1991දී හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවකු ලෙස සැලකුණු ඒ.ජී. පෙරරිවලන් දැන් නීතිඥවරයකු ලෙස ලියාපදිංචි වී ඇති බව ඉන්දීය දේශපාලනය තුළ දැඩි විවාදයකට තුඩු දී තිබේ.Sri Lanka Latest News
පෙරරිවලන්, තමිල්නාඩු සහ පුදුචෙරි නීතිඥ සංගමයේ නිල වශයෙන් නීතිඥවරයකු ලෙස ඇතුළත් වී ඇති අතර, ඔහු මැඩ්‍රාස් මහාධිකරණයේ නීති වෘත්තියෙහි නිරත වීමට සුදුසුකම් ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඔහු 1991දී වයස අවුරුදු 19ක් පමණ වනවිට අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රීපෙරුම්බුදූර්හි පැවැති මැතිවරණ රැලියකදී රජිව් ගාන්ධි ඝාතනය කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට යොදාගත් බැටරි ලබාදුන් බවට චෝදනා මතය. කෙසේ වෙතත්, පෙරරිවලන් දිගින් දිගටම ප්‍රකාශ කළේ තමන්ට ඝාතන සැලැස්ම පිළිබඳ දැනුමක් නොතිබූ බවත්, තමන්ගෙන් ලබාගත් ප්‍රකාශ විකෘති කර ඉදිරිපත් කළ බවත්ය.
වසර 30කට අධික කාලයක් සිරගතව සිටි ඔහු 2022 මැයි මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලදී. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142 වගන්තිය යටතේ අධිකරණය විශේෂ බලතල භාවිත කරමින්, පෙත්සම් විභාගය පිළිබඳ තීරණ ගැනීමේ දැඩි ප්‍රමාදය සහ ඔහු දීර්ඝ කාලයක් සිරගතව සිටීම සැලකිල්ලට ගෙන එම තීරණය ලබාදී තිබුණි.
නිදහස ලැබීමෙන් පසු පෙරරිවලන් නීති උපාධිය සම්පූර්ණ කර සමස්ත ඉන්දීය නීති විභාගයද සමත් වී ඇත.
එහෙත් ඔහුගේ නීතිඥ ලියාපදිංචිය දැන් ඉන්දියාවේ දේශපාලනික සහ නීතිමය මතභේදයක් බවට පත්ව තිබේ. මිනීමැරුම් වැනි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයන් නීතිඥ වෘත්තියට ඇතුළත් කිරීම ඉන්දියාවේ නීතිඥ සංගමයේ නීතිවලට පටහැනි බව පවසමින්, ඔහුට නීති වෘත්තියේ නිරත වීම වැළැක්වීමට ඉල්ලමින් මදුරාසි මහාධිකරණය වෙත පෙත්සමක් ද ගොනුකර ඇත.
මේ අතර ඉන්දීය ජාතික කොංග්‍රසයේ දේශපාලනඥයන්ද ඊට විරෝධය පළකර තිබේ. කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සුදා විසින් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු වෙත ලිපියක් යොමු කරමින් පෙරරිවලන්ගේ නීතිඥ ලියාපදිංචිය අවලංගු කරන ලෙස ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වේ.
1991 රජීව් ගාන්ධි ඝාතනය, 1987දී ශ්‍රී ලංකාවට යැවූ ඉන්දීය සාමසාධක හමුදා මෙහෙයුමට එරෙහි ප්‍රතිප්‍රහාරයක් ලෙස බොහෝ දෙනා සලකති. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඉන්දීය සාමසාධක හමුදා මෙහෙයුම් සමයේ සිවිල් ජනතාව මරණයට පත්වීම, අතුරුදන්වීම් සහ ලිංගික හිංසන සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබූ අතර, එම හමුදාවට එරෙහිව අදත් විවිධ මතභේද පවතී.










