිබල මණ්ඩලය පැත්තෙන් පමණක් නොව ජනතාවගෙන්ද විශාල විරෝධයක් ආණ්ඩුවට එල්ල වීම නොවැළැක්විය හැකිය. ඒ අනුව රසායනික පොහොර තහනම් කළා හා සමාන සිදුවීමකට ආණ්ඩුවට නැවත වතාවක් මුහුණ දීමට සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
කබ්රාල්ට ඇතුළෙන්ම කැපිල්ලක්ද?
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරය භාරගැනීමෙන් අනතුරුව මේ වන විට මහබැංකුව ඇතුළේ වෙනස්කම් රැසක් සිදුකළ ආකාරයක් දැකගන්නට ලැබිණි. තනතුරු කිහිපයක්ම එහා මෙහා කෙරුණු අතර තමන්ට හිතවත් කිහිප දෙනකුම ඒ තනතුරුවලට පත් කිරීමටද කබ්රාල් පියවර ගෙන තිබිණි. එමෙන්ම කබ්රාල් මහබැංකු අධිපති ධුරය භාරගැනීමෙන් පසු කටයුතු කළේද හිටපු අධිපතිවරුන් කටයුතු කළ ආකාරයට නොව තමන්ටම ආවේණික වූ ආකාරයකටය. සාමාන්‍යයෙන් මෙතෙක් කල් හිටපු මහ බැංකු අධිපතිවරුන් කටයුතු කලේ ඉතා නිහඬවය. අවශ්‍ය වුවහොත් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටේ තත්ත්වය සම්බන්ධයෙන් ගත් තීන්දු ප්‍රකාශයට පත්කිරීම ඔවුන්ගේ සිරිත විය.
නමුත් කබ්රාල් කටයුතු කළේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ යුතු තීන්දු පවා කිසිදු වගවිභාගයකින් තොරව මාධ්‍ය හමුවට පැමිණ රටට ප්‍රකාශ කිරීමට කබ්රාල් කටයුතු කළේය. වෙනකක් තබා මීට සති කිහිපයකට ඉහතදී රටට සහන පැකේජයක් හඳුන්වාදීමටද පියවර ගත්තේය. එහිදී ජනතාවට සහන රැසක් ප්‍රකාශයට පත් කිරීමටද කබ්රාල් පියවර ගත්තේය. එහිදී කබ්රාල් කටයුතු කළේ විකල්ප මුදල් ඇමැතිවරයකු ලෙස බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි.
කළේ මුදල් ඇමැතිවරයාගේ වැඩේද?
සාමාන්‍යයෙන් මෙවැනි සහන ලබාදීම අයවැය හරහා මුදල් ඇමැතිවරයා විසින් සිදුකළ යුතුව තිබුණද මුදල් ඇමැතිවරයා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සති කිහිපයක් තබා කබ්රාල් මෙසේ සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ බොහෝ දෙනාද සිටියේ තරමක් විමතියට පත්වය.
ඒ නිසාමදෝ කබ්රාල් ජනතාවට ලබාදුන් සහන සම්බන්ධයෙන් මේ වන තෙක්ම මුදල් අමාත්‍යාංශය පැත්තෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබීම විශේෂිතය. කබ්රාල් දුන් සහන මෙතෙක් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙන්නේද ඒ නිසාමය. ඒ හරහා කබ්රාල් හා මුදල් අමාත්‍යාංශය අතර පැහැදිලි මත ගැටුමක් එළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් තමන් ප්‍රසිද්ධියට පත් කළ සහනවලට මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ප්‍රතිචාර නොලැබීම සම්බන්ධව කබ්රාල්ද මේ වන විට තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම තීන්දු තීරණ ඉදිරියේදී රටට ආනාවරණ කිරීමටද ‘රාජ්‍ය රහස්’ තීරය සූදානම්ය.
පළාත් සභා සූදානම…
ආණ්ඩුව මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය. ඒ සඳහා නීතිමය බාධාවන් පැවැතියද පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුව ඇතුළේ පැවැති සාකච්ඡාවලදී අවධාරණය කෙරී ඇත්තේ කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි කියාය.
