.නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි රටින් පලා ගොස් ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ උණුසුම තදින්ම රටේ පැවති අවස්ථාවේදී බව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
අලුත්කඩේ අංක 05, මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වූ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට වෙඩික්කරු සමඟ ගිනිඅවිය අධිකරණයට රැගෙන ගොස් තිබුණේ ඇය බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි. එම ඝාතනයත් සමඟ වෙඩික්කරු සමඟ ඇය අධිකරණ සංකීර්ණයෙන් පලා යන අයුරු පවා ආරක්ෂක කැමරාවල සටහන්ව තිබිණි.
මෙම ඝාතනය මෙහෙයවා තිබුණේ, ඒ වන විට විදෙස්ගතව සිටි පාතාල අපරාධකරුවන්වූ කෙෙහල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නමැති අය විසිනි.
පසුගිය පෙබරවාරි 19 වැනිදා මෙම ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු සමඟ ඉෂාරා සෙව්වන්දි එදිනම ඉන්දියාවට පැන්නවීම මූලික සැලසුම වී තිබී ඇත. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඔවුන් පලා යෑමට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම ඒ වන විටත් සකස් කර තිබුණ ද වෙඩික්කරු හලාවතදී විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත්වීමත් ඇය ගැන පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන සිටීමත් හේතුවෙන් ඇයට එදින රටින් පලා යෑමට අවස්ථාවක් ලැබී නැත.
මේ තත්ත්වය මත ඇයට රටින් පැනගන්නට මාස තුනක පමණ කාලයක් තැන තැන සැඟව සිටීමට සිදුව ඇත. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය හෙළිකර ඇත්තේ, මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණය අතරේ යාපනයෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලාගිය බවය.
පොලීසිය මැතිවරණ රාජකාරිවල නිරතව කාර්යබහුලව සිටින බැවින් වෙනත් කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවන බැවින් එම කාලය ඇයව රටින් පැන්නීමට යොදාගෙන ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා මේ කාලය තුළ මතුගමත්, මාතරත්, වවුනියාවේත් ස්ථාන කිහිපයකම රැඳී සිටි බවය. යාපනයෙන් ඇය ධීවර බෝට්ටුවක නංවාගෙන ඉන්දියාවට රැගෙන යන්නේ කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායිගේ මෙහෙයවීම මතය. මේ සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.
ඉන්දියාවට ඇය ගොඩබැසීමෙන් අනතුරුව ඇයට මාසයක පමණ කාලයක් එහි ගතකිරීමට සිදුව ඇත. ඒ කාලය තුළ ඇයට පෙනී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියානු කාන්තාවක් ලෙසිනි. ඉන්දියාවේ රැඳී සිටි මිනිස් ජාවාරම්කරුවන් නේපාලයට ඇයව රැගෙන යන්නේ ජූනි මාසයේදීය. දින හය හතක් තිස්සේ දුම්රියේත්, බස් රථවලත්, කුලී රථවලත් නංවාගෙන ඇයව නේපාලයට රැගෙන ගොස් ඇත්තේ ඉන්දියානු තැරැව්කරුවෙක් විසිනි.
ඇයව නේපාලයට ඇතුළු කරනු ලබන්නේ දේශසීමා පන්නාය. ඇයව නේපාලයේදී භාරගැනීමට පවා තැරැව්කරුවන් දේශසීමාවට පැමිණ සිට ඇත.
ඉෂාරා සෙව්වන්දිව නේපාල දේශසීමාවේදී එරට තැරැව්කරුවන් විසින් භාරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නාතුරුම රැඳී සිට ඇත්තේ නේපාලයේය. ඇයට එහි ජීවත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබායිහි රැඳී සිටි ජේ.කේ. බායි විසිනි. ඔහු ඉඳහිට ඩුබායි සිට නේපාලයට පවා පැමිණ ඇගේ සැප දුක් සොයා බලා ඇති බව ද සඳහන්ය.
නේපාලයේ තරුණ කැරැල්ල පසුගිය සැප්තැම්බර් මාසයේ දියත්වන විට පවා ඇය සිට ඇත්තේ අත්අඩංගුවට ගැනීම සිදුවූ භක්තපූර්හිය. ඇය රැඳී සිටි ප්‍රදේශයේ උද්ඝෝෂණ ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු වී නොමැත. ඒ නිසා ගැටලුවක් නොමැතිව රැඳී සිටීමට තමාට හැකිවූ බව ඇය පවසා ඇත.
ඉෂාරා සෙව්වන්දි ඇගේ රුව ගැන උනන්දුවක් දක්වා ඇත්තේ නේපාලයේදී බව සඳහන්ය. එතෙක් පැවති ඇගේ පෙනුම වෙනස් වන්නේ නේපාලයේදීය. නේපාලයට යනතුරුම ඇය සිය රූපය ගැන උනන්දුවක් දක්වා නැත. පැවති රූපය වෙනසකට ලක්වෙමින් හඳුනා ගැනීමට නොහැකි තරමට ඇය වෙනස් වී ඇත්තේ නේපාලයේදීය. ඇය රූපලාවණ්යාගාරයන් වෙත ගොස් ඇත්තේ ද කාලය ගතකිරීම සඳහාය. පසුව ඇය ඊට ඇබ්බැහි වී ඇති බව ද අනාවරණය වී ඇත.
