ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඉදිරිපත් කර තිබූ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
අද සවස අගමැතිවරයා සමග පවත්වා ඇති විශේෂ සාකච්ජාවකදී මෙම තීන්දුව ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ.
ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීම පසුගිය සතියේ යොමු කර තිබුණද එය පිළිගැනීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොතිබිණ.
නමුත් නැවත වතාවක් සිය ඉල්ලා අස්වීම බාරගන්නා ලෙස ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කොට තිබිණ.
කෙසේවෙතත් අද සවස අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම බාර ගැනීමට තීන්දු කර ඇති අතර නව ලේකම්වරයා සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ජා කිරීමටද පියවර ගෙන ඇත.
එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ තමන්ගේ ලේකම්වරයා වන ගාමිණී සෙනරත් මහතා දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ලේකම්වරයා වන බැවින් ඔහු එම තනතුරට සුදුසු බවය.
ඒ අනුව ජනාධිපතිවරයා එම නාමයෝජනාව පිළිගැනීමට කටයුතු කොට ඇති බව පැවසේ.
සෙනරත් මහතාගෙන් හිස්වන අගමැති ලේකම් තනතුරට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් රාජකාරි කරන ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කිරීමට එකග වී ඇති බවද දැනගන්නට ඇත.










