ලංකාවේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ මුදුන්මල්කඩ බඳු නීතිපති දෙපාර්තමේන්තුව අද වනවිට පෙර නොවූවිරූ ආකාරයේ ප්‍රබල දේශපාලන සහ සමාජීය කුණාටුවකට මැදිව තිබේ. මෙම කුණාටුවේ කේන්ද්‍රස්ථානය වී සිටින්නේ වත්මන් නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතාය. ‘මම ඉන්නේ නීතියට ඉහළින් නෙවෙයි. මම වරදක් කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට ගිහින් මට අභියෝග කරන්න’ යනුවෙන් ඔහු නීතිඥයන් පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශය දැන් නීති ලෝකයේ පමණක් නොව ලාංකීය දේශපාලන වේදිකාවේද දැඩි කතාබහට ලක්වෙමින් පවතී. නීතිපතිවරයාගේ මෙම ආත්මවිශ්වාසී ස්වරය පිටුපස ඇත්තේ තමන්ට එල්ල වන මාරාන්තික දේශපාලන ප්‍රහාර හමුවේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමට දරන අසීරු වෑයමක සේයාවකි.
මෙම අර්බුදයේ මුලාරම්භය හුදු තාක්ෂණික ගැටලුවක් නොව, රටේ හිටපු රාජ්‍ය නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩු කටයුත්තකි. මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළම මත දෙකක් පවතින බවත්, එක් පිරිසක් නඩුව ඉදිරියට ගෙන යායුතු බව පවසද්දී නීතිපතිවරයා ඇතුළු පිරිසක් එය වළක්වන බවත් සමාජ මාධ්‍ය හරහා දැඩිව ප්‍රචාරය විය.
කලින් ඉල්ලා අස්කරගත් නඩු හයකට අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදී, ඉන් නඩු හතරක් නැවත පැවරීමට හැකියාව තිබියදී නීතිපතිවරයා එය වළක්වන බවටද චෝදනා එල්ල වී තිබේ.
නමුත් මේ කාසියේ අනෙක් පැත්ත වඩාත් ගැඹුරු සහ දේශපාලනික එකකි. නීතිපතිවරයාට පක්ෂපාතී පිරිස් සහ ත්‍රුැ ඛ්අහැරි වැනි සංවිධාන පෙන්වා දෙන්නේ මේ දියත් වන්නේ නීතිපතිවරයාගේ ස්වාධීනත්වය විනාශ කරමින් ඔහුව දේශපාලන මෙවලමක් බවට පත් කරගැනීමේ මෙහෙයුමක් බවයි. ‘සංවිධානාත්මකව අසත්‍ය චෝදනා එල්ල කිරීම හරහා නීතිපතිවරයාගේ ගෞරවයට හානි කිරීමට සහ ජන විශ්වාසය පලුදු කිරීමට පිරිසක් උත්සාහ කරනවා’ යනුවෙන් පවසන ඔවුන්, මෙය සමස්ත අධිකරණ පද්ධතියටම එල්ල වන මරු පහරක් බව අවධාරණය කරයි. මෑතකදී විදෙස්ගතව සිටින ඇතැමුන්ගේ ෆේස්බුක් පළකිරීම් හේතුවෙන් ක්‍රිෂ් මුදල් විශුද්ධිකරණ නඩුවේ විනිසුරුවරුන් පවා ඉවත් වූ ආකාරය ඔවුන් උදාහරණ ලෙස පෙන්වා දෙයි. මේ අතර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුවට එල්ල කරන්නේ බරපතළ චෝදනාවකි. ඔහුට අනුව, වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ නීතිපතිවරයා තමන්ට අවශ්‍ය පරිදි නටවන ‘රූකඩයක්’ කරගැනීමටය. රජයේ නියෝජිතයා වුවද නීතිපතිවරයා සතු වන්නේ අර්ධ-විනිශ්චයකාරී බලයකි. ඔහු නඩුවක් ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මහජන මතය මත නොව, ගොනුවේ ඇති සාක්ෂිවල නීතිමය වලංගුභාවය මතය.
මේ දැවැන්ත විවේචන රැල හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද නිහඬව සිටියේ නැත. ඔවුන් පවසන්නේ නීතිපතිවරයාගේ තීරණ ඇතැම් විට ජනප්‍රිය මතයට පටහැනි විය හැකි නමුත්, නීතියේ ආධිපත්‍යය පවතින්නේ එවැනි තීරණ ‘සමාජ මාධ්‍ය නඩු විභාගවලින්’ ආරක්ෂා කිරීමට බවයි. නීතිපතිවරයාගේ තීරණයක් වැරදි නම් ඊට එරෙහිව රිට් ආඥාවක් මගින් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අධිකරණයට යාහැකි මිස, පාරට බැස නීති නිලධාරීන්ට බලපෑම් කිරීම ප්රජාතන්ත්රවාදී නොවන බව ඔවුන්ගේ ස්ථාවරයයි. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ලැබෙන්නේ තරමක් මධ්‍යස්ථ පිළිතුරකි. අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි. නමුත් ‘සමාජයේ සිදුවන දේ ගැන අපි සැලකිල්ලෙන් ඉන්නේ’ යනුවෙන් ඔහු කළ ප්‍රකාශය තුළ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ රජයේ යම් අප්‍රසාදයක් තිබේද යන්න ගැන ඉඟියක් සැඟවී තිබේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවා පවසන්නේ සමාජ මාධ්‍යවල යන කරුණු ගැන තහවුරුවක් නැති බවයි.
අවසානයේදී මෙම සමස්ත නාටකය තුළ ඉතිරි වන්නේ එක් ප්රශ්නයකි. එනම්, රටක නීතිපතිවරයා යනු බලයේ සිටින ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන ගැත්තෙක්ද, නැතිනම් නීතිය අකුරටම ඉටුකරන ස්වාධීන නිලධාරියෙක්ද යන්නයි. පාරින්ද රණසිංහ මහතා වටා ගෙතී ඇති මෙම අර්බුදය, ලාංකීය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මරුපහරක්ද නැතිනම් ශක්තියක්ද යන්න තීරණය වන්නේ ඉදිරි දිනවල අධිකරණය හමුවේ දිගහැරෙන නඩු තීන්දුවලිනි. ඔහු පවසන පරිදි ඔහු නීතියට ඉහළින් නැත. එහෙත් ඔහුට එරෙහිව එල්ල වන මෙම දරුණු ප්‍රහාර හමුවේ, නීතියේ දර්පණය ඉදිරියේ නිරුවත් වන්නේ පුද්ගලයකු පමණක් නොව, රටක සමස්ත නීති පද්ධතියේම ගෞරවය බව අප අමතක නොකළ යුතුය.