ඇය නේපාලයේ ද ස්ථාන කිහිපයකම නවාතැන් ගෙන සිට ඇතැයි ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ. භක්තපූර් වෙත ඇයව රැගෙන යන්නේ ද තරුණ කැරැල්ල අතරතුරදීය.
ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ කෙෙහල්බද්දර පද්මේගේ ඉල්ලීම මත පෙබරවාරි 19 වැනිදා තමා අලුත්කඩේ අධිකරණයට ගිය බවය. වෙඩික්කරුව ඊට පෙර දැන නොසිටි බවත් තමා ඔහු සමඟ එදා අලුත්කඩේ අධිකරණයට ගියේ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා බව දැනගෙනම බව ද ඇය පවසා තිබේ. කිසිදු බියක් ඒ ගැන තමාට නොදැනුණ බව ද ඇය පවසා ඇත.
ගිනිඅවිය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහ පොත තමා අතේ තිබුණු බව ඇය පවසා ඇත. අංක 05 අධිකරණයට ගණේමුල්ලේ සංජීව රැගෙන එන බැවින් එම අධිකරණ ශාලාවට යන ලෙස කෙහෙල්බද්දර පද්මේ විසින් කළ දැනුම්දීමට අනුව වෙඩික්කරුත් සමඟ තමා දෙවැනි මහලේ තිබුණු අංක 05 අධිකරණ ශාලාව වෙත ගිය බව ද ඇය පවසා තිබේ. බැලූ බැල්මට නීතිඥයන් ලෙස පෙෙනන ආකාරයට හැඳ පැලඳගෙන සිටි බැවින් තමන් කෙරෙහි කිසිවකුත් සැක නොකළ බව ද ඇය පවසා ඇත.
ඇය පවසා ඇති ආකාරයට වෙඩික්කරු රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව තුළය. ඇය රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව ඉදිරිපිට බැල්කනි කොටසේය. එහි සිට තමා අධිකරණයට ඇතුළුවන ගේට්ටුව දෙස බලා සිටි බව ද ඇය පවසා ඇත. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව ගණේමුල්ලේ සංජීව රැගෙන එන විටම වෙඩික්කරුට කතාකර පොත ඇතුළේ සඟවාගෙන සිටි ගිනිඅවිය ඔහු අතට පත්කළ බව ද ඇය පවසා තිබේ.
ගණේමුල්ලේ සංජීව අධිකරණ ශාලාවට රැගෙන එන විට තමා පහළ මහලට ගොස් නීතිඥවරුන් රැඳී සිටින ස්ථානයේ මඳක් රැඳී සිටි බව ද ඇය පවසා ඇත. ගිනිඅවිය සඟවා ගෙන රැගෙන ආ දණ්ඩ නීති සංග්‍රහය එහි දමා යෑමට කිසිදු වුවමනාවක් නොතිබුණත් වෙඩි හඬ ඇසීමත් සමඟ තමා කලබල වූ බැවින් එය රැගෙන යෑමට අමතක වූ බව ද ඇය පවසා ඇත.
තමාව කිසි දිනක පොලීසිය මඟින් අත්අඩංගුවට ගනීවි යැයි විශ්වාසයක් නොතිබුණු බව ද ඇය පවසා තිබේ. නේපාලයේ සිට තමාව මුරුසියට රැගෙන යන බව ජේ. කේ. බායි පැවසූ බව ද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඊට අවශ්‍ය විදෙස් ගමන් බලපත්‍ර පවා සකස් කර ඇතත් මුරුසියට පැන යන්නට පෙර ඇයව හසුවන්නේ සති 06ක පොලිස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
එම මෙහෙයුමේ කොටසක් මෙරට සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවනු ලබයි. පසුගිය 11 වැනිදා නේපාලයට යන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරු මෙහෙයුම අවසන් කරමින් ඉෂාරා සෙව්වන්දිට අමතරව තවත් 05 දෙනෙක්ම රැගෙන මෙරටට එන්නේ පෙරේදා (15) ය.
ඒ අතර සිටින 26 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි, ඇගේ රුවට සමාන බව කියන යාපනය, චාවකච්චේරිය, වඩුවිල් උතුරු ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි නන්ද කුමාර තක්ෂි, එම කාන්තාවගේ සමීපතමයෙක් බව කියන 36 හැවිරිදි බී.පී.කෙනඩි නොහොත් සුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි රටින් පන්නා ඇයට නේපාලයේ දී රැකවරණය දුන් මිනිස් ජාවාරම්කරුවකු වන යාපනය පලෙයිහි පදිංචිකරුවකු වන 33 හැවිරිදි කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායි විමර්ශන සඳහා භාර දෙන්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙතය.
බෙම්මුල්ලේ පදිංචිකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයේ කොටස්කරුවක් බවට හඳුනාගත් 44 හැවිරිදි නිශාන්ත කුමාර නොහොත් ‘බබා’ නමැත්තා විමර්ශන කටයුතු සඳහා භාර දෙන්නේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයටය. නුගේගොඩ, ජම්බුගස්මුල්ලේ පදිංචිකරුවකු වූ 49 හැවිරිදි කේ.ඩී. ශ්‍යාමන්ත සිල්වා නොහොත් ‘බබී’ භාර කෙරෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙතය.
