රට තුළ පැන නැගී ඇති අර්බුදය හමුවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර හමුව පැය දෙකක පමණ කාලයක් තිස්සේ පැවති නමුත් ,අවසන් එකඟතාවකට නොපැමිණි බව දැනගන්නට ඇත.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද ඒ සඳහා සංශෝධන ඉදිරිපත් වූ බව වාර්තා වේ .
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවත් සාකච්ජා වටයක් එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසුව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපතිවරයා පමණක් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර ,ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,,ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,අසංක නවරත්න,යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ
ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයකට අනුව ,දෙපාර්ශවය අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
රට අරාජික සහ අස්ථාවරවීම වැළැක්වීම සඳහා වන යෝජනා 11ක් ඇතුළත් ලිපියක් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයාට ඉකුත් සිකුරාදා (08)යවනු ලැබීය.
රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් ගොඩ ගැනීම සදහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් ඉල්ලීමක් කර තිබිණි.