පාට වෙනස් කරපු මෛත්‍රී!
එජාපය 77 කොළඹ වළේ තියයි!
චන්ද්‍රිකා යළි එළියට!
බැසිල් කියපු අනාවැකිය!
මෛත්‍රී කරපු දෙයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වසර 25ක් මේ රට පාලනය කළ, ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම ජනාධිපතිවරුන් දෙදෙනකු බිහිකළ දැවැන්ත පක්ෂයකි. ශ්‍රීලනිපය බිහි කළ ලොව මුල්ම අගමැතිවරිය වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. ජනාධිපතිවරුන් දෙදෙනා වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත්, මහින්ද රාජපක්ෂත්ය. එවැනි දැවැන්ත බලයක්. පෞරුෂයක්, අභිමානයක් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැටීම ආරම්භ වූයේ 2015 එවක පක්ෂ මහලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය කඩාගෙන ගොස් එජාපය සමග එක්වී ජනාධිපති ධුරයට තරග කිරීමත් සමගය. එජාපයේ පිහිටෙන් එම ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රී, පසුව බලෙන්ම වාගේ ශ්‍රීලනිප නායකත්වයද තමා සතුකර ගැනීමට සමත් විය. අනතුරුව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු කිහිප දෙනකුට කැබිනට් ඇමැතිකම් ලබා දී ශ්‍රීලනිප – එජාප යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමටද මෛත්‍රී පියවර ගත්තේය. අවසානයේදී 2019 මෛත්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් වන විට මන්ත්‍රීවරු සිය ගණනක් සිටි ශ්‍රීලනිපය මන්ත්‍රීවරු දහ දෙළොස් දෙනකු සිටින තැනට නැතිභංගස්ථාන කර දැමීමට මෛත්‍රී කටයුතු කොට තිබිණි. අනතුරුව ජනාධිපති ධුරයේ සිට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට සාමාන්‍ය මන්ත්‍රීවරයකු වශයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමටද මෛත්‍රී කටයුතු කළේය.Sri Lanka Latest News
මෛත්‍රී පාට වෙනස් කරන හැටි!
සාමාන්‍යයෙන් මෛත්‍රී සැලකෙන්නේ දේශපාලනයේ අද එකක් කියන, හෙට තව එකක් කියන, ඒ කියන දේවල්වලට හාත්පසින්ම වෙනස් එකක් කරන නායකයකු ලෙසටය. එසේත් නැත්නම් කියන දේ නොකරන, හිටිහැටියේ පාට වෙනස් කරන දේශපාලකයකු ලෙසටය. 2015 ජනාධිපතිවරණ සමයේදී මුළු රාජපක්ෂ පවුලටම චෝදනා කළ මෛත්‍රී ජනාධිපතිවරණයෙන් පසු එම හොරකම් ඔප්පු කොට රාජපක්ෂවරුන් හිරේ දමන බව කියා සිටියේය. අන්තිමේදී මෛත්‍රී රාජපක්ෂවරුන්ගේ හොරකම් අල්ලනවා වෙනුවට පිටුපස දොරෙන් මහින්දව ගෙනැවිත් යළිත් අගමැතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේය. තවත් වරක මෛත්‍රී අලුත් පක්ෂ පිහිටෙව්වොත් රාජපක්ෂවරුන් පාරේ ඇවිද්දවන බවට කටමැත දෙඩවූයේය. අවසානයේදී මෛත්‍රීට සිදුවූයේ රාජපක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ පොහොට්ටුවෙන්ම මහ මැතිවරණයට තරග වැදී නිකන්ම නිකන් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන්නටය.
කට්ටිය පැන්නුවා! ආයෙ ගත්තා!
ගෝඨාගේ ඉවත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් තේරී පත්වූ විට මෛත්‍රී සහභාගි වූ පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමකදී තීන්දු කළේ ශ්‍රීලනිප කිසිවකුත් රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම් නොගන්නා බවටය. නමුත් එම පක්ෂ තීන්දුවට පිටින් යමින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක ඇතුළු කණ්ඩායමක් රනිල් සමග එක්වී ඇමැති ධුර ලබාගැනීමත් සමග ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, ඔවුන් දැරූ තනතුරු සියල්ල අහෝසි කොට පක්ෂයෙන් ඉවත් කිරීමටත් පළමු අදියරේදී මෛත්‍රී කටයුතු කොට තිබිණි. නමුත් අවසානයේදී නිමල් සිරිපාලලාට, අමරවීරලාට පනවා තිබූ සියලු විනය ක්‍රියාමාර්ග අත්හිටුවා ඔවුන් නැවත පක්ෂයේ රැස්වීම් සඳහා කැඳවා ගැනීමටද මෛත්‍රී පියවර ගත්තේය. මෛත්‍රී එසේ කළේ පක්ෂය ගත් තීන්දුව දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායමක් දැඩි ස්ථාවරයක සිටි පසුබිමකදීය. එහිදී දයාසිරිලාගේ ස්ථාවරය වී තිබුණේ ජනතා සහායක් නොමැති ආණ්ඩුවකට එක්වී තනතුරු ගන්නවා වෙනුවට විපක්ෂය සමග එක්වී ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු යැයි කියාය. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර පැවැති සාකච්ඡා වට ගණනාවකටද දයාසිරි ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම සහභාගි වී තිබිණි.
නඩුවට බය වෙලාද?
මේ ආකාරයට මෛත්‍රී හිටි හැටියේම පක්ෂයෙන් ඉවත් කොට සිටි නිමල් සිරිපාලලා, අමරවීරලා යළි පක්ෂයට ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා සැක කරන කාරණාවන් කිහිපයක්ම තිබේ. ඉන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය මුල් කරගෙන මෛත්‍රීට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රී දැඩි බියට පත්ව සිටින බවට කටකතා පැතිර යෑමය. දැනටමත් මෛත්‍රීට පාස්කු වින්දිතයන් වෙනුවෙන් රුපියල් කෝටියකට අධික වන්දියක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසට අධිකරණ නියෝගයක්ද ලැබී තිබේ. මෛත්‍රී මෙසේ හිටි හැටියේම ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප ඇමැතිවරුන් තමන් සමීපයට ගැනීමට කටයුතු කොට ඇත්තේ ඒ බිය නිසා බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
දයාසිරි කාඩ් යවලත් ඉවරයි!
ඒ කොයි හැටි වෙතත් ආණ්ඩුවට එක්ව තනතුරු ගත් මෙම ඇමැතිවරුන්ගේ බලපෑම හේතුවෙන් මෛත්‍රී පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනීමට කටයුතු කළේය. ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය මුල් කරගෙනය. අවසන් වරට පැවැති මධ්‍යම කාරකසභා රැස්වීමේදී තීන්දුවක් ගෙන තිබුණේ මෙවර පක්ෂ සම්මේලනය පක්ෂ මහලේකම් දයාසිරිගේ දිස්ත්‍රික්කය වූ කුරුණෑගල හෙට්ටිපොළ ආසනයේ පැවැත්වීමටය. එම තීන්දුව ගැනීමෙන් පසු පසුගිය සති කිහිපය පුරාම කුරුණෑගල සිටි දයාසිරි සම්මේලනය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමටත්, එය සාර්ථක කරගැනීමටත් විශාල කැපකිරීමක් කරමින් රැස්වීම් පවත්වමින්, පාක්ෂිකයන් දැනුවත් කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබිණි. වෙනකක් තබා සම්මේලනයට පැමිණෙන ලෙස ආරාධනා කරමින් පක්ෂයේ ප්‍රධානීන්ටත් ආසන සංවිධායකවරුන්ටත්, කුරුණෑගල මහ සඟරුවන ඇතුළු ප්‍රභූ පිරිසටත්, සාමාන්‍ය ජනතාවට ආරාධනා පත්‍ර යැවීමට පවා දයාසිරි කටයුතු කොට තිබිණි.
තීන්දුව වෙනස් කරයි!
නමුත් පසුගිය සතියේ හිටිහැටියේ දයාසිරිට කතා කළ මෛත්‍රී කියා සිටියේ ශ්‍රීලනිප මහ සමුළුව හෙට්ටිපොළ නගරයේ පැවැත්වීම සම්බන්ධයෙන් යම් ආරක්ෂක ගැටලුවක් මතුව ඇතැයි කියාය. එහිදී මෛත්‍රී, දයාසිරිට කියා සිටියේ මෙවර පක්ෂ සම්මේලනයට ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන සිටින පිරිසද සහභාගි වීමට නියමිතව ඇති බවත්, ඇතැම් පිරිස් සංවිධානාත්මකව ඔවුන්ට හූ තැබීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්ය.
දයාසිරිට යකා නගී!
‘දයාසිරි.. හෙට්ටිපොල සම්මේලනය තියෙන එකට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත අය පොරොන්දු වෙලා තියෙනවා සම්මේලනයට එනවා කියලා. හැබැයි ඒ අයගේ පොඩි බයක් තියෙනවා ජොනීග් අය මෙතැනට ඇවිල්ලා ඒගොල්ලන්ට හූ කියයි කියලා. ඉතින් ඒ අය කියනවා සම්මේලනය කුරුණෑගල නැතුව කොළඹ තියමු කියලා.’ යනුවෙන් මෛත්‍රී කියද්දී දයාසිරිට යකා ආරූඪ වූ ආකාරයක් දැකගත හැකිවිය. නමුත් ඒ බව නොපෙන්වා කතා කළ දයාසිරි කියා සිටියේ එවැන්නක් සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බවකි.
ජොනීට එහෙම හයියක් නෑ!
‘එහෙම වෙන්නේ කොහොමද? මේක මගේ ආසනය. මෙතෙන්ට ඇවිල්ලා ජොනීට එහෙම කරන්න හයියක් නෑ. අනෙක දැන් මම සම්මේලනය හෙට්ටිපොල තියන්න කටයුතු සංවිධාන කරලා ඉවරයි. අරාධනා පත්‍ර යවලත් ඉවරයි. ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ…’ යනුවෙන් දයාසිරි කියා සිටියද මෛත්‍රී නැවතත් කියා සිටියේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව ඇති බැවින් සම්මේලනය කොළඹ පැවැත්වීමට කටයුතු කළ යුතු යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඒ අවස්ථාවේදී ගනු ලැබුණේ නැත.
චන්ද්‍රිකාවත් ඇදගනී!
මෙම සිදුවීමෙන් පසු සම්මේලනය කුරණෑගලින් කොළඹට ගෙන ඒම සඳහා මෛත්‍රී ගැසූ දෙවැනි තුරුම්පුව වූයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගය. 2015 වන තෙක්ම මෛත්‍රී සහ චන්ද්‍රිකා අතර සමීප දේශපාලන හිතවත්කමක් පැවැතුණු අතර, රාජපක්ෂවරුන්ගෙන් මෛත්‍රී ගළවා ආණ්ඩුවෙන් එළියට ගැනීමට මුල් වූයේද චන්ද්‍රිකා බව බොහෝ දෙනාගේ අදහසය. එසේ පැවැති මෛත්‍රී-චන්ද්‍රීකා හිතවත්කම පළුදු වෙන්නට පටන් ගත්තේ මෛත්‍රී යළිත් රාජපක්ෂවරුන් සමග එක්වීමට කුමන්ත්‍රණ කිරීමත් සමගය. ඉන් අනතුරුව මෛත්‍රී චන්ද්‍රිකා ගැටුම එළිපිට දැකගන්නට ලැබුණු අතර, මෛත්‍රී ප්‍රසිද්ධියේම චන්ද්‍රිකාට චෝදනා කරන්නට විය. චන්ද්‍රිකාද ප්‍රසිද්ධියේම මෛත්‍රීට චෝදනා කිරීමට පියවර ගත්තාය. කොටින්ම කියනවා නම් දෙදෙනා දෙනාගේ රෙදි හොඳහැටි ප්‍රසිද්ධියේ ගළවා ගත්හ.
අපි කලින් හෙළිකළ රහස!
නමුත් පසුගිය කාලසීමාවේදී මෛත්‍රී හා චන්ද්‍රිකා අතර යම් පණිවුඩ හුවමාරුවක් සිදුව තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරයෙන් මීට මාස කිහිපයකට ඉහතදී අපි අනාවරණ කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් මෙහිදී මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති කරවීම සඳහා ගොඩනැගීමට සැලසුම් කර සිටින නව සන්ධානයට චන්ද්‍රිකාගේ සහායද ලබාගැනීම මෙම පිරිසගේ අදහස වී ඇති බවත්ය. ඒ හරහා මෛත්‍රී හා චන්ද්‍රිකාද මෙම සන්ධානයට එක්කොට ගැනීම ඔවුන්ගේ සැලසුම වී ඇති බව අපි එහිදී සඳහන් කොට සිටියෙමු.
චන්ද්‍රිකාගේ කොන්දේසිය!