මේ සියලු දෙනාම ඉන්දියාවේ සිට නේපාලයට නීති විරෝධිව ඇතුළු වී ඇත්තේ මෙම වසරේය. මේ අය අතර වැඩිම කාලයක් නේපාලයේ රැඳී සිට ඇතැයි අනාවරණය වන්නේ ඉෂාරා සෙව්වන්දි පමණි. මේ හැම දෙනෙක්ම නේපාලයේ තරුණ අරගලය පැවති අවස්ථාවේදී පවා රැඳී සිට ඇත්තේ එරටය.
මෙම සැකකරුවන් 06 දෙනාගෙන්ම පොලීසිය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශන පවත්වමින් සිටියි. ඉෂාරා සෙව්වන්දි රටින් පලා යන අවස්ථාව දක්වාම ඇයට රැකවරණය දුන් පුද්ගලයන් සහ ස්ථාන ද හඳුනා ගැනීමට ද පොලීසිය දැඩි උනන්දුවකින් පසුවෙයි. ඒ සඳහා වැඩි කාලයක් මේ පිරිස රඳවා ගැනීම පොලීසියේ අපේක්ෂාවයි. එහි ප්‍රථම පියවර ලෙස පැයට 72ක කාලයක් මේ සියලුදෙනාම රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ පොලීසියට අධිකරණයෙන් අවසර ලැබී තිබිණි.
—-
මුරුසි ජාතික කාන්තාවක් ලෙස ඉෂාරා සෙව්වන්දි මුරුසියට පැන්නීමට කෙහෙල්බද්දර පද්මේ සැලසුම් කර තිබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.Sri Lanka Latest News
ඒ සඳහා සකස් කළ මුරුසියේ විදේශ ගමන් බලපත්‍රයක් නේපාලයේදී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් පසු සොයාගෙන ඇත.
එම විදෙස් ගමන් බලපත්‍රය සකස් කර දී ඇත්තේ ඉෂාරා සමඟ නේපාලයේදී අත්අඩංගුවට ගත් ජේ.කේ. බායි නමැති පුද්ගලයාය. ව්‍යාජ ලෙස සකස් කළ එම විදෙස් ගමන් බලපත්‍රයට මුරුසියේ ආගමන විගමන නිල මුද්‍රා කිහිපයක් පමණක් තැබීමෙන් පසු ඇය මුරුසියට පැන්නීමට සැලසුම් කර ඇත. යාපනයේ පදිංචිකරුවෙක් වන ජේ. කේ. බායි නිතර ඩුබායිහි රැඳී සිටින තැනැත්තෙක් බව අනාවරණය වී තිබේ. අපරාධකරුවෙක් ලෙස ලේඛනගතව නැති පුද්ගලයෙක් වන ඔහු මෙරට අපරාධකරුවන් රටින් පැන්නීමේ කටයුතුවල නිරතව සිටින්නෙක් බව අනාවරණය වී ඇත. ඔහුට ජාත්‍යන්තර මාෆියා කල්ලි සමඟ බොහෝ සම්බන්ධකම් තිබෙන බවද අනාවරණය වී තිබේ.
ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නීම පවා කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදී ඇතැයි පැවසෙන්නේ ජේ.කේ. බායිටය. ඒ වෙනුවෙන් කෙහෙල්බද්දර පද්මේ,ජේ.කේ. බායිට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇතැයිද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඉෂාරා සෙව්වන්දි යාපනයෙන් බෝට්ටුවක ගොඩකර ඉන්දියාවට රැගෙන ගියේ යැයි කියැවුණත් ඒ ගැන තවදුරටත් විමර්ශනය කළයුතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ ගැන ඉෂාරා සෙව්වන්දි මෙන්ම ජේ.කේ. බායිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතුව ඇතැයි ද නිලධාරියා පැවසීය.
විමර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇති අකාරයට අනුව ජේ.කේ. බායි අවසන් වරට මෙරටින් පිටත්ව ඩුබායි බලා ගොස් ඇත්තේ 2023දීය. ඔහු නැවත මෙරට ගුවන් තොටුපොළ හෝ වරාය ඔස්සේ නීත්‍යනුකූලව ආගිය බවට තොරතුරු අනාවරණය නොවන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉෂාර සෙව්වන්දි ආරක්ෂාකාරීව ලංකාවෙන් ඉන්දියාවට පන්නා ඉන්දියාවේ සිට නේපාලයට රැගෙ

තක්ෂි නන්තකුමාර්
න යෑමේ මෙහෙයුම සිදුව ඇත්තේ ජේ.කේ. බායිගේ අධීක්ෂණයෙන් බවද අනාවරණය වී තිබේ. ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඇය කොටුකර ගැනීමේ රහස් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ ඉතා සීමිත නිලධාරීන් පිරිසක් පමණක් සම්බන්ධ කර ගනිමිනි. මේ සඳහා අසල්වැසි රටක ප්‍රසිද්ධ බුද්ධි අංශයක ද සහාය ලැබී තිබීම ද විශේෂය.
ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බව පැහැදිලිවම තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ජාත්‍යන්තර පොලීසියේද සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැලසුම් කරන්නේ සති 6ක සිටය.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධවෙමින් මේ මෙහෙයුමට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනඟා ගෙන ඇත.
