ශ්‍රී ලංකා නීතඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, මේ වන විට රට තුළ මතුව ඇති දේශපාලන සංස්කෘතිය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් පසුගිය අඟහරුවාදා (06) දින සිදුකළා. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ 118 වැනි ජන්ම දින සැමරුමට සමගාමීව ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන කවය කොළඹදී සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින් සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ අප රටේ නීති ශක්තිමත් වුවත්, ස්වාධීන විය යුතුව ඇති ආයතනවල සිටින ඇතැම් පුද්ගලයන් ස්වාධීන නොමැති බවයි. එමෙන්ම එසේම වෙනත් රටවල යම් දූෂණ චෝදනාවක් එල්ල වූ දේශපාලනඥයන් සිය ධුරවලින් ඉල්ලා අස්වුවද, ලංකාවේ එවැනි සංස්කෘතියක් නොමැති බවද සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නා.
ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන කවය සංවිධාන කළ එම සම්මන්ත්‍රණයේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහත පළවේ.
රටේ ආයතන දුර්වල වුණොත් තමයි ඒ රට අසාර්ථක වෙන්නේ. අපි දන්නවා ගොඩක් වෙලාවට ලංකාවේ ආර්ථික අර්බුදය සමහර අය ලඝු කරන්න හදනවා ආර්ථික ප්‍රශ්නවලට විතරක්. අපි කවුරුත් දන්නවා මේ ආර්ථික අර්බුදය ඇතිවෙන්නේ රටේ ආයතන දුර්වල වෙලා අසාර්ථක වීම හරහා කියලා. මම විශ්වාස කරන දේ තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕනෙ නම් අපි ගැඹුරු න්‍යාය පත්‍රයක් හදන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇතිකරන්න. මේ රටේ ආයතන අපි ශක්තිමත් වගකිව යුතු ආයතන බවට පත්කරන්න ඕනේ. මම විශ්වාස කරන හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණමය ආයතන දුර්වල වී තිබීම. මේ ආයතන ශක්තිමත් වුණේ නැත්නම් මේ ආයතන ස්වාධීන වුණේ නැත්නම්, වගකිව යුතු ආයතන වුණේ නැත්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බෑ.
මම ඒ සඳහා උදාහරණ දෙකක් දෙන්නම්. ඔබ කවුරුත් දන්නවා 1981 කලවානේ සිදුවුණු සිද්ධිය. කලවානේ ඡන්ද පෙත්සමක් ඉදිරිපත් වුණා. එහිදී අධිකරණය විසින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ධුරය අහිමි කළා. හැබැයි ඔහුගේ ධුරය අහිමි කරන්න කලින් අබේරත්න පිලපිටිය මන්ත්‍රීවරයා ඔහුගේ ධුරයෙන් ඉල්ලා අස්වුණා. අස්වුණා නෙවෙයි ඔහු මාස තුනක් පාර්ලිමේන්තුවට නෑවිත් හිටියා. නෑවිත් හිටියම ඔහුගේ ආසනය හිස් වුණා. ආසනය හිස් වුණාම එක්සත් ජාතික පක්ෂය ආපහු ඒ ආසනයට අබේරත්න පිලපිටිය මහතාව නම්කළා. ඊළඟට උසාවියට ගිහින් ගෙනාපු තර්කය තමයි දැන් ඡන්ද පෙත්සමෙන් වැඩක් නෑ, ඡන්ද පෙත්සමෙන් පත්වෙච්ච අබේරත්න පිලපිටිය නෙවෙයි මේ ඉන්නේ, පත්වෙච්ච අබේරත්න පිලපිටිය තමයි මේ ඉන්නේ කියලා. එහෙම කියලා තර්කයක් ගේනකොට ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමාගේ පුතා නීතිඥයෙක්. ඒ නීතිඥ මහත්මයා මට කිව්වා ඒ තර්කය ගේනකොට අබ්දුල් කාදර් කියන විනිශ්චයකාරතුමා ඒ තර්කය කෙළින්ම ප්‍රතික්ෂේප කළා කියලා. ප්‍රතික්ෂේප කරලා අබේරත්න පිලපිටිය මහත්මයගෙ ධුරය අහෝසි කළා. එතකොට මොකක්ද වුණේ? ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඒ නඩුව පැරැදුණා. කතානායකවරයා ගාවට ගියා. කතානායකවරයා ගාවට ගිහින් තර්කයක් ගොඩනැගුවා දැන් උසාවියෙන් ආසනය අහිමි කරලා තියෙන්නේ, මට පාර්ලිමේන්තුවේ අසුන්ගන්න දෙන්න, මොකද මම අර ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රී නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය විසින් චිට් එකෙන් පත්කරපු මන්ත්‍රී කියලා. එතකොට කතානායකතුමත් අවසර දුන්නා අබේරත්න පිලපිටිය මහත්මයට අසුන්ගන්න.