මෙම පසුබිම යටතේ ශ්‍රීලනිප ඇමැතිවරුන් මේ වන විට සූදානමින් සිටින්නේ ශ්‍රීලනිප සම්මේලනයට චන්ද්‍රිකාවද රැගෙන ඒමටය. එහිදී යළිත් චන්ද්‍රිකා පක්ෂය තුළට ගෙන ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මෙහිදී චන්ද්‍රිකා ද ශ්‍රීලනිපය යළි ප්‍රතිසංවිධාන කිරීමේදී සැලකිය යුතු බලයක් තමන්ටද ලබාදෙන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කොට ඇති බවක් ආරංචිය.
දයාසිරිට කියපු දේ!
ඒ අනුව මෛත්‍රී පසුගිය සතියේදී තවත් වතාවක් දයාසිරිට කතාකොට පක්ෂ සම්මේලනය කුරුණෑගලින් කොළඹට ගෙන ඒම සඳහා ‘චන්ද්‍රිකා තුරුම්පුව’ද පාවිච්චි කිරීමට පියවර ගත්තේය. එහිදී මෛත්‍රී කියා සිටියේ චන්ද්‍රිකාද සම්මේලනයට සහභාගි වීමට නියමිත බවත්, කුරුණෑගල දුර වැඩි නිසා චන්ද්‍රිකා ඊට සහභාගි වීමට අදිමදි කරන බවත්ය.
තනි මතයට නිවේදනයක්!
‘මාර ප්‍රශ්නෙනෙ දයාසිරි. චන්ද්‍රිකා සම්මේලනේට එන්න කැමැතියි. ඒත් දුර වැඩියි කියලා එන්න අමාරුයි කියනවා. කොළඹ තිබ්බොත් නම් එන්නම්ලු….’ යනුවෙන් මෛත්‍රී කියද්දී දයාසිරි එහිදීද කියා සිටියේ මේ වන විට සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවත්, චන්ද්‍රිකාට සම්මේලනයට සහභාගි වීමට දුර වැඩි නම් හෙලිකොප්ටරයක් යවා හෝ ඇය ඊට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවත්ය.
කවුරුවත් දන්නේ නෑ!
මේ ආකාරයට දයාසිරිට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සම්මේලනය කොළඹට ගැනීමට මෛත්‍රී ගත් උත්සාහය අසාර්ථක වූ තැන අවසානයේදී මෛත්‍රී තම හිතුමනාපයට නිවේදනයක් නිකුත් කරමින් ‘ආරක්ෂක හේතූන් මත’ පක්ෂ සම්මේලනය කොළඹ පැවැත්වීමට තීන්දු කළ බව දැනුම් දී සිටියේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙවැනි නිවේදනයක් මෛත්‍රී නිකුත් කරන බවක් පක්ෂ මහලේකම් වශයෙන් දයාසිරි හෝ දැනට ශ්‍රීලනිපයේ ඉතිරිව සිටින ශාන් විජයලාල් වැනි මන්ත්‍රීවරුන් හෝ නොදැන සිටීමය. ඒ අනුව මෛත්‍රී තීරණය කොට ඇත්තේ කුරුණෑගලින් කොළඹට ගෙන ආ පක්ෂ සම්මේලනය කොළඹ අතිසුඛෝපභෝගී සුපිරි පැලැන්තියේ හෝටලයක් වන තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වීමටය.
නිකම් අත වනන්න බෑ!
කෙසේවෙතත් මෙම තොරතුරු වාර්තා වීමත් සමග චන්ද්‍රිකා නැවත වතාවක් අල්ලන්නට යන දේශපාලන අඩව්ව පිළිබඳ අපිද සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කිරීම සඳහා සම්පූර්ණ බලය තමන්ට ලබාදෙන්නේ නම් යන කොන්දේසිය යටතේ චන්ද්‍රිකා ශ්‍රීලනිප සම්මේලන වේදිකාවට එක්වීමට කැමැත්ත පළකොට ඇති බවකි. එසේ නොමැතිව තමන් වේදිකාවට ගොඩවී නිකරුණේ අත වැනීමට සූදානම් නැති බව චන්ද්‍රිකා මෛත්‍රීට දැනුම් දී ඇති බවක්ද ආරංචිය.
වළියක් යයිද?
කෙසේ වෙතත් මේ ආකාරයට මෛත්‍රී තනි හිතුමනාපයට සමුළුව කොළඹට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගෙන් 90%කට ආසන්න පිරිසක් මේ වනවිට දැඩි විරෝධය පළකොට ඇති බවක්ද වාර්තා වේ. පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතර විවිධ සාකච්ඡා සහ දුරකතන ඇමතුම් සිදුව ඇති අතර, එහිදී බොහෝ දෙනා සඳහන් කොට ඇත්තේ මීට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි කියාය. එමෙන්ම ආසන සංවිධායකවරුන් ලෙස පක්ෂ නායකත්වයේ මෙම අත්තනෝමතික කටයුතුවලට සංවිධානාත්මකව විරෝධය පළකළ යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
එදා ඉදන්ම ගහගත්තා!
සාමාන්‍යයෙන් ශ්‍රීලනිප ඉතිහාසය ගත් විට අතීතයේ සිටම පක්ෂ නායකයන් අතර බරපතළ ම ගැටුම් තිබූ සංස්කෘතියක් තිබිණි. පක්ෂය ඇතුළේ ගහගැනීම්, බැණගැනීම්, හූ තැබීම්, පුටු පෙරළාගැනීම්, උසාවි යෑම් ආදිය එදා සිටම ශ්‍රීලනිප සංස්කෘතිය ඇතුළේ තිබූ සිදුවීම්ය. ඇතැම් අවස්ථාවල පක්ෂ නායකයන්ට එරෙහිව කැරැලි ගැසූ අවස්ථා රැසක්ද මෙම සංස්කෘතිය ඇතුළේ තිබිණි. ඒ අනුව මෙවර පක්ෂ සම්මේලනයේදී එම සංස්කෘතිය අනුව යමින් බරපතළ බෙදීමක් පක්ෂය ඇතුළේ සිදුවනු ඇද්ද යන්න පිළිබඳ දැඩි සැකයක් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් අතර මේ වනවිටත් මතුව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.
එජාපය වළට බහී!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආකාරයට සිය 72 වැනි සමුළුව කොළඹ සුපිරි හෝටලයකට අරන් යද්දී එක්සත් ජාතික පක්ෂයද මේ දිනවල සැරසෙන්නේ සිය 77 වැනි පක්ෂ සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමටය. අවසන් වරට පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගත් තීන්දුවකට අනුව මෙවර එජාපය සිය සමුළුව පළමු වරට කොළඹ රථ ගාලක පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පහත ප්‍රදේශයක පිහිටා ඇති රථ ගාලේය.