ඒ අනුව මේ මෙහෙයුමට නේපාලය වෙත පිටත් කර හැරීමට තෝරාගන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන්ය.
මේ නිලධාරීන් දෙදෙනා ඉෂාරා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට ඒ අනුව මෙරටින් පිටත්ව යන්නේ පසුගිය 11 වැනිදාය.
ඊට පෙර දින කිහිපයේ රොහාන් ඕලුගල සිටින්නේ අසනීපයැයි පවසමිනි. දින කීහිපයක්ම ඔහු සිය රාජකාරි ස්ථානයට පවා වාර්තා කර නොතිබුණි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් 11 වැනිදා උදෑසන පිටත්ව ශ්‍රීලංකන් ගුවන් යානයකින් නේපාලය බලා යන විට ඒ අසනීප තත්ත්වයන් සුව අතට පෙරළීය.
නේපාලයට ඔවුන් පා තබන විට පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටින්නේ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ය. ඒ අය සමඟ තානාපති කාර්යාලයට යන ඕලුගල සහ ගිහාන් ද සිල්වා එහිදී මුලින්ම මුණ ගැසෙන්නේ එරට පිහිටි මෙරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ය. ජාත්‍යන්තර පොලීසියේ නේපාල ශාඛාවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක ද නිරත වී ඇත්තේ අනතුරුවය.
ඒ වන විටත් ඉෂාරා කොටුකර ගැනීමට අවශ්‍ය මෙහෙයුමට ඩුබායිහි සිටින තවත් බායි කෙනෙක්ද සම්බන්ධ කරගෙන සිට ඇති බව සඳහන්. ඉෂාරා නේපාලයට ගෙන්වා රැකවරණය දෙමින් සිටි ජේ.කේ. බායි ගැන තොරතුරු දැන සිටියේ ඔහුය. ඒ වන විටත් ජේ. කේ. බායි රැඳී සිටියේ නේපාලයේය.
ඉෂාරා සෙව්වන්දි කොටුකර ගැනීමේ මෙහෙයුමට ඒ වන විටත් නේපාලයේ ප්‍රාදේශීය පොලීසියක කණ්ඩායමක් ද සූදානම් කර තිබී ඇත. එම කණ්ඩායම සමඟ ගොස් රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මුලින්ම කොටුකර ගන්නේ ජේ.කේ. බායිය. ඔහු ඒ වන විට රැඳී සිට ඇත්තේ කත්මණ්ඩු නුවරට කිට්ටු ස්ථානයකය. වැටලීම සිදුවන විට කිසිම නිලධාරියෙක් ඔහු රැඳී සිටින නිශ්චිත ස්ථානයක් ගැන තොරතුරක් දැන සිටියේ නැත.
එබැවින් ජේ.කේ. බායි එළියට ගැනීමේ කටයුත්ත සිදුවන්නේ ඩුබායි සිට මේ මෙහෙයුමට සම්බන්ධ කරගත් බායිගේ සහාය ඇතිවය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී ජේ.කේ. බායි කිසිවක් නොදන්නා අයෙක් ලෙස හැසිරෙන විට ඔහුගේ කට ඇරෙන්නේ මෙරට සිට මෙහෙයුමේ සිටි නිලධාරියෙක් සතුව තිබුණු ජංගම දුරකතනයට ආ ඇමතුමකින් අනතුරුවය. එම ඇමතුම පොලීසියේ ඉහළම නිලධාරියකුගෙනි. එම නිලධාරියා වීඩියෝ ඇමතුමක් මගින් අමතන්නේ ජේ.කේ. බායිටය.
“බායි, අපට උදව් කරන්න. ඉෂාරා ඉන්න තැන කියන්න” ඔහු කතාබහ පටන් ගන්නේ එසේය.
“ කවුද ඉෂාරා කියන්නේ මම මුකුත්ම දන්නේ නැහැ” ජේ.කේ. බායි පැවසීය.
යාපනයේ වැසියෙක් වූ ජේ.කේ. බායිට සිංහල හොඳින් කතා කළ නොහැකිය. සිංහල බස තේරුණද ඔහුට සිංහලෙන් කතා කළ හැකිවූයේ වචන ගළපමිනි.
“ඔයා බිරියට, දරුවන්ට ආදරෙයි නේද? එයාලා ඉන්න ගෙදර වටේට සී.අයි.ඩී. කට්ටිය මේ වන විට ඉන්නවා. අපට මේ වැඩේට උදව් කළේ නැත්නම් අපි ඒ හැමෝම අත්අඩංගුවට ගන්නවා. ඔයාට සිද්ධ වෙන්නේ බායි දුක් වෙන්න තමයි”
පොලිස් ප්‍රධානියාගේ එම ගැටේට ජේ.කේ. බායි හසුවූයේය.
“සර්, මම ඇත්තටම ඔය කියන ගෑනු කෙනා දැන් ඉන්න තැනක් දන්නේ නැහැ. මම එයාව ඒජන්ට් කෙනෙකුට භාරදුන්නා. “යැයි බායි එසේ කට අරින්නේ පැයක දෙකක පමණ කාලයක් හිතන්න කල්දීමෙන් අනතුරුවය.