මට මතකයි ඒ කාලේ මම පාසල් ශිෂ්‍යයෙක්. නමුත් ඒ වෙලාවේ අපේ ගෙවල්වල කතා වුණේ කොහොමද මේක වෙන්නේ කියලා. උසාවිය තීන්දුවක් දීලා තියෙනකොට කොහොමද කතානායකවරයා මෙහෙම අවසරයක් දෙන්නේ කියලා. එහෙම දුන්නාම ඒ වෙලාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කල්පනා කළා මේ ප්‍රශ්නෙ ඉවර වෙයි කියලා. හැබැයි ඉවර වුණේ නෑ. මැතිවරණ කොමසාරිස් වීරසේකර මහත්තයා කිව්වා, මම කලවානේ අතුරු මැතිවරණය පවත්වනවා. උසාවියෙන් නියෝගයක් දීලා තියෙන්නේ, මම කතානායකවරයා තීරණය කළාට මම කලවානේ අතුරු මැතිවරණයක් පවත්වනවා කියලා. දැන් කලවානේ අතුරු මැතිවරණයක් පවත්වන්න නියම කරලා තියෙනවා. අබේරන්ත පිලපිටිය මහත්තයා මන්ත්‍රී ආසනයෙත් ඉන්නවා. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා කමක් නෑ, එහෙම නම් අපි කලවානට මන්ත්‍රීලා දෙන්නෙක් පත්කරමු කියලා. එක්කෙනෙක් පිලපිටිය මහත්තයා, අනෙක් කෙනා අතුරු මැතිවරණයෙන් පත්වෙන්න ඉන්න මන්ත්‍රීවරයා. කලවානට විතරක් මන්ත්‍රීවරු දෙන්නයි. ආසන සංඛ්‍යාව 169ට වැඩිකරන්න තුන්වැනි සංශෝධනය ගෙනාව. ඒ තුන්වැනි සංශෝධනය අභියෝග කළේ ක්‍සඩසක රසටයඑි පදඩැපැබඑ එකෙන්. ඒ වෙනුවෙන් පෙනී සිටියේ රාජ්‍ය නීතිඥ නඩේසන් මහත්තයා. දෙසැම්බර් 26 වැනිදා නඩුව ඇහුවා. ඒ නඩුව බලපු නීතිඥ මහත්තයෙක් මට කිව්වා වචන දෙකක්වත් නඩේසන් මහත්තයට කතා කරන්න ලැබුණේ නෑ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය නීතිපතිතුමාට කියලා තියෙනවා කොහොමද මේ වගේ පනත් ගේන්නේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා තුනෙන් දෙකක් විතරක් නෙවෙයි ජනමත විචාරණයකුත් පවත්වන්න ඕනෙයි කියලා. කලවානට ආසනයක් වැඩිකරන්න ජනමත විචාරණයක් පවත්වන්න බැහැනේ. එතකොට මේ අතර අතුරු මැතිවරණය පවත්වලා සරත් මුත්තෙට්ටුවේගම මහත්තයා පත්වුණා. එතකොට අබේරත්න පිලපිටිය මහත්මයා ඉල්ලා අස්වෙලා සරත් මුත්තෙට්ටුවේගම මහත්තයා දිවුරුම් දුන්නා. මේක එක උදාහරණයක්.