කැසිනෝ රජා!
කෙසේ වෙතත් මේ රථ ගාල සහිත ඉඩමට විශාල දේශපාලන ඉතිහාසයක් තිබේ. ඒ, මෙම ඉඩම ඉතා බලගතු ආණ්ඩුවක් පෙරළීමට පවා පාර කපා තිබූ බැවිනි. එවක පැවැති මහින්ද රාජපක්ෂ රජය මෙම ඉඩම ලොව කැසිනෝ රජු යනුවෙන් විරුදාවලිය ලත් ‘ක්‍රවුන්‘ කැසිනෝ ව්‍යාපාරයේ හිමිකරු වන ජේම්ස් පැකර් හට ලබාදීමට තීරණය කොට තිබිණි. ඒ, එහි කැසිනෝ ශාලා සහිත දැවැන්ත හෝටලයක් ඉදිකිරීම සඳහාය. නමුත් ඊට ආණ්ඩුව ඇතුළේ එදා සිටි චම්පික රණවක මහතා ඇතුළු ජාතිකවාදී බලවේග ඉඩ දුන්නේ නැත. අවසානයේදී සිදුවූයේ මේ විරෝධය මත චම්පිකලා ආණ්ඩුවෙන් එළියට බැසීම හේතුකොට ගෙන මහින්දගේ පාලනය අවසන් වන තැනට පාර කැපීමය. ඒ අනුව මෙවර එජාපය සිය 77 වැනි සම්මේලනය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත්තේ ඒ ආකාරයට ආණ්ඩු බිඳවැටීමට සමත් වූ ඉඩමකි.
අලුත් තනතුරු!
අනෙක් අතට එම ඉඩම පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයට වඩා ඉතා පහතින් පිහිට භූමිභාගයක වීමද විශේෂ සිදුවීමකි. එවැනි තැනක ප්‍රධාන පක්ෂයක සම්මේලනයක් පළමු වරට පැවැත්වීමට තෝරාගැනීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනා තුළ ඇත්තේ විශාල කුතුහලයකි. කෙසේ වෙතත් අප කලින්ම අනාවරණ කළ පරිදි මෙවර මහා සම්මේලනයේදී එජාපය විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිතය. ඉන් පළමුවැන්න වන්නේ පක්ෂයේ නායකයා තේරීම සීමිත පිරිසක් සිටින කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කොට විශාල සංඛ්‍යාවක් සිටින පක්ෂයේ විධායක සභාවට ලබාදීමට පියවර ගැනීමය. ඒ හරහා පක්ෂ නායකත්වයට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විරෝධයක් එල්ල වීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කොට ඇත. එමෙන්ම මේ වන විට පක්ෂයේ ඉහළ තනතුරු හැරුණු විට අනෙක් සියලු තනතුරු අහෝසි කොට ඇති නිසා මෙම සමුළුවේදී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමටද රනිල් සැලසුම් කොට ඇත.
සජිත්ට තද වෙයි!
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුව පසුගිය සඳුදා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. සජබ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකුම පක්ෂ ස්ථාවරයට පිටින් යමින් ජනාධිපතිවරයා හා සජබය එක්විය යුතු බවට හැඟවෙන ආකාරයේ ප්‍රකාශ සිදු කොට තිබීම හේතුවෙන් රැස්වීම ආරම්භයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරමක සැර කතාවක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී සජිත් කියා සිටියේ තමන්ට අවශ්‍ය වෙලාවට එන්න යන්න මේ පක්ෂය පාපිස්සක් බවට පත්කර නොගන්නා ලෙසය.
අපේක්ෂකයා සජිත්!
එමෙන්ම මෙහිදී සජබය ප්‍රධාන කොටගෙන ගොඩනැගීමට නියමිත පුළුල්ම දේශපාලන සන්ධානය පිළිබඳ විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමටද පිරිස පියවර ගත්හ. ඒ, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට අමතරව සුළු පක්ෂ සහ දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන ඊට එක්කර ගැනීම සම්බන්ධයෙන්ය. එළැඹෙන ජනාධිපතිවරණයේදී මෙම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවටද මෙහිදී යෝජනා සම්මත විය.
ජවිපෙන් හදිසි ප්‍රකාශයක්!
මේ සියල්ල අතරවාරයේ ජනතා විමුක්ති පෙරමුණද කවදාවත් නැතිව ජනාධිපතිවරණයට හරියටම වසරක් තබා පසුගිය සතියේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේය. එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවකි.
මෙන්න හේතු 3..!
කවදාවත් නැතිව ජවිපෙ මේ ආකාරයට කල් තියාම සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීමට බලපෑ හේතු කාරණා කිහිපයක්ද විය. ඉන් ප්‍රධාන කරුණු කිහිපයක් වූයේ පසුගිය සතිය වන විට සමාජ මාධ්‍ය ජාලවල ජවිපෙ සම්බන්ධයෙන් විවිධ කටකතා නිර්මාණය වී තිබීමය. ඉන් එක් කටකතාවක් වූයේ සමගි ජන බලවේගය මූලික කොටගෙන බිහිවන විපක්ෂයේ පුළුල්තම සන්ධානයකට ජවිපෙද ඇතුළු වීමට නියමිත බවට ගිය කටකතාවය. එසේ පැතිර ගිය තවත් කටකතාවකින් කියැවුණේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඩලස් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත්, ජවිපෙද ඩලස්ට සහාය දැක්වීමට තීරණය කොට ඇති බවත්ය. මීට අමතරව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හරිනි අමරසූරිය ඊළඟ ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් කොට ඇති බවද තවත් කටකතාවකින් කියැවිණි. ඒ අනුව මේ සියලු කටකතාවලට තිත තැබීම සඳහා විජිත පසුගිය සතියේදී ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන කවුරුවත් නොව අනුර කුමාර බව ප්‍රකාශයට පත් කළ බව බොහෝ දෙනාගේ අදහසය.
ස්ටාලිනුත් කච්චතිව්!
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ අප විශේෂ අනාවරණයක් සිදුකරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත යළි ඉන්දියාවට ලබාගැනීමට කටයුතු කරන බවට ඉඟි වන ආකාරයේ කතාවක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී සිදුකළ බව වාර්තා කර සිටියෙමු. එහිදී මෝදි, ගාන්ධි පවුලට චෝදනාවක් කරමින් එවක ඉන්දියාව පාලනය කළ ඉන්දිරා ගාන්ධි විසින් ඉන්දියාව සතුව තිබූ මෙම දූපත ලංකාවට පැවරීමට කටයුතු කළ බව ප්‍රකාශ කළ ආකාරයක්ද අපි වාර්තා කර සිටියෙමු. ඒ අනුව මේ වන විට මෝදිගේ කච්චතිව් ප්‍රකාශය තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දීය ප්‍රාන්ත කිහිපයකම ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති ආකාරයක් දැනගන්නට තිබේ.
