සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (20) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දුෂණ විරෝධි බලවේගයේ කැදවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා,
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසී ය.
‘‘ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයන් , යුක්රෙන් ජාතිකයන් සහ රුසියානු ජාතිකයන් ඔන්ලයින් ණය දීමේ ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට මොවුන්ට හසුවී සිටින ප්‍රමාණය ලක්ෂ 15 කට වැඩියි. මෙම පිරිස් ජනතාවට රුපියල් 1000 සිට දෙලක්ෂ පනස් දහස දක්වා ඔන්ලයින් හරහා ණය ලබාදීම සිදුකරනු ලබනවා. රුපියල් 1000 ක් ඔන්ලයින් හරහා ණයක් ලබා ගත්තොත් දින 7 ක් තුළ රුපියල් 1000 ට අමතරව රුපියල් 1200 ක් පොලිය ලබාදිය යුතුයි. රුපියල් 5000 ක් ගත්තොත් සතියට රුපියල් 5000ට අමතරව රුපියල් 3800 ක පොලියක් ගෙවිය යුතුයි. ඒ වගේම රටේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට නොතේරෙන ආර්ථික ප්‍රශ්නය මිනිස්සුන්ට දැවෙන ද්‍රවශිලිතා ප්‍රශ්නය වන්නේ විදේශිකයන් විසින් ලංකාවට පැමිණ වවාගෙන කනවා. ඒ වගේම මෙවැනි ආයතන සමාගම් පනත යටතේ 50 ක් ලියාපදිංචි කර තිබෙනවා.
ඒ අනුව සියරට නැමැති සමාගම මෙවැනි සමාගම් අතරයින් ප්‍රධානතම සමාගමක් වෙනවා. ඩිං ඩො , පම් කින් ලෙස නම් කළ ණය ක්‍රමදෙකක් යටතේ තමයි මොවුන් ජනතාවට ණය ලබාදෙන්නේ. ඒ වගේම මෙම ආයතනය ජනතාවට ණය ලබාදී ණය ලබාගත් පුද්ගලයාට දින 6 කින් දුරකථන ඇමැතුමක් ලබාදෙනවා. ණය ගෙවන්න හැකියාවක් තිබෙනවාදැයි 6 වැනි දිනයේදී එම ආයතනය ණය ලබාගත් පුද්ගලයාගෙන් විමසනවා. ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශ කළාට පසු නැවත දුරකථන ඇමැතුමක් එම පුද්ගලයාගේ දුරකතනයට ලැබෙනවා. එම දුරකතන ඇමැතුම හරහා ණය ලබාගත් පුද්ගලයාගෙන් ණයක් අවශ්‍ය ද යනුවෙන් විමසීමක් සිදුකරනු ලබනවා. ණය ගෙවා ගැනීමට නොහැකි නිසා එම පුද්ගලයා දෙවැනියට දුරකථන ඇමැතුම ලබාදුන් තැනින් ණයක් ලබාගන්න කටයුතු කරනවා. ඒ අනුව ණය ලබාගත් පුද්ගලයාට අවසානයේ විශාල මුදලක් ගෙවීමට සිදුවී තිබෙනවා. මේ ආකාරයට ඔන්ලයින් ණය ලබාදෙන ජනතාව සුරාගෙන කන්න ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව මුණිවත රකිනවා.
ඒ වගේම ඕනෑම කෙනෙකුට මුදල් ණයට ලබාදෙන්න හැකියාව තිබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. නමුත් ලියාපදිංචි විදේශ බැංකු හැර වෙනත් කිසිදු විදේශිකයෙකුට මුදල් ගණුදෙනු කිරීම තහනම් බව 1988 අංක 30 දරණ බැංකු පනතේ සඳහන් වෙනවා. එසේ නම් චීන ජාතිකයන් , යුක්රෙන් ජාතිකයන් සහ රුසියානු ජාතිකයන් ඔන්ලයින් ණය දීම සිදුකරන්නේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට මහ බැංකුව කටයුතු කරන්නේ නැහැ.
ඒ වගේම ණය ලබාගත් ජනතාව ණය ගෙවීම සිදුනොකළ විට ණය එම පුද්ගලයා ණය ලබාගත් පුද්ගලයෙක් බව සමාජ ගත කරන්න එම ඔන්ලයින් ණය ලබාදෙන ආයතන කටයුතු කරනු ලබනවා. ඒ අනුව ණය ලබාගත් පුද්ගලයා ණය ලබාගත් අයෙක් බව සමාජයම දැන ගන්නවා. ඒ වගේම ණය ලබාගත් පුද්ගලයාගේ දරුවා ඉගෙන ගන්න පන්තියේ ගුරුවරියට ඒ බව දැනුම් දෙන්නත් මෙම ඔන්ලයින් ණය ලබාදෙන ආයතන කටයුතු කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් මහ බැංකුව පිළිතුරු ලබාදිය යුතුයි.
කෙසේ නමුත් ලංකාවේ බහුතරයකට ලියාපදිංචි බැංකුවකින් ණයක් ලබා ගැනීමට නොහැකි වීම , ආර්ථික ප්‍රශ්න , දරුවාගේ පාසල් ගාස්තු ගෙවන්න , උක්ස් වෙන රන් භාණ්ඩ බේරා ගැනීමටයි බහුතරයක් ජනතාව ණය ලබාගන්නේ. කෙසේ නමුත් මෙවැනි දේවල් හරහා ජනතාව අමාරුවේ වැටෙන අවස්ථාවක වර්තමාන රජය කිසිදු පියවරක් ගැනීමට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මෙම සිද්ධින් වලින් අගධියට පත් පාර්ශ්ව මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතාට දැනුම් දෙන්න කටයුතු කළා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරනු ලැබුවා.
ඒ වගේම මෙවැනි සිද්ධින් සම්බන්ධයෙන් ලංකාවේ පොලිස් ස්ථානවලට පැමිණිලි 15,000 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා. නමුත් පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට කටයුතු කර නැහැ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන බව පොලිස්පතිවරයා සඳහන් කරනු ලබනවා. මෙය රටේ ඇතිවී තිබෙන බරපතල තත්ත්වයක්. රටේ ලක්ෂ 15 කට අධික පිරිසක් මේ හරහා අමාරුවේ වැටී තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අවසානයේ මෙම පිරිසගේ දුක කියන්න සිදු වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට. ඒ අනුව මෙවැනි ආයතන එලවන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ සමාගම් අත්හිටුවන්න වර්තමාන ආණ්ඩුවත් , මහ බැංකුවත් කටයුතු කළ යුතුයි.
Sri Lanka Latest News