දෙවැනි උදාහරණය තමයි අග්‍රවිනිශ්චයකාර නලින් පෙරේරා මහත්මයා යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, නලින් පෙරේරා මහත්මයා පත්කරනකොට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 06ට හිටිය ජ්‍යෙෂ්ඨතම වෘත්තීමය විනිශ්චයකාරවරයා. මාසයක් ගියේ නෑ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ විසුරුවාහැරීමේ නියෝගයට විරුද්ධව නඩුවක් පැවරුවා. සුමන්තිරන් මහත්තයලා තමයි ඒ නඩුවට පෙනී සිටියේ. ඒ නඩුව එනකොට පළමුවැනි දවසේම විනිශ්චයකාරවරුන් තුන්දෙනෙක් හිටියා. නලින් පෙරේරා අග්‍රවිනිශ්චයකාරතුමා, ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුතුමා, ප්‍රසන්න ජයවර්ධන විනිශ්චයකාරතුමා. උපදෙස් ගන්න අවශ්‍යයි කියලා නීතිපතිතුමා දිනයක් ගන්න උත්සාහ කළා. ගොඩක් නඩුවල අපි දැකලා තියෙනවා නීතිපතිතුමා ඇවිල්ලා උපදෙස් ගන්න දින ඉල්ලනවා. ඒ අනුව නීතිපතිවරයාට උදේ කිව්වා එහෙනම් උපදෙස් අරගෙන හවස 1.30ට එන්න කියලා. නඩුව ගත්තා. තහනම් නියෝගයක් දුන්නා. මාසයක් ඇතුළත උසාවිය තීන්දුවක් දුන්නා විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා. නලින් පෙරේරා මහත්මයාව පත්කළේ ඒ ජනාධිපතිතුවරයාමයි. හැබැයි නලින් පෙරේරා අග්‍රවිනිශ්චයකාරතුමාට ඒ හයිය තිබුණා. ඒ ශක්තිය තිබුණා. ඒ කොන්ද තිබුණා. නිවැරැදි දේ කරන්න.
මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ප්‍රධානම තර්ජනය තමයි අපේ රටේ ආයතන දුර්වල වෙලා තියෙන එක. නීතියේ නෙවෙයි අඩුපාඩුව තියෙන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඕනෙ තරම් ප්‍රතිපාදන තියෙනවා. කොමිෂන් සභාවල ස්වාධීනත්වය ගැන ඕනෙ තරම් ප්‍රතිපාදන තියෙනවා. පොලිස්පතිවරයාව ආරක්ෂා කරන්න 2002 පනතක් ගෙනැල්ලා තියෙනවා. නීතිපතිතුමාගේ ධුරය ආරක්ෂා කරලා තියෙනවා. මේ හැමෝගෙම ධුර ආරක්ෂා කරලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ නීති තිබුණට මේ ස්වාධීන විය යුතු ආයතන හැම වෙලාවෙම ස්වාධීන නොවීමයි. දැන් ඒ ආයතන ස්වාධීන නොවීම නිසා තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අතිවිශාල ගැටලු ඇතිවෙලා තියෙන්නේ. සමහර විට එළියෙ ඉන්න අපි මේ ආයතනවල ස්වාධීනත්වය ගැන කතාකරනවා. අපි සටන් කරනවා මේ ආයතනවල ස්වාධීනත්වය ගැන. අවාසනාවකට ඇතැම් අය ස්වාධීන විය යුතු අය, ඒ අයගේ ස්වාධීනකම ගැන කැක්කුමක් නෑ. හිටපු අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් මහත්මයා කියලා තියෙනවා විනිශ්චයකාරවරු සම්බන්ධයෙන් කොන්ද කැඩුණොත්, ආයි ඒ කොන්ද හදන්න නම් ලෝකෙ කොහෙන්වත් ශල්‍ය වෛද්‍යවරයෙක් හොයාගන්න බැරිවෙයි කියලා. මේ ස්වාධීන ආයතනවල ප්‍රශ්නෙ ඒකයි. ඒ නිසා අපි මේ ආයතන ශක්තිමත් කරන්න කටයුතු කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් සමාජයේ බලපෑම තුළින්. සමාජයේ බලපෑම තුළින් තමයි මේ හයිය ලබාදෙන්න පුළුවන්. සමහර ආයතනවල ඉන්න දුර්වල පුද්ගලයන්ව ශක්තිමත් කරන්න පුළුවන් සමාජයෙන් ඒ හයිය ලබාදුන්නොත් විතරයි.