මේ ආකාරයට ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වාතාවරණය සකස් කිරීමට බලපෑ හේතු කිහිපයක්ද තිබේ. ඒ, ඉන්දියාවෙන් මේ සඳහා එල්ල කෙරුණු දැඩි පීඩනයය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය අවස්ථාවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා වූ ජයශංකර් මහතා හා ලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අතර පැවැති සාකච්ඡාවේදීද පළාත් සභා මැතිවරණ්‍ය පිළිබඳ අදහස් හුවමාරු වී තිබිණි. එමෙන්ම ඉන්දීය විදේශ ලේකම්වරයා වූ හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ පැවැති සාකච්ඡාවේදී පවා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කොට තිබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ඉන්දීය බලපෑමක් නැතිලු…
නමුත් ආණ්ඩුව නම් කියන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම හා ඉන්දියාව අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවය. පළාත් සභා මැතිවරණය වසර ගණනාවක් ප්‍රමාද කොට ඇති බවත්, තවත් ප්‍රමාද කිරීමට නොහැකි නිසා එය පැවැත්වීමට තීන්දු කොට ඇති බවත් ආණ්ඩුවේ මතය වී තිබේ. නමුත් ඒ සඳහා නීතිමය බාධාවන් ඇති බැවින් ලබන ජනවාරි මාසයේදී යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීම හරහා අප්‍රේල් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවේ සැලසුම වී ඇත.
ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධය
නමුත් ආණ්ඩුවට එහිදී කිසියම් සැකයක් මතුව ඇත්තේ ආණ්ඩුවේ සුළු පක්ෂ ඊට සහාය ලබාදෙනු ඇතිද යන්න කියාය. විශේෂයෙන් ආණ්ඩුවේ සුළු පක්ෂ රැසක් ඊට විරෝධය පළකොට තිබීම නිසා ආණ්ඩුවේ අදහස වී ඇත්තේ එම යෝජනාවට සුළු පක්ෂ සිය ඡන්දය භාවිත නොකරනු ඇතැයි කියාය.
එවැනි පසුබිමක් පැවැතියදී පසුගිය සතියේ සමගි ජන බලවේගයත්, දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුවට නිල වශයෙන් දැනුම්දීමක් කරනු ලැබුවේ ආණ්ඩුවේ සුළු පක්ෂ එම යෝජනාවට ඡන්දය නොදෙන්නේ නම් තම පක්ෂවලින් ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය ලබාදීමට සූදානම් යැයි කියාය. මේ බව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රැස්වීමේදී ආණ්ඩුවට දැනුම් දීමට නියමිතව ඇත.
තියෙන ප්‍රශ්න මෙන්න
කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයනුත්, විපක්ෂයත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කැමැත්තෙන් සිටියත්, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් නම් සිටින්නේ මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සුදුසු නැතැයි කියාය. විශේෂයෙන්ම බඩු මිල ඉහළ ගොස් තිබීම, පොහොර ප්‍රශ්නය, යුගදනවි බලාගාරයේ 40%ක් ඇමෙරිකාවට පවරා දීම, කොළඹ ඉඩම් විකිණීම ආදී ප්‍රශ්න ගණනාවක් මතුව ඇති මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම ප්‍රඥාවන්ත තීන්දුවක් නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අදහසද මෙය වී ඇති අතර ඉකුත් බදාදා දිනයේදී අමාත්‍ය විමල් වීිරවංශ මහතා එය ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කිරීමටද පියවර ගත්තේය.
මීට අමතරව ආණ්ඩුවේ පසුපෙළද මේ වන විට සිටින්නේ පළාත් සභා මැතිවරණය මේ මොහොතේ පැවැත්විය යුතු නැති බවට වූ ස්ථාවරයේය. ඒ බව දැනුම් දීම සඳහා ආණ්ඩුවේ පසුපෙළ මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවා පැවැත්වීමට ඉල්ලීමක් කර තිබේ.