කරපු කතාව!
මෙහිදී මෝදි ඉදිරිපත් කළ සටන් පාඨය මේ වනවිට අතට ගෙන ඇත්තේ වෙන කවුරුවත් නොව තමිල්නාඩු මහ ඇමැතිවරයා වන එම්.කේ. ස්ටාලින්ය. මේ වන වට තමිල්නාඩුවේ ඡන්ද උණුසුමද ක්‍රමක්‍රමයෙන් ඉහළ නගින්නට පටන් ගෙන තිබීම හේතුවෙන් ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේදී තමිල්නාඩුවේ පමණක් නොව ඉන්දියාවේම ප්‍රධාන මාතෘකාවක් බවට කච්චතිව් පත්වනු ඇති බවක් මේ දිනවල ඉන්දියාවේ සිදුවන සිදුවීම්වලින් දැකගන්නට පුළුවන. ඒ අනුව පසුගිය සතියේදී තමිල්නාඩුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ ස්ටාලින් කච්චතිව් දූපත තවදුරටත් ශ්‍රී ලංකාව යටතේ පැවැතීම දකුණු ඉන්දියාවේ කතෝලිකයන්ට සහ ධීවර ප්‍රජාවට අහිතකර ආකාරයෙන් බලපාන බවට ප්‍රකාශ කර සිටියේය. මේ වන විට කච්චතිව් ආසන්නයේ ධීවර කටයුතු සිදුකරන ඉන්දීය ධීවරයන්ට ප්‍රහාර එල්ල වීම ඉහළ ගොස් ඇති බවත්, ඒ හරහා මෝදි පාලනයේ දුර්වලතාව දැකගන්නට ලැබෙන බවත් ස්ටාලින් කියා සිටියේය. මේ නිසා 1974 ඉන්දිරා ගාන්ධි විසින් ලංකාවට පවරා දුන් කච්චතිව් දූපත වහාම යළි ඉන්දියාවට පවරාගත යුතු බව කියා සිටි ස්ටාලින්, සිය පියා වන හිටපු තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. කරුණානිධි විසින් මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉන්දීය ආණ්ඩුවට ලබාදී ඇති බවද කියා සිටියේය.
කිව්වෙත් සමුලුවේ!
ස්ටාලින් මෙම ප්‍රකාශය සිදුකිරීමට තෝරා ගත්තේද එසේ මෙසේ තැනක් නොව ඉන්දීය ධීවරයන් දහස් ගණනක් රැස්ව සිටි ධීවර මහ සමුළුවය. පසුගිය සතියේ එය පැවැත්වුණේ දකුණු ඉන්දියාවේ රාමනාදපුරම්වලය. එහිදී රැස්ව සිටි තමිල්නාඩු ධීවරයන් ස්ටාලින්ගේ මෙම කතාවට දැක්වූ ඉහළ ප්‍රතිචාරය මුල්කරගෙන ඉදිරි මැතිවරණයේදී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දීය දේශපාලන වේදිකාවේ මුල් තැනක් ගන්නා මාතෘකාව වනු ඇති බව දැන් තියාම සඳහන් කළ හැකිය.
බුද්ධි වාර්තාව!
කච්චතිව් දූපත මුල් කරගෙන ඉන්දියාව මේ ආකාරයට විශාල අඩව්වක් අල්ලන්නට ලෑස්ති වෙද්දී පසුගිය සතියේදී ඉන්දියාව මුල්කරගෙන තවත් විශේෂ හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුකුමාර් මහතා කටයුතු කළේය. එසේ විශේෂ අනාවරණයක් සිදුකරමින් වේළුකුමාර් කියා සිටියේ කුරුන්දි පුද බිම මුල්කරගෙන විශාල ජාතිවාදී කෝලාහලයක් සිදුවීමට ඉඩ ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් මෙරට බුද්ධි අංශ වෙත දැනුම් දී ඇති බවකි.
පාස්කු ප්‍රහාරයත් කිව්වා!
ඇත්ත වශයෙන්ම එසේ කොට තිබුණා නම් ඉන්දීය බුද්ධි අංශ මේ ආකාරයට ලංකාවට ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ පළමු අවස්ථාව මෙය නොවේ. 2019 සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරය මුල් කරගෙනද ඉන්දීය බුද්ධි අංශ ඊට මාස කිහිපයකට කලින් එවැනි ප්‍රහාරයක් පිළිබඳ මෙරට බුද්ධි අංශ වෙත කරුණු වාර්තා කොට තිබිණි. නමුත් ඊට නිසි අයුරින් ප්‍රතිචාර දැක්වීමට එවක සිටි බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් එහි අවසන් ප්‍රතිඵලය වූයේ පල්ලිවල යාඥා කරමින් සිටි අහිංසක කතෝලික වැසියන් 300 ගණනක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබීමය. එම නිසා වේළුකුමාර් ඉල්ලා සිටියේ කුරුන්දි විහාරය මුල්කරගෙන ඉන්දීය බුද්ධි අංශ වාර්තා කොට ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී එවැනි ජාතිවාදී කෝලාහලයක් සිදුවීමේ අවදානමක් ඇත්නම් එය වළක්වා ගන්නා ලෙසය.
ISIS…?
මීට අමතරව පසුගිය සතියේදී ආණ්ඩුවේ තවත් ප්‍රබල මන්ත්‍රීවරයකු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කරමින් ඒ කිහිප දෙනකු රටට ඇතුළු වී ඇති බවට අනාවරණයක් කර සිටියේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කිරීමටද පියවර ගත්තේය. නමුත් ඊට පිළිතුරු සැපයූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එවැන්නක් පිළිබඳ මෙතෙක් ආරක්ෂක අංශවලට තොරතුරු වාර්තා වී නොමැති බවකි.
නැව එනවා!
කච්චතිව් දූපත, ජාතිවාදී කෝලාහල ආදිය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ප්‍රකාශ නිකුත් වෙද්දී ලංකාව මුල්කරගෙන ඉන්දියාව සහ චීනය අතර සිදුවන්නට යන තවත් ගැටුමක් පිළිබඳ තොරතුරු මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ අවධානයක් දිනාගෙන තිබේ. ඒ, ඉන්දියාවේ විරෝධය නොතකා ලංකාවට ඇතුළු වීමට නියමිත බව කියන චීන පර්යේෂණ නැවත් වූ ෂී වැන්ග් 6 නෞකාව මුල්කරගෙනය. චීනය මෙම නැවට ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබුණේ මීට මාස කිහිපයකට පෙරාතුව සිටය. එම තොරතුරු වාර්තා වීමත් සමග ඉන්දියාව නිල වශයෙන් ඊට විරෝධය පළකරමින් චීන නෞකාවට ලංකාවට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු බවත්, එය කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් සඳහන් කර සිටියේය.