ජේ.කේ. බායි විසින් එසේ හෙළිකරන්න වූයේ නේපාලයේ තැරැව්කරුවෙක් ගැනය. නේපාල පොලීසිය එම තැරැව්කරු කොටුකර ගන්නේ ජේ.කේ. බායිගේ තොරතුරු මතය.
එම තැරැව්කරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ සති දෙකකට පෙර ඇය එතෙක් රැඳී සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගිය බවය. ඒ ගැන තමා නොදන්නා බවද ඔහු පවසා තිබුණේය. ඒ ඔහු එම වැඩේ තවත් තැරැව්කරුවකුට පවරා තිබුණු බැවිනි. එම තැරුව්කරු සම්බන්ධ කර ගැනීමේදී ඉෂාරා භාවිත කරන එරට ජංගම දුරකතන අංකයක් මිස නිශ්චිතවම ඇය රැඳී සිටින ස්ථානයක් ගැන තොරතුරක් අනාවරණය කර ගැනීමට නොලැබුණි.
එතැන් සිට ඉෂාරා කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඇගේ ජංගම දුරකතන අංකය ඔස්සේය. ඇය ලබාගත් දුරකතන ඇමතුම් ජාල ගත විශ්ලේෂණයක් කරමින් කළ විමර්ශනයේදී පෙනී යන්නේ ඇගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ භක්තපූර් දිස්ත්‍රික්කයේ බවය. එම ප්‍රදේශය මෙරට නුවරඑළියට සමානකමක් දක්වයි. නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ නැඟෙනහිර කෙළවරේ අගනුවර වන කත්මණ්ඩු සිට කිලෝමීටර් 13ක් (සැතපුම් 8.1) පමණ දුරින් පිහිටා ඇති නගරයක් වන භක්තපූර් නේපාලයේ කුඩාම නගරය මෙන්ම වඩාත්ම ජනාකීර්ණ නගරයයි.
කත්මණ්ඩු සිට භක්තපූර් වෙත ඉකුත් ඉරිදා ඕලුගලත්, ගිහාන් සිල්වාත් රැගෙන යන්නේ නේපාල පොලීසියේ කණ්ඩායමකි. පොලිස් කණ්ඩායමේ ඉලක්කය වූයේ ඉෂාරා භාවිත කරන දුරකතනයේ සංඥා නිකුත් කරන ස්ථානයයි. හිතූ තරම් එය පහසු කටයුත්තක් නොවන බව පොලිස් කණ්ඩායමට පෙනී යන්නේ වර්ග මීටර් 800ක් පමණ ප්‍රදේශයක් පුරා එම සංඥා විහිදී ඇති බව පෙනී යන්න වූ බැවිනි. එම ප්‍රදේශය ජනාකීර්ණ මෙන්ම සංචාරකයන් ගැවසෙන ස්ථානවලින් සමන්විත වූ බැවින් නිවාස සහ ගොඩනැඟිලි පරීක්ෂා කරමින් ඉෂාරා සෙවීම පහසු කටයුත්තක් නොවීය. නේපාලයේ පවතින නීතිමය තත්ත්වය මත එසේ ගෙයින් ගෙට සහ ගොඩනැඟිල්ලෙන් ගොඩනැඟිල්ලට ගොස් පරීක්ෂා කිරීම ගැටලු සහගතය. ඒ වන විටත් ප්‍රාදේශීය පොලීසියේ කණ්ඩායමක් ද එහි පැමිණ සිටින්නේ මධ්‍යම පොලීසියෙන් කර තිබුණු දැනුම්දීමකට අනුවය. ඒ මෙහෙයුමට සහාය දැක්වීමටය. ඒ වන විටත් දහවල ගෙවී ගොස් හමාරය. නිවාස එකින් එක පරීක්ෂා කිරීමට ගියහොත් නිවාස සහ ගොඩනැඟිලි අඳුර වැටීමට පෙර පරීක්ෂා කර අවසන් කළ නොහැකිය. නේපාල පොලීසිය රාත්‍රී කාලයට මෙහෙයුම් කරන්නේ නැත. සුවිශේෂී කටයුත්තක් හේතුවෙන් රාත්‍රී කාලයට මෙහෙයුමක් කරන්නේ නම් ඊට ඉහළින්ම අවසර ලබාගත යුතුය. මෙහිදී එවැන්නක් කළ නොහැකි වූ බැවින් ඉෂාරා ඉන්නා තැනින් එළියට ගෙන අත්අඩංගුවට ගැනීම සුදුසු යැයි රොහාන් ඕලුගල ඇතුළු කණ්ඩායම තීරණය කළේය. ඒ සඳහා ඉත්තෙක් ලෙස යොදා ගන්නේ ජේ.කේ. බායිය. ඉෂාරාගේ ජංගම දුරකතනයට ජේ.කේ. බායි මගින් ඇමතුමක් ගන්න සලස්වන්නේ සැලසුමකට අනුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කණ්ඩායමක් ද මේ පිටුපස සිටියේය.
එම ඇමතුම මඟින් ඉෂාරා රවටන්නේ ඇගේ වියදමට අවශ්‍ය මුදල් දැමූ බැංකු කාඩ්පත ලබාදීමට භක්තපූර්හී යම් ස්ථානයකට පැමිණෙන ලෙසය. පොලීසියේ තිර පිටපතට අනුව ජේ.කේ. බායි විසින් ඇයට දුරකතන ඇමතුම දෙමින් එතැනට පැමිණිය යුතු වේලාව පවා දැනුම් දුන්නේය. ඒ පසුදින උදෑසනය.
