එකම අන්තර්ජාල සේවා සපයන සමාගමක් මගින් සිදුකරන ලද වංචා ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලද නමුත් නව රජය යටතේ ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී සිදුවී ඇති ප්‍රසම්පාදන අක්‍රමිකතා සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද පැමිණිලිවල ප්‍රගතිය විමසා බැලීම සඳහා වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජිතයන් අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය.
තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට පටහැනි අන්දමට සහ රටේ පැවැති උද්ධමන අනුපාතයන් නොසලකා ඉහළ මිල ගණන්වලට පාස්පෝට් මුද්‍රණය කිරීම සඳහා අදාළ ටෙන්ඩරය ලබාදී ඇති බවත්, 2003 වසරේ සිට මේ දක්වා වසර විසිදෙකකට ආසන්න කාලයක් මෙම අක්‍රමිකතාව අඛණ්ඩව සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය. අදාළ පාලන කාලවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව සිටි සියලු අමාත්‍යවරුන් හා කොමසාරිස් ජනරාල්වරුන් මෙම වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අන්දමට තෝරාගත් එක් සමාගමකට පමණක් නිසි පරිදි ප්‍රසම්පාදන යාන්ත්‍රණයන්ට යටත් නොවී අත්තනෝමතික ලෙස පාස්පෝට් මුද්‍රණයට අවස්ථාව ලබාදීම නිසා රජයට සිදුවී ඇති අලාභය කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මෙන් තවත් බස් නැවතුම්පළවල් දහයකට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට තරම් අධික මුදලක් බවද ඔහු පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සම්බන්ධයෙන් ද මේ අන්දමටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළත් එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, අදාළ අධිකරණමය කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යළි යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. නියාමන අධිකාරියේ දත්ත වංචාව සිදුවන විට සේවය කළ ඉහළ නිලධාරීන් රැසක් තවදුරටත් විවිධ ඉහළ තනතුරු දැරීම මෙම විමර්ශනවල සත්‍යතාව හෙළිකර ගැනීමට බාධාවක් බව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද නමුත් ඔහු ඒ සම්බන්ධව සැලකිල්ලක් නොදැක්වීම ගැනද වෛද්‍ය චමල් සංජීව මහතා සිය අප්‍රසාදය පළ කළේය. දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියට ප්‍රසම්පාදන ක්‍රියා සම්බන්ධව ඉතා පැහැදිලිව අධිකරණය පවා උපදෙස් ලබාදී ඇති තත්ත්වයක් යටතේ අදාළ කරුණු උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී පොලිසිය භාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දිනයක් ඉල්ලා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
දේශපාලන හිතවත්කම්වලින් තොරව මෙම විමර්ශන කඩිනමින් සිදුකොට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ඔහු පෙන්වා දුන්නේය.