නාවික හමුදාව කිව්වා!
නමුත් ඉන්දියාවේ මෙම විරෝධය නොතකා ලංකාව මෙම චීන නෞකාවටද ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබාදීමට පියවර ගෙන ඇත. නාවික හමුදාව ඒ බව තහවුරු කරමින් මාධ්‍ය වෙත දැනුම් දී තිබුණේ ලබන ඔක්තෝබර් 25 දින මෙම නෞකාව ලංකාවට පැමිණීමට නියමිත බවත්, දින 17ක කාලයක් එම නෞකාව ලංකාවේ රැඳී සිටිනු ඇති බවත්ය.
අනුර යාපා අතරමං!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත්කිරීම ඉලක්ක කරගෙන පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයකුව සිටි නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට තීරණය කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට අප රටට අනාවරණ කළේ මීට මාස 3කට පමණ ඉහතදීය. ඒ සඳහා ලන්සා පොහොට්ටු මැති ඇමැතිවරුන් එකතු කළ ආකාරයත්, පොහොට්ටුවේ ගම් මට්ටමේ නායකයන්ට ඇමතුම් ලබාදෙමින් ඔවුන් ඊට සම්බන්ධ කරගත් ආකාරයත්, රාජගිරියේ ලේක් ඩ්‍රයිව්හි නව දේශපාලන කාර්යාලයක් ආරම්භ කළ ආකාරයත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු.
සුසිලුත් මගහරී!
කෙසේ වෙතත් ලන්සාගේ මෙම මෙහෙයුමට පොහොට්ටුව ප්‍රතිචාර දැක්වූ ආකාරයද වරින් වර අපි මෙහි සඳහන් කර සිටියෙමු. ආරම්භක අදියරේදී ලන්සාගේ පක්ෂය වටා බොහෝ පොහොට්ටු සාමාජිකයන් එක්රැස් වුවද මේ වන විට එය කනපිට පෙරළී ඇති ආකාරයක් දැකගන්නට ඇත්තේ පාක්ෂිකයන් පමණක් නොව පොහොට්ටුවේ බොහෝ මැති ඇමැතිවරුන්ද මේ වන විට ලන්සාව මඟහැරීමට කටයුතු කරමින් තිබීම නිසාය. විශේෂයෙන්ම මෙම නව පෙරමුණ බිහිකිරීමේදී ලන්සාගේ සැලැස්ම වී තිබුණේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහි නායකයා කොට පක්ෂ මහලේකම් ධුරය තමන් අතේ තබාගැනීමටය. මුලින් අනුර යාපා ඊට කැමැත්ත පළකොට තිබුණද, ජනතා ප්‍රතිචාරය කෙමෙන් කෙමෙන් අඩුවීමට පටන් ගැනීමත් සමග අනුර යාපා හීන්සීරුවේ මෙම පක්ෂයේ නායකත්වය ගැනීමට අදිමදි කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ බව වටහාගත් ලන්සා පසුව උත්සාහ කළේ සුසිල් ප්‍රේමජයන්ත මෙම පක්ෂයේ නායකයා කිරීමටය. නමුත් සුසිල්ද එය එකහෙළාම ප්‍රතිද්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි.
ඉල්ලන්නේ කොහෙන්ද?
මේ තත්ත්වය යටතේ මේ වන විට අනුර යාපාට සිදුව ඇත්තේ ගෙදර ගියොත් අඹු නසී – මග හිටියොත් තෝ නසී යන තත්ත්වයට මුහුණ දීමටය. අප එසේ කියන්නේ අනුර යාපාට මේ වන විට පොහොට්ටුවත්, සජබයත්, ලන්සාගේ පක්ෂයත් යන තුනම නැතුව දේශපාලන වශයෙන් අතරමංව සිටීමට සිදුව ඇති නිසාය. මුලින් පොහොට්ටුව ඇතුළේ අර්බුද මතුවීමත් සමග අනුර යාපා ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් විපක්ෂයේ අසුන්ගත් අතර, පසුව සජබය සමග සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව අනුර යාපා ලන්සා සමග එක්ව නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් මේ වන විට ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වී තිබීම හේතුකොටගෙන අනුර යාපා දැන් සිටින්නේ ඊළඟ මහ මැතිවරණයේදී තරග වදින්නේ කුමන පක්ෂයෙන්ද සිතාගැනීමටවත් නොහැකිවය.
පොහොට්ටුව පිපෙනවා!
ඉකුත් වසරේ ආරම්භ වූ අරගලයෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු පොහොට්ටුව මුහුණ දුන්නේ බරපතළ අර්බුදයකටය. ඒ, මෙම අර්බුදයත් සමග පොහොට්ටුවේ නායකයන්ට පාරට බසින්නටවත් නොහැකි තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබීම නිසාය. ඒ අනුව මාස කිහිපයක් ගතවන තුරුම පොහොට්ටුව සිටියේ කිසිදු ක්‍රියාකාරී දේශපාලන කටයුත්තක නොයෙදී නිද්‍රාශීලී තත්ත්වයකය. එම කාලයේදී නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලය මැස්සන් ඉහිරෙන තැනක් බවට පත්ව තිබූ අතර, කිසිවකුත් ඒ පැත්ත පළාතේ පැමිණි ලකුණක් හෝ දැකගන්නට නොලැබිණි.
බැසිල්ගේ අනාවැකිය!
කෙසේ වෙතත් පොහොට්ටුවේ මහමොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා නම් ඒ කාලයේ වුවද මානසිකව නොවැටී පක්ෂය යළිත් ශක්තිමත් කරන ආකාරය පිළිබඳ සැලසුම් සකස් කරන ආකාරයක් පෙනෙන්නට තිබිණි. එය පැහැදිලිවම දැකගන්නට ලැබුණේ හැංගී සිටි මන්ත්‍රීවරුන් බැසිල්ට කතාකොට ඉදිරි කටයුතු පිළිබඳ විමසද්දී බැසිල් ලබාදී තිබූ උපදෙසත් සමගය. එහිදී බැසිල් සියලු දෙනාටම කියා සිටියේ කිසිදු දේකට කලබල නොවන ලෙසත්, ලබන සැප්තැම්බරය, ඔක්තෝබරය පමණ වන විට පක්ෂය කෙළින් කටින් සිටුවා යළිත් ශක්තිමත් තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කළ හැකි බවත්ය.