දැන් බලන්න පොලිස්පතිවරයා. පොලිස්පතිවරයා දුක්ගැනවිල්ලක් ලියනවා, බලන්න පොලිසියේ ස්ථානාධිපතිවරු දේශපාලන පත්වීම්වලට ලක්වෙලා තියෙනවා කියලා. කවුද ස්ථානාධිපතිවරු පත්කළේ? පොලිස්පතිමනේ. එතකොට ස්ථානාධිපතිවරු පත්කිරීම දේශපාලනීකරණය වෙලා තියෙනවා නම්, ඒ ඇයි? පොලිස්පතිවරයා ඒ දේශපාලන නියෝගවලට ලක්වෙලා තියෙන නිසා. ඒ නිසා ප්‍රධාන වශයෙන් මම විශ්වාස කරන්නේ මේ රටේ ආයතන ශක්තිමත් කරන්න ඕනෙ අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම්. මේ රටේ අධිකරණය, කොමිෂන් සභා ශක්තිමත් කරන්න ඕනේ.
අපි දැක්කා පහුගිය මාස කිහිපය තුළ රටේ ස්වාධීන ආයතනවලට විශාල ප්‍රහාරයක් එල්ලවෙලා තියෙනවා. මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත්කළාට පස්සේ විවිධ ආයතන විසින් විවිධ පුද්ගලයන් විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ කොමිෂන් සභාව ඇතුළත බෙදීම් ඇතිකරන්න උත්සාහ කරලා තිබුණා. මානව හිමිකම් කොමිෂන් සභාවත් ඒ ආකාරයෙන්මයි. අපි දන්නවා ඉස්සර කාලේ උසාවියක නියෝගයකට අවනත වුණේ නැත්නම් රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවෙනවා උසාවියක් නියෝගයක් දීලා තියෙද්දී කොහොමද ඒකට අවනත නොවෙන්නේ කියලා. නමුත් 69/2023 කියන නඩුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් මුදාහරින්න කියලා නියෝගයක් කළේ මුදල් ලේකම්වරයාට විතරක් නෙවෙයි. ඒක මුදල් ඇමැතිවරයාටත් කළා. එහෙම නියෝගයක් කරලා තියෙනකොට ඒ නියෝගයට අවනත නොවී ඉන්නවා. නියෝගය පිළිපදින්නේ නෑ. ඒ වෙනුවට වරප්‍රසාද ප්‍රශ්නයක් පටලවලා ඒ විනිශ්චයකාරවරුන්ට වක්‍රාකාරයෙන් තර්ජනයක් ගේනවා ඒ අයව වරප්‍රසාද ප්‍රශ්නවලට හසුකරනවා කියලා. ඒ ප්‍රශ්න මතුකළා විතරයි. එතැනින් එහාට මුකුත් වුණේ නෑ. නමුත් ඒ තුළින් උත්සාහ කරන්නේ මේ ස්වාධීන ආයතනවල ස්වාධීනභාවය යටපත් කරන්න.
සමහර වෙලාවට එළියෙ ඉන්න අපි මේ ආයතනවල ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරනවා. අවාසනාවකට ඇතැම් ස්වාධීන විය යුතු අයට, ඒ අයගේ ස්වාධීනකම ගැන කැක්කුමක් නෑ. මේ ආයතන ස්වාධීන වෙලා විතරක් වැඩක් නෑ. මේ ආයතනවල වගවීම අපි තහවුරු කරන්න ඕනේ. අපි කාලයක් තිස්සේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා. හැබැයි අපි අද එතැනින් එහාට ගිහින්, තමන්ගේ කාර්යයන් සඳහා වගකිව යුතු ආයතන බවට පත්කරන්න ඕනේ. මේ රටේ නීති සෑදීමේ කාරයභාරය. නීති සෑදීම සම්බන්ධයෙන් ප්‍රමාණවත්ව ජනතාවගේ අදහස් විමසීමක් වෙන්නෙ නෑ. අපි දැක්කා පහුගිය කාලේ ත්‍රස්ත මර්දන පනත, දූෂණ වැළැක්වීමේ පනත. දැන් අපි කතා කරනවා විකාශන අධිකාරයක් ගැන. මෙවැනි නීති ගේන්න ඉස්සෙල්ලා ප්‍රමාණවත්ව ජනතාවගේ මත විමසන්න ඕනේ. ඒ ගැන උනන්දුවක් දක්වන අයගේ මත විමසන්න ඕනේ. ත්‍රස්ත මර්දන පනත ගැන කිව්වොත් ඒක ඉතා රහසිගතව තමයි හැදුවේ. විශාල විරෝධයක් මතුවෙච්ච නිසා දැනට ඒක නවත්තලා තියෙන්නේ. ඒ නිසා අලුත් නීති ගෙන ඒමේදී බලපෑම් කරන්න ඕනේ ඒ නීති ජනතාවගේ මත විමසන්නේ නැතුව ගේන ඒක විරුද්ධ වෙන්න ඕනෙ. සිවිල් සමාජයටත් වගකීමක් තියෙනවා අලුතෙන් ගෙන එන නීති සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට.
පහුගිය දවස්වල අපි දැක්කා රේගුව තුළ එක පාර්ලිfමේන්තු මන්ත්‍රීවරයෙක් මිලියන ගානක රත්‍රං ගෙනාවා. රේගුවට පුළුවන් ඒ වගේ අයට තුන්ගුණයක් දඩ ගහන්න. නමුත් දඩ ගැහුවේ 10%යි. අද වෙද්දී පත්තරවල වාර්තා කරලා තිබුණා වෙනත් විදේශිකයකුට ඒ වගේම ප්‍රමාණයක් ගෙනාවම මිලියන 80ක විතර දඩයක් ගහලා, ඔහුට ඒක ගෙවාගන්න බැරිවුණු නිසා රිමාන්ඩ් කළා කියලා. කොහොමද දෙන්නෙකුට දෙවිදියකට සලකන්නේ? අද අපේ ආයතන අපේ දේශපාලනඥයන්, ඇමැතිවරුන් වගකියන්නේ නෑ. එහෙම නැත්නම්, අපරාධ වරදකට වැරැදිකරුවෙක් වෙලා අභියාචනයට යටත්ව ඉන්න කෙනෙක් කොහොමද කැබිනට් අමාත්‍යාංශයක් දරන්නේ? ඒක නීතියෙන් තහනම් නෑ. නමුත් සදාචාරාත්මක අයිතියක් තියෙනවා. වෙන රටක නම් ඒ පුද්ගලයා ඉල්ලා අස්වෙලා, අඩු තරමේ තමන්ගේ නඩුව ඉවරවෙනකල් හරි අඩු ගානේ තමන්ගේ ධුරයෙන් අයින් වෙලා ඉන්නවා. හැබැයි ලංකාවේ එහෙම නෙවෙයි. මේ සංස්කෘතියට විරුද්ධව අපි හැමෝම කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ප්‍රජාතන්ත්‍රවාදය අපට ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ.