එදින රොහාන් ඕලුගලටත් ගිහාන් ද සිල්වාටත් නවාතැන් ගැනීමට නේපාල පොලීසිය ඉඩක් සලසා දෙන්නේ තට්ටු නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි හෝටලයකය. ජේ.කේ. බායි ද ඒ වන විටත් සිටින්නේ ඔවුන් භාරයේය.
ඉෂාරා සෙව්වන්දි කොටුකර ගැනීමට එදා උදෑසනම නේපාල පොලිස් කණ්ඩායම සමඟ රොහාන් ඕලුගලත්, ගිහාන් ද සිල්වාත් සමඟ ගමන් කරන්නේ ජේ.කේ. බායි විසින් පෙර දින ඇයට ඇමතුමක් දෙමින් පැමිණෙන්නැයි කී තැනටය. ප්‍රාදේශීය පොලීසියේ නිලධාරීන් ඉෂාරාව ඇය රැඳී සිටින ස්ථානයේදීම කොටුකර ගැනීමේ අපේක්ෂාව නේපාලයේ ප්‍රාදේශීය පොලීසිය අතහැර දමා තිබුණේ නැත. එම ප්‍රදේශයේ රැඳී සිටින ආගන්තුකයන් සහ විදේශීය කාන්තාවන් ගැන තොරතුරු ඔවුන් පෙර දින රාත්‍රිය පුරාම රැස් කර තිබුණේය. ඒ අනුව සඳුදා දින උදෑසන ඇය ප්‍රාදේශීය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ ඇය නිෙවසින් පිටතට ඒමට සූදානම් වූ විටදීය. ඒ වන විටත් ඕලුගල ඇතුළු නිලධාරීන් කණ්ඩායම සිටින්නේ කිලෝමීටර් එකහමාරක් පමණ වූ වෙනත් ස්ථානයක රැඳෙමිනි. ඒ ඉෂාරා එතැනට ආපසු කොටුකර ගැනීමටය.
ඉෂාරා තමන් අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය කළ දැනුම්දීමට අනුව නේපාල පොලිස් කණ්ඩායම සමඟ රොහාන් ඕලුගලත්, ගිහාන් ද සිල්වාත් ඒ තැනට යන විට පුදුමයට පත්වන්නේ ඔවුන් පෙර දින රැඳී සිට ඇත්තේ ඇය රැඳී සිටි ස්ථානයට ආසන්නයේ ඇති හෝටලයක බව පෙනී ගිය බැවිනි.
සති ගණනක් තිස්සේ කළ සුවිශේෂී මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඉෂාරා කොටුකර ගැනීමෙන් අනතුරුව එම ජයග්‍රහණය සමරමින් ඕලුගලටත් ගිහාන් ද සිල්වාටත් ඇය රැගෙන මෙරටට ඒමට ඉඩක් නොවීය. ඒත් එක්කම ඔවුන්ට තවත් මෙහෙයුමක් පැවරුණි. ජේ.කේ. බායි විසින් නේපාලයට ගෙන්වාගෙන රැකවරණය ලබාදෙමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනෙන්නේ නේපාලයේ වෙනත් ප්රදේශයකදීය. ඒ අතර සිටින කාන්තාව යාපනයේ පදිංචිකාරියකි. ඇය බැලූ බැල්මට ඉෂාරාගේ හැඩ රුවට සමානය. ඉෂාරාගේ ඩමියක් ලෙස ඇයව නිලධාරීන් විසින් හඳුන්වනු ලැබීය. ඇය නමින් තක්ෂිය. ඇය සමඟ සුරේෂ් නමැති අයෙක්ද සිටියේය. සුරේෂ් ද යාපනයේය. මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට ඔහු චෝදනා ලැබූවෙකි. කේරළ ගංජා ජාවාරමට ද ඔහු සම්බන්ධ පුද්ගලයෙකි. නේපාලයට ඔහු පැමිණ ඇත්තේ තක්ෂිව ද රැගෙනය. ඔවුන් නේපාලයට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටය. ඉන්දියාවට ඔවුන් යන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජූලි 21 වැනිදා බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇත. තක්ෂි මෙසේ නේපාලයට ආ හේතුවක් පැහැදිලිව මෙතෙක් අනාවරණය වී නැත. ඇය නේපාලයේ සිට යුරෝපීය රටකට යෑමේ සූදානමකින් සිට ඇති බව පැවසේ.
මේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා වන්නේ බබී සහ බබාය. බබී නුගේගොඩය. බබා ගම්පහය. බබී සහ බබා පාතාලයේ අපරාධකරුවන්ය. මත්කුඩු ජාවාරමට ද සම්බන්ධ වූවෝය. නුගේගොඩ ජම්බුගස්මුල්ලේදී 2019 වසරේදී ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ඔහු පොලීසියට අවශ්‍යව සිටියෙකි. ඔහු එකල පොලීසියෙන් බේරීමට පැන්නේ ඩුබායි වෙතය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් බබා නමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකි. පසුගිය කාලයේ ගම්පහ ආශ්‍රිතව සිදුවූ අපරාධවලට ඔහුගේ සම්බන්ධයක් ඇතැයි පොලීසියේ සැක කරයි.