40ට කිට්ටු කරලා!
ඒ අනුව බැසිල් කළේ අරගලයෙන් මාස කිහිපයකට පසු හීන්සීරුවේ පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම් ආරම්භ කොට පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමය. දිස්ත්‍රික් මට්ටමින් ආසන බලමණ්ඩල පැවැත්වීමය. හැංගී සිටි පොහොට්ටු පාක්ෂිකයන් එළියට ගැනීමය. ඒ අනුව පක්ෂ ප්‍රතිසසංවිධාන කටයුතු ආරම්භ කරන විට මන්ත්‍රීවරුන් 15ක 20කට සීමා වී තිබූ ප්‍රමාණය පසුගිය මාස කිහිපයේ පැවැති බලමණ්ඩල රැස්වීම් සාර්ථක කරගැනීමෙන් පසු 30ත් 40ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ නංවා ගැනීමට බැසිල්ට හැකියාව ලැබී තිබිණ. ඒ අනුව පොහොට්ටුවේ සැලසුම වී ඇත්තේ නැවත වතාවක් තමන්ගේ හයිය පෙන්වීම සඳහා පාරිලිමේන්තුවේ තීරණාත්මක අවස්ථාවක් පැමිණෙන තෙක්ය. බොහෝ දුරට එය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය විය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එහිදී දැනට ආණ්ඩුවේ සිටින ඔළුව ඉදිමුණු ඇමැතිවරුන් කිහිප දෙනකුගේම වැය ශීර්ෂ සම්බන්ධයෙන් එහිදී දැඩි තීන්දුවක් ගැනීමට පොහොට්ටුව සැලසුම් කර ඇති බවක් අප මීට සති දෙකකට ඉහතදීද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කර සිටියෙමු.
දිනේෂ්ට බාල්දියක්!
අපට ලැබුණු තොරතුරු සහ අප කළ එම අනාවරණය 100%ක්ම සත්‍ය එකක් බව තහවුරු වූයේ පසුගිය සඳුදා අගමැති දිනේෂ් ගූණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු සංචාරයක නිරතව සිටි බැවින් එදින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වූයේ දිනේෂ්ගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු සතිය තුළ පුරාවිiා පනත සංශෝධනය සහ තවත් වැදගත් පනත් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබූ බැවින්, එම අමාත්‍යාංශවල නිලධාරීන්ද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හමුවට කැඳවීමට දිනේෂ් කටයුතු කර තිබිණි.
මධුර විතානගේ කියපු කතාව!
පුරාවිද්‍යා පනත සංශෝධනය හරහා පුරාවිද්‍යා විනාශයන් පිළිබඳ ඔත්තු ලබාදෙන පිරිස් හට තෑගි ලබාදීමට යෝජනා කර තිබිණි. නමුත් ඊට මුලින්ම විරෝධය පළකරමින් කතා කළේ නීතිඥ මධුර විතානගේය. මධුර කියා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම වැරැදි වැඩක් යැයි කියාය.
‘මේක සම්පූර්ණයෙන්ම වැරැදි වැඩක්. මෙහෙම ඔත්තු දෙන අයට තෑගි දෙන්න ඕනෙ නම් මේ නිලධාරීන් ඉන්නේ මොකටද? ඉස්සෙල්ලාම නිලධාරීන්ට තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න කියන්න. අද රේගුවට වෙලා තියෙන්නෙත් මේ දේමයි. එතැනත් කෙරෙන්නේ සම්පූර්ණ බොරුවක්. වංචාවන් අල්ලන්න ඉන්න නිලධාරීන්ට තෑගි දෙන නිසා ඒ අය සේවය කරන්නේ තෑගි ගන්න බලාගෙන. පුරාවිiා ස්ථානවලට හානි කරනවා නම් මේ ඉන්න නිලධාරීන්ගේ වගකීම ඒවා හොයලා බලලා අදාළ කටයුතු කිරීම….’ යනුවෙන් මධුර කියද්දී, මධුරගේ සහායට තවත් පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය.
ගෙනාවොත් අපි පරද්දනවා!
නමුත් මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද දිනේෂ් කියා සිටියේ එම යෝජනාව කෙසේ හෝ මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කියාය. නමුත් ඊට මධුර විතානගේ දුන්නේ තරමක් දැඩි පිළිතුරකි.
‘හරි අගමැතිතුමා මේ යෝජනාව ගේනවා නම් ගේන්න. හැබැයි අපි මේක පරද්දනවා. මේ යෝජනාවලට අපිට අත උස්සලා ඡන්දෙ දෙන්න බෑ…’ යනුවෙන් මධුර කියද්දී එන පොට හොඳ නැති බව දිනේෂ්ට වැටහිණි. ඒ අනුව දිනේෂ් එම යෝජනාව පසෙකින් තැබුවේ එය සංශෝධනය කොට පසුව ඉදිරිපත් කිරීමේ එකඟතාව මතය.
සීබීටත් තදවෙලා!
ඉන් අනතුරුව ඉදිරිපත් වූයේ සංචාරක අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබූ නුවරඑළිය සහ දකුණ, සංචාරක කලාපයන් ලෙස නම්කිරීමේ යෝජනාවකි. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෝ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව නොසිටීමය. ඒ අනුව යෝජනාව ඉදිරිපත් කිරීමට හෝ වගකිව යුතු ඇමැතිවරයකු නොමැති වූ තැන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නෝන්ඩියට මෙන් සිනාසෙමින් විමසා සිටියේ මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ හරීන්ද, එසේත් නැත්නම් ඩයනාද යැයි කියාය. මේ ආකාරයට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිනාසෙමින් අදහස් දක්වද්දී එම යෝජනාවට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ වෙන කවුරුවත් නොව, නුවරඑළියේ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයා වන සී.බී. රත්නායකය. සී.බී. එහිදී කියා සිටියේ මෙම යෝජනාව සත පහකට වැඩක් නැති යෝජනාවක් යැයි කියාය.
නිලධාරීන් කකුලෙන් ඇද්දා!