විපක්ෂයෙන් තුනෙන් දෙක
කෙසේ වෙතත් විපක්ෂයේ සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් දැන් තියාම පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට අවසන්ය. ඒ වෙන කොහෙන්වත් නොව මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩුදී ඇති කුඹුරෙන්ය. ඒ අනුව පසුගිය සතියේ සජිත් ප්‍රේමදාසත්, විජිත හේරතුත්, සුමන්තිරනුත් කුඹුරට බැස සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
සජබෙ 9ක් අයින්වෙන්න තීන්දු කරයි
මීට අමතරව සමගි ජන බලවේගය ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන තවත් විශේෂ තීන්දුවක්ද ගෙන තිබේ. ඒ, සියලු පළාත් සභාවලට ඒ ඒ පළාත් නියෝජනය කරන ජනප්‍රිය මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු අසුනින් ඉල්ලා අස්වී මහ ඇමැති ධුරයට තරග කිරීමටය. මෙම යෝජනාවට දැනටමත් වයඹින් නලින් බණ්ඩාරත්, මධ්‍යමින් මයන්ත දිසානායකත් එකඟතාව පළකොට තිබේ. මෙසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන්ට ඉදිරි ආණ්ඩුවකදී කැබිනට් ඇමැති තනතුරු ලබාදීමටද මේ වන විට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
ජගත්ට වෙච්ච දෙයක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මුලින්ම පත්වීම ලැබුවේ ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාය. ඒ සඳහා හේතුවී තිබුණේ පසුගිය කාලය පුරාම ජගත් ආණ්ඩුව සමග සිටීමත්, විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා මාස්ටර් ප්ලෑන් එක සකස් කළ බැසිල් රාජපක්ෂ මහතාගේ අති සමීපතමයකු වීමත්ය. කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ධුරය හිස් වීමත් සමග බැසිල්ගේ ඉල්ලීම උඩ ජගත්ට ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ධුරය සඳහා නම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර පසුව එම නාම යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරකසභාවෙන් අනුමැතියද හිමිවිය.
කෙසේ වෙතත් කොරෝනා අර්බුදය හේතුවෙනුත්, ජගත්ටද කොරෝනා වැලඳී තිබීම හේතුවෙනුත් ජගත්ගේ ඕස්ටේ්‍රලියානු ගමන දිනෙන් දින පමාවන ආකාරයක්ද දැකගත හැකි විය.
ජනපතිට යකා නගී
මෙවැනි පසුබිමක් යටතේ හිටි හැටියේම මීට සති කිහිපයකට ඉහතදී ජගත් ඉතා අපහසුවෙන් ඉංග්‍රීසි භාෂාව හසුරුවමින් සාකච්ඡාවක නිරතව සිටින ආකාරයේ වීඩියෝවක් යූටියුබ් නාලිකාවේ ප්‍රචාරය වන්නට විය. එම වීඩියෝව මෙරට ඇතැම් වෙබ් අඩවිද පළ කිරීමට පියවර ගැනීම හේතුවෙන් අතිවිශාල ප්‍රසිද්ධියක් ඊට හිමිවන ආකාරයද දැකගත හැකි විය. විශේෂයෙන්ම උපහාසාත්මකව ඊට විවිධ පුද්ගලයන් සිය මතය ප්‍රකාශ කර තිබීම නිසා ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානයද ඊට යොමුව තිබිණ.
ඒ වන විට ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටියද ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් මෙම වීඩියෝව ජනාධිපතිවරයා වෙත යැවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව වීඩියෝව දුටු සැණින් ජනාධිපතිවරයාගේ රතු කට්ට පැන්න අතර වහාම ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කොට එහි ඇත්ත නැත්ත විමසා බැලීමට පියවර ගත්තේය. වීඩියෝව සත්‍ය එකක් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් තහවුරු කිරීමත් සමග ජනාධිපතිවරයා නියෝග කළේ ඕස්ටේ්‍රලියානු මහකොමසාරිස් ධුරය ජගත්ට ලබා නොදෙන ලෙසටය. ඒ අනුව තවත් නමක් එම තනතුර සඳහා ඉදිරියේදී නිර්දේශ වනු ඇත.