ඉෂාරා අල්ලන්න ගොස් හය දෙනෙක්ම රැගෙන රොහාන් ඕලුගලත්, ගිහාන් ද සිල්වාත් ඊයේ සවස මෙරටට එන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකිනි. මේ පිරිස රැගෙන ඒමට ඊයේ උදෑසන කාලයේදී මෙරටින් කත්මණ්ඩු ගිය ගුවන් යානයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකි. ඉෂාරා ඇතුළු 06 දෙනා ගුවන් යානයේ නන්වාගෙන රැගෙන ඒමේදී මේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ආරක්ෂකයන්ගේද ආරක්ෂාවක් ලැබිණි. ඒ අතර කාන්තා ගුවන් ආරක්ෂක නිලධාරිනියක්ද සිටි බව සඳහන්ය. රටින් පැන මාස 8කට පමණ පසු නැවත මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන තොරතුරු මත ඉදිරි විමර්ශන සිදුවනු ඇත.
මේ මෙහෙයුමේදී ඉෂාරාටත් වඩා පොලීසියට වැදගත් වන්නේ ජේ.කේ. බායිය. ඒ පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙක් රටින් පන්නමින් විදේශයන්වල රැකවරණය ලබාදීමට ජාත්‍යන්තර මාෆියා කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වා ඇත්තේ ඔහු වන බැවිනි. ජේ.කේ. බායිගෙන් ප්‍රශ්න කර ඒ ජාලය හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසයෙන් සිටියි.

‘දිනමිණ පුවත්පතෙනි
— – – –
හරියටම මිට මාස අටකට පෙර එනම් පසුගිය පෙබරවාරි 19 වැනිදා සිට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු සිද්ධියක් වූයේ ගනේමුල්ල සංජිව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළ දී ඝාතනයට සම්බන්ධ බවට සැක කරන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව පලායෑමයි. ඇය මෙරට තුළ සිටිනවාද, රටින් පැනගොස් ඇද්ද යන්න ගැන සියලු දෙනාම විමසිලිමත් විය.
ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළ ගිනි අවිය රැගෙන ඉෂාරා සෙව්වන්දි අධිකරණයට පැමිණ ඇත්තේ නීතිඥවරියකගේ වෙස් ගෙනය. සති කිහිපයක් තිස්සේ ඉෂාරා සෙව්වන්දි සහ කොමාන්ඩෝ සලිඳු නමැත්තා ගනේමුල්ල සංජීව ඝාතනය සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණා. ඉෂාරා සෙව්වන්දි, සංජීව ඝාතනයට පමණක් නොව තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයකටම සම්බන්ධව ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන තිබුණේ. එදින සංජීව ඝාතනයට කොමාන්ඩෝ සමිඳුද උසාවියට පැමිණ තිබුණේ නිතිඥයෙකු ලෙස වෙස්වළාගෙනයි. සංජීව ඝතනය කිරීමෙන් අනතුරුව කොමාන්ඩෝ සමිඳු නමැත්තා මන්නාරම ප්‍රදේශයට වෑන් රථයකින් පලායාමින් සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. එහෙත් ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොලැබුණේ ඒ වනවිටත් ඇය පලාගොස් සිටි නිසයි.
ඒ කතාබහේ උණුසුම පහව යමින් තිබියදී මේ සිදුවීම යළිත් කරළියට ආවේ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය තවත් සැකකරුවන් හයදෙනකු සමග නේපාලයේදී අත්අඩංගුවට ගැනීමත් සමගයි. නුගේගොඩ බබී නැමැත්තාද, ගම්පහ බබා නැමැත්තාද, යාපනය ප්‍රදේශයේ සුරේෂ්, බායි සහ චාවකච්චේරියේ තෂ්මි ඇතුළු සැකකරුවන් හයදෙනකු එලෙස අත්අඩංගුවට පත්විය. මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ස්ථාන තුනකදීයි. මෙම මෙහෙයුම සිදුව තිබුණේ ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නේපාල පොලිසිය සතු පරිගණක දත්ත මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙයුමකට අනුවයි. ඉෂාර සේව්වන්දිව අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝමීටර 19ක් දුරින් පිහිටි බක්තපුර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටියදීය. පොලිස් තොරතුරු අනාවරණ කළේ පසුගිය 13 වැනිදා මෙම මෙහෙයුම සිදුකළ බවයි.
පැරණි නගරයක් වූ මෙම නිවාස ඉහළ මිල ගණන් යටතේ කුලියට ලබාගෙන ඇති බවයි අනාවරණ වී තිබුණේ. රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නවාතැන් ගෙන සිටියේ ඉෂාරා සෙව්වන්දි සැඟව සිටි නිවසට යාබදවයි. මේ අත්අඩංගුවට පත් පුද්ගලයන්ට එරෙහිව විවිධ අපරාධයන් සම්බන්ධයෙන් නඩු පැවරී ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන ඇත.