‘මේක කිසි තේරුමක් නැති යෝජනාවක්. මොකද එක පාරක් අපි 2012 නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකරන්න ආයෝජකයෙක් අරන් ආවා. ඒ ආයෝජකයා ලංකාවෙයි තවත් රටවල් දෙකකයි මේ වගේම කේබල් කාර් ව්‍යාපෘති හදන්න ලෑස්ති වුණා. හැබැයි අපේ නිලධාරීන් ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒ අය එක එක ඒවා කියලා මේ වැඩේ බකල් කළා. අන්තිමේදී දැන් අවුරුදු 11ක් ගිහිල්ලා ආයෙමත් ඒ වගේ යෝජනාවක් ඉදිරිපත් වෙනවා. අර ආයෝජකයා අපේ රටේ මේ ව්‍යාපෘතිය හදන්නෙ නැතුව අනෙක් රටවල් දෙකේම හදලා ඉවර කළා. දැන් ඒවායින් ඒ රටවල් සල්ලිත් හොයනවා. ඒ නිසා මේ නිලධාරීන්ගේ සමහර වැඩ හින්දා අපේ රටේ කිසි වැඩක් හරියට කරන්න බැහැ…’ යනුවෙන් කියමින් සී.බී. නිලධාරීන්ට එරෙහිව බරපතළ චෝදනාවක් ඉදිරිපත් කරන්නට විය.
ආණ්ඩුව වැටෙනවා!
කෙසේ වෙතත් ඒ වන විට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබූ බැවින් අගමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කිරීමට සූදානම් වුවත් ඒ මොහොතේම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කණ්ඩායම් රැස්වීම පැවැති ශාලාවට ඇතුළු වනු දැකගන්නට ලැබිණි. ඒ අනුව මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති කුරුන්දි විහාරයේ ප්‍රශ්නය විදුරගෙන් විමසා සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් ඒ වන විට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබූ බැවින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කියා සිටියේ එම ප්‍රශ්නය වෙනත් අවස්ථාවකදී සාකච්ඡා කළ යුතු යැයි කියාය. නමුත් ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් පළකරමින් කියා සිටියේ එම ප්‍රශ්නය පිළිබඳ අදම සාකච්ඡා කළ යුතු යැයි කියාය. නමුත් මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම වැඩි කනකට නොගෙන සාකච්ඡාව අවසන් කිරීමට දිනේෂ් උත්සාහ කිරීමත් සමග කිසිවකු නොසිතූ පරිදි නැගී සිටියේ වෙන කවුරුවත් නොව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාය. එසේ නැගී සිටි තිස්ස කුට්ටි කියා සිටියේ, ‘නෑ අපට අදම මේ ගැන කතා කරන්න ඕනේ. වහාම නිලධාරීන්ව මේ කාමරෙන් අයින් කරන්න. එහෙම නැති වුණොත් අද හරි හෙට හරි මේ ආණ්ඩුව කඩන් වැටෙනවා….’ යනුවෙන් තිස්සකුට්ටි කියද්දී අගමැතිවරයාත් තිගැස්සී ගිය ආකාරයක් දැකගත හැකිවිය. එමෙන්ම තිස්ස කුට්ටි මෙසේ කියනවාත් සමගම පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තිස්ස කුට්ටි කී කතාවම කියන්නට පටන් ගැනීම නිසා බොහෝ දෙනාට පැහැදිලි වූ කරුණක් වූයේ එය යම් සංවිධානාත්මක ආකාරයකට සිදුවූ එකක් යැයි කියාය.
මෙහෙම යන්න බෑ!
ඒ අනුව තිස්ස කුට්ටිගේ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ දිනේෂ් අඩියක් පසුපසට ගෙන නිලධාරීන් කාමරයෙන් පිටතට යවා මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට ඉඩ සලසා දුන්නේය. ඒ අනුව මුලින්ම අදහස් දැක්වීම ආරම්භ කළේ ද තිස්ස කුට්ටිය.
‘අපිට ආණ්ඩුවෙන් අරවට එන්න කියනවා, මේවට එන්න කියනවා, අරවට අත උස්සන්න කියනවා, මේවට අත උස්සන්න කියනවා, අර පනතට ඡන්දෙ දෙන්න කියනවා මේ පනතට ඡන්දෙ දෙන්න කියනවා. අපිත් ඒවා මෙච්චර කල් කළා. හැබැයි මෙචචර කල් කළාට ආණ්ඩුවේම සමහරු ඇමැතිවරුන් වැඩ කරන්නේ හරියට අපි විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගානට දාලා. ඒ හින්දා අපි තවදුරටත් මේ විදියට වැඩ කරන්න සූදානම් නෑ. අපිට මෙහෙම සලකන ඇමැතිවරුන් ගැන අපි දන්නවා. ඒ වගේම ඒ අයට සලකන විදියත් අපි දන්නවා. ඒ හින්දා අගමැතිතුමනි. ඒ අයගේ වැය ශීර්ෂ පරද්දන්න අපි ලෑස්තියි. ආණ්ඩුවේ අයටත් ඔබතුමා ගිහිල්ලා මේ බව කියන්න..’ යනුවෙන් තිස්ස කුට්ටි කියද්දී ඊළඟට කතා කළේ කුරුණෑගල මන්ත්‍රීවරයෙකි. ඔහු කියා සිටියේ විදේශ රැකියා ලබාදීමේදී මන්ත්‍රීවරුන්ට සිදුව ඇති අසාධාරණයක් පිළිබඳවය.
කෝ දෙනවා කියපු රස්සා!
‘දැන් පිටරටවල රස්සාවලට මෙහෙ අය යවනවා. ඒක කොහොම යවනවද කියලා කවුරුවත් දන්නේ නෑ. අපෙනුත් ලැයිස්තු ගත්තා මේ රස්සාවලට කට්ටිය එවන්න කියලා. හැබැයි ආප් කවුරුවත් නම් තවම රට යවලා නෑ. පිටින් යවලා කියලා තමයි ආරංචිය.’ යනුවෙන් සුමිත් කියද්දී රාජ්‍ය අමාත්‍යවරියක වන ගීතා ද කියා සිටියේ මෙම රැකියා ප්‍රශ්නය නිසා තමන්ටද දැන් ගමටවත් යෑමට නොහැකි යැයි කියාය.
අපි කලින්ම මේකත් කිව්වා!
මේ ආකාරයට පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ආණ්ඩුව ඇතුළේ ඇති ප්‍රශ්න අගමැතිවරයාට පෙන්වා දෙද්දී බැරිම තැන අගමැතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාද පැමිණි පසු මේ පිළිබඳ සාකච්ඡා කොට විසඳුම් ලබාදීමට කටයුතු කරන්නම් යැයි කියාය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී සිදුවූ කරුණු හරහා එක දෙයක් පැහැදිලිය. ඒ, කලින් අප කිව්වාක් මෙන්ම නොබෝ දිනෙකදීම පොහොට්ටුව ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවකදී යම් දැඩි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවකි.