2025 වසරට සාපේක්ෂව 2026 වසර සඳහා වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අයවැයෙන් වෙන්කළ මුදල තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු 2025 වසර සඳහා ඉදිරිපත් කළ පළමු අයවැයේදී ඔහු සිදුකළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීමය.
කෙසේ වෙතත් 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මෙවර ඉහළ නංවා තිබේ.
2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව එය 72%ක පමණ වැඩිවීමකි.
මෙවර වැඩිම මුදලක් වෙන්ව තිබෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වන අතර, එම මුදල රු. බිලියන 634.78කි.
දෙවැනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටද, තෙවනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහාද මුදල් වෙන්ව ඇති අතර, ජනාධිපතිවරයා විසින්ම අමාත්‍ය ධුරය දරනු ලබන ආරක්ෂක අමාත්‍යංශයට රු. බිලියන 455ක් වෙන්ව තිබේ.