ඉෂාරාව ලංකාවේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට රැගෙන ගොස් එතැන් සිට දුම්රියකින් නේපාලය වෙත රැගෙන ගොස් තිබුණේ කෙනඩි බස්තියන්පිල්ලේ හෙවත් ජේ.කේ බායි නැමැත්තකු විසිනි. මුලින්ම අත්අඩංගුවට පත්ව තිබුණේ ජේ.කේ. බායි නමැත්තාවයි. ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය අනාවරණ කළේ. ඒ අනුව පසුගිය 15 වැනිදා සවස 5.55ට පමණ ඇය ඇතුළු සැකකරුවන් පිරිස ලංකාවට රැගෙන ආවේය. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර සිට පැමිණි යූ.එල්. 182 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකිනි. එම සැකකරුවන් වන්නේ වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි, ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්ද කුමාර, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදාර, කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් ජේ.කේ. බායි සහ වික්‍රමආරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර යන අයයි. ඒ අනුව ඉෂාරා සෙව්වන්දි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙහෙල්බද්දර පත්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණා.
අත්අඩංගුවට ගත් කාන්තාව ඉෂාරාගේ රූපයට සමානකම් කියන ඩමි ඉෂාරා කෙනකු බවටයි හඳුනාගෙන තිබුණේ. ඇයව යොදාගෙන ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීමට කුමන්ත්‍රණය කර තිබී ඇති බවද හෙළිව ඇත. ඇය දෙමළ ජාතික කාන්තාවක් වූ අතර, තක්ෂි නම් වූවාය. ඇයව යොදාගෙන ඉෂාරා යුරෝපයට පලායාමට සැලසුම් කර තිබී ඇත. කේ.ජේ. බායි නමැත්තා ඉෂාරා සෙව්වන්දිට මේ සියලු කටයුතුවලට සහාය වී තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස්වලට අනුවය.
කෙහෙල්බද්දර පද්මේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන ඒමෙන් පසු සියලු සැලසුම් ව්‍යර්ථ වූ බවද අනාවරණය කරගෙන තිබුණා. ඉෂාරා සෙව්වන්දිගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු තමා දින කිහිපයක් කොළඹ වාසය කර ඇති බවත්, පසුව මතුගම ප්‍රදේශයටත් ඉන් පසුව මිද්දෙණිය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන ඇති බවයි. එලෙස ඇය මාස 3ක පමණ කාලයක් මෙරට විවිධ ස්ථානවල සැඟවී සිට තිබුණා. පසුව කේ.ජේ. බායි නමැත්තාගේ උපකාරයෙන් යාපනය ප්‍රදේශයට ගෙනගොස් බෝට්ටුවකින් ඉන්දියාව වෙත යාමට කටයුතු කර තිබුණා. අපරාධකරුවන් නිත්‍ය නොවන මුහුදු මාර්ගවලින් ගෙනගොස් වෙනත් රටවල්වලට යැවීම රැකියාව කරගෙන සිටි බායි නැමැත්තා සෙව්වන්දි වෙනුවෙන් ලක්ෂ ගණනක මුදලක් කෙහෙල්බද්දර පද්මේගෙන් ලබාගෙන ඇතැයිද අනාවරණය වී ඇත. ඇයව ඉන්දියාවේ සති දෙකක කාලයක් තබාගෙන දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් තිබුණා. පසුව කත්මන්ඩු නුවර නිවසක් කුලියට ගෙන ඇයට නවාතැන් ලබාදීමට සහාය වී තිබුණේ බායි නමැත්තා විසිනි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඉෂාරා සෙව්වන්දි කොයිවෙලේක හරි තමාට මේ දෙය සිදුවන බව දැනගෙන සිටියා. ඇගේ මුවින් පිටව තිබුණේ,
‘මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරෙස්ට් කරයි කියල. මට මාස 07ක් තිස්සේ නේපාලයේ හිරවෙලා ඉඳලා ඇතිවෙලා සිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා හිටියා…’
තමාගේ රූපයට සමානකමින් යුතු චාවකච්චේරියේ පදිංචි තක්ෂිගේ නමින් ගමන් බලපත්‍රයක් සකසාගෙන ඇති බවයි අනාවරණය වී තිබුණේ. එමගින් ඇය යුරෝපයට පලායෑමට උත්සාහ කර ඇති බවද සඳහන්ය.
මෙම මෙහෙයුමට කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ගිහාන් ද සිල්වා සහභාගි වී තිබුණා. අත්අඩංගුවට ගැනීම සඳහා ඉතා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇත. අදාළ නිවාස සංකීර්ණයෙන් සෙව්වන්දි එළියට එන්නේ දුරකතන ඇමතුමකට අනුවය. එම ඇමතුම ලබාදෙන්නේද මෙම රහසිගත මෙහෙයුමේ එක් පියවරක් ලෙසිනි. ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජේ.කේ. බායි නමැත්තාද එම නිවාස සංකීර්ණයේ රැඳී සිට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟව සිටින ස්ථානය සොයාගැනීමට පොලිසියට පහසු වී තිබුණා. නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙහෙයුම සඳහා පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා කටයුතු කර තිබුණා.
මේ සිදුවීමෙන් අප තේරුම්ගත යුත්තේ වැරදි කර සැඟවී සිටීමට නොහැකි බවත්, කෙදිනක හෝ නීතියේ රැහැනට එම වරදකරුවන් කොටුවන බවත්ය.

නිලන්ති රේණුකා










